සෞම්‍ය යෝජනාවක් ඒකමතිකව සම්මත වේවි -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Sep 16th, 2015 | By | Category: OTHER NEWS, දේශපාලන, ප්‍රතිසන්ධානය, සුදර්ශන ගුණවර්ධන

ලංකාව සම්බන්ධයෙන් පසුගිය කාලේ ජාත්‍යන්තර වේදිකාවේ තිබුණු මතය සෑහෙන්න වෙනස්වෙලා තිබෙන බවක් පෙනෙනවා. නමුත් ඒකට ඉතිහාසයක් තියෙනවා නේද?

යුද්ධය සම්බන්ධයෙන් 1994 දක්වා යම් ප‍්‍රමාණයකට බලපෑමක් ගේන්න උත්සාහ කළාට ඒක සාර්ථක වුණේ නැහැ. 94න් පස්සේ ආපු ආණ්ඩුව මානව හිමිකම් හිතවාදී ප‍්‍රතිපත්තියක් තමයි ගෙනිච්චේ. විවිධ ජාත්‍යන්තර සම්මුතිවලට අත්සන් කරලා එහෙම මානව හිමිකම් වාර්තාවත් හොඳ කරගත්තා. ඒ නිසා ජාත්‍යන්තරයේ රටවල් හිටියේ ලංකාවට උදව් කරන්න ඕනෑ කියන තැන. යුද්ධය උත්සන්න වුණාමත් ඒක ලංකාවේ ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් විදියට නෙවෙයි ජාත්‍යන්තරය දැක්කේ. එල්ටීටීඊ එකත් නැමෙන්නේ නැහැ කියන තක්සේරුව ඔවුන්ගේ තිබුණා. මොකද, ආණ්ඩුව යුද්ධ කළා වුණත් දේශපාලන විසඳුමකුත් ඉදිරිපත් කළා. ඒ අතර 2001දි අමෙරිකාවට අල්කයිඩා ප‍්‍රහාරයත් එක්ක ත‍්‍රස්තවාදයට විරුද්ධ ලෝක පරිමාණ විරෝධතාවක් එන්න පටන්ගත්තා. මේ ආදි කරුණු නිසා ජාත්‍යන්තර වශයෙන් එල්ටීටීඊ එක ගැන තිබුණු අනුකම්පාවත් අඩු වෙමින් පැවතුණා.

මහින්ද රාජපක්‍ෂගේ කාලයේ මේ තත්ත්වය වෙනස්වෙන්නේ කොහොමද?

2005දී මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය කරලා අවුරුදු දෙකක් විතර සාකච්ඡාමය ක‍්‍රියාදාමයත් අරන් ගියා. යුද්ධය ඇරඹුණාට පස්සේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන චෝදනා සොයාබැලීමට ආණ්ඩුව එකඟ වුණා. මේක ආවේ ප‍්‍රතිචාරයක් වශයෙන්. ඒ කියන්නේ, යුද්දෙ පටන් ගත්තා, මානව හිමිකම් උල්ලංඝනය වෙන්න පුළුවන්, ඒ ගැන අධීක්‍ෂණය කරන්න මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ක්‍ෂෙත‍්‍ර කාර්යාල කිලිනොච්චියේත් කොළඹත් පිහිටුවන්න කියන ඉල්ලීමට ප‍්‍රතිචාරයක් වශයෙන්. ක්‍ෂෙත‍්‍ර කාර්යාල පිහිටුවන්න ආණ්ඩුව එකඟවුණේ නැහැ. නමුත් කිව්වා, ලංකාව හා විදේශ නියෝජිතයන් එකට වැඩ කරන හයිබි‍්‍රඞ් පරීක්‍ෂණ කොමිෂන් සභාවක් පත්කරන්න කැමතියි කියලා. උදලාගම හිටපු විනිසුරුගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණ කොමිෂන් සභාවක් පත්කරන්නේ ඒ අනුවයි. ඉතින් එහෙම හයිබි‍්‍රඞ් එකක් මුලින්ම ගෙනෙන්නේ මහින්ද රාජපක්‍ෂගේ කාලේ.

