විෂම ලිංගික ජෝඩුවකටවත් පාරේ අතින් අල්ලන් යන්න බැරි මේ රටේ මොන සමලිංගික විවාහද?

Jan 24th, 2017 | By | Category: EDITOR'S CHOICE, LGBTIQ ප්‍රජාව, OTHER NEWS, උපුටා ගැනිම්, දැනුම, නීතිය, මානව හිමිකම්, සමබිම ඉරිදා අතිරේකය
අයාල ආඥා පනත යටතේ සිඟා කෑමත් අපරාධයක්! -මැණිකේ දේශප්‍රිය
mawbima
“සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්” යන හිසින් 2017 ජනවාරි 17 ‘මව්බිම’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට පිළිතුරකි.
සමලිංගිකත්වය නීති විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතියේ ඍජුවම සඳහන් වන්නේ නොමැත. මූලික වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ යන වගන්තිවල ඇතුළත් “අස්වාභාවික ලිංගික ක්‍රියා” සහ “තදබල අශෝභන ක්‍රියා” යන යෙදුම් පදනම් කරගෙන, සමලිංගික හැසිරීම් නීති විරෝධී බවට පොදු විශ්වාසයක් පවතී. යම් නීතියක් අපහැදිලි නම් එය අර්ථකථනය කිරීමට බලය ඇත්තේ අධිකරණයටයි. නමුත් මෙම නීතිය එවැනි අධිකරණයකින් අර්ථකථනය කර ඇති බවට වාර්තා වී නොමැත.
අදාළ ලිපියට මූලික වී ඇත්තේ පාදඩ හෙවත් අයාල ආඥා පනතයි (Vagrancy Ordinance) පාදඩ ආඥා පනතේ සමලිංගික සේවනය පිළිබද ඍජුවම සදහන් වන්නේ නැත. පාදඩ හෙවත් අයාල ආඥා පනත යටතේ බලගැන්වෙන අපරාධ කිහිපයක් ඇත. තදබල අශෝභන ක්‍රියා මෙන්ම සිඟමන් යැදීම, නිකරුනේ සැරිසැරීම, ප්‍රසිද්ධ ස්ථානවල ලිංගික වෘත්තියේ යෙදීම වැනි ක්‍රියාවන් ගණනාවක් එයට ඇතුළත් වේ.පාදඩ හෙවත් අයාල ආඥා පනත සදහන් වන “තදබල අශෝභන ක්‍රියා” යන යෙදුම යොදාගෙන සමලිංගික පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව සහ නීත්‍යනුකූල නොවන හිරිහැරවලට ලක් කරන බව සමීක්ෂණ වලින් සොයා ගෙන ඇත.
‘මව්බිම’ පුවත්පතේ ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පැන නැගෙන මූලික ගැටලුව වන්නේ එය විවිධ ලිංගික දිශානතීන් Sexual Orientations  සහ සමාජීය ස්ත්‍රී පුරුෂභාවී අනන්‍යතාවයන්ට Gender Identities අයත් පුද්ගලයන්ට අදාළ වන නීතිය පිළිබද වැරදි තොරතුරක් ඉදිරිපත් කිරීමයි. හුදෙක් පාදඩ ආඥා පනත අහෝසි කිරීම මගින් සමලිංගික පුද්ගලයන් කෙරෙහි ඇති කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම අවම වන බව මිථ්‍යාවකි.
විවිධ ලිංගික දිශානතීන් සහ සමාජීය ස්ත්‍රී පුරුෂභාවී අනන්‍යතාවයන්ට අයත් පුද්ගලයන් කොන් කිරීමට සහ වෙනස් කොට සැලකීමට බදුන් කරන නීති අහෝසි කිරීම ඉතා හොඳ පියවරකි. නමුත් මෙවැනි වැරැදි තොරතුරු සහිත පුවත් පළ කිරීම මගින් ඒ සඳහා කිසිදු සහයක් ලැබෙන්නේ නැත.■
උපුටා ගැනීම : Facebook

නීතියේ අවසරය අවශ්‍ය වන්නේ ලිංගිකව හැසිරීමට නොවේ -දමිත් චන්දිමාල්

නීතියේ අවසරය අවශ්‍ය වන්නේ ලිංගිකව හැසිරීමට නොවේ. සමලිංගික අය මේ කාරණය නිසා බොහෝ විට පවතින නීතින්වලින් ආරක්ෂා වන්නේ නැත. උදාහරණයක් වශයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගෙන බලන්න. සමලිංගික සම්බන්ධතාවයක සිටින දෙදෙනෙකුගෙන් කෙනෙකුට තමන් මුහුණ පෑ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා පොලිසියට උසාවියට ගොස් පැමිණිල්ලක් කර සාධාරණයක් ඉෂ්ට කර ගැනීමට සීමා පවතී. නුවර පොලිසියට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් තමන්ට බසයේ දී සිදු වූ ලිංගික අතවරයක් ගැන ද, දේශපාලන බලවතකුගෙන් සිදුවූ ලිංගික බලපෑමක් සම්බන්ධයෙන් ද වරක් පැමිණිලි කළ අතර, පොලිසිය මෙම පැමිණිල්ල භාර ගත්තේ නැත. එසේම සමලිංගික අයට සිදුවෙන පහරදීම් සම්බන්ධයෙන් එවැනි බොහෝ අය පොලිසියට ගොස් පැමිණිලි කිරීමට බය වෙන අතර, එයට බොහෝ දුරට බලපාන්නේ මෙම සමලිංගිකත්වයේ ඇති නීති විරෝධී තත්ත්වයයි.

විෂම ලිංගික ජෝඩුවකටවත් පාරේ අතින් අල්ලන් යන්න බැරි මේ රටේ මොන සමලිංගික විවාහද?-ඩෙන්ව පීටර්සන්

සමලිංගික යෝජනාව විසිවෙයි-කැබිනට් මණ්ඩලයේදී දැඩි විරෝධයක් නමින් 2017 ජනවාරි 18 ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියට ප්‍රතිචාරයකි.
Lankadeepa
ඊයේත්, අදත් මවුබිම පත්තරෙත් කරුණු පටලවලා මේ ප්‍රවෘත්තියම පළ කර තිබුණා. ඒ මදිවට අද (ලංකාදීප පත්තරේ) පළ කරලා තියෙන්නේ ‘සමලිංගික විවාහ යෝජනාව’ ඉවත දැම්මා කියලයි. සමකාමී ප්‍රජාවේ අයවත් සමලිංගික විවාහ අයිතිය ඉල්ලන්නේ නැතිකොට මේ ගැන කරුණු විකෘති කරලා දාන්න අපේ මාධ්‍යවලට තියෙන්නේ මාර කැක්කුමකි. විෂමලිංගික ජෝඩුවකටවත් පාරේ අතින් අල්ලන් යන්න බැරි මේ රටේ මොන සමලිංගික විවාහද?
මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් කරලා තියෙන්නේ සමලිංගික ‘ලිංගික ක්‍රියාව’ සාපරාධී කරන (පුද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ කරන) දණ්ඩ නීති සංග්‍රහයේ ඇති 365/365 අ වගන්ති නිර්සාපරාධීකරණය කරන්න කියලයි. “ඔන්න අපි රටට අහිතකර දේවල් අයින් කළා” කියලා මහා ලොකුවට කතා කරන්න දේශපාලනඥයින්ට මේක හොඳ අවස්ථාවක්. මොවුන් අතින් ගැරහීමට ලක්වන මිනිස්සුත් මිනිසුන් බව, උන් ඉපදිලා තියෙන්නෙත් අනිත් එවුන් ඉපදෙන විදිහටම බව, උන්ට දැනෙන්නෙත් අනිත් එවුන්ට දැනෙන විදිහෙම හැඟීම් බව, මේ මාධ්‍යකරුවන්ටත්, දේශපාලනඥයන්ටත් නොතේරෙයි.
මේ රටට ඉස්සර හෙණ ගැහුවෙත්, අද හෙණ ගහන්නෙත්, හෙට හෙණ ගහන්නෙත් හැම ‘කම’ ම තිබුණට මනුස්සකම නැති නිසයි. ඒක ඇති වෙනකම් සත්තු වගේ මිනිස්සුන්ට සලකන එක නතර වෙන එකක් නම් නැහැ

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment