Face Book වල Fake විමට ඔබට අයිතියක් අැත.

Aug 24th, 2015 | By | Category: OTHER NEWS, Today Lead News

ලෝකය පුරා තිබෙන මර්දනකාරී ආණ්ඩු අන්තර්ජාලය පාවිච්චි කරන පුද්ගලයින් නිර්නාමිකව යම් යම් දේවල් සයිබර් අවකාශයේ ලිවීම හෝ ආරක්ෂිතව සන්නිවේදනය කිරීමට යොදා ගන්නා වෙනත් ක‍්‍රමවේද නැවැත්වීමේ උත්සාහයක යෙදී සිටී. 3000 ට වඩා වැඩි සංඛ්‍යාවක් නරඹන බ්ලොග් අඩවි රජයේ ලියාපදිංචි කළ යුතු යැයි රුසියාව නීතියක් පනවා තිබේ. බ්ලොග්කරුවන් එලෙස ලියාපදිංචි විය යුත්තේ තම සැබෑ නමින්ය. වියට්නාමයේ බ්ලොග්කරුවන්ට අනවර්ථ නාම පාවිච්චිය තහනම් කොට ඇත. ඉක්වදෝරයේ වෙබ් අඩවිවල කමෙන්ටු යොදන පුද්ගලයින් තමා සැබෑ නමින් ඒ අදහස් දැක්වීම් කළ යුතු යැයි නීති පනවා ඇත. කලෙක්ටිව් සෝන් 9 නම් වූ විසම්මුතික මතධාරී බ්ලොග් අඩවිය පවත්වාගෙන ගිය බ්ලොග්කරුවන්ට එරෙහිව ත‍්‍රස්තවාදී චෝදනා ඉදිරිපත් කිරීමට ඉතියෝපියාව ක‍්‍රියා කළේය. මේ චෝදනා සඳහා පාදක වූ එක් සිදුවීමක් වූයේ අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීමේදී ආරක්ෂිත විධික‍්‍රම යොදාගන්නේ කෙසේද යන්න ගැන වූ වැඩමුළුවකට මෙම බ්ලොග්කරුවන් සහභාගී වී තිබීමය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින්, භාෂණයේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඬේවිඞ් කේ පසුගිය දිනෙක ප‍්‍රකාශ කරනු ලැබූයේ ඉහත කී ආකාරයේ ක‍්‍රියාමාර්ග අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

කේ විසින් ඉදිරිපත් කරන තර්කය ඉතාමත් සරලය. පැහැදිලිය. තොරතුරු දැන ගැනීමටත්, ලබාගැනීමටත් තිබෙන අයිතිය ජාත්‍යන්තර නීතිය විසින් මනාව පිළිගනු ලැබූ මූලික මානව අයිතිවාසිකමකි. මේ අයිතිවාසිකම පූර්ණ වශයෙන් භුක්ති විඳීමට නම් මහජනයාට ආරක්ෂිතව එකිනෙකා සන්නිවේදනය කිරීමේ අවස්ථාව පැවැතිය යුතුය. නීතිය මගින් අවසර දෙනු ලැබෙන අති විශේෂිත තත්වයකදී මිස මේ පුද්ගල අයිතිවාසිකම වෙත මැදිහත්වීම් කිරීමට ආණ්ඩුවට නුපුළුවන. උදාහරණයක් ලෙස ත‍්‍රස්තවාදී කුමන්ත‍්‍රණයක් වැළැක්වීම හෝ යම් සාපරාධී හැසිරීමක් පිළිබඳ විමර්ශනය කිරීම ආදී යම් නීත්‍යනුකූල රාජ්‍ය අරමුණක් ඉටු කරගැනීමේදී මෙම අයිතිවාසිකම සීමා කළ හැකි අතර එතැනදී පවා එලෙස සීමා කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ගය සමානුපාතික විය යුතුය. එනම් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා බලය යෙදවීමක් එහිදී සිදු නොවිය යුතුය.

මහා පරිමාණ ආවේක්ෂණ කටයුතු ඕනෑම අයෙකුගේ වැඩකටයුතුවලට බාධාකාරී විය හැක. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගත් විට මෙම බාධාව වඩාත් තීව‍්‍ර ස්වභාවයක් ගනී.
විශේෂ නියෝජිතවරයාගේ ඉහත කී අදහස් දැක්වීම නීතිමය වශයෙන් බන්ධනාත්මක නැත. එහෙත් ඊට මහත් ප‍්‍රබල මතවාදී බලයක් පවතී. කීගේ වාර්තාව නිසා මර්දනකාරී ආණ්ඩු භාෂණයේ නිදහස සීමා කිරීම උදෙසා ගන්නා දුෂ්ට ක‍්‍රියාමාර්ග නතර නොවන බව සැබැවි. එහෙත් එවැනි ක‍්‍රියා නීත්‍යනුකූල නොවන බවත් සාධාරණීකරණය කළ නොහැකි බවත් සාධනය කිරීම සඳහා මෙම වාර්තාව ඉවහල් වේ. සිදුවිය හැකි හොඳම දෙය වූ කලී අන්තර්ජාතික නෛතික මූලධර්ම වෙත බැඳී සිටින රටවල්වලට නිර්නාමිකව සිදුකරන අදහස් දැක්වීම් සහ වෙනත් එබඳු ආරක්ෂිත සන්නිවේදන ක‍්‍රමවලට දමා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධ යම් තෙරපුමක් මෙම වාර්තාව මගින් ඇති වීමයි.

කෙසේ වූවද කේගේ වාර්තාවේ ප‍්‍රකාශිතව සඳහන් කොට නැති, එහෙත් එතුළින් ගම්‍ය වන එක් වැදගත් කරුණක් තිබේ. එනම් නිර්නාමිකව අදහස් දැක්වීමට තිබෙන අයිතිය භාෂණයේ නිදහස අභ්‍යාස කිරීමේ ආකාරයක් යැයි ඔහු ඉදිරිපත් කරන නිගමනය තුළින් තවත් වැදගත් උප නිගමනයක් අනුමිත වේ. මහා පරිමාණව සිදුවන සමූහ ආවේක්ෂණ :ඵ්ිි ීමරඩැසකක්බජැ – රජයක් විසින් පුරවැසියන්ගේ දෛනික කටයුතු සමූහ වශයෙන් නිරීක්ෂණය කොට දත්ත එකතු කිරීම මෙනමින් හැඳින්වේ* කටයුතු ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි යන්න එම අනුමිතියයි. ”බාධාවකින් තොරව අදහස් දැරීමට තිබෙන අයිතිය සම`ග එම අදහස් ප‍්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ද බැඳී තිබේ” කේගේ වාර්තාව කියයි. ”සමූහ ආවේක්ෂණය හෝ තනි තනි පුද්ගලයින් ඉලක්ක කොට ගෙන සිදුවන ආවේක්ෂණ කටයුතු නිසා නිදහස්ව අදහස් දැක්වීමට තිබෙන අයිතිවාසිකම උල්ලංඝනය වීමට පුළුවන.”

ඉලක්කගත ආවේක්ෂණයේදී සිදුවන්නේ ආණ්ඩුව යම් නිශ්චිත පුද්ගලයෙක්ගේ සන්නිවේදන ක‍්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමයි. මෙය ඇතැම් විට යම් තර්ජනයක් පාලනය කිරීමෙහිලා අවශ්‍ය සමානුපාතික ක‍්‍රියාමාර්ගයක් වීමට ඉඩ ඇත. එහෙත් සමූහ ආවේක්ෂණය එනයින්ම අසමානුපාතිකය. එතැනදී අනාගතයේ යම් දවසක ඇති විය හැකි යම් තර්ජනයක් පිිළිබඳ තොරතුරු ලබාගැනීමට යැයි කියා ආණ්ඩුව අති විශාල ස්කන්ධයක දත්ත හා විස්තර තමා වෙතට උරා ගනු ලබයි.