නමුත් පසුව යුද්ධය උත්සන්න වෙනවා..

2008දී වගේ යුද්ධය උත්සන්න වුණු කාලේ යම්කිසි ප‍්‍රමාණයක් බටහිර රටවල්වලට වුවමනාවක් තිබුණා යෝජනාවක් ගෙනෙන්න. නමුත් කවුන්සිලය ඇතුළේ අවශ්‍ය සහයෝගය තිබුණේ නැහැ. ආසියානු, අප‍්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල සහයෝගය නැතුව ඒක කරන්න බැහැ. 2009 ජාත්‍යන්තර වශයෙන් ආ මැදිහත්වීම් ඔක්කොම අක‍්‍රිය වෙලා යුද්ධය උත්සන්න වුණා. යුද්ධය අවසානයේදී කවුන්සිලයේ විශේෂ සමුළුවක් කැඳවලා යෝජනාවක් ගෙනාවා. ඒත් ඒ යෝජනාව පරාජය කරන ප‍්‍රතියෝජනාවක් ගෙනෙන්න ලංකාවට පුළුවන් වුණා, චීනය ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල සහයෝගය ඇතිව. එනිසා 2009 කියන්නේ එක්තරා සන්ධිස්ථානයක්. එක පැත්තකින් යුද ජයග‍්‍රහණය ගැන සුබපැතුම් ලැබුණා. නමුත් ජයග‍්‍රහණයෙන් පස්සේ යම්කිසි පියවර අරන් මේ ප‍්‍රශ්නයට තුඩුදුන් හේතු හොයනවාය කියන ජාත්‍යන්තර අදහසකුත් ආවා.

2009දී මහින්ද හා බෑන් කී මූන් අතර එකඟතාව එහි ප‍්‍රතිඵලයක්ද?

යුද්ධය අවසන් වූ වහාම බැන් කී මූන් ලංකාවට ආවා. ලංකාව ඒක දැක්කේ ලොකු ජයග‍්‍රහණයක් වශයෙන්. උඩින් ගිහින් යුද කලාපය එහෙම බලලා මූන් හා ලංකාව ඒකාබද්ධ ප‍්‍රකාශයක් අත්සන් කළා. එහි කරුණු තුනක් ගැන එකඟවුණා. එක, යුද්ධය අවසාන කාලයේ සිදුවූවායැ’යි කියන මානව හිමිකම් හා මානවවාදී නීති උල්ලංඝනයන් සම්බන්ධව ඇති චෝදනා ගැන පරීක්‍ෂණයක් පවත්වනවාය කියන කාරණය. දෙක, යුද්ධයේදී අවතැන් වූ සියලූ දෙනාම හැකි ඉන්මනින් නැවත පදිංචි කරනවා කියන එක. තුන, වාර්ගික ගැටලූවට දේශපාලන විසඳුමක් දෙනවාය කියන එක. මේක අලූත් යුගයක ආරම්භයක්.

අමෙරිකාව මේ කාලයේ දැක්වූ ප‍්‍රතිචාරය මොකක්ද?

මේ කාලයේදී ලංකාව ගැන යෝජනාවක් ගෙනෙන්න අමෙරිකාව කිසිසේත්ම සහාය දුන්නේ නැහැ. ලංකාවට යෝජනාවක් ගෙනෙනවාට විරුද්ධව තමයි අමෙරිකාව හිටියේ. නමුත් ඔවුන් හිතුවා බෑන් කී මූන් එක්ක ආ එකඟතාව අනුව ලංකාව ක‍්‍රියාකරාවි කියලා. ඉන්දියාවත් ඒ වෙලාවේ දේශපාලන විසඳුමක් ගැන බර තැබුවා. අනෙකුත් බටහිර රටවල උනන්දුව තිබුණේ වගවීම සම්බන්ධ කාරණයට.

මේ වෙලාවේ දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායම් කිව්වේ ලංකාවේ වාර්ගික සමූල ඝාතනයක් වුණා කියලා. නමුත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ අදහස පිළිගත්තේ නැහැ. ඔවුන් කිව්වේ සමූල ඝාතනයට අදාළ ඔප්පුකිරීමේ භාරය හුඟක් වැඩියි, ඒක දැම්මොත් අසමත් වෙන්න පුළුවන් කියන එක. හැබැයි ඔවුන් කිව්වා, මෙතැන මානව හිමිකම් හා මානවවාදී නීති කැඞීමේ තත්ත්වයක් තියෙනවා, ඒකට යුද වැදුණු දෙපාර්ශ්වයම වගකිව යුතුයි කියලා. අමෙරිකාව දිගින් දිගටම කිව්වේ ලංකාව පොරොන්දු වෙච්ච විදියට ලංකාව විසින්ම මේක කරන්න කියලා. ඔවුන් කිව්වේ අනිත් අයටත් පිළිගන්න පුළුවන් විදියේ විශ්වාසවන්ත ජාතික යාන්ත‍්‍රණයක් හදන්න කියලා. ඒ කතාවට පදනම හැදුණේ 2009දී මහින්ද- මූන් එකඟතාවෙන්. ලංකාවේ මානව හිමිකම් සංවිධානත් විශ්වාසවන්ත ජාතික යාන්ත‍්‍රණයක් ගැනයි කිව්වේ.

මූන් එක්ක වුණු එකඟතාව ලංකාව පැත්තෙන් ආරක්‍ෂා වුණේ නැහැ නේද?

ඔව්. ආණ්ඩුව කිව්වේ, ‘එහෙම මුකුත් නෑ, මේක අපේ රට ඇතුළේ ප‍්‍රශ්නයක්’ කියලා. ආණ්ඩුව මෙහෙම කිසි දෙයක් නොකරන තත්ත්වයක් උඩ තමයි ජාත්‍යන්තර වශයෙන් ලොකු බලපෑමක් ආවේ. බෑන් කී මූන් පවා යමක් කරන්න ඕනෑ කියන තැනට ආවා. ඔහු තමන්ට උපදෙස් දීම සඳහා දරුස්මාන් කමිටුව පත්කරනවා. මේක පත්කළ ගමන්ම ලංකාව කිව්වා අපි විරුද්ධයි කියලා. නමුත් ආරම්භයේදී දරුස්මාන්ලා පවා හිටියේ, ‘ලංකාවේ ආණ්ඩුව කියන එකේත් ඇත්තක් තියෙනවා’ කියන ලංකාවට හිතවත් තත්ත්වයක. නමුත් ලංකාවේ ආණ්ඩුව මේ ක‍්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැති නිසා හා ලංකාව තුළ කිසිවක් කරන්නේත් නැති නිසා තත්ත්වේ ක‍්‍රමයෙන් බරපතළ වුණා. දරුස්මාන් කමිටුව මේ ගැන හොයන්න පටන්ගත් විට ලංකාවේ ආණ්ඩුව සහාය දෙන්නේ නැහැ කිව්වාම තනියෙන්ම විමර්ශනය කළා. පැමිණිලි තියෙනවා. උත්තර නැහැ. නමුත් දෙමළ සමාජයේ ඉන්න එල්ටීටීඊ විරෝධී කණ්ඩායමුත් කමිටුවට සාක්‍ෂි දුන්නා. මේ තත්ත්වය යටතේ ලංකාව සහභාගිවෙන්නේ නැතිව පවා, දරුස්මාන් කමිටුව චෝදනා පහක් ලංකාවේ ආණ්ඩුවට විරුද්ධවත්, චෝදනා හයක් එල්ටීටීඊයට විරුද්ධවත් ඉදිරිපත් කළා. එක්තරා සමබර බවක් එහි තිබුණා. ඔවුන් කිව්වේ අපිට සාක්‍ෂි තියෙනවා, මේ ගැන පරීක්‍ෂණයක් තියන්න කියලායි. ඊට පස්සේ පරීක්‍ෂණයක් තැබිය යුතුයි කියන අදහස ඉදිරියට ගියා.

ලංකාව දරුස්මාන් කමිටුවට විරුද්ධවුණේ කුමන හේතු නිසාද?

ලංකාව කිව්වේ මහලේකම්ට එහෙම එකක් පත්කරන්න බලයකුත් නැහැ. වාර්තාව කවුන්සිලයට යවන්න බලයකුත් නැහැ වගේ තාක්‍ෂණික කාරණා. හැබැයි ලංකාව් කිව්වා, අපි දැන් එල්එල්ආර්සී එක දාලා තියෙනවා කියලා. එල්එල්ආර්සීය ගැන මුලදි ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එය විවේචනයට ලක්කළා. ආණ්ඩුව කිව්වා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට ඇවිත් එල්එල්ආර්සීයට සාක්‍ෂි දෙන්න කියලා. ඔවුන් ආවේ නැහැ නමුත් කිව්වා, මෙහෙ අය දරුස්මාන් කමිටුවට සාක්‍ෂි දුන්නොත් හොඳයි කියලා. ලංකාවේ ආණ්ඩුවේ අය වගේම එල්එල්ආර්සීයත් අන්තිම අවස්ථාවේදී දරුස්මාන් කමිටුව හමුවෙන්න ගිහින් සහාය දැක්වූවා රහසිගතව.

2012 කවුන්සිලයේදී යෝජනාවක් එනවා..

2012 වෙනකොට තත්ත්වය හොඳටම දරුණුයි. යෝජනාවකට අවශ්‍ය තත්ත්වය ආවා. 2011දී එල්එල්ආර්සී වාර්තාව ඇවිත් ඒ ගැන ආණ්ඩුව මොකුත් කරන්නේ නැතිව ඉන්නකොට අමෙරිකාව ඇවිත් කිව්වා, අපි ලංකාව ගැන කවුන්සිලයේ යෝජනාවක් ගේන්න හදනවාකියලා. එයින් කියන්නේ ප‍්‍රතිසන්ධානය හා වගවීම ගැන කටයුතු කරන්න සහ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කියලා. ඔවුන් කිව්වේ ජාත්‍යන්තර සහයෝගය ඇතිව ලංකාවේ පරීක්‍ෂණය කරන්න කියලායි. එතැනදී ඩයස්පෝරාව වගේම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානත් කිව්වේ මේක මදියි කියලා. නමුත් යුරෝපා සංගමය වගේම ඉන්දියාවත් අමෙරිකාවට සහාය දුන්නා. එනිසා ඒක හුදු බටහිර වැඩක් හැටියට නෙවෙයි ආවේ. එතැනදීත් ලංකාවේ ආණ්ඩුව කිව්වා, යෝජනාවක් ගේනවාට අපි විරුද්ධයි කියලා. විශාල නියෝජිත පිරිසක් කවුන්සිලයට යවලා, චීනයේත් උදව් ඇතිව ආණ්ඩුව හැදුවා මේ යෝජනාව පරාජය කරන්න. එතැනදී අමෙරිකාවත් එක්ක එදිරිවාදී තත්ත්වයකට තමයි ගියේ. ඒ විතරක් නෙවෙයි යෝජනාව සමග කටයුතු කරන මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ටත් හිරිහැර කරන තත්ත්වයකට ලංකාව ආවා. අමෙරිකාව ඇතුළු රටවල් මේක දැක්කේ නරක පූර්වාදර්ශයක් විදියට. රටක් මෙහෙම කළෝතින් කිසිම රටක් ඇතුළෙන් තොරතුරු ලැබෙන්නේ නැතුව යනවා. ඔවුන් ආණ්ඩුවට කිව්වා, ක‍්‍රියාකාරි සැලැස්මක් දෙන්න කියලා. ආණ්ඩුව එය ප‍්‍රතික්‍ෂෙප කළා. නමුත් 2012-13 කාලේදි ක‍්‍රියාකාරි සැලැස්ම දැම්මා. නමුත් ඒක දියාරු සැලැස්මක්. ඒ අතරේ, ඒකෙන් විශාල කොටසක් දැනටමත් කරලා තියෙනවා කියලා බොරුත් කිව්වා.

2013 දෙවැනි යෝජනාව එනවා..

ඒ වෙනකොට තවත් ඒ යෝජනාව ඉදිරියට ආවා. ඒත් ලංකාවේ ප‍්‍රතිචාරය ඒ වාගේමයි. හැබැයි, ඒ වෙනකොට ලංකාවේ උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි, අනෙක් ප‍්‍රදේශවලත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ‘හිඟයක්’ තියෙනවා, ඒකටත් විසඳුමක් තිබිය යුතුයි කියන අදහස මතුපිටට ආවා. එතෙක් කලක් ආණ්ඩුව කියමින් හිටියේ අපි ඡුන්ද ඔක්කොම දිනනවා, අපිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනවරමක් තියෙනවා කියලා. නමුත් රතුපස්වල, කටුනායක වගේ සිදුවීම් වෙන්න ගත්තාම ඒවා අමෙරිකාවේ අර අදහසට පදනමක් සැපයුවා. ඒ වාගේම එතෙක් නිහඬව හිටි සමහර රටවල් නම්මාගන්නත් ඒ තත්ත්වය උදව්වුණා. ත‍්‍රස්තවාදය පරාජය කළාට ඉන් පස්සේ ආණ්ඩුව 18 සංශෝධනයත් ගෙනල්ලා, අධිකරණයටත් අත තිබ්බා කියන කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඈත් වෙමින් ඉන්නවාය කියන අදහස තදින් ආවා. මේ විදියට මේක දේශපාලන හැඩයක් ගත්තා.

2014 වෙනකොට ඉතාම පැහැදිලි වුණා, තවදුරටත් ලංකාවේ ආණ්ඩුවට කියලා වැඩක් නැහැ කියලා. 2012-13දී ආ යෝජනාවල තිබුණේ ‘ලංකාවේ කැමැත්ත පරිදි’ මානව හිමිකම් මහකොමසාරිස්වරිය සමග ඒකාබද්ධව වැඩ කරන්න කියලා. බලපෑමක් නැහැ. ‘කැමැත්ත පරිදි’ කියන කෑල්ල ආවේ ඉන්දියාවේ බලපෑම උඩ. නමුත් 2014දී ආවා අලූත් කෑල්ලක්, මහකොමසාරිස්වරිය ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්න ඕනෑය කියලා. 2014 සැප්තැම්බර්වලදී වාචික වාර්තාවක් දෙන්න, 2015 මාර්තුවේදී ලිඛිත වාර්තාවක් දෙන්න කියලා. ලංකාවේ ආණ්ඩුව කැමති නම් කොමසාරිස් එක්ක වැඩකරන්නත් නැතිනම් නිකං ඉන්නත් පුළුවන්. නමුත් කොමසාරිස්ට බලයක් දුන්නා, වෙනම වාර්තාවක් දෙන්න කියලා. ඒ අනුව නවි පිල්ලේත්, ඇගේ කාර්ය මණ්ඩලයත් ලංකාවට ආවා. ඔවුන් ලංකාවේදී අපිත් එක්ක කිව්වේ, ‘2009 මැයි මාසෙට පස්සේ එක තුවක්කුවක්වත් පත්තු වුණේ නැහැ කියලා ආණ්ඩුව කියනවා, ඒක ශක්තිමත් තර්කයක්’ කියලා. නමුත් මහකොමසාරිස්ගේ පරීක්‍ෂණයට ලංකාවට එන්න දුන්නේ නැහැ. ඉතින් පිටතින් සාක්‍ෂි විමසමින් ඔවුන් විමර්ශනය කරගෙන ගියා. ලංකාවේ ආණ්ඩුව දිගටම කයිවාරු ගගහා හිටියා. රාජ්‍යයේ අසමත්වීම තමයි එතැන තියෙන්නේ. නවි පිල්ලේ ලංකාවට ආවාමත් උද්ඝෝෂණ එහෙම කළා. සාමාන්‍යයෙන් මේ නිලධාරීන් ආණ්ඩුවලට පක්‍ෂපාතයි. නමුත් ඔවුන්ටත් පෙනුණා ලංකාවේ ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. ඉතින්් නවි පිල්ලේ 2014 සැප්තැම්බර්වලදී තද වාචික වාර්තාවක් දුන්නා.

ඇත්තටම 2014 ඉවර වුණේ කවුරුවත් සතුටු වෙලා නෙවෙයි. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට මේක මදි. ආණ්ඩුවට මේක වැඩියි. මේ අතරෙදි තමයි 2014 පෙරළිය වුණේ. ලංකාවේ බොහොම අය වගේම ජාත්‍යන්තරයත් හිතුවේ නැහැ ඒ පෙරළිය වෙයි කියලා. නමුත් ඒක වුණා. ඊට පස්සේ ආණ්ඩුවකුත් පත්කර ගත්තා. ප‍්‍රතිසංස්කරණ යම් ප‍්‍රමාණයකුත් කරගත්තා. මේක රටක් හැටියට ලොකු ජයග‍්‍රහණයක්.

කොහොමද ජාත්‍යන්තර අදහස වෙනස්වෙන්නේ?

ජාත්‍යන්තර සමාජය ලංකාව වගේ රටවල් දිහා බලන්නේ නොදියුණු ජාතියක් හැටියටනේ. එහෙම හිටපු ජාතියක් කිසිම ජාත්‍යන්තර උදව්වක් නැතිව, මෙහෙම වෙනසක් කරගත්තා, අරගෙන ඒක කළමනාකරණය කරගත්තා, එයින් මේ වෙනස්කම් කළා කියන එක නිසා ලොකු යහපත් පණිවුඩයක් ලෝකයට ගියා. ඒ අතරම මේ ආණ්ඩුවට ගොඩාක් හිරිහැර කළොත් ඒකේ ප‍්‍රතිඵලයක් ලෙස රාජපක්‍ෂලා ආයෙත් හිස ඔසොවාවි කියන අදහසත් ඔවුන් තුළ තිබුණා.

මේ වෙනස්කම් වෙන්න හේතුව මානව හිමිකම් කවුන්සිලය දේශපාලන මණ්ඩලයක් නිසා. ඔවුන් බලන්නේ දේශපාලනිකව. ඒ වගේම අමෙරිකාව මැදිහත් වෙච්ච බොහොමයක් රටවල ගැටුම් අවසානයක් දැකලා නැහැ තාම.ලංකාව ඔවුන්ට අනුව කාලෙකට පස්සේ ආ සක්සෙස් ස්ටෝරි එකක්. එනිසා මේ වෙනස රකින්න ඔවුන් දේශපාලනිකව කැමතියි.

බටහිර රටවලටත් අවශ්‍යයි ලංකාව සමග නැවත වෙළෙඳ සම්බන්ධතා හදාගන්න. උදාහරණයක් හැටියට ජීඑස්පී ප්ලස් යළි දෙන්න ඔවුන් කැමතියි. නමුත්, ඒවා දෙන්න යම්කිසි අවම ප‍්‍රතිපත්තියක් හදාගන්නත් ඔවුන්ට අවශ්‍යයි. ඒ නිසා තමයි, මාර්තු මාසේදී ලොකු චාන්ස් එකක් කවුන්සිලයේදී ලංකාවට ලැබුණේ. ඒක සාමාන්‍යයෙන් දෙන දෙයක් නෙවෙයි. එක්සත් ජාතින්ගේ පද්ධතිය ඇතුළේ වාර්තාවක් දෙන්න කියලා තියෙනවා නම් දෙන්නම ඕනෑ. කල් දමන්නේ නැහැ. ලංකාවේ අලූත් ආණ්ඩුව අමෙරිකාවට කතාකළා. මහකොමසාරිස්ට කතාකළා. මහකොමසාරිස් රටවල්වලට කතාකළා. රටවල් කිව්වා මහකොමසාරිස්ට ‘වාර්තාව කල් දාන්න’ කියලා. මහකොමසාරිස් කිව්වා ‘සාමාජික රටවල්වල ඉල්ලීම පරිදි කල් දානවා’ කියලා. ඒකෙන් පෙනෙනවා ඔවුන්ගේ දේශපාලන වුවමනාව නව රජයට වාසිසහගත විදියටයි වැඩ කරන්නේ කියලා.

ලංකාවේ දෙමළ සමාජය මේ තත්ත්වය දැක්කේ කොහොමද?

වාර්තාව කල් ගියාම දෙමළ සමාජයට ප‍්‍රශ්නයක් ආවා. ඔවුන් බලා හිටියේ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් වෙලා එතැනින් පස්සේ සාධාරණයක් ඉෂ්ට වෙයි කියලානේ. රටේ පොදු චිත‍්‍රය වෙනස්වුණාට තමන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරක් නැහැ කියලා ඔවුන්ට තේරෙනවා. ඔවුන් බැලූවේ අලූත් ආණ්ඩුව ආවා වුණාට ජාත්‍යන්තර බලපෑම දිගටම තියාගන්නයි. නමුත් ජාත්‍යන්තර දේශපාලන බලපෑම අඩුවුණා. මාස හයක් කල් ගියාම ඔවුන් චෝදනා කළා, කොළඹ සිවිල් සමාජය තමයි ජිනීවා ගිහින් මේක කල් දාන්න කියලා මැදිහත් වුණේ කියලා.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන?

මේ වෙලාවේදී ඔවුනුත් ටිකක් අවුල්වෙලා ඉන්නේ. ඔවුනුත් හිටියේ දේශීය වශයෙන් මේක කරලා වැඩක් නැහැ, ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍යයිම කියලා. නමුත් අමෙරිකාවත් කිවුවාම අපි ලංකාවට සහයෝගය දෙනවා කියලා වැඬේ ටිකක් අවුල් වුණා. මානව හිමිකම් මහකොමසාරිස් වාර්තාවත් මේ වනතෙක් එළියට ඇවිත් නැහැ. සාමාන්‍යයෙන් මේ වාගේ දෙයක් එන්න ඉස්සෙල්ලා ලීක් වෙනවාම තමයි. නමුත් මේ පාර එහෙම නොවීමත් විශේෂයි. වාර්තාවේදී දරුස්මාන් වාර්තාව ගැන සලකා බලා තියේවි. ඒ වාගේම නවි පිල්ලෙයි විසින් ඉදිරිපත් කළ වාර්තාවත් සලකාවි. ඒ වාගේම මෙවර මහ කොමසාරිස්ගේ කමිටුව විසින් සකස් කළ වාර්තාව. මේ තුනම බලලා එකක් එයි. ඉතා පැහැදිලිව දැන් පෙනෙන විදියට එන්නේ, ලංකාව, මහකොමසාරිස්ට, බැන් කී මූන්ට, ජෝන් කෙරීට පොරොන්දු වෙලා තියෙන විදියට දේශීය වශයෙන් පරීක්‍ෂණයක් කරන්න, එය ජාත්‍යන්තර ප‍්‍රමිතියක් මත ජාත්‍යන්තර සහයෝගයෙන් කරන්න කියන යෝජනාවයි. ඉතාම සෞම්‍ය යෝජනාවක් එන්නයි ඉඩ තියෙන්නේ. ඒක ඒකමතිකව සම්මත වෙන්නත් ඉඩ තියෙනවා. අලූත් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් පත්වුණා, 18 සංශෝධනය අහෝසි කළා, ව්‍යවස්ථාදායක සභාව යළිත් ඇතිකළා, උතුරු නැගෙනහිර මිලිටරි ආණ්ඩුකාරවරුන් වෙනුවට සිවිල් අය පත්කළා, විපක්‍ෂ නායක ධුරය ටීඑන්ඒ එකට ලබාදුන්නා වැනි දේවල් ඔක්කොම යහපත් කාරණා හැටියට ඔවුන් සලකන්න හොඳටම ඉඩ තියෙනවා.

අරුණ ජයවර්ධන

උපුටා ගැනිම : www.ravaya.lk

 

Recent Posts

Tags: , , , , , , , , , , , , , , ,

Leave a Comment