පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ කාඩර්වරු කේඩෑරි වීම.

Sep 2nd, 2015 | By | Category: LEAD NEWS, උත්තරධ්‍රැවය

මෙම ලිපිය 2015.08.17 දින මහා මැතිවරණයට පෙර සමබිම අගෝස්තු කලාපයේ පළවු ලිපියකි 

2015 වසරෙහි පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ උතුරෙන් ලැබෙන වැදගත් පුවත් ලෙසින් දකුණේ මාධ්‍යවල වඩාත් ආන්දෝලනාත්මකව විකිණෙන පුවත බවට පත්ව ඇත්තේ යාපනය දිස්ත‍්‍රික්කය සදහා හිටපු කොටි කාඩර්වරු පිරිසක් තරග කරන්නේය යන්නයි. පළමුව පැවැසිය යුතු කරුණක් වන්නේ මෙම පුවත වැදගත්කමක් දරන්නේ දකුණේ මාධ්‍ය තුළ මිස උතුරට අදාළ දෙමළ මාධ්‍ය වපසරිය තුළ නොවන බවයි. එහෙයින් පළමුව මෙය දකුණ තුළ අති උත්කර්ශයට පත්වන්නේ කුමන පදනමින් ද යන්න පිළිබදව සලකා බැලිය යුතුය. පළමුව මෙය වනාහි දකුණ තුළ මැතිවරණ ක‍්‍රියාන්විතයට තම සුපුරුදු ධාවන පථය තුළ ගමන් කිරීමට ඉතාමත් මහෝපාකාරි වීමයි. එනම් උතුරෙහි රකුසෙකු පෙන්විය හැකිනම් දකුණේ මැතිවරණ ක‍්‍රියාන්විතය අවුලක් නැතිව කරගෙන යා හැකිය. ජාතිවාදි සහ යුද්ධවාදි ප‍්‍රචාරක යාන්ත‍්‍රණයට කිසිම බාධාවක් හෝ අභියෝගයක් එල්ල නොවන ලෙසින් පවත්වා ගෙන යෑමට මෙම ආන්දෝලනා්මක පුවත මහත් උපකාරිවන බවට කිසිම සැකයක් නොමැත.මෙම හිටපු කොටින්ගේ නැවත මතු වීමක් මෙන්ම එම පිරිසෙහි විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ඇත්තෙන්ම බලාපොරොත්තු වන්නේත් පතන්නේත් ජාතිවාදි දේශපාලන ධාරාවන්යx මෙය තම දේශපාලන ව්‍යාපෘතියට ලැබෙන වෙස් වලාගත් ආශිර්වාදයක් ලෙසින් සලකන ඔවුන් එයින් ලබන උද්දාමය ප‍්‍රකාශ කරන්නේ ” ඕක තමයි අපි කිව්වේ, අපි නැතිව බෑ කියල” යන සටන් පාඨයත් සමගින්ය. හිටපු කොටි සාමාජිකයන් පිරිසක් ස්වාධීන කණ්ඩායමක් ලෙසින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබදව මේ අයුරින් දකුණේ දේශපාලනික ප‍්‍රතිචාරයන් සකස්ව තිබුණත් මෙයට වෙනස්ව යමින් උතුරෙහි ප‍්‍රධාන ධාරාවෙහි දේශපාලනය සහ සමාජයෙහි ආධිපත්‍ය දරන කොටස් මේ පිළිබදව දක්වන ප‍්‍රතිචාරයන් ගැන ඇගයීමක් කිරීම උතුරෙහි දේශපාලන ක‍්‍රියාකාරිත්වයෙහි ගතිකත්වයන් තේරුම් ගැනීම සදහා වැදගත් වනු ඇතැයි සිතමි. 

පළමුව අවධානයට ලක් කළ යුතු ප‍්‍රතිචාරය වන්නේ උතුරේ ප‍්‍රධාන දෙමළ දේශපාලන ධාරාව දෙමළ ජාතික සන්ධානය වෙතින් දක්වන ලද ප‍්‍රතිචාරයයි. දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කිරීමට තම නියෝජිතයන් කීප දෙනෙකුට අවස්ථාවක් සලසා දෙන මෙන් මෙම කණ්ඩායම විසින් කරන ලද ඉල්ලීම දෙමළ ජාතික සන්ධානය විසින් ප‍්‍රතික්‍ෂේප කරන ලදී. දකුණට හුරු පුරුදු දේශපාලන අවබෝධයට අනුව නම් මෙය බොහෝ දුරට ප‍්‍රහේලිකාත්මක දෙයක් වූවාට සැක නොමැත. මක් නිසාද යත් දකුණෙහි වපුරා ඇති මතවාදයට අනුව දෙමළ ජාතික සන්ධානය පමණක් නොව උතුරේ එපා දෙපා සිවුපා හැම කෙනෙක්ම කොටින්ය. එහෙයින්ම දෙමළ ජාතික සන්ධානය මෙවැනි ප‍්‍රතිචාරයක් දැක්වූවේ ඇයි?

මෙම පැනයට පිළිතුර සොයා ගත හැකිවන්නේ දෙමළ ජාතික සන්ධානය විසින් නියෝජනය කෙරන දෙමළ සමාජයෙහි පංතිමය ස්ථරය කුමක්ද? යන්න සහ කොටි සංවිධානය ඇතුළු ආයුධ සන්නද්ධ සටන්කාමී සංවිධානවල බහුතරය විසින් නියෝජනය කළ පංතිමය ස්ථරයන් මොනවාද යන්න පිළිබදව අවධානය යොමු කිරීමෙන්ය. ඇත්තෙන්ම සටන්කාමී සංවිධාන පෙරට ගෙනගියේ සහ සටන් කළේ දෙමළ ප‍්‍රභූ පංතියට අයත් දේශපාලනයෙහි න්‍යාය පත‍්‍ර වන අතර ඇත්තන්ම එවැනි සංවිධාන නොමැති තත්ත්වයක් තුළ පවා දෙමළ ප‍්‍රභූ පංතියෙහි දේශපාලනය පැවැතිය හැකිය. දෙමළ ප‍්‍රභූ දේශපාලන ව්‍යාපෘතිය සැමවිටම දෙමළ සමාජයෙහි දේශපාලන අධිකාරීමය බලය තමන් සතුව පවත්වා ගැනීමට උත්සහ දැරූ අතර එය සටන්කාමීන් අතට පත්වීමට කිසිම අන්දමකින් වත් ඉඩ නොතබයි. ඇත්තෙන්ම දෙමළ ජාතික සන්ධානය උත්සහ දරමින් සිටින්නේ දෙමළ ජාතික සන්ධානයෙහි අභ්‍යන්තරයෙහි පවා සටන්කාමී සංවිධානවල දැනට පවතින දායකත්වය අහෝසි කර අභ්‍යන්තරික පිරිසිදු කිරීමක් උදෙසාය. 

මෙවර මහ මැතිවරණයට දෙමළ ජාතික සන්ධානයෙන් හිටපු කොටි සාමාජිකයන්ගේ පිරිසකට නාම යෝජනා ඉල්ලා සිටි විට එම යෝජනාව දෙමළ ජාතික සන්ධානය විසින් ප‍්‍රතික්‍ෂේප කිරීම පිළිබදව දෙමළ ජාතිකවාදි ප‍්‍රවාහයෙහි ප‍්‍රමුඛයෙකුගෙන් විමසූ විට ඔහු පැවැසුවේ “අපි කැමැති ඒ අය සටන්කාමීන් විදියට දැකීමට මිසක් වේට්ටි ඇදගෙන පාර්ලිමේන්තු යනවා දකින්න නෙමෙයි” යනුවෙන්ය. මෙම තත්ත්වය පැහැදිලි කිරීමට බර අදින අලින්ගේ සහ ධාතු කරඩුව වඩම්මන ඇතුන්ගේ වෙනස පිළිබද උපමාව සෑහේදැයි නොදනිමි. නමුත් කොටි කාඩර්වරු සටනේදී වීරයන් වූවා විය හැකිය. නමුත් ප‍්‍රභූ දේශපාලනයෙහිදි ඔවුන් කේඩෑරී වූ අය ලෙසින් සැලකෙයි. දකුණෙහිද තත්ත්වය එසේමය. යුද්ධය දිනූ අය පාර්ලිමේන්තුවට ගියේ නම් පාර්ලිමේන්තුව යනු දියවන්නා ඔයෙන් වටව ජයවර්ධනපුර කෝට්ටේ දැන් පවතින දේ මෙන් නොව පනාගොඩ කදවුර වැනි දෙයක් විය යුතුය.

 
සාමිනාදන් විමල්

උපුටා ගැනිම : සමබිම අගෝස්තු කලාපය

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment