සංහිදියා වාර්තාවෙන් මාධ්‍ය අල්ල ගත්තේ විදෙස් විනිසුරුන් අවශ්‍යයි කියන කෑල්ල විතරයි

Jan 26th, 2017 | By | Category: Consultation Task Force, EDITOR'S CHOICE, OTHER NEWS, Today Lead News, දේශපාලන, ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, සුදර්ශන ගුණවර්ධන
සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය තම වාර්තාව පසුගිය දිනෙක රජයට පිළිගැන්වූහ. එය පදනම් කර ගනිමින් ප්‍රධාන කාර්ය සාධක බලකායේ ලේකම්ව කටයුතු කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක අචාර්ය පාක්‍යසෝතී සරවනමුත්තු මහතා සමඟින් පසුගිය 11 වැනිදාවේ ආයුබෝවන් සුබ දවසක් රූපවාහිනී වැඩසටහන ඔස්සේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සංවාදගත විය. මෙය එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී.පහතින් සම්පුර්ණ වැඩසටහන නැරඹිය හැක.
Reconciliation
කාර්ය සාධක බලකාය පත් කළේ කුමන කටයුත්තකටද? රජය විසින් සිවිල් සමාජයට එවැනි කාර්යක් පැවරූවේ ඇයි?
අගමැතිතුමා විසින් සිවිල් සමාජ නියෝජිතයින් එකොළොස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා. එම පත් කිරීමේදී අගමැතිතුමා කිව්වේ සංහිඳියාව වෙනුවෙන් රජය යෝජනා කළ යාන්ත්‍රණ, මේවා ජිනීවා මානව හිමිකම් සභාවේ යෝජනාවලියටත් ඇතුළත්ව තිබෙන සංහිඳියා යාන්ත්‍රණ හතරක්. එම යාන්ත්‍රණ හතර සම්බන්ධයෙන් වගේම ජනතාව යෝජනා කරන, අදහස් කරන යාන්ත්‍රණ මොනවද කියල සොයා බලා ඒ පිළිබඳව රජය දැනුවත් කිරීම වෙනුවෙන් අගමැතිතුමා මෙම කමිටුව පත් කළේ. මේ ක්‍රියාවලියේදී රජය හිතුවා සිවිල් සමාජයට වැඩි විශ්වාසනීය ගනුදෙනුවක් ප්‍රජාව සමඟ තිබේය කියල. මෙහිදී ජාතික මට්ටමේ කණ්ඩායමක් හිටියා වගේම උතුරු නැගෙනහිර දිස්ත්‍රික් මට්ටමිනුත් අනිකුත් කලාපයන්වල පළාත් මට්ටමිනුත් මේ ක්‍රියාවලිය අපි දියත් කළා. එහිදී අපි තෝරා ගත් කණ්ඩායම ඒ ප්‍රජාව අතරින්ම තෝරා ගත් නිසා තමන්ගේ ප්‍රශ්න ඔවුන් ඉදිරියට ඇවිත් කියන්න මිනිස්සුන්ට ගැටලුවක් වුණේ නැහැ. අපිට යෝජනා හත්දහසකට වඩා ලැබුණා. මම හිතන්නේ මේ ක්‍රියාවලිය සාර්ථීක කරගන්න එම තෝරා ගැනීම් විශේෂ හේතුවක් වුණා.
ඇතමෙක්ට ප්‍රශ්නයක් විය හැකියි උතුරු නැගෙනහිර පමණද මෙය සිදුවුණේ දකුණේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවුණේ නැද්ද යන්න වගේම ජිනීවා යෝජනාවේ ඇතුළත් වුණ නිසාද මෙවැනි ක්‍රියාවලියක් සිදුවුණේ කියල.
අපි උතුරු නැගෙනහිර වගේම බස්නාහිර, දකුණ ආදී වු සියලු පළාත් ආවරණය කරමින් මේ ක්‍රියාවලිය සිදු කළා. උදාහරණයකට මාතර පැවති අපේ පොදු රැස්වීමට මේ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ තුන්සියයකට අධික පිරිසක් සහභාගී වුණා. ඒ ආකාරයට රටපුරාම ගිහින් මිනිසුන්ගෙන් ඒකරාශි කරගත් අදහස් යෝජනා ඇසුරිනුයි මේ වාර්තාව ඉදිරිපත් කළේ. 2015දී මංගල සමරවීර ඇමතිතුමා ජිනීවා යද්දී කිව්වා ලංකාවට සංහිඳියාව අවශ්‍ය නිසා මේ සම්බන්ධයෙන් යාන්ත්‍රණ හතර පිහිටුවනවා කියන එක. මේ යෝජනාවන් තිබුණා වුනත් ගැටලුව තිබුණේ මේ සම්බන්ධයෙන් කිසිවෙක් ජනතාවට ආමන්ත්‍රණය කර නොමැති වීම. ඇයි අපිට සංහිඳියාව අවශ්‍ය? කොහොමද ඒක ඇති කර ගන්නේ? මොනවද මේ යාන්ත්‍රණ? කියන දේ ජනතාවට ගෙනියන සාකච්ඡාවක් ඇති වුණේ නැහැ. ඒ නිසා මිනිස්සු හිතන්න පුළුවන් ජිනීවා යෝජනාවේ තිබුණා නිසා මෙවැන්නක් කළා කියල.
hhgg
ජිනීවාවලදී ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණයක් සිදුකරනවාය යන මතයක් තිබුණා. ඒ වගේම ලංකාව කිව්වේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම ලංකා රජය විසින් සිදුකරන බව. මේ අතර තිබෙන වෙනස මොකක්ද?
2014 යෝජනාවට අනුව මානව හිමිකම් මහ කොමසාරිස්ගේ කාර්යාලය විසින් පරීක්ෂණයක් කරන්න තිබුණා. එහි එක නිර්දේශයක් ලෙස ජාත්‍යන්තර මට්ටමින් සහ දේශීය මට්ටමින් විනිශ්චයකාරවරුන් ඒකරාශි කර වෙනම විශේෂිත වූ උසාවියක් පිහිටුවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙස සඳහන් වුණා. දේශිය මට්ට්මින් පමණක් පරීක්ෂණයක් කිරීමෙන් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සිටින වින්දිතයින්ට සාධාරණයක් සිදුනොවිය හැකියි. මෙවැන්නක් සිදු කිරීමෙන් අපේක්ෂා කරන්නේ වින්දිතයින්ට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න. එනිසා එම විශ්වාසය ඇති කරන්න නම් අපි ජාත්‍යන්තර මට්ටමින් එක් අයෙක් හෝ මේ තුළට ඇතුළත් කරන්න අවශ්‍යයි. නමුත් බහුතරය දේශීය පිරිස් කටයුතු කළ යුතුයි. දෙවැනි කරුණ මේ සම්බන්ධයෙන් දේශිය මට්ටමේ පිරිස්වලට අත්දැකිම් නොමැති වීම නිසා අඩුපාඩු තිබේ නම් ඒවා සකස් කළාට පසුව විදේශීය පිරිස්වලට යන්න පුළුවන්. මෙම නිර්දේශය ඉදිරිපත් කරන්න විශේෂ හේතුව විශ්වාසය. අපි සංහිඳියාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේදී දැනුනේ මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් රජයට ලොකු කැපවීමක් තිබේද යන්න. අනිත් අතට ඔවුනට ලොකු තරහක් තිබෙනවා මීට පෙර මෙවැනි කණ්ඩාම් ඉදිරියට කොමිසන් සභා ඉදිරියට ගිහින් තොරතුරු ඉදිරිපත් කර තිබුණත් කිසිවක්ම සිදු නොවීම පිළිබඳව. එහෙත් මෙවර ප්‍රතිපත්ති හැටියට මේවා එළියට ගේන්නට පෙර මහජනතාවගේ අදහස් යෝජනා මොනවද කියල දැනගන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් මිනිස්සු සතුටු වුණා. මිනිස්සුන්ට මෙවර පුංචි බලාපොරොත්තුවක් තිබෙනවා මොනවා හෝ යම් හොඳ දෙයක් සිදුවෙයි කියල.
රට ඇතුළේ යම් ආකාරයකට වාර්ගික බෙදීමක් තිබියදී මෙවැනි ක්‍රියාවලියක් සම්බන්ධයෙන් දෙමළ ජනතාවගෙන්, දෙමළ සිවිල් සමාජයෙන් වගේම දකුණෙන් කෙබඳු ප්‍රතිචාරය ලැබුණේ?
දෙමළ ජනතාවට රජය (State) සම්බන්ධයෙන් විශ්වාසයක් නැති වුනත් ආණ්ඩුව සම්බන්ධයෙන් යම් විශ්වාසයක් තිබෙනවා. ඒ තත්ත්වය යටතේ වින්දිතයින් කිව්වේ මේවා පිහිටුවන්න යන විට මේ සඳහා අපිත් සහභාගී වෙන්න අවශ්‍යයි ඒනිසාම මේවා කොළඹදී නොවෙයි පළාත්වලදී සිදු කරන්න කියල. අනිත් කාරණය මෙම ක්‍රියාවලියේදී සිංහල හා දෙමළ යන භාෂා ද්විත්වයම භාවිත කරන්න කියල. ඒ මිනිස්සුන්ට ලොකු උනන්දුවක් තිබුණා මේ ක්‍රියාවලියට සහභාගී වෙලා එය ඉදිරියට ගෙනයෑමට. අන්තිමට ඒ මිනිස්සුන්ට අවශ්‍ය මොනවද යන ප්‍රශ්නයේදී ඒ අය කිව්වේ අපිට අවශ්‍ය සත්‍ය දැනගැනීමට සහ සත්‍ය තහවුරු කිරීම රජය විසින් පිළිගත යුතුයි කියන දේ. දකුණ සහ උතුර දැක් වූ ප්‍රතිචාර අතර ලොකු වෙනසක් නැහැ. නමුත් උතුර ජාත්‍යන්තර විනිසුරන් ඉල්ලා සිටියදී දකුණේ ප්‍රතිචාරය වුණේ විදේශීය විනිසුරන් අනවශ්‍යයි කියල. ඒ වෙනස හැරුණු කොට මේ දෙපිරිසෙන්ම ආ අදහස්වල විශාල වෙනසක් නැහැ. ඔවුන් කියන්නේ පුරවැසියන් හැටියට සියල්ලන්ට සත්‍ය දැනගැනීමට තිබෙන අයිතිය රජය විසින් පිළිගත යුතුයි කියල.
පසුගිය රජය සමයේ සිවිල් සමාජ නායකයෙක් ලෙස ඔබ චෝදනාවට ලක්වුණා ජිනීවා ගිහින් ලංකා රජයට එරෙහිව ගතු කියනවාය යන්නෙන්. එවැනි වටපිටාවක මෙවැනි ක්‍රියාවලියක් හා එක්ව කෙසේ ක්‍රියාකරයිද යන්න පිළිබඳ යමෙකුට සැකයක් ඇති විය හැකියි නේද?
යමෙකුට සැක ඇති කරගන්න පුළුවන්. නමුත් සිවිල් සමාජය විදිහට අපිට වගකීමක් තියෙනවා. ආණ්ඩුවල න්‍යාය පත්‍ර ගත්තම අවුරුදු විසිපහකට විතර කලින් ඒවා හැදුවේ අපි. ඒ කාලේ මිනිස්සු කවදාවත් මේවා කරන්න බැහැ කියල විවේචනය කළත් හිනා වුනත් අපි මේවා හැදුවා. ඒ නිසා අපිට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට අයිතියක් තියෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුව එක්ක හෝ වෙනයම් ඕනෑම අයෙක් සමඟ කටයුතු කිරීමට අපිට හැකියි. අවශ්‍ය වෙන්නේ මේ කාරණා ඉෂ්ට වීම.
මේ වාර්තාවේ සියලු නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම වගකීමක් නොමැති වුවත් මෙයින් බහුතරයක් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බව වාර්තාව රජය වෙනුවෙන් පිළිගනිමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසුවා. මෙය සෑහීමකට පත් විය හැකි පිළිතුරක්ද?
ඒත් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා මේ සම්බන්ධයෙන් කිසිවක් කිව්වේ නැහැ. ආණ්ඩුවේ ඉහළම ඉන්නා දෙන්න විදිහට ඔවුන් කිසිවක් නොකීමයි තිබෙන ලොකුම ප්‍රශ්නය.
සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයන් විවිධ ආකාරයට ඇතැම් අය ප්‍රශ්න කරනවා. සිවිල් සමාජයේම අය කියනවා සිවිල් සමාජ නායකයෝ ආණ්ඩුවට මුක්කු ගහනවා කියල.
ය මෝඩ කතාවක්. සිවිල් සමාජයෙන් අයට ආණ්ඩුවත් එක්ක කතා කරන්නවත් බැරි වෙනවා එහෙම බැලුවොත්. රට දියුණු කරන්න, මානව හිමිකම් ශක්තිමත් කරන්න, යහපාලනය ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා නම් ආණ්ඩුව එක්ක සාකච්ඡා කරන්න වෙනවා. ඒත් කියන හැමදේම ගන්න ඕන කියල නැහැ. සිවිල් සමාජයට මේ ආණ්ඩුවත් එක්ක වැඩ කිරීමේ තියෙන අභියෝගය විවේචනය කරන්න ඕන දේවල් කළ යුතුයි. ඒ වගේම කන්ස්ට්‍රක්ටිව් එන්ගේජ්මන්ට් එකක් තිබිය යුතුයි. සිවිල් සමාජයට වගකීමක් තියෙනවා. ආණ්ඩුවට වැඬේ කරන්න දීලා ඉන්නවා වෙනුවට අපිත් වැඩ කළ යුතුයි.
දෙමළ සිවිල් සමාජයට අනුව දකුණේ සිවිල් සමාජය තමන් බලාපොරොත්තු වූ ආණ්ඩු වෙනස හරහා දැන් සතුටින් සිටිනවා වැනි අදහසක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් වගේම නිකුත් වූ වාර්තාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස මොකක්ද?
මේ වෙනස පෙන්නේ විශේෂිත අධිකරණය සම්බන්ධයෙන්. උතුරු නැගෙනහිර බහුතරයක් කිව්වේ මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදුවෙන්න ඕන ජාත්‍යන්තර මැදිහත් වීමෙන් කියල. එහෙත් ඔවුන්ට පැහැදිලි කරල කියල නැහැ එය සිදුවෙන්නේ කොහොමද කියල. අපි ජාත්‍යන්තර අපරාධ උසාවිය සම්බන්ධ ගිවිසුම අත්සන් කරල නොමැති නිසා එක්සත් ජාතීන් විසින් සිදුකරනවා නම් ආරක්ෂක මණ්ඩලයෙන් යෝජනාවක් අවශ්‍ය වෙනවා. එය කිරීමට අපහසුයි. එවැන්නක් කිරීමට උත්සහා දැරුවොත් රුසියාව, ඇමරිකාව වගේ රටවල් විරුද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. මේ තත්ත්වය ඒ අයට පැහැදිලි කර නොදීම කණගාටුදයකයි. ඒ වගේම ඔවුන් හිතනවා අපේ ආණ්ඩු බලයට ඇවිත් අපි ඉන්නේ සතුටින් කියල. අපි මේ සාකච්ඡාව අරන් යන කොට උතුරු නැගෙනහිර විකල්ප සාකච්ඡාවක් පිහිටෙව්වා. ඇතැම් අය මට කිව්වා අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටෙව්වත් සත්‍ය දැනගැනීමේ කොමිසම පත් කළත් එහි කිසිදු දෙමළ පුද්ගලයෙකු නැහැ කියල. නමුත් ඒක අසත්‍යයක්. ඒ නිසා සිවිල් සමාජ සාමාජිකයන් අතරත් සංහිඳියාව අවශ්‍යයි. ඒ නිසා අපි අතර සාකච්ඡාවක් මඟින් සියල්ලන්ගේම අදහස් නියෝජනය වන පොදු ස්ථාවරයකට එන්න ඕන කියන එක මගේ හැඟීම.
ඉදිරිපත් වූ වාර්තාවට අනුව වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම යන්න පිළිබඳ වාර්තාවේ සඳහන් වෙන්නේ කෙසේද?
කාර්ය සාධක බලකාය ඉදිරියට ඇවිත් අදහස් පළ කළ බහුතරයක් අපිට කිව්වේ අපිට දැන ගන්න අවශ්‍යයි කවුද මේ ඕඩර් එක දුන්නේ කියල. සාමාන්‍ය සෙබළුන් ගැන කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
ආණ්ඩුව පාර්ශවයට විතරද මෙහිදී ඇඟිල්ල දිගු වෙන්නේ? එල්ටීටීය සම්බන්ධයෙන් චෝදනාවක් නැද්ද?
නැහැ. ළමයින් පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් වශයෙන් සංවිධානයට බඳවා ගැනීම පිළිබඳ එල්ටීටීයට මිනිස්සු චෝදනා කළා.
නිර්දේශ ගණනාවක් තිබියදී සාකච්ඡාවට ලක්වුණේ අධිකරණය සම්බන්ධ කාරණය. වෙනත් නිර්දේශ මොනවද කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ තිබෙන?
එය කණගාටුදයකයි. මාධ්‍ය මගින් ගත්තේ අධිකරණය සම්බන්ධ කාරණය පමණයි. මේ යන්ත්‍රණය සම්බන්ධයෙන් පොදු මෙන්ම හරස් නිර්දේශ තිබෙනවා. පොදු නිර්දේශ සම්බන්ධයෙන් අදහස් පළ කළ බොහෝ දෙනෙක් කිව්වේ මෙය කිරීමට පෙර රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා අලුත් එකක් ගෙන ඒම, ඉඩම් ආදී මිනිසුන්ගේ විශ්වාසය තහවුරු කිරීමේ කාරණා පිළිබඳව සාකච්ඡා කළා. එමෙන්ම මෙම යාන්ත්‍රණ පිහිටුවන්නේ කොහේද? ඒවා පිහිටුවීමට ජනතාවද සහභාගී කරවා ගැනීම, භාෂාව සම්බන්ධ කාරණා පිළිබඳ අදහස් පළ වුණා. විශේෂ නිර්දේශ වශයෙන් මෙම යාන්ත්‍රණ පිහිටුවීමේදී කාන්තාවන්ට තැනක් දීම අනිවාර්ය යන්න ඇතුළත් වුණා. ඒ අනුව අපිට සතුටු විය හැකියි අපේ කලාපීය කාර්ය සාධක බලකායන් තුළ සියයට පනහකට වඩා කාන්තා නියෝජනය තිබුණා. තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් නිර්දේශ තිබුණා. මේ යාන්ත්‍රණ ගැන කතා කරද්දී මිනිස්සු කිව්වේ මේවා ඉක්මනින් සිදුවිය යුතුයි කියල. ඔවුන් කිව්වේ අපරාධයක් සිදුවී තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කළ යුතුයි කියල.
සංහිඳියා කාර්ය සාධක බලකා වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ආර්. සම්බන්දන් මහත්මයා කළ අදහස් දැක්වීමට අනුව යුධ අපරාධ සම්බන්ධයෙන් හොඳ චිත්‍රයක් ඇතිවෙනවාය යන්න මගේ අදහස. විපක්ෂනායකවරයාගේ අදහස වුණේ මෙය හමුදාවට එරෙහිව සිදුවන පරීක්ණයක් නොවෙයි වැරදි කළා නම් කළේ කවුද යන්න සොයා බැලෙන පරීක්ෂණයක්ය කියල. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
මම ඒ අදහසට එකඟයි. අපි කිසි කෙනෙක් කියන්නේ නැහැ යුධ අපරාධ චෝදනවාට සම්පූර්ණයෙන්ම හමුදාව මුහුණ දිය යුතුයි කියල. හමුදාවේ සමහර අය යුධ අපරාද සිදු කරලා තිබෙනවා. සමහර අය ඒ සඳහා ඕඩර්ස් දීලා තිබෙනවා. එය පරීක්ෂණයක් හරහා සොයා ගත යුතුයි මෙන්ම එය සිදු කිරීම හමුදාවට ඉතාම වැදගත්. සාම සාධක හමුදාව වශයෙන් ලංකාවේ හමුදා නිලධාරීන් පිටරට යවනවා. එහෙත් මෙවැනි චෝදනා එල්ල වී ඇති විට එය කළ නොහැකි වෙනවා. හමුදාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා මේ පරීක්ෂණය වැදගත්ය යන්න පැහැදිලි කිරීම ආණ්ඩුව විසින් කළ යුතුයි කියල මම හිතනවා.

සමබිම වෙනුවෙන් සකස් කලේ ජයනි අබේසේකර විසිනි.

Recent Posts

Tags: , , , ,

Leave a Comment