“කවුද යකෝ මගේ අමුඩේ ජරා කළේ ?” ජී එස් පී + සහ ජී එල් පී + ගැන 2008 දී ‘සමබිම’ කියූ කතාව

Jan 12th, 2017 | By | Category: LEAD NEWS, ආර්ථික, මොකක්ද මේ GSP+

amude-640x400

GL-Peiris-colombo-telegraph

 

එකමත් එක රටක දේශහිතෛෂියෙක් වාසය කළේය. ඔහු කෙතරම් දේශහිතෛෂියෙක්ද යත් බටහිර ඇඳුම වෙනුවට ඇන්දේ ජාතික ඇඳුමය. යට ඇඳුම ලෙස පාවිච්චි කළේ අමුඩයකි.

වරක් ඔහුට බඩේ අජීර්ණයක් සෑදිනි. මේ සඳහා බටහිර දොස්තර බෙහෙත් බීම ඔහු ප්‍රතික්ෂේප කළේ තම දේශහිතෛෂීත්වය නිසාමය. අසල්වැසියන්ට ඔහු කීවේ තමාට බඩේ අමාරුවක් නැති බවය. ”මේක මගේ බඩ. කාටවත් අයිතියක් නැහැ මගේ බඩට ඇඟිලි ගහන්න.” යැයි ඔහු කීවේ තමාගෙන් විටින් විට නිකුත් වන දුගඳ වාතය නිසා අපහසු තාවයට පත් අසල්වැසියන් ඒ බව ඔහුට දැනුම් දුන් විටය.

ඒත් අවාසනාවකට මෙන් බඩේ අජීරණයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ බඩ විරේක වී ස්වයංක්‍රීයවම මළපහ විය. එකී මළ අමුඩයෙහි තැවරී එතැනින් නතර නොවී රෙද්ද පල්ලෙන් බේරෙන්නට වීම නිසා හතර වටේම දුගඳ හමන්නට විය. එවිට අසල්වැසියෝ නහය හකුළුවාගෙන ‘ගඳයි, ගඳයි’ කියා කෑගසන්නට වුහ. දුගඳ හමන්නේ තමා වෙතින් බව පිළිගන්නට අපේ කතානායකයා කැමති නොවීය. ඒත් ඔහුගේ අමුඩයෙහි මළපහ වී ඇතිබව සාක්ෂි ඇතිබව පෙන්වා දුන් අසල්වැසියෝ පශ්චාත් භාගය සෝදාගෙන බඩේ අමාරුවට බෙහෙත් බොන ලෙස ඔහුට බලකර කියා සිටියහ. එවිට දේශහිතෛෂියා මෙසේ කීය. ” අම්මට සිරි ඇත්ත නේන්නම් ! කවුද යකෝ මගේ අමුඩේ ජරා කළේ ? ”

ලංකාවේ ඇමැති මණ්ඩලය සියයකට වැඩිය. එයින් එක් ඇමැති ධූරයක් වන විදේශ වෙළෙඳාම පිළිබඳ ඇමැති ධූරය දරන්නේ ජී.එල්.පී හෙවත් මහාචාර්ය ජී.එල්.පීරිස්ය. ජී.එල්.පී. ට පැවරුණ හෝ තමා විසින්ම පවරා ගත් එකම කටයුත්ත ලෙස පෙනෙනුයේ ජී.එස්.පී. ප්ලස්  පහසුකම තවත් වසර තුනකට ලංකාව වෙත ලබා ගැනීමට කටයුතු කිරීමයි.

2009 සිට අවුරුදු තුනක කාලයක් සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය ලබා දෙන්නේ කුමන රටවලටද යන්න යුරෝපා සංගමය විසින් තීරණය කර ප්‍රසිද්ධ කරනු ලැබීමට නියමිතව ඇත්තේ 2008 දෙසැම්බර් 15 වෙනිදාටය. ජී.එස්.පී. ප්ලස් වෙළෙඳාමට අදාළ පහසුකමක් වුවද එය රටක මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් තත්ත්වය සමඟ එකට ගැට ගැසී තිබේ.

පසුගිය අවුරුදු තුනේදී (2006-2008) එම පහසුකම් භුක්ති විඳීමට ලංකාවට හැකිවිය. එය තවත් අවුරුදු තුනකට දිර්ඝ කරන්නේද යන්න යුරෝපා සංගමය විසින් මේ දිනවල සමාලෝචනය කරගෙන යයි. මෙම පහසුකම හේතුවෙන් ඇඟලුම් ඇතුළු අයිතමයන් ගණනාවක් තීරු බදු රහිතව යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමට ලංකාවට අවස්ථාව ලැබී තිබේ.

කෙසේ වුවද ජී.එස්.පී + සහනය නැවත ලබාදීම පිළිබඳව සමාලෝචනය කිරීමේ දී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් සහ කම්කරු අයිතිවාසිකම් සම්මුතීන් ක්‍රියාත්මක වන ආකාරය යුරෝපා සංගමයේ අවධානයට ලක්ව තිබේ.

ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව යුරෝපා සංගමය තුළ ඇති පිළිගැනීම කෙසේ වුවත් අපේ දේශ හිතෛෂීන් කීවේ යුරෝපය ගසන පදයට අප නටන්නේ නැති බවයි. “යුරෝපයට, ඇමෙරිකාවට බම්බු ගහගන්න කියමු. අපේ සහයට චීනය, ඉන්දියාව ඉන්නවා.” ඔවුහු කීහ. ඇත්ත තමයි, නමුත් ඔවුන්ට එකක් අමතක විය. යුරෝපය සහ ඇමෙරිකාව අපෙන් භාණ්ඩ ආනයනය කරන තරමට අපි ඔවුන්ගෙන් ආනයනය කරන්නේ සොච්චමකි. අනෙක් අතට අපි චීනයෙන් සහ ඉන්දියාවෙන් විශාල වශයෙන් ආනයනය කළත්, එම රටවලට අපනයනය කරන අපේ නිෂ්පාදන ප්‍රමාණය සීමිතය.

ජී.එස්.පී. ප්ලස් ගැන වගකීම පවරාගත් ජී.එල්.පී.ප්ලස් හෙවත් ජී.එල්.පීරිස් සහ වෙනත් අය කීවේ කලබල වෙන්නට දෙයක් නැති බවය. අපට සහතික වශයෙන්ම ජී.එස්.පී. ප්ලස් සහනය ලැබෙන බවය. ලංකාවට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට එල්.ටී.ටී.ඊ.යට, එ.ජා.පයට හා එන්.ජී.ඕ වලට දොස් පැවරූ ඔවුන් ජී.එස්.පී මිදි වල්ල කඩා ගැනීම සඳහා යුරෝපයේ විවිධ නගරවලට ගොස් උඩ පැන්නාහ.

කෙසේ වුවත්,අන්තිමේදී යුරෝපා සංගමය කියා සිටියේ ලංකාවට ලබා දී ඇති ජී.එස්.පී.ප්ලස් සහනය තවදුරටත් ලබා දීමට නම් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අධීක්ෂණයක් කළ යුතු බවය. ඒ සදහා තොරතුරු සෙවීමට නියෝජිත පිරිසක් ලංකාවට එවීමට ඔවුහු කල්පනා කළහ. එයින් තරු පෙනුණු ජී.එල්.පී.ලා දැන් මිදි තිත්තයි කියන්නට පටන්ගෙන ඇත. ඒ අනුව කිසිම අධීක්ෂණයක් කිරීමට විදේශ රටකට ඉඩ නොදෙන බව පවසන ඔවුන් ජී.එස්.පී.ප්ලස් හි වටිනාකම ඩොලර් මිලියන 150ක් බවත්, ඒ මුදලට රටේ ස්වාධිපත්‍යය පාවා නොදෙන බවත් කියා ඇත. දැන් ඔවුන් කියන්නේ ජී.එස්.පී. ප්ලස් පහසුකම නොලැබුණහොත් එම මුදල භාණ්ඩාගාරයෙත් ඇඟලූම් නිෂ්පාදකයන්ට ලබා දීමට ආණ්ඩුව සූදානම් බවයි. වෙනත් වචනයකින් කිව්වොත් බැරලයක් ඩොලර් 60 ට මිළට ගන්නා බොරතෙල් පිරිපහදු කර පෙට්‍රල් ලීටරයක් රු.150 කට විකිණීම මගින් ජනතාව ගෙන් සූරාකන මුදල් වලින් රුපියල් කෝටි 1650 ක් ඇඟලූම් කර්මාන්ත කරුවන්ට දොර දන් දෙන බවයි.

