ජනමත විචාරණයකට කාලය සුදුසු නැහැ

Feb 27th, 2017 | By | Category: LEAD NEWS, ආර්ථික, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රීලනිප එජාප ගැටුම, ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීම, ඇතුළු දේශපාලන කරුණු සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සමඟ කළ සාකච්ඡාවකි.

dilan-perera-1

අපේ ආණ්ඩුව කාලෙත් ජනතාව රට පෙරට හාල් හැටට කියලා කිව්වා. අද හාල් මිල වැඩි වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. ඕනෑම රටක ඕනෑම භාණ්ඩයක මිල අඩු කිරීමේ හැකියාවක් රජයකට හෝ රාජ්‍ය නායකයකුට නෑ. නමුත් මිල වැඩිවෙන වේගය පාලනය කරන්න පුළුවන්. ඒක මහජනතාව තේරුම් ගන්න ඕන. එහෙම නැතිව අරයගෙ සීයා මෙයාගෙ බෑණා කියලා චෝදනා නඟලා වැඩක් නෑ.
ජනමත විචාරණයකට තුඩු නොදිය යුතු ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යැයි ශ්‍රීලනිපයේ ප්‍රබලයන් කියා සිටින්නේ ඇයි?
අලුත් ව්‍යවස්ථාවක් ගේනවද, නැතිනම් තියෙන ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේනව ද කියන එකයි දැන් තියෙන මතය. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් කරලා ඒ හරහා අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි කියලා අගමැතිවරයා ගෙනාපු ක්‍රමවේදය පිළිබඳ යෝජනාවට ශ්‍රීලනිප විදිහට අපි විරුද්ධ වුණා. ඒකට විරුද්ධ වෙලා අපි සංශෝධන නවයක් ඉදිරිපත් කළා. ඒ නවය පිළිගත්තට පස්සෙ තමයි අපි අගමැතිවරයාගේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තෙ.
ගෙනාපු සංශෝධන මොනවා ද?
එක සංශෝධනයක් තමයි අපි ගෙනෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් ද? නැතිනම් තියෙන ව්‍යවස්ථාවට සංශෝධනයක් ද කියන කාරණය. ඒක තීරණය කළ යුත්තේ, පාර්ලිමේන්තුවේ මේ රැස් වෙන ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය කියලයි අපි කිව්වේ. අපි තාම ඉන්නේ ඒ ස්ථාවරයේ. එජාපය ඉන්නේ ඒ අය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාවට කිව්ව ස්ථාවරයේ. ජනාධිපතිවරණයේ දී අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග හිටියේ නෑ. හැබැයි හිටපු අය කියනවා එදා කිව්වේ, ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සම්පාදනයකට යා යුතුයි කියලා. ඒ නිසා තමයි අපි කිව්වේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මෙහෙයුම් කමිටුවක් පත් කරලා, අනුකමිටු පත් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න කියලා.
මෙහෙයුම් කමිටුවේ නිර්දේශ මොනවා ද?
ඒකෙදී තමයි මැතිවරණ ක්‍රමයක් අලුතෙන් හදන්න අලුත් යෝජනා ගේන්න, බලය බෙදීම සම්බන්ධයෙන් යