ජාත්‍යන්තර සහය උතුරෙන් දකුණට…?

May 1st, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

|ආචාර්ය ජෙහාන් පෙරේරා

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් පැවැති අනුක‍්‍රමික ආණ්ඩුවලට එරෙහිව වර්ගසංහාරයේ යෙදීම පිළිබඳ චෝදනා කරමින් උතුරු පළාත් සභාව විසින් සම්මත කළ යෝජනා සම්මතය එලෙස සම්මත කරගනු ලැබුවේ මේ වසරේ මාර්තු මාසයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පැවැත්වීමට සති කිහිපයකට පෙරදීය. නිදහස ලැබූ කාලයේ සිට දෙමළ ජනතාවට එරෙහිව සංවිධානය කරනු ලැබූ විවිධ මාදිලිවල වර්ගසංහාරක ක‍්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස එම යෝජනා සම්මතය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේය. එසේම රටේ අභ්‍යන්තර යුද්ධයේ අවසාන කාලය තුළ ඇති වූ යුද අපරාධ පිළිබඳ සොයාබැලීම සඳහා එක්සත් ජාතීන් විසින් පත් කළ කමිටුවේ වාර්තාව ප‍්‍රසිද්ධ කරන ලෙස ද එම යෝජනා සම්මතය වැඩිදුරටත් දැක්වීය. එසේම එකී අපරාධ සඳහා වගවීම වෙනුවෙන් ජාත්‍යන්තර ක‍්‍රියාවලියක් ස්ථාපිත කරන ලෙස ද ඉල්ලා සිටිනු ලැබිණ. කෙසේ වූවද එක්සත් ජාතීන්ගේ සංවිධානය විමර්ශන කමිටුවේ වාර්තාව ප‍්‍රසිද්ධ කළේ නැත. දේශීය වගවීම් යාන්ත‍්‍රණය වඩා විෂයමූලික කරගැනීම සඳහා කාලය ලබා දෙමින් වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීම අත්හිටුවන ලෙස නව ආණ්ඩුව කළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්තේය. මේ වසරේ සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජිනීවාවලදී රැුස්වන විට එක්සත් ජාතීන්ගේ වාර්තාව ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සත්‍යය,වගවීම, හානිපූරණය සහ නිර් පුනරාවර්තනයන් සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ්ගේ ලංකා සංචාරය තමන්ගේ වර්ගසංහාර චෝදනාව එක්සත් ජාතීන් ඉදිරියේ තැබීම සඳහා උතුරු පළාත් සභාවට තවත් අවස්ථාවක් සපයා දුන්නේය. වර්ගසංහාර යෝජනා සම්මතය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාට භාරදුන් බවට වාර්තා විය. කෙසේ වූවද වර්ගසංහාර යෝජනාව මගින් අපේක්ෂා කළ ප‍්‍රතිඵලය ඇති වූ බවක් මෙම අවස්ථාවේදීද දැකගත හැකි නොවීය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ස්වකීය සංචාරය අතරතුරදී අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් පිළිබඳ අදහස් දැක්වූ බව දමිළ ජනමාධ්‍ය වාර්තා කළේය. කොළඹ නව රජයට වැඩිපුර කාලය සහ අවකාශය දිය යුතු බවට ඔහු ඉල්ලා සිටියේය. කෙසේ වුවද ශ‍්‍රී ලංකා රජය සහ එහි සන්නද්ධ හමුදා විසින් අතීතයේ සිදුකළ අපරාධ ආමන්ත‍්‍රණය කිරීමේ හැකියාවෙන් යුක්ත අභ්‍යන්තර යාන්ත‍්‍රණයන් ඇති කිරීමට පැවැති සියලූ අනුක‍්‍රමික ආණ්ඩු අසමත් වූ ආකාරය දෙමළ නියෝජිතයින් පෙන්වාදී තිබේ.

සත්‍යය සොයාගැනීම සහ යුද අපරාධ පිළිබඳ වගවීම සහතික කිරීමෙහිලා දේශීය යාන්ත‍්‍රණයක් සතුව තිබෙන ශක්‍යතාව සහ එහි සාර්ථකත්වය ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා හා පැවැති හමුවේදී සිවිල් සමාජ නියෝජිතයින් සහ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයින් විශාල පිරිසක්ද ස්වකීය දෙගිඩියාව ප‍්‍රකාශ කළහ. සිවිල් සමාජය තුළ නිරීක්ෂක භූමිකාවක් දරන බොහෝ දෙනා මානව හිමිකම් සහ ආණ්ඩුකරණය පිළිබඳ ප‍්‍රශ්නවලදී ඉහළම සම්මතයන් ආරක්ෂා කරගැනීම සඳහා කැපවී සිටී. ඔවුහු පරමාදර්ශ සහ අරමුණු නියෝජනය කරති. ඒවා යථාර්ථයක් කරගැනීමට සහ ඒවා වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමට කැපවී සිටිති. කෙසේ වූවද ආණ්ඩුවේ සිටින අය කළ හැකි දේ හා නොකළ හැකි දේ කෙරෙහි දක්වන්නේ වඩා ප‍්‍රායෝගික ප‍්‍රවේශයකි. බොහෝවිට එක්සත් ජාතීන්ගේ විමර්ශන පර්ෂදයේ වාර්තාව එළි දැක්වීම අත්හිටුවීම වැනි තීරණයක් ගැනීම කරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණ ගන්නා පුද්ගලයින් මෙහෙයවනු ලැබුණේ ජාත්‍යන්තර ආණ්ඩු අතර පවතින ප‍්‍රායෝගිකත්වය පිළිබඳ මෙම සැලකිල්ල විසින් වීමට ඉඩ තිබේ.

ජය ලැබිය හැකි ප‍්‍රවේශයක්
මානව හිමිකම් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේදී වර්තමාන ආණ්ඩුව ගෙන තිබෙන ප‍්‍රවේශය පැවැති ආණ්ඩුවේ ප‍්‍රවේශයට වඩා බෙහෙවින් වෙනස්ය. එක් අතෙකින් අතීතය පිළිබඳ කෙරෙන විමර්ශනය දේශීය එකක් විය යුතු බවත් වගවීමේ ක‍්‍රියාවලියද දේශීය මට්ටමෙන් සිදු විය යුතු බවත් ප‍්‍රකාශ කිරීමේදී වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය පැරණි ආණ්ඩුවේ ආස්ථානයම වේ. අනෙත් අතට තම ආණ්ඩුව ‘දශක ගණනාවක් තිස්සේ සිදු වූ වෛරය සහ ප‍්‍රචණ්ඩත්වය ඇවිලී යාම කෙරෙහි හේතු වූ අයුක්තීන්, වෙනස් කොට සැලකීම් සහ අගතීන්වල මූල හේතුවලට පිළියම් යොදන බවත් එම අතීතයෙන් කැඞීමට ආණ්ඩුව කටයුතු කරන බවත්, සමානාත්මතාවයේ, යුක්තියේ සහ බහුත්වවාදයේ මූලධර්ම මත පදනම්ව ලංකාව බහු සංස්කෘතික බහු වාර්ගික සහ බහු භාෂාමය රටක් කිරීමට ආණ්ඩුව කැපවී සිටින බවත්’ එහි විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි. මේ කැපවීම ක‍්‍රියාවන් මගින් දැනටමත් සනාථ කරනු ලැබ ඇත. එකිී ක‍්‍රියා ආණ්ඩුව වෙත විශාල වශයෙන් ජාත්‍යන්තර සහයෝගය ආකර්ෂණය වීමෙහිලා හේතු වී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ ශ‍්‍රමය පිළිබඳ කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි පසුගියදා ශ‍්‍රී ලංකා සංචාරයක නියුතු වූයේය. නව ආණ්ඩුව විසින් අනුගමනය කරන වැඩපිළිවෙළට සහයෝගය හෙතෙම ප‍්‍රසිද්ධියේ පළ කළේය. ඔහු ලංකාවේ පුවත්පතකට මෙසේ ලියයි. ‘ශ‍්‍රී ලාංකීය ජනතාව අතර විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග එක්සත් ජනපදයේ ප‍්‍රශංසාවට ලක්වේ. යුක්තිසහගත සහ කල්පවතින සාමයක් ස්ථාපිත කිරීම සඳහා දරනු ලැබෙන සියලූ උත්සාහයන්ට අපගේ සහයෝගය හිමි වේ. ශ‍්‍රී ලංකාව මුහුණ දුන් අත්දැකීම්වලට තමාගේම වූ ක‍්‍රමයකට විවිධ මට්ටම් වලින් මුහුණ දෙමින් සිටින රටවල් ගණනාවක් ලොව පුරා ඇත. යේමනයේ සිට ඉරාකය දක්වා ඇෆ්ඝනිස්ථානයේ සිට බුරුමය දක්වා රටවල් ගැන පුවත් සිරස්තල කියවන්න. ශ‍්‍රී ලංකාව සාර්ථක වනු දැකීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට අවශ්‍ය වී තිබෙන්නේ ඇයිදැයි ඔබට වැටහෙනු ඇත. ඒ අවශ්‍යතාව හුදෙක් රටේ යහපත වෙනුවෙන් නොව අප සියලූදෙනාගේ යහපත වෙනුවෙනි. වාර්ගිකත්වය සහ ආගම මත බෙදී තිබෙන සමාජයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංවාදය හරහා සාමය ළ`ගාකරගත හැකි බව පෙන්වන උදාහරණයක් බවට ශ‍්‍රී ලංකාව පත්වනු දැකීම ලෝකයේ බලාපොරොත්තුවයි’

එන්න එන්නම අධිකාරිවාදී ස්වභාවයක් ගනිමින් තිබූ, බලය යොදා තමා වටා ශක්තිමත් මුර වළල්ලක් ගොඩනගාගෙන සිටි ආණ්ඩුවකින් එකිනෙකට විරුද්ධ පක්ෂවලට අයත් ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් සිටින, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සහයෝගයෙන් ක‍්‍රියාකරන, බහු පක්ෂ ක‍්‍රමයක් වෙත සාමකාමී ලෙස බලය මාරු වීම ගැන තිබෙන පූර්ව නිදර්ශන එක්කෝ ඇත්තේම නැත. තිබුණත් ඒ ඉතා අල්පයක් විය යුතුය. ජාත්‍යන්තර ප‍්‍රජාව සම`ග සංවාදයක යෙදීම සඳහා නව ආණ්ඩුව දක්වන යොමුව වඩා උනන්දු කරවන තවත් හේතු දෙකක් තිබේ. ඒවා නම් ඉන්දීය සාගරය තුළ ශ‍්‍රී ලංකාවේ පිහිටා තිබෙන ආකාරයේ ඇති උපායමාර්ගික වැදගත්කම සහ බොහෝ රටවල සක‍්‍රීය තලයක පවතින ඩයස්පෝරා ක‍්‍රියාකාරීත්වයයි. මේවා වූ කලී ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග සංවර්ධනාත්මක හවුල්කාරීත්වයක් ඇති කරගැනීමෙහිලා ජාත්‍යන්තර ප‍්‍රජාව පොළඹවන ජාත්‍යන්තර ප‍්‍රජාවේම ස්වයං ප‍්‍රතිලාභය ඇති කරන සාධකයෝය. මේ සන්දර්භය තුළ නව ආණ්ඩුවට විරෝධය පාන විරුද්ධ පක්ෂයක් ලෙස ක‍්‍රියා කිරීමට උතුරු පළාත් සභාව දරන උත්සාහයන්ට ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහයෝගය ලැබීමට තිබෙන ඉඩ ඉතාම සීමාසහිතය.

නිශේධනාත්මක ඉච්ඡා භංගත්වය
ස්වකීය වර්ගසංහාර යෝජනා සම්මතය ප‍්‍රවර්ධනය කිරීම සඳහා උතුරු පළාත් සභාව අඛණ්ඩව දරන වෙහෙස සහ ඒ සඳහා හේතු වී තිබෙන ඉච්ඡුාභංගත්ව හැඟීම මනාව වටහා ගත හැක. එහෙත් එම ලියැවිල්ල පාර්ශ්වීය ලියැවිල්ලක් වන තත්වයක් තුළ එය ගැටලූ විසඳීමේ හැකියාවෙන් යුක්ත සංවර්ධනාත්මක උපකරණයක් ලෙස ජාත්‍යන්තර ප‍්‍රජාව පිළිගනු ඇතැයි සිතීම උගහටය. වර්ගසංහාර යෝජනාව ස්වයං විවේචනාත්මක එකක් නොවේ. එනම් අභ්‍යන්තර ඝාතන සහ වෙනත් ප‍්‍රජාවන් වාර්ගික ලෙස පවිත‍්‍රකරණයට ලක්කිරීම ගැන කිසිදු සඳහනක් ඒ තුළ නැත. මෙය ලංකාවේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජීවත් වන බහුජනයාගේ දෛනික යහපැවැත්ම පිළිබඳ කිසිදු වගකීමක් නොදරන, ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමඟ ගැටීමක් ඇති කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන විවිධ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ආදී පක්ෂපාතී පාර්ශ්වයන් සතුටට පත් කරන වර්ගයේ ලියැවිල්ලකි. එය උතුරු පළාත් සභාව විසින් ප‍්‍රවර්ධනය කළ යුතු වර්ගයේ ලියැවිල්ලක් නොවේ. ඔවුන් බලය බෙදාහදා ගැනීමේ ප‍්‍රශ්නය සහ මහජනයාගේ දෛනික ජීවිතය හා සබැඳි ගැටලූ – එනම් ජීවනෝපාය, අතුරුදහන්වූවන් සොයාගැනීම හා මිලිටරිහරණය වැනි දෛනික ජීවිතයේ යථාර්ථයන් සම්බන්ධ ගැටලූය ප‍්‍රවර්ධනය කළ යුත්තේ.

බලයට පත්වීමෙන් පසු, ඒ වගේම සාපේක්ෂව කෙටි කාලයක් තුළ, නව ආණ්ඩුව සාධනීය වෙනස්කම් කිහිපයක් බලාත්මක කොට තිබේ. හමුදා ආණ්ඩුකාරවරුන් වෙනුවට ලිබරල් පසුබිමක් සහිත සිවිල් ආණ්ඩුකාරවරු උතුරු නැගෙනහිර පළාත්වලට පත්කිරීම, මහජනයා වෙතින් හමුදාව අත්පත් කරගෙන තිබූ ඉඩම්වලින් යම් කොටසක් යළි මහජනයා වෙත මුදාහැරීම, ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම උතුරේ ජනතාව මුණ ගැසෙමින් දවස් කීපයක් ගත කිරීම සහ ඒ තුළින් තමන්ගේ සජීවී අත්දැකීමක් ලෙස එම ජනයාගේ වේදනාවන් සහ අභිලාෂයන් වටහා ගැනීමට උත්සාහ කිරීම මෙකී ක‍්‍රියාමාර්ග අතර වේ. ඔවුන් මෙකී ක‍්‍රියාමාර්ග වෙත එළැඹුණේ මහමැතිවරණයක් අත ළඟ තබාගෙනය. එනම් විරුද්ධ පක්ෂය සිංහල වාර්ගික බහුතර ජාතිකවාදයට අයත් සියලූ බලවේග ආණ්ඩුවට විරුද්ධව පෙළගැස්වීම සඳහා මෙකී ක‍්‍රියාමාර්ග දඩමීමා කරගනු ඇතැයි හොඳාකාරවම දැන දැනය. නව ආණ්ඩුව පැවැති ආණ්ඩුවෙන් වෙනස්ව වෙනස් මාවතක් අනුගමනය කරමින් සිටින විට ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයක් ලබාගැනීම උතුරු පළාත් සභාව පැත්තෙන් ගත් විට සංවර්ධනාත්මක එළැඹුමක් නොවේ.

උතුරු පළාත් සභාව වූ කලී දිවයින පුරා විහිදී තිබෙන විමධ්‍යගතකරණය වූ ආණ්ඩුකරණ පද්ධතියක කොටසකි. මහජනයාගේ ජීවිත නගා සිටුවීම සඳහා එමගින් කළ හැකි දායකත්වය අපමණය. 2013දී උතුරු පළාත් සභාව මුලින්ම පිහිටවූ විට වෙනත් පළාත්වල දේශපාලකයින් ඒ දෙස සුබවාදී ලෙස බැලූහ. වඩා වැඩි බලය බෙදීමක් ලබාගැනීම වෙනුවෙන් උතුරු පළාත් සභාව සටන් කරනු ඇති බවටත් ඒ වනවිට එවකට පාලක පක්ෂය බලය හෙබවූ ආණ්ඩු පැවැති වෙනත් පළාත් සවිබල ගැන්වීම සඳහා එකී සටන ඉවහල් වනු ඇති බවටත් අපේක්ෂා පළවිය. අවාසනාවකට මෙන් පැවැති ආණ්ඩුව උතුරු පළාත් සභාවට දේශපාලන බලය ලබාදීම මෙන්ම ආර්ථික සම්පත් ලබාදීමද ප‍්‍රතික්ෂේප කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ යුද වින්දිතයන්ට සහ පළාතේ දුගී ජනයාට උපකාර කිරීමෙහිලා පළාත් සභාව අසමර්ථ වීමය. එහෙත් දැන් නව ආණ්ඩුවක් බලයට පත්ව සිටී. දෙමළ සහ මුස්ලිම් ජනයා විශාල සංඛ්‍යාවන්ගෙන් මෙම ආණ්ඩුව වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කළ අතර ඒ ජනයා වෙත අලූත් ප‍්‍රවේශයක් නව ආණ්ඩුව විසින් පෙන්නුම් කරනු ලැබ තිබේ. ජනාධිපතිවරණය අවස්ථාවේ මැතිවරණය වර්ජනය කරන ලෙස දෙමළ ඩයස්පෝරාවේ සහ ශ‍්‍රී ලංකාවේ ඇතැම් දෙමළ අන්තවාදීන් විසින් ඉල්ලූම් කරනු ලැබූවද එම ඉල්ලීම දෙමළ ජනතාව අතින් ප‍්‍රතික්ෂේප කිරීමට ලක්විය. උතුරු පළාත් සභාව මධ්‍යම ආණ්ඩුව සමඟ එදිරිවාදී ලෙස ගැටෙන්නේ නැතිව එය සමග සහයෝගයෙන් ක‍්‍රියා කරන්නේ නම් එබඳු බුද්ධිමත් ප‍්‍රවේශයක ප‍්‍රතිලාභය සමස්ත පළාත් සභා ක‍්‍රමයට, උතුරේ ජනයාට පමණක් නොව රටේ සියලූ ජනතාවන්ට හිමිවනු ඇත.

357

Recent Posts

Tags: , , ,

Leave a Comment