සමූහ ආවේක්ෂණය නිසා සියලූම දෙනාට පොදුවේ බලපෑමක් ඇති වූවත් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් එය විශේෂිත බලපෑමක් ඇති කරයි. කී තමන්ගේ වාර්තාවේ දක්වන පරිදි මාධ්‍යවේදීන්ට තමාට තොරතුරු ලැබෙන මූලාශ‍්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමට නම්, ආරක්ෂිතව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව ඔවුන් වෙත පැවැතිය යුතුය. සමූහ ආවේක්ෂණයේ යෙදෙන ආණ්ඩුවකට ඒකරාශී කරගත් දත්ත පාවිච්චි කොට මාධ්‍යවේදීන් සිදුකළ සන්නිවේදනයන් අනාවරණය කරගැනීමට පුළුවන. මාධ්‍යවේදීන් කතා කරන්නේ කාටද, තොරතුරු ලබාගත්තේ කෙසේද ආදී සියල්ල ඒ අනුව සොයාගත හැක.

සමූහ ආවේක්ෂණය තුළින් ලබාගන්නා දත්ත මොන විදිහට පාවිච්චි වේදැයි දන්නේ ජාතික ආරක්ෂක ඒජන්සිය පමණි. එහෙත් තනි තනි පුද්ගලයින්ගේ විද්‍යුත් තැපෑලට පවා එබිකම් කිරීමේ හැකියාව රජය සතුව තිබේ යන පණිවුඩය එක්සත් ජනපදයේ බොහෝ මාධ්‍යවේදීන් සහ නීතිඥයින් තුළ ඇති කොට තිබෙන්නේ බියජනක හැඟීමකි.
කේගේ තර්කය නිවැරදි නම්, එඞ්වඞ් ස්නෝව්ඩන් අනාවරණය කළ පරිදි, ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සමූහ ආවේක්ෂණ වැඩසටහන් පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි. මෙම නිගමනය ඇතැම් විට එක්සත් ජනපදයේ දේශපාලන විවාදය තුළ එතරම් බලපෑමක් ඇති නොකරන නිගමනයක් විය හැකි වූවත් ජාත්‍යන්තර සංදර්භය තුළ මෙහි තීරණාත්මක වැදගත්කමක් පවතී. එක්සත් ජනපද ආණ්ඩුව විසින් පවත්වාගෙන යන සමූහ ආවේක්ෂණ වැඩසටහන් ගැන තොරතුරු අනාවරණය වීම තුළින්, චීනයේ සිට ඉරානය දක්වා ලෝකය පුරා තිබෙන ආණ්ඩු තමාගේම ආවේක්ෂණ වැඩසටහන් ශක්තිමත් කරගැනීම හා ඒවා තවත් පුළුල් කරගැනීම වෙත සුජාතබවක් හිමිවේ. පුද්ගල කළමනාකරණය පිළිබඳ එක්සත් ජනපද කාර්යාලයේ පරිගණක දත්ත චීනය විසින් අනවසරයෙන් සොරාගනු ලැබී යැයි චෝදනා එල්ල වී තිබෙන අතර ඇතැම් වාර්තාවලට අනුව චීනය මෙලෙස එකතු කරගන්නා දත්ත දැවැන්ත දත්ත පද්ධතියක් ගොඩනැගීම සඳහා පාවිච්චි කරනු ඇත. චීනයේ අරමුණු ගැන මෙවැනි සිදුවීම්වලින් අදහසක් ඇති කරගත හැක.

ආවේක්ෂණ තාක්ෂණය ඩ්‍රෝන් තාක්ෂණය වැනිය. දැනට එක්සත් ජනපදයට ඒ සම්බන්ධ තාක්ෂණික දැනුම අතින් ඉදිරියෙන් සිටී. එහෙත් ආවේක්ෂණ තාක්ෂණය වඩාත් ලාභවත්ම වෙනත් රාජ්‍යයන් ද එම තාක්ෂණික හැකියාව අත්පත් කරගනු ඇති අතර එක්සත් ජනපදයට දැනට තිබෙන වාසිය වියැකී යනු ඇත. රාජ්‍යයන් විසින් නොව ජාත්‍යන්තර නීතිය විසින් ඔත්තු බැලීමට තිබෙන සීමාවන් නිර්වචනය කළ යුතු බවට වූ යෝජනාව වලංගු වන්නේ ඒ නිසාය. ස්නෝව්ඩන් විසින් කළ හෙළිදරව් කිරීම් නිසා දැන් චීන ආණ්ඩුවෙන් වගවීමක් සහිතව හැසිරෙන ලෙස ඉල්ලා සිටීම අපහසු වී තිබේ. ස්නෝව්ඩන්ගේ අනාවරණයෙන් වැඩි කලක් යාමට පෙර 2013 ඔක්තෝබර්වලදී ඉන්දුනීසියාවේ බාලිහිදී අන්තර්ජාල ආණ්ඩුකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් පැවැති අතර එහිදී එක්සත් ජනපද නිලධාරියෙක් තම රටේ ආවේක්ෂණ ක‍්‍රියාවලිය සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරීය. පැමිණ සිටි නියෝජිතයින් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ හූ කීමෙනි. තොරතුරු සුරක්ෂිතව තබාගැනීමේ අයිතිය ගැන කතා කිරීමට පෙර එක්සත් ජනපදය කණ්ණාඩියක් ඉදිරියේ සිටගත යුතු බව චීනයෙන් පැමිණ සිටි නියෝජිතයා එහිදී ප‍්‍රකාශ කළේය.

කේ තමාගේ වාර්තාවේ මෙසේ කියයි. ”නිර්නාමිකව අදහස් දැක්වීම හෝ අනන්‍යතාවය සඟවා අදහස් දැක්වීමේ විධික‍්‍රම යොදාගැනීම අදහස් හා විශ්වාසයන් දැරීමට තිබෙන අයිතිය සම්බන්ධයෙන් වූ ආරක්ෂිත කලාපයක් නිර්මාණය කරයි.” මේ ආරක්ෂිත කලාපය මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂකයින්ට මෙන්ම දේශපාලන ක‍්‍රියාකාරිකයින්ටත් අතිශය වැදගත්ය. එය සංරක්ෂණය කිරීම සඳහා ආණ්ඩුව අපගේ අන්තර්ජාල කටයුතුවලට ඇඟිලි ගැසීම වළක්වන යම් යම් විධිවිධාන අවශ්‍ය කෙරේ. ඒ වගේම දැනටමත් ආවේක්ෂණ කටයුතු සිදුකරමින් සිටිනා මර්දනකාරී රාජ්‍යයන් දුර්මුඛ කළ හැකි පොදු එකඟතාවයකින් යුක්ත නෛතික සම්මතයන් වර්ධනය කිරීම ද ඊට සමාන්තරව සිදුවිය යුතුය. එක්සත් ජනපදයේ සමූහ ආවේක්ෂණ වැඩසටහන එබඳු ජාත්‍යන්තර උත්සාහයක් කෙරෙහි ඇති කරනු ලැබූයේ විශාල බාධාවකි. කෙසේ වුවද එබඳු ජාත්‍යන්තර උත්සාහයක් සඳහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇති අතර එය දුෂ්කර කර්තව්‍යයයකි. කේගේ වාර්තාව ඒ දිශාවට තබන ලද වැදගත් පළමු පියවර වන්නේය.

ජොයෙල් සයිමන් විසින් ලියනු ලැබ Why Mass Surveillance Violates International Law විසින් www.slate.com  වෙබ් අඩවියේ පළවූ ලිපියේ සිංහල පරිවර්තනයයි. ජොයෙල් සයිමන් ‘මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව’ නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයාය.

Recent Posts

Leave a Comment