‘අපතයන්ගේ රජ්ජුරුවෝද? ගැමි ගොවි ප්‍රජාතන්ත්‍රවාදයේ බලවතාද?’ කියල අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අහන්න අවශ්‍යයි

Feb 13th, 2017 | By | Category: LEAD NEWS, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා අතිරේකය, සුදර්ශන ගුණවර්ධන
වර්තමාන දේශපාලන තත්ත්වය ගැන මොකද හිතනනේ?
මෙතෙක් ගෙන ගිය නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නිසා ප්‍රධාන පෙළේ රටවල පවා අද විශාල අර්බුදයක් ඇතිව තිබෙනවා. ඇමරිකාවේ නව ජනපතිගෙන් පවා එයට බලපෑම් එනවා. නමුත් අද ලෝකයම ධනවාදීයි. නිලධාරීවාදී ඊනියා සමාජවාදය කියන එක අද ලෝකයේ නැත්තටම නැති වෙලා. උතුරු කොරියාව, කියුබාව වැනි රටවල එවැන්නක් ඉතිරිව තිබෙන බවට යම් අදහස් තිබුණත් එවැන්නක් ලෝකය පුරා දැන් දකින්න නැහැ. එහෙත් මාක්ස්වාදයට ඉඩකඩක් ඇමරිකාවේ පවා මතුව තිබෙනවා. මේ සියල්ල සමඟ ජනවාරි අට වෙනස අපි බලාපොරොත්තු වූ අන්දමින්ම ඉදිරියට ගිහින් නැහැ. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීම ඉක්මන් කළ යුතුයි. රටේ ප්‍රධාන ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නේ නැතිව ආයෝජන හෝ වෙනයම් ආධාර ගේනවා කිව්වත් එයින් ප්‍රයෝජනයක් නැහැ. ඒ සියල්ල රඳා පවතින යටිතලය නිසිලෙස සකස් වෙන්න අවශ්‍යයි. මේ ක්‍රියාවලියට එරෙහිව එය කඩාකප්පල් කරන්න ඉන්න පිරිස විශාල ධනයක් තිබෙන ධන කුවේරයන් පිරිසක්. මට පෙනෙන්නේ ඔවුන් සමඟ සටනේදී අපි පරාජය වුණු ස්වභාවයකුයි. මේ පිරිස මුදල් අතින් වගේම පිරිස් බලයෙනුත් යම් ආකාරයකට ශක්තිමත්. ඔවුන් සමඟ ඇළී ගැළී සිටින ලක්ෂයක් පමනවූ පිරිස ක්‍රියාකරන්නේ ඒකාබද්ධ වූ තන්ත්‍රයක් වගේ.
ආණ්ඩුවට අපි බලාපොරොත්තු වූ අන්දමින් ඉදිරියට යන්න බැරි වීමට හේතුව වුණේ මේ ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් වීමද? ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී වැඩ කිරීමෙන් සිදුවුණේ හොඳක්ද? බාධාවක්ද?
විවිධ ආකාරයට තිබුණ බලපෑම්, ඒකාධිපතිත්වය ආදී සියලු දේ පෙරළ්ගෙන ජනතාව නැගීසිටීමත්, තවමත් ඔවුන් මේ අරමුණ සමඟ සිටීමත් තමයි ඉතාම වැදගත් කාරණය. එහෙත් ජනතාව බලාපොරොත්තු වූ තරමට ඉදිරියට යන්න බැරි වුණේ සම්පත්වලින් ප්‍රබලව සිටින සතුරාගේ බලපෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබෙන නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපතිතුමා වුවත් එහි පහළ මට්ටමට එතුමාගේ ඇසුර ලැබෙන්නේ නැහැ. මැද මට්ටමේ සිටින අයගෙනුත් එයට ලොකු සහයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් අර බාහිර ජාතිවාදී බලවේගයට යටවූ පිරිසක්. මේ නිසා සතුරාගේ කණ්ඩායම් විවිධ ස්වරූපයෙන් අභ්‍යන්තරයේම ඉන්නවා. ඒ ප්‍රශ්නය තිබියදී වුවත් ජනාධිපතිතුමා උත්සාහ දරනවා එම තත්ත්වය තුනී කරමින් ඉදිරියට යන්න. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවන සාකච්ඡාවල ගැටලුවක් නොපෙනුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන මේ අර්බුදයයි රටේත් අර්බුදය බවට පත් වී තිබෙන්නේ.
චිලීවල හමුදා කුමන්ත්‍රණයකින් අයියන්දේගේ පාලනය පෙරළා පිනොචේ බලයට පැමිණ 1989 පමණ වන තෙක් පාලනය ගෙන ගියා. පසුව ජනමත විචාරණයකදී ඔහු පරාජය වුණා. නමුත් ඒ වන විට තිබුණු පන්ති අරගලය තුනී වෙලා මුළු චිලී රටේම පක්ෂ වෙළෙඳපොළ ක්‍රමය පිළිගෙන තිබුණා කියල විචාරකයන් කියනවා. ලංකාවේදීත් 1977 එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන විට ඒ අය වෙළෙඳපොළ ක්‍රමය මත කටයුතු කරද්දී විරුද්ධ පක්ෂය එයට සම්පූර්ණයෙන්ම එරෙහිව කටයුතු කළා. දැන් මේ බෙදීම් තිබියදීත් වෙළෙඳපොළ ධනවාදය පිළිගැනීම සම්බන්ධයෙන් රටේ තිබෙන තත්ත්වය කුමක්ද?
චිලී රටේ හෝ වේවා වෙනයම් රටක හෝ වේවා ධනවාදය පිළිගැනීම යන අදහසට වඩා ධනවාදයට තව කල් තිබෙනවා යන අදහසයි තිබුණේ. නව ලිබරල්වාදය තුළ වෙළෙඳපොළ සක්‍රීය කරමින් යන ගමනක් ඇත්තටම සිදුවුණා. එයින් රටවල් අතර ධනවාදී පොහොසත් බවක් ඇති වුණා. දිළිඳුකම අඩු වී අධ්‍යාපනික තත්ත්වයන් සහ තාක්ෂණික දියුණුව සමඟ නුතනවාදී වර්ධනයක් ඇති වුණා. එම වර්ධනය හැම තැනකටම ගලාගෙන ගියා. අද ලංකාවේ ඈත එපිට ගමක ඉන්න අයෙකුට වුවත් ජංගම දුරකතන දෙකක් තිබෙන තත්ත්වයට පැමිණ තිබෙනවා. ත්‍රීවිලරයක්වත් හෝ නැති තැනක් අද නැහැ. එහෙත් අද ධනවාදයම අර්බුද තත්ත්වයකට පත්ව තිබෙනවා. ඇමරිකාවේ නව ජනාධිපති ධනවාදයට විරුද්ධයි. අපේ රටේ ජනතාව මේ ධනවාදය පිළිගත්තා සහ වඩා නුතනවාදී වුණා. මොඩර්න් සිරිත් විරිත් සිංහල ජාතියේ වර්ධනයට, මුස්ලිම් ආගමික වර්ධනයන්ට විරුද්ධයි කිව්වා වුවත් ජනතාව ඒවා පිළිගත්තේ නැහැ. ඒ නිසාම ජනතාව අතර ධනවාදී ආයෝජන ගන්නවාය යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිව නැහැ. එය කළ නොහැකි නම් සමාජවාදයට යායුතුයි වැනි අදහසක් අද හැම තැනින්ම මතුව තිබෙනවා. එහෙත් අපි එතනට යන්න ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අඩුව පිරිමැසිය යුතුව තිබෙනවා. අපිට තවමත් මේ රටේ ලාංකිකයෙක් වෙනුවට ඉන්නේ සිංහලයන්, ද්‍රවිඩයන්. එහෙත් ඉන්දියාවේ ඉන්නේ ඉන්දියානුවන්. මේ ප්‍රශ්නය විසඳා ගැනීම සම්බන්ධයෙන් දැනුවත්කමක් ජනතාව අතර තිබුණා වුවත් දේශපාලන ලෝකයේ ඒ දැනුවත්කම නැහැ. ජනතාව ඒ පිළිබඳ වන අවබෝධයෙන් පහුගිය ආණ්ඩුව පෙරළා දැමුවා. එහෙත් දේශපාලන ලෝකය තිබෙන්නේ ජනතාවට පිටුපසින්. ඒ නිසාම ජනතාවගේ අභිලාෂය යථාර්ථයක් බවට පත් ගැනීම සඳහා වන අරගලය ඉතාම දුර්වලයි. අපිට තිබෙන ප්‍රශ්නය එය මිස සංවර්ධනය නොවෙයි. ජනතාවගේ පාර්ශවයෙන් ඒ සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්නේ නැහැ. උදාහරණයකට ලාභ නොලබන ආයතන රජයට දෙන්න කිව්වම කිසිවෙක් විරුද්ධ වෙන්නේ නැහැ. ජනසතු ආයතන කිව්වට ඒවා ජනසතු ආයතන නෙවෙයි මාෆියා සතු ආයතන. සිදුව තිබෙන්නේ රජයේ මුදල් වියදම් කරල හොරුන් විසින් මාෆියාවක් ගෙනයාමයි. මාෆියාකාරයෝ එකතු වෙලා කරන වැඩකට භාණ්ඩාගාරයෙන් සල්ලි පොම්ප කරන්න සිදු වෙලා තිබෙනවා කියන එක ඕනම අයෙකුට පැහැදිලියි.
ප්‍ර: රටක් ලෙස ඉදිරියට යන්න අපි ශ්‍රී ලාංකිකයෙකු හදන්න අවශ්‍ය බව කියල ඔබ කිව්වා. ඒ සඳහා වැදගත් වන එක කාරණයක් සංහිඳියාව ගොඩනැගීමයි. රට එකතු කිරීමේ ක්‍රියාවලියේදී එක් අතකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ ක්‍රියවලියත් සංහිඳියාව සඳහා යාන්ත්‍රණ පිහිටුවීමත් ආදිය සිදුවෙනවා. මේ ක්‍රියාවලීන් ඔබ දකින්නේ කොහොමද?
පි: පළමු කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවකාශයේදී මේ තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීමයි. සංහිඳියාව සඳහා යාන්ත්‍රණ සකස් කිරීම කියන්නේ දෙවැනි කාරණයක්. ඒ අතර ජනතාවගේ ඉඩම් අල්ලාගෙන තිබෙනවා නම් ඒවා ජනතාවට ලබා දීම වැනි දේවල් වහා සිදුකළ යුතුයි. ඒවා සිදු කිරීමෙන් අනතුරුවයි සංහිඳියාව පිළිබඳව අපිට කථා කරන්න පුලුවන්. සංහිඳියාව දිර්ඝ කාලීන වුවක්. එහිදී ජනතාව අතර තිබෙන යම් යම් අවිශ්වාසකම් අඩු කරලා මානව අයිතිවාසිකම් ප්‍රශ්නය තුළ ඒ අය වර්ධනීය තත්ත්වයකට ගෙන යාම විය යුතුයි. මිනිස්සුන්ගේ ඔළුවේ තිබෙන ඉතිහාසයේ අවලංගු කළ යුතු අදහස් එකවර නැති කරන්න බැහැ. එය ක්‍රමානුකූලව සිදු විය යුත්තක්. දැන් එය කරද්දී සිදුවෙන්නේ පතුල නැති වළකට වතුර දානව වගේ වැඩක්. අපි දෙමළ ජනතා නායකයන්ගෙන් ඇහුවම ඔවුන් කියන පළමු දේ අපේ ඉඩම් දීලා නැහැ. යුද්ධයෙන් හානි සිදුවෙච්ච අපේ ගෙවල්වලට යම් මුදලක් හෝ දීලා නැහැ. අපේ අතුරුදහන් වුණු අයට සිද්ධ වුණේ මොකක්ද කියල දන්නේ නැහැ. තවමත් දේශපාලන සිරකරුවෝ දෙසියක් පමණ ඉන්නවා. ඔවුන් සම්බන්ධයෙන් නඩු අහනවද? මොකද සිද්ධ වෙන්නේ? මේ සියල්ල සමඟ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා ගෞරවනීය ලෙස ජීවත් වෙන්න ඉඩදෙන්න කියන දේ ඔවුන් වෙතින් ඉදිරිපත් වෙනවා. එයින් පසුව පුලුවන් මෙය සමාජයේ පහළම ස්ථරය දක්වා ගෙන ගිහින් සංහිඳියාව ඇති කරන්න. එය අවබෝධතා සාකච්ඡා තුළින්, සංස්කෘතිකාංග තුළින්, ඵෙතිහාසික පාඩම් තුළින් කළ යුතු විශාල කාර්යයක්. ඒ අනුව ව්‍යවස්ථාව තුළින් සියල්ලන් ලාංකීකයෝය යන සමානත්මතාවය පිළිගැනීම පදනම් කරගෙන සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව ඇති කර ගත හැකියි. පතුලේ තිබෙන ප්‍රශ්නය විසඳා නොගෙන ඉහළ අවකාශයේ තිබෙන ප්‍රශ්නයක් විසඳීමට නොහැකියි.
ප්‍ර: උතුරු පළාත් සභාව පාලනය වෙන්නේ පහෙන් හතරක බලයක් සහිතව දෙමළ ජාතික සන්ධානය විසිනුයි. ඒ තිබෙන බලතල භාවිත කර යම් දෙයක් කිරීමට පළාත් සභාව කටයුතු කරනවාද? නොඑසේ නම් එහි යම් කිසි ගැටලුවක් තිබෙනවද ඉදිරියට යාමේදී?
උතුරේ පමණක් නොවෙයි ලංකාව පුරාම පළාත් සභාවලට ලැබී ඇති බලතල අනුව ඒවා ක්‍රියාත්මක වීම ඉතාම අවමයි. බස්නාහිර පළාත් සභාවේ පෙත්සම් කාරක සභාවේ සභාපති වශයෙන් සිටියදී නිලධාරීන් සතුටු වුණා. මොකද තිබෙන ප්‍රශ්න සහ ඒවාට තිබෙන විසඳුම නිලධාරීන් දන්නවා වුවත් එයට දේශපාලන ආවරණයක් අවශ්‍යයි. මගේ ඉදිරියට ආව ප්‍රශ්න හයසියයකින්, හාරසියයක් පමණ විසඳනු ලැබුවා. මේ කාලේ පමණයි ඒ පෙත්සම් කාරක සභාව ක්‍රියාත්මක වුණේ. අනිත් කාරණය වෙන් කරන මුදල්වලින් සියයට තිහක් හෝ භාවිතයට ගන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ගේ වගේම දෙපාර්තමේන්තුවලට ලැබෙන මුදල් පාවිච්චි කරන්නේ ඉතාම අඩුවෙන්. නිරන්තරයෙන්ම මුදල් ප්‍රමාණවත් නැහැ කියල කිව්වට තිබෙන මුදුල්වත් නිසි ලෙස භාවිතයට ගන්නේ නැහැ. උතුර ගත් විට මේවා සඳහා ප්‍ර`ඥප්ති පනවලා, තිබෙන බලය තවදුරටත් ශක්තිමත් කරල එමඟින් ඔවුන්ගේ ජාතිකත්වයේ ප්‍රශ්නයට අදාළව පවා නීති සකස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් ඔවුන් ඒ සම්බන්ධයෙන් තිබෙන අවධානය අඩුයි සහ එය අපේ වැඩක් නෙවෙයි වැනි අදහසකයි සිටින්නේ. නමුත් සටන සංයුක්තයි. එය වියුක්ත ලෙස ගෙන හොඳ දේ කරන තෙක් අපි බලන් ඉන්නවා වගේ අදහසක ඉන්න බැහැ. අපි බඩගින්නක් ආවම හොඳම කෑම වේලක් එනකම් ඉන්නේ නැතිව බිස්කට් එකක් හරි කනවා වගේ මේ වැඬේත් විය යුතුයි. ඒ ආකල්පමය වෙනස ඇති කළ යුතුයි. දෙමළ ජාතික සන්ධානය පුරාම මේ තත්ත්වය තිබෙනවා කියල මම හිතන්නේ නැහැ. සුමන්දිරන් වගේ අය මීට වඩා විවෘතව මේ ප්‍රශ්නය දිහා බලන අය. පොදුවේ සියලු පළාත් සභා සම්බන්ධයෙන් තිබෙන ගැටලුව පැවරී තිබෙන බලතල සහ මුදල් නිසි ලෙස භාවිතයට නොගැනීම.
ප්‍ර: අලුත් ව්‍යවස්ථාවේ යෝජනා කරල තිබෙනවා ගම්වලට සහ ප්‍රාදේශීය සභාවටත් බලය යන්න අවශ්‍යයි කියල. ඒ අනුව මධ්‍යම අඩුවේ බලය පැවරීමත්, පළාත් සභාවල බලය පළාත් පාලනයට විමධ්‍යගත කිරීමත් සිදුවුණොත් ප්‍රජාතන්ත්‍රවාදයට මීට වඩා අර්ථයක් ලැබෙනවා නේද?
පි: පැහැදිලිවම ඔව්, පහුගිය ආණ්ඩුවෙන් ගෙනාව එල්. එල්. ආර්. සී. වාර්තාව ඉතාම හොඳ වාර්තාවක්. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදයට, ජාතික ප්‍රශ්නයට ලොකු විසඳුමක් යෝජනා කරනවා. එතුළින් පෙන්නුම් කරන්නේ ලංකාවේ සිටින බුද්ධිමතුන්ට විශේෂයෙන්ම නීතිය දන්නා උදවියට කොයිතරම් ජාතිවාදයට ඉහළින් නැගී සිටිමින් උත්තරයක් දෙන්න පුලුවන්ද කියල. අමාරුම කාලයක වැඩ කරලත් ජාතිවාදය මකා දැමීම වෙනුවෙන් ඉතාම වැදගත් කාරණා ඉදිරිපත් කර තිබෙනවා. එහි ගම් මට්ටමින් මූලික බලය බෙදීම කරන්නේ කෙසේද යන්න පිළිබඳ ලස්සන අදහස් ඉදිරිපත් වෙනවා. මෙහි තිබෙන ප්‍රශ්නය පහළට බලය බෙදීම කළ යුතු වුවත් එය කරන්න තිබෙන උනන්දුව ප්‍රමාණවත් නැහැ. ස්වපාලනය කියන දේ පහළ ගම් මට්ටමටත් යන්න අවශ්‍යයි. එය නිවසින් පටන් ගන්නා තැනකට යායුතුයි කියන එකයි මගේ යෝජනාව. මොකද එවැනි ආකල්පයක් තිබෙනවා නම් මේ ප්‍රශ්නය විසඳාගන්න අපිට පුලුුවන්.
ප්‍රාග්ධනය හැසිරවීම සම්බන්ධයෙන් රජයේ තිබෙන මැදිහත් වීම ඔබ දකින්නේ කොහොමද?
ඕනෑම රටක් සංවර්ධනය සඳහා යන විට ආණ්ඩුව සල්ලි මැවිය යුතුයි. එසේ නොමැතිව ඒ කටයුත්ත කරන්න බැහැ. ඒවාට වටිනාකම් ක්‍රියාත්මක වීම තුළින් ලබා ගත යුතුයි. අපිට ඉඩම්, වතුර, ඛනිජ ආදී සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. මේවා වඩා විශ්වසනීය ආකාරයෙන් ප්‍රයෝනයට ගත යුතුයි. ඉඩම් බදු නොදී කථා කිරීමෙන් ඵලක් නැහැ. තමන් බලයේ ඉන්න කොට බදු දෙන්නත් වෙන එකෙක් ඉන්න කොට රට කෑවා කීමත් මෝඩ කථාවක්. අපිට ශ්‍රමය තිබෙනවා. අපි බලන්න අවශ්‍යයි අපිට දෙන්න පුලුවන් මොනවද? විදේශ ආයෝජකයන් ලංකාවට පැමිණෙන්න උත්සහා කරන්නේ අපේ හැකියාවන් මොනවද කියල කිව්වොත් පමණයි. විදෙස් ආයෝජකයන්ට අවුරුදු විස්සක් හෝ තිහක්වත් ගැටලුවක් නොමැතිව කටයුතු කරන්න අවස්ථාවක් තිබෙන බව පැහැදිලි නොවී ඔවුන් ලංකාවට එන්නේ නැහැ. ඔවුන්ට ස්ථාවරභාවයක් අවශ්‍යයි. විශේෂයෙන්ම අපි මුදල් යෙදවීම පමණක් මෙහිදී ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපේ නීති හොඳින් සකස් වී තිබෙන බව, නිලධාරී තන්ත්‍රය දුෂිතව කටයුතු නොකරන බව, අපේ වියතුන් සිටින බව, ඉංග්‍රීසි දැනුම ව්‍යාප්ත වෙමින් තිබෙන බව ආදී වූ දේද ඇතුළත් අපේ සම්පත් ප්‍රමාණය පෙන්වීම මෙහිදී වැදගත්.
ඔබ කිව්වා ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුවත් පහළ මට්ටමේ ස්ථරය වෙත ළංවීමේ බාධාවක් තිබෙනවා, එතැන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේගයේ බලපෑම තිබෙනව බව. මහින්ද රාජපක්ෂ මහත්මයා කණ්ඩායමක් හදාගෙන බාහිරව කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ සහය ඔවුන්ට තිබෙනවාය යන්න ඇතැමුන්ගේ අදහසක්. ජනාධිපතිතුමා කොහොමද මේ අභියෝගය ජයගන්නේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් එවැනි වූ සහයක් මහින්ද රාජපක්ෂ කණ්ඩායමට ලැබෙනවද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දෙබඩි ලක්ෂණය මුල ඉඳලම තිබුණා. බණ්ඩාරනායක මැතිතුමාගේ චරිතය තුළත් ඒ ලක්ෂණය තිබුණා. එතුමා විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ගෙන ආවා. 1926දී ලංකාව ෆෙඩරල් රටක් කළ යුතුය යන අදහස ගෙන ආවා. ගම් සභාව ඔහු තම බලවේගය ලෙස ගත්තා. එහෙත් සිංහල භාෂාව පමණක් යන අදහස තුළ ජාතිවාදී තේමාවකුත් තිබුණා. පක්ෂය තුළ ඒ කාරණය තිබුණා වුවත් බණ්ඩාරනායක කියන දැවැන්ත චරිතය තුළ එය ඉදිරියට ගෙනියන්න නොහැකි වුණා වගේම මැතිණියගේ කාලයේත් ඒ සඳහා එලෙසින්ම ඉඩ දුන්නේ නැහැ. එහෙත් ‘අපතයෝ’ වගේ කණ්ඩායමක් දිගටම මේ ජාතිවාදය කියන දේ අරගෙන ගියා. චන්ද්‍රිකා මැතිණියගෙනුත් මේ කාරණය විශාල වශයෙන් නියෝජනය වුණා. එතුමිය ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස රට ප්‍රධාන ප්‍රදේශ තුනක් ලෙස සලකා ඒවා ඒකාබද්ධ කිරීමක් ගෙන ආවත් එය පාර්ලිමේන්තුව තුළත් කඩා වැටුණා. නමුත් එයින් පසුව එතුමිය ජනතා විමුක්ති පෙරමුණත් සමඟ ඒකාබද්ධ වීමේදී ඇති කරගත් ගිවිසුමෙහි ඇතුළත් වුණා ජාතික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා නොකරන බව. ඒ නිහඬ වීම තුළ බලය බෙදීම සහ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබෙන නිවැරදි දෘෂ්ටිය යටපත් කරල ඉදිරියට ගියා සහ එයින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රජපක්ෂ බාරගත්තා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම් මට්ටමේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය, ස්වපාලනය යන අදහස් මකාගෙන මේ ජාතිවාදය පිළිබඳ අදහස බලවත් වී තිබෙනවා. මේ බලවත් වීම ආපසු හැරවීමට ජානාධිපතිතුමා උත්සහා දැරවත් මුදල් අතින් සහ ක්‍රියාකාරී පිරිසක් සමඟ සිටින මහින්ද රාජපක්ෂගේ බලවේගයට මුහුණ දෙන්න නොහැකි වී තිබෙනවා. ඒ බලවේගය නිරන්තරයෙන් රැල්ලක් වගේ මතුවෙමින් ජනාධිපතිතුමා වටකරනවා. විටෙක ඒ රැල්ලට ජනාධිපතිතුමා යට වෙනවා හරියට ‘පොල් කෝම්බයක්’ වගේ. උදාහරණයක් විදිහට ගත්තොත් විග්නේශ්වරම් මහ ඇමතිතුමා කෑගැහුවා. වේදනාව තිබෙන ප්‍රදේශවල ඉන්න ජනතා නායකයෝ කෑගහනවා. නොවිසිඳුණ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තවමත් ඔවුන් තිබෙන නිසයි ඔවුන් කෑගහන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලි නායකයෙක් වගේ පෙනෙන දයාසිරි ඇමතිතුමා මේකට කෑ ගහනවා ‘බල්ලෙක් බැඳලා දාපන්’ වගේ කථා කියනවා. මෙයින් තේරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්නයක් තිබෙනවා. සිංහල බෞද්ධ යන බලවේගයට ඒ තුළ තිබුණ කුඩා ඉඩ පළල් වෙලා අද පක්ෂය මෙහෙයවන බලවේගය බවට පත්ව තිබෙන්නේ ජාතිකවාදය. මෙය රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
1994 දී චන්ද්‍රිකා මැතිණිය ජයග්‍රහණය කළේ එක්තරා විදිහකට ප්‍රගතිශීලි බලවේග සහ සුලු ජාතික පක්ෂවල සහයත් එකතු ගනිමින්. නමුත් මේ යන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් අනතුරක් තිබෙනවා නේද සුලු ජාතික පක්ෂ සහ ප්‍රගතිශීලි බලවේග කොහොමද එක්කාසු කරගන්නේ කියන දේ සම්බන්ධයෙන්?
ඔව්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සහයත් මෙහි තිබෙන නිසා තවමත් ඒ ආකාරයට ඒකාබද්ධව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. රටේ ප්‍රතිගාමී පක්ෂය යනුවෙන් එක්සත් ජාතික පක්ෂය විවේචනය කළත් හැමදාම ජාතික සමඟිය යන කාරණය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය. හැම විටම ඔවුන්ට දෙමළ, මුස්ලිම් ඡන්ද තිබුණා; නියෝජිතයෝ සිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රභාකරන් සමඟ ගිවිසුමකට යෑමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දැවැන්ත මුහුණුවරක් තිබෙන පක්ෂයක් බවට පත් වුණා. දැන් අපිට කියන්න බැහැ රටේ තිබෙන ප්‍රතිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියල. නමුත් තවමත් ලෙඩ තිබෙන අය ඉන්නවා. වාසුදේව නානායක්කාර වැනි අය තවමත් ඉන්නේ එක්සත් ජාතික පක්ෂය බටහිරට රට විකුණනවා කියන ගෝත්‍රවාදී අදහසේ. අද ඇමරිකාවේ බලපෑම සහිත අධිරාජ්‍යවාදයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ ආයතනයි අද බලය පෙන්වන්නේ. ජාත්‍යන්තර මට්ටමෙන් බැලුවත් දේශපාලනය කරන්නන්ට බලය නැතිව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ජනතාවගේ පුළුල් අදහස් එක්රැස් වෙලා තිබුණා. මේ අවලංගු කතාවලින් ගොඩට ඇවිත් ඒ සියල්ල එක්කාසු කර මේ අවස්ථාවේ ප්‍රශ්නය විසඳිය යුතුයි . වාමාංශිකයෝ පවා මොන ආකාරයේ අන්තවාදී අදහස් දැරවත් මේ ජාතික ප්‍රශ්නය සම්බන්ධ කාරණාවේදී ඔවුන් ඉදිරියට ඇවිත් සහය දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පවා බලය බෙදීම වෙනුවෙන් පෙනි සිටින තත්ත්වයක් පැමිණ තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිටතින් සිටින ‘අපතයන්ගේ රජ්ජුරුවන්ගේ’ බලය ඒ තුළට නිරන්තරයෙන්ම පැමිණිමක් තිබෙනවා. එයයි මේ බාධාව. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අහන්න අවශ්‍යයි ‘අපතයන්ගේ රජ්ජුරුවෝද රජ? ගැමි ගොවි ප්‍රජාතන්ත්‍රවාදයේ බලවතාද රජ?’ කියල.
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Recent Posts

Leave a Comment