ජිනීවා – අත්ත බිඳෙයි පය බුරුලෙන්

Sep 29th, 2015 | By | Category: OTHER NEWS, දේශපාලන, සුදර්ශන ගුණවර්ධන

 සී. ඒ. චන්ද්‍රප්‍රේම යනු දි අයිලන්ඩ් පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයාය. ගෝඨාගේ යුද්ධය නමින් පොතක් ලියා යුද්ධ ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තනි භුක්තියට සවි කරන ලද්දේ ඔහු විසිනි. ජිනීවාහි රැස්වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව කසල ගොඩට දැමිය යුතු යැයි ඔහු යෝජනා කරයි.

 මෙහිදී අප විසින් කිවයුත්තේ චන්ද්‍රප්‍රේම මහතා තම මතය සම්බන්ධයෙන් අවංක බවයි. සන්නද්ධ බලයේ ඒකාධිකාරය (ජාතික ) රාජ්‍යය සතු බව විශ්වාස කරන ඔහු, එම සන්නද්ධ බලයේ ඒකාධිකාරයට එරෙහිව තරග කරන හෙවත් සන්නද්ධ අරගලයක් මෙහෙයවන ඕනෑම සංවිධානයක් හෝ පුද්ගලයෙකු පොඩිපට්ටම් කරදැමීමට එකී රාජ්‍යයට සුජාතභාවයක් ඇතැයි විශ්වාස කරයි. රටක අභ්‍යන්තරයේ සිදුවන අවි ගැටුමක් ඔහුට අනුව අනිවාර්යයෑන්ම ත්‍රස්තවාදයකි. ’71 දී, ’88-89 දී හෝ 2009 දී රාජ්‍යය විසින් එකී ඊනියා ත්‍රස්තවාදය පරාජය කිරීම ඔහුට අනුව සාධාරණ ක්‍රියාවකි. 1991 දී දකුණේ අතුරුදහන්වීම් ගැන කරුණු කියන්නට (විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ වචනයෙන් කිව්වොත් කේලාම් කියන්නට ) ජිනීවා නුවර එවකට පැවැති මානව හිමිකම් කොමිසම වෙත ගිය එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ව සිටි මහින්ද රාජපක්ෂ පවා චන්ද්‍රප්‍රේමගේ නිර්දය විවේචනයට ලක්වෙයි.

 ලංකාවේ මානව හිමිකම් සහ මානවවාදී නීති කඩකිරීම් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහකොමසාරිස්වරයාට ඇණැවුම් ලැබුණේ 2014 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් යුරෝපා සංගමයේද සහාය ඇතිව සම්මත කරන ලද යෝජනාවක් මගිනි.  ඒ අනුව එම වාර්තාව යනු 2009 මැයි මාසයේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයෙන් අනතුරුව ඇරැඹුණු ජාත්‍යන්තර ක්‍රියාවලියක තර්කානුකූල ඉදිරි පියවරකි.

 චන්ද්‍රප්‍රේම මහතා කියන ආකාරයට මහකොමසාරිස්වරයාගේ වාර්තාව කසල ගොඩට දැමිය හැකිද? කළ හැකිය. ඔහු වැනි අයගේ අවවාද අනුශාසනා අනුව රාජපක්ෂ රෙජීමය සමයේ සිදුවූයේ එයයි. මෙවරද එසේ කිරීම මගින් සිදුවනුයේ මීට පෙර 2012, 2013 සහ 2014 වසරවල සිදුවූවාක් මෙන් ලංකාවේ සහයෝගය හෝ අනුග්‍රහය නොමැතිව ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධ යෝජනාවක් ඇමරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබීමයි. එවිට, ලංකාවේ ආණ්ඩුවට එයට විරුද්ධ වීමට නිතැතින්ම සිදුවන අතර, ලංකාවේ සහය නොමැතිව අදාළ යෝජනාව සම්මත වනු ඇත.

 එමගින් ඇතිවිය හැකි භූමි දර්ශනය හෙවත් සිනාරියෝව පහත පරිදිය. ලංකාවේ නව රජය හෙවත් මෛත්‍රී- රනිල් සම්මුතිවාදී ආණ්ඩුවද හරයෙන් රාජපක්ෂ රෙජීමයට වෙනස් නොවන බව ජාත්‍යන්තර ප්‍රජාවේ බලවත් රටවල් අතර තහවුරු වනු ඇත. ජාත්‍යන්තර මානවවාදී නීති සහ මානව හිමිකම් නීති විෂයෙහි ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි ඇති බැඳීම් වලට ගරුකොට වගවීම සහතික කිරීමට ලංකා ආණ්ඩුව අපොහොසත් වන තත්ත්වයක් තුළ ඒ සම්බන්ධව ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම ආරම්භ වනු ඇත. රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නැති ලංකාවේ මෙම ප්‍රශ්නය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (අයි සී සී ) ඉදිරිපත් කිරීම සඳහා මේ මොහොතේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බැවින් එය පහසු නොවන බව සැබෑය. එහෙත් ඒ සඳහා වන ක්‍රියා මාර්ග ආරම්භ වෙත්ම ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවේ බලවත් රටවල් වෙතින් නැවතත් කොන්වනු ඇත.

 රාජපක්ෂ රෙජීමයෙන් මුදා ගත් ලංකාව නව අනාගතයක් කරා ගෙන යෑම සම්මුතිවාදී ආණ්ඩුව කෙරෙහි එය බලයට පත් කළ සිවිල් සමාජ බලවේග ඇතුළු මහජනයා විසින් පැවරූ වගකීමයි. එහිදී රටේ ආර්ථික සංවර්ධනය මෙන්ම සුළු ජාතික සහ ආගමික කොටස්ද, ස්ත්‍රීන් සහ ළමයින්ද ඇතුළු සියළු ජනයාගේ මානව ආරක්ෂාව සැපයීම සහ අධ්‍යාපනය, සෙෘඛ්‍යය ආදී මහජන සේවා නංවා ලීමද ආණ්ඩුවේ ප්‍රමුඛතාවයන් වේ. එම ප්‍රමුඛතාවයන් යථාර්ථයක් කරගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ බලවත් රටවල ආර්ථික සහ දේශපාලන සහයෝගය දිනා ගැනීම අත්‍යවශ්‍ය වේ. එවන් රටවල සහයෝගය ඇතිව ඉදිරියට ආ ක්‍රියාවලියක සන්ධිස්ථානයක් වූ මහකොමසාරිස්වරයාගේ වාර්තාව කසල ගොඩට දැමීම යනු නව ආණ්ඩුව සියතින් ගෙල සිඳ ගැනීමකි. එයින් එම ආණ්ඩුව බලයට පත් කළ ජනවාරි 08 බලවේගයේ අපේක්ෂාව ඉටු නොවන අතර සිදුවනු ඇත්තේ ආර්ථික වශයෙන් බිඳ වැටීමකට ලක්වන නව ආණ්ඩුව මහින්ද රාජපක්ෂවාදී බලවේගවලින් ආදේශ වී චන්ද්‍රප්‍රේම මහතා වැනි අයගේ අපේක්ෂාව ඉටු වීමයි. ඒ සඳහා අප විසින් කිසිසේත් ඉඩ දිය යුතු නොවේ.

 අපගේ අපනයනයන් සමබන්ධව බදු සහන ලබා දෙමින් යුරෝපා සංගමය විසින් අපට ලබා දුන් ජී එස් පී ප්ලස් නම් සහනය පසුගිය රාජප්ක්ෂ රෙජීමය සමයෙහි අපට අහිමි විය. එයට හේතුව මානව හිමිකම් පිළිබඳ අපගේ කැරැට්ටුව නරක් වීමයි. ඒ පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා යුරෝපා සංගමය අවස්ථාව ඉල්ලා සිටි විට රාජපක්ෂ රෙජීමය ස්වෛරීභාවය නමැති දිරුණු කඹයෙහි එල්ලී එය ප්‍රතික්ෂේප කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ අපනයනයන් කෙරෙහි විශාල අහිතකර බලපෑමක් ඇති විය. එය රටේ ආදායමට මෙන්ම රැකියා උත්පාදනයටද බලපෑවේය.දැන් එම තත්ත්වය ආපසු හරවා නැවත ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීම නව රජයේ අපේක්ෂාවයි. මහකොමසාරිස්වරයාගේ වාර්තාව කසල ගොඩට දැමීමෙන් එම අපේක්ෂාවන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අප විවෘතව මහජනයා සමග කථා කළ යුතුය.

 ආණ්ඩුව විසින් කළ යුත්තේ වාර්තාව ප්‍රතික්ෂේප නොකොට, එය පදනම් කොට ගෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව වඩා යථාර්ථවාදී එකක් කරගැනීම පිණිස මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන් සමග කේවල් කිරීමයි. ලංකාවේ නව රජය මේ වන විටත් ලබා ඇති ජයග්‍රහණ දෙස සුබවාදීව බලන ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවේ මෙම ප්‍රවේශය දෙස ධනාත්මක ලෙසින් දකින බව මේ වන විටත් පැහැදිලිය.

 මේ පිළිබඳව මහජනයා වෙත කරුණු පැහැදිලි කිරීමේදී ආණ්ඩුවට හිතවත් දේශපාලන විචාරකයන් පවා පය බුරුලෙන් අඩිය තබන බවක් පෙනේ. එසේ වන්නේ රටේ බහුතර සිංහල ජනතාව අතර සිටින කිසියම් ජාතිවාදියෙකු එම අදහස්වලින් කැළැබීමට පත්ව ආණ්ඩුව කෙරෙහි බිඳෙනු ඇතැයි යන සැකයෙනි. ‘ලයිෆ් ඉස් බියුටිෆුල්’ චිත්‍රපටයෙහි එන නාසි වධ කඳවුරක සිරගතව සිටින යුදෙව් ජාතික පියා තමන් ක්‍රීඩාවක යෙදෙන බව කියමින් තම සිඟිති පුත්‍රයා බියකරු යථාර්ථයෙන් වසං කරන්නාක් සේ ඔවුන් කරමින් සිටින්නේ බහුතර සිංහල ජනතාව සැනසීමය. ජාත්‍යන්තර වශයෙන් අප මුහුණ දී සිටින්නේ අර්බුදකාරී තත්ත්වයකට බවත්, එයින් ගැලවීම සඳහා රටක් සහ ජනතාවක් ලෙස අපි අපගේ අතීතයට අභිමුඛ වී විවෘත විය යුතු බවත් අප ජනතාවට බිය නැතිව කිව යුතුය. අප ඇත්තටම බිය වන්නේ චන්ද්‍රප්‍රේම මහතාට නොවේ. අප බියවන්නේ අප තුළම සැඟවී සිටින පසුගාමී අදහස්වලටය. අප තුළ සැඟව සිටින පසුගාමී ස්වෝත්තමවාදියා පරාජය කළ හැකි නම් අනාගතයට මුහුණ දීම එතරම් අපහසු නොවේ.

 සුදර්ශන ගුණවර්ධන

Recent Posts

Leave a Comment