ජී.එස්.පී. + ගැන ජී.එල්.පී.+ ලාගේ කතා පසෙකින් තබා මේ සහනය ලංකාවට වැදගත් වන්නේ ඇයි දැයි අපි විමසා බලමු.

ආදි කාලයේදී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ඉපැයීම් ලැබුණේ තේ, රබර්, පොල් වලින් වුවද, මේ වනවිට ප්‍රධානතම විදේශ විනිමය ඉපැයීම් ලැබෙන්නේ ඇඟලූම් අපනයනයන් වෙතිනි. මෙම ඇඟලූම් ලබා ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් දෙදෙනෙකි. ඒ යුරෝපා සංගමය හා ඇමෙරිකා එක්සත් ජනපදයයි. යුරෝපා සංගමය විසින් ජී.එස්.පී.ප්ලස් යටතේ ලංකාවේ අපනයනයන් තීරු බද්දෙන් නිදහස් කිරීම ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට තීරණාත්මකය.

ඕනෑම නිෂ්පාදනයකට විවෘත වෙළෙඳ පොළේ තරඟ කිරීමට සිදුවේ. එහිදී ඔවුන්ට ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ, තරඟකාරී මිළකට අලෙවි කිරීමට සිදුවේ. ඇඟලූම් නිෂ්පාදන මුලික වශයෙන් සිදු කෙරෙන්නේ ප්‍රසිද්ධ සන්නාම (Brand Names) සහිත ප්‍රධාන පෙළේ සමාගම් වන Gap, M & S, Victoria’s Secret, Tommy Hilfiger වැනි ආයතන විසින් ලෝකයේ විවිධ රටවල සිටින නිෂ්පාදකයන්ට ලබාදෙන ඇණවුම් මතය. එහිදි නිෂ්පාදන වියදම අඩු රටවල සිටින දේශීය හෝ විදේශීය නිෂ්පාදකයන්හට එම ඇණවුම් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් හිමිවේ. උදාහරණයක් වශයෙන් චීනය සැලකිය හැකිය.

ලෝකයේ විවිධ සමාගම් චීන මහජන සමුහාණ්ඩුවේ ආයෝජනය කිරීමට කැමති වන එක් හේතුවක් නම් එහි නිෂ්පාදන වියදම අඩුවීමයි. චීනයේ පවතින කොමියුනිස්ට් පක්ෂයේ තනි පක්ෂ පාලනය හේතුවෙන් එහි දේශපාලන ස්ථාවරභාවයක් පවතින අතර, යටිතල පහසුකම් සංවර්ධනයට චීන රජය විශාල වශයෙන් ප්‍රමුඛතාවයක් ලබාදී ඇත. සංවිධානයවීමේ අයිතිවාසිකම ඇතුළු කම්කරු අයිතිවාසිකම් මෙන්ම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ද සීමාකොට ඇති බැවින් කම්කරු වර්ජන හෝ උද්ඝෝෂණ වලින්ද නිදහස් හෙයින් නිෂ්පාදන වියදම අවම මට්ටමකින් පවත්වාගෙන යා හැකිය. එබැවින් ලෝකයේ ඉහත කී සන්නාමකරුවන්ගේ ඉල්ලීම්වලට තරගකාරී සැපයුමක් කිරීමට චීනය වැනි රටවල නිෂ්පාදකයන්ට වැඩි අවස්ථාවක් තිබේ.

තම රටේ කම්කරු අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් අවම මට්ටමක තබාගෙන කටයුතු කිරීම හේතුවෙන් චීනය අයුතු වාසියක් ලබා ගැනීම බටහිර රටවල්වලට රිසි නොවේ. එයට ඉඩ හැරියහොත් තරගකාරීත්වයට මුහුණ දෙනු පිණිස අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල්ද එම මාර්ගය අනුගමනය කරනු ඇති අතර, එවිට අවසාන වශයෙන් පරාජයට පත්වන්නේ බටහිර රටවල් විසින් ප්‍රවර්ධනයට කිරීමට උත්සාහ දරණ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්ය. ප්‍රාග්ධනයට ජාතික හැඟීම්, දේශසීමා හෝ සදාචාර පදනම් අදාළ නොවන අතර එහි ස්වභාවය ලාභ රේට්ටුව උපරිම කරගත හැකි ස්ථානයට ගලා යාමයි. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම ප්‍රාග්ධනයේ පැතිරීමට අත්‍යාවශ්‍යව තිබු අතර, දැන් සිදුවී ඇත්තේ ප්‍රාග්ධනයේ භූගෝලීයකරණය හේතුවෙන් ප්‍රාග්ධනය විසින්ම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම්වලට අභියෝග කිරීමයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රාග්ධනයට සීමා පැනවීමට බටහිර රටවලටම සිදුවිය.

මේ අනුව ගත් එක් පියවරක් වුයේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇඟලූම් නිෂ්පාදනය කරන රටවලට ලබාදුන් කෝටා ක්‍රමය වන අතර තවත් පියවරක් වූයේ යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කළ Generalized System of Preferences Plus හෙවත් ජී.එස්.පී.ප්ලස්ය.

බහු තන්තු ගිවිසුම හෙවත් Multi-Fibre Agreement (MFA) යටතේ ලංකාවටද පංගුවක් හෙවත් කෝටාවක් ලැබුණු අතර, ඒ අනුව ඇමෙරිකානු වෙළෙඳපොළට ලංකාවෙන් නිශ්චිත ඇඟලූම් ප්‍රමාණයක් අපනයනය කිරීමට අවස්ථාව තිබිණි. එහිදි එම කෝටාව උපයෝගී කර ගැනීම සඳහා සන්නාම හිමිකරුවන් ලංකාවට ඇණවුම් ලබාදීමට කටයුතු කළ අතර, එම ඇණවුම් ලබා ගැනීම සඳහා දේශීය හා විදේශීය ආයෝජනයන් ඇඟලූම් කර්මාන්තයෙහි ආයෝජනය කරන ලදි.

2004 දී ඵත්‍් ගිවිසුම අවසන් වීමත් සමඟම කෝටා ක්‍රමය අවසන් වු අතර, ඉන් පසු ලංකාවට ඇමෙරිකානු වෙළෙඳපොළේ තරග කීරීමට සිදුවිය. මේ හේතුවෙන් 2006න් පසු ඇඟලූම් කර්මාන්තයෙහි බිඳවැටීමක් සිදුවී විශාල රැකියා ප්‍රමාණයක්ද විදේශ විනිමය ප්‍රමාණයක්ද අහිමි වනු ඇතැයි අනාවැකි පළවිය. එයට හේතුව කෝටා ක්‍රමය අවසන් වු පසුව ලංකාවේ නිෂ්පාදකයන් වෙතින් ඇඟලූම් නිෂ්පාදන ලබා ගැනීමේ විශේෂ වාසියක් සන්නාම හිමිකරුවන්ට නොමැතිවීමය.

කෙසේ වුවද මෙම අපේක්ෂිත බිඳ වැටීම වැළකී ගියේ 2004 අග ඇතිවු සුනාමි ඛේදවාචකය හේතුවෙනි. සුනාමියෙන් පහර වැදුණු රටක් වශයෙන් ලංකාවට සහන සහ ආධාර විශාල ප්‍රමාණයක් ලැබුණු අතර, යුරෝපා සංගමය විසින් ලංකාවේ ඇඟලූම් සහ අනෙකුත් අපනයන සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදෙන ලද්දේ මේ අනුවය. ආරම්භයේදී 2006 සිට වසර තුනක කාලයක් සඳහා මෙම පහසුකම ලැබුණු අතර, මෙමඟින් ලංකාවේ ඇඟලූම් සහ අනෙකුත් අපනයන යුරෝපා සංගමයේ රටවල් තුළ අලෙවි කිරීමේදී තීරු බදු අය නොකොට සහනයක් ලබාදෙන ලදි. මේ හේතුව නිසා නැවතත් ලංකාවේ නිෂ්පාදකයන් වෙතින් ඇඟලු‍ම් ඇණවුම් ලබා ගැනීමට හේතුවක් ඉල්ලූම්කරුවන්ට ලැබුණේ ඔවුන් විසින් අලෙවි කරන, ”ලංකාවේ නිෂ්පාදනය කරන ලදි” යනුවෙන් සඳහන් භාණ්ඩවලට තීරු බදු රහිතව යුරෝපීය වෙළෙඳපොළෙහි අලෙවි කිරීමට හැකිවු බැවිනි.

කෙසේ වුවද ජී.එස්.පී.ප්ලස් පහසුකම සැපයීමේ දී යුරෝපා සංගමය අදාළ රටේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වාර්තාව පරීක්ෂාවට ලක් කරයි. ලංකාව ලෝක කම්කරු සංවිධානයේ ප්‍රඥප්ති සියල්ලටම අත්සන් තබා ඇති අතර, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, එහි වෛකල්පිත ප්‍රොටෝකෝලය ඇතුළු වැදගත් සම්මුති ගණනාවකට ද අත්සන් තබා තිබුණි.

කෙසේ වුවද වසර තුනකට පසුව, එනම් 2008දී, මෙම පහසුකම නැවත අළුත් කිරීමට නියමිතව තිබු අතර, එහිදි යුරෝපා සංගමය විසින් සොයා බලන්නේ ඉහත සඳහන් ලංකාව විසින් අත්සන් කොට රට තුළ ක්‍රියාත්මක කිරීමට වගකීමෙන් බැඳුණු ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ සම්මුතීන් කෙතරම් දුරට ක්‍රියාත්මක කර තිබේද යන්නයි.

ඉහත දැක්වෙන ඵත්‍් සහ ජී.එස්.පී.ප්ලස් යන සහනයන් දෙකම යොදාගන්නා ලද්දේ එක් පැත්තකින් ඌණ සංවර්ධිත රටවල් සදහා සහනයක් ලබා දීමට සහ තව පැත්තකින් එක් එක් රටෙහි මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් තත්වය වර්ධනය කර ගැනීමටය.

පසුගිය අවුරුදු දෙක තුළ සන්නද්ධ ගැටුම තීව්ර වීමත් සමඟ ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ බිඳ වැටීමක් ඇති බව ජාත්‍යන්තරව ප්‍රචලිත විය. මෙහිදී මේ පිළිබඳ සොයා බලා ප්‍රසිද්ධ කිරීමට බලය ඇති ජාත්‍යන්තර මානව හිමිකම් නීරීක්ෂණ ක්‍රියාවලියක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලයක් ලංකාවේ පිහිටුවන ලෙස යුරෝපා සංගමය ලංකාවෙන් ඉල්ලා සිටියේය.

එහෙත් එය ප්‍රතික්ෂේප කළ ලංකාව කියා සිටියේ එවැනි නිරීක්ෂණ ක්‍රියාවලියක් ලංකාවට අවශ්‍ය නැතිබවත්, ඒ සඳහා මෙහි පවත්නා ජාතික ආයතන පද්ධතිය එනම් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රමාණවත් බවත්ය.

නමුත් ලංකාවේ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකිරීමත් කොමිසම විසින් ලංකාවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව වාර්තා ප්‍රසිද්ධ නොකිරීමත් හේතුවෙන් එහි විශ්වසනීය භාවය අභියෝගයට ලක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම් පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටුව විසින් එය බී ශේණියට පහත දමන ලද්දේ මීට වසරකට පමණ පෙරය.

ජී.එස්.පී.ප්ලස් පහසුකම නැවත ලංකාවට ලබා දීමට පෙර රටේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා නියෝජිත පිරිසක් එවීමට යුරෝපා සංගමය අවසර ඉල්ලන්නේ මේ පසුබිම මතය. මේ කාලය මුළුල්ලේ ලංකාව ඒ සදහා දක්වා ඇති ප්‍රතිචාරය අමුඩයෙහි කැත කරගත් අපගේ දේශහිතෛශියාගේ චර්යාවට සමාන යැයි පැවසීම අතිශයෝක්තියක්ද?

2008 වර්ෂයේ සමබිම blog අඩවිය තුළ පලවු ලිපියකි 

2008 වර්ෂයේ සමබිම blog අඩවිය තුළ පලවු ලිපියකි 

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment