මන්නාරම මාතලේට ගොඩක් ඈතද?- A Tale of Two Cities

Oct 9th, 2015 | By | Category: OTHER NEWS, Today Lead News

ඒ 2012 නොවැම්බර් මාසයයි. මාතලේ රෝහලට අනුබද්ධ නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු කරමින් සිටි කම්කරුවන් පිරිසකට මුහුණ දෙන්නට සිදුවූයේ අනපේක්ෂිත අත්දැකීමකටය. ඉදිකිරීම් සඳහා පොළොව කණින විට ඔවුන් භීතියට පත් කරමින් පොළොව යටින් මිනිස් ඇටසැකිලි මතු වන්නට පටන් ගත්තේය.

මෙම පුවත වහාම පොලීසියට දැනුම් දෙන ලදී. වැඩිදුර පරීක්ෂාව සඳහා එම බිම් පෙදෙස තවදුරටත් කණින ලෙස මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේය. එහි ප‍්‍රතිඵල ලෙස වර්ග අඩි 95 ක පමණ බිම් ප‍්‍රදේශයක් තුළ වළ දමා තිබූ මිනිස් ඇට සැකිලි 155 ක කොටස් ගොඩ ගැනිණ.

ඒ කන්ද උඩරට මාතලේදීය.

2013 දෙසැම්බර් මාසයේ දිනෙක ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ කම්කරුවන් පිරිසක් මන්නාරමේ තිරුකෙතීස්වරම් නම් ගමට ආසන්නයේ පොළොව කණිමින් සිටියේ ජලනල පද්ධතියක් ඉදිකිරීමටය. පොළොව කණිත්ම මෙම කම්කරුවන් ද තැති ගැන්මට ලක් කරමින් මිනිස් ඇටසැකිලි මතු වන්නට වූයේය. මෙම පුවත ද පොලීසියට දන්වනු ලැබ ඉක්බිති සිදුකළ මහේස්ත‍්‍රාත් විමර්ශනයකට පසුව පුද්ගලයින් 83 දෙනෙකුගේ ඇටසැකිලිවල කොටස් ගොඩගන්නා ලදී.

මිය ගිය අය කවුද?

අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවූයේ මාතලේ සමූහ මිනීවලේ වළ දමා තිබූ ශරීර කොටස් ’80 දශකය අගභාගයට අයත් බවයි. මාතලේ යනු ’80 ගණන්වල දකුණේ ඇති වූ තරුණ කැරැුල්ල සක‍්‍රීයව පැවැති ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ සියගණන් පිරිස් මෙම යුගයේ අතුරුදහන් කිරීමට ලක්විය. මේ යුගයේ සිය ගණනක් පිරිස් මාතලේ ප‍්‍රදේශයේදී අතුරුදහන් කිරීමට ලක්විය. මෙසේ මිහිදන් කළ පිරිස් මරා දැමීමට පෙර දැඩි ශාරීරික වධහිංසාවලට ලක්කොට ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වාර්තා කළේය.

මාතලේ සමූහ මිනී වළ මතුවීමත් සම`ග ප‍්‍රදේශයේ සිටින, ’80 ගණන්වල අතුරුදහන් වූවන්ගේ පවුල්වල දෙමාපියන් හා ඥාතීන් ඒ ගැන උනන්දු විය. ඒ අනුව අධිකරණය වෙත දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් ඉදිරිපත් වෙමින් පවුල් 15 ක සාමාජිකයන් කියා සිටියේ මෙම ඇටසැකිලි හඳුනාගැනීම සඳහා උපකාරී විය හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවයි.

සිය අතුරුදහන් වූ ඥාතීන් ගැන සාක්ෂි දීමට මාතලේ ප‍්‍රදේශවාසීන් මෙසේ ඉදිරියට එද්දී 2013 වර්ෂයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මිනී වළ පිළිබඳ විමර්ශනය සඳහා යැයි ත‍්‍රිපුද්ගල කොමිසමක් පත්කළේය. ඊට සමගාමීව මෙම නඩුව සම්බන්ධයෙන් විවෘත ආකල්පයක් දැක්වූ මාතලේ මහේස්ත‍්‍රාත්වරිය වූ චතුරිකා ද සිල්වා කොළඹට මාරු කර යවන ලදී. මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන කුරුණෑගලට මාරු කර යැවිණ. පරීක්ෂණ යට ගැසීමට රජය උත්සාහ කරන බවට ඒ අනුව සැක සංකා පැතිරී යන්නට විය.

2015 අපේ‍්‍රල් 29 දා ජනාධිපති කොමිසම හිටපු ජනාධිපතිවරයාට සිය වාර්තාව භාර දුන්නේය. මේ වාර්තාව අනුව සමූහ මිනී වළ ’80 දශකය අගභාගයට අයත්වූවක් නොව 1950 ගණන්වලට අයත්වූවකි! තම නිගමනය සඳහා කොමිසම යොදාගෙන තිබුණේ ඇමරිකානු ආයතනයක් විසින් කළ සාම්පල පරීක්ෂාවකි. ජනාධිපති කොමිසමේ මෙම නිගමනය මාතලේ මිනී වළ ගැන අපරාධ වෛද්‍ය විද්‍යා පරීක්ෂණ සිදුකළ මහාචාර්ය රාජ් සෝමදේව හා ආචාර්ය අජිත් ජයසේන විසින් තරයේ ප‍්‍රතික්ෂේප කොට ඇත.

සොහොන සහ මිනී වළ

මන්නාරම සමූහ මිනීවල පිළිබඳ පරීක්ෂණ පටන් ගන්නේ 2013 දෙසැම්බර් 13 වන දා මන්නාරම මහේස්ත‍්‍රාත් ආනන්දී කනගරත්නම් විසින් කළ නියෝගයක් අනුවය. මෙම මිනී වළේ මිහිදන් කොට තිබෙන ශරීරාංග කවර කාලයකට අයත්දැයි තවමත් නිශ්චය කොට නැත. මාතලේ මහේස්ත‍්‍රාත්වරයා සෘජුවම අදාළ කාල නිර්ණය සඳහා මහාචාර්ය රාජ් සෝමදේව වෙත එහි සමූහ මිනී වළේ කොටස් යොමුකළත් මන්නාරමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් පත් කොට තිබෙන්නේ අදාළ පරීක්ෂණ කටයුතුවලදී අධිකරණ වෛද්‍ය නිලධාරීට හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (රහස් පොලීසියට* සහය වීමටය.

මන්නාරම මිනී වළ ගැන රජයේ පැත්තෙන් මුළ පටන්ම විවිධ උපකල්පන ඉදිරිපත් වූයේය. මාතලේ මිනී වළ ’80 දශකයට අයත් වූවක් නොවේ යැයි සනාථ කිරීමට උත්සාහ කළ පරිද්දෙන්ම මන්නාරම මිනී වළ ද විශාල ඉතිහාසයක් තිබෙන එකක් යැයි පෙන්වීමට රජය විවිධ උත්සාහයන් ගත්තේය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක 2014 දී ප‍්‍රකාශ කළේ මෙය ‘අවුරුදු 50 ටත් පැරණි පොදු සුසාන භූමියක කොටස්’ බවයි. මෙම ‘සුසාන භූමි ප‍්‍රවාදයට’ රජයේ මාධ්‍ය විශාල ප‍්‍රචාරයක් ලබා දුන්නේය.

එහෙත් 2014 මාර්තු මාසයේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවිය 1955 වර්ෂයට අයත් මෙම ප‍්‍රදේශයේ මිනුම් සිතියමක් පළ කරමින් අනාවරණය කොට සිටියේ එබඳු සුසාන භූමියක් ගැන කිසිදු සඳහනක් එම සිතියම්වල අන්තර්ගත වී නැති බවයි. එසේම මන්නාරම ප‍්‍රාදේශීය සභා සභාපති මාර්ටින් ඩයස් අධිකරණය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් තහවුරු කොට සිටියේ එම ප‍්‍රදේශයේ සුසාන භූමියක් තිබූ බවට කිව හැකි කිසිදු සාධකයක් ප‍්‍රාදේශීය සභා ලියකියවිලිවල නොමැති බවයි.

සීල් කළ ළිඳේ අබිරහස

මේ අතර 2014 ඔක්තෝබර් මාසයේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේ මිනී වළ යාබදව මුද්‍රා තැබූ ළිඳක් තිබෙන බවත් එම ළිඳ කණින්නේ නම් තවත් ඇටසැකිලි මතුවීමට ඉඩ තිබෙන බවත්ය. එම ළිඳ කණින ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළ අතර පරීක්ෂණය මෙහෙවන රහස් පොලිස් නිලධාරීන් 2015 ජනවාරියේදී අධිකරණයට දැනුම් දුන්නේ තමා පරීක්ෂණ කළත් එබඳු ළිඳක් සොයාගත නොහැකි වූ බවයි. පරීක්ෂණ සඳහා ඔවුන් තවත් කාලය ඉල්ලූහ. ඉන් මාස හතකට පසු, එනම් පසුගිය අගෝස්තු 26 වන දා නඩුව උසාවිය විසින් කැඳවූ පසුත් රහස් පොලිසිය කීවේ තවමත් එබඳු ළිඳක් ගැන සොයාගත නොහැකි වූ බවයි. අවසානයේ අධිකරණය එම කටයුත්ත භාරගන්නා ලෙස ශ‍්‍රී ලංකා මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට නියෝග කළේය. මෙම නියෝගයෙන් ඉතා කෙටි කලෙකට පසු මිනුම්දෝරු දෙපාර්තමේන්තුව එවැනි ළිඳක් තිබෙන බව අනාවරණය කරගත්තේය.

මන්නාරම සමූහ මිනීවල පසුගිය යුද්ධයේදී මරා දමනු ලැබූ දෙමළ ජාතිකයින් මිහිදන් කළ එකක් වීමට බෙහෙවින් ඉඩ තිබේ. සෑම මිනිසෙක්ටම ගෞරවණීය ජීවිතයක් මෙන්ම ගෞරවණීය මරණයක් ද හිමි විය යුතුය. අතුරුදහන් කරනු ලැබ, වධහිංසාවලට ලක්කොට මරා දමා සමූහ මිනීවලවල් තුළ මිහිදන් කිරීම මනුෂ්‍යත්වයේ අවම සම්මතයන් පවා උල්ලංඝනය කරන්නකි. එහෙත් අවාසනාවකට ලංකාවේ පසුගිය දශක තුනක ඉතිහාසය එබඳු සිදුවීම්වලින් පිරී තිබෙන්නකි. සූරියකන්ද, චෙම්මනි, යාපනය දුරෙයිඅප්පා ක‍්‍රීඩාංගණයේ මිනී වළ ආදිය ඒ සම්බන්ධ කුප‍්‍රකට උදාහරණයෝය.

මෙම මිනී වළවල්වල මිලේච්ඡුත්වයට උතුර හෝ දකුණ කියා භේදයක් නැත. මාතලේදී මෙන්ම මන්නාරමේදී ද අතුරුදහන් වූවෝ අතුරුදහන් වූවෝමය. මෙම අපරාධ වසන් කිරීමේදී ද උතුර හෝ දකුණ කියා භේදයක් නැත. මේ මිනීවලවල් රාජ්‍යය විසින් මරා දැමූවන්ගේ ඒවා බව සැ`ගවීමට මාතලේදී මෙන්ම මන්නාරමේදී ද රාජ්‍යය ඒකාකාරයෙන් උත්සුක වන්නේ ඒ අනුවය. පරීක්ෂණ කටයුතු මෙහෙයවන පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන ඇත්ත යට ගසන්නට ඒකාකාරව වෑයම් කරන්නේ ද ඒ අනුවය.

සීතල මාතලේ නගරයටත් සහ වියළි මන්නාරම නගරයටත් එකම සාහසික යථාර්ථයක් මුණ ගැසෙන්නේ ඒ විදිහටය.

මාලන් ජයතිලක
උපුටා ගැනිම : සමබිම පුවත්ප

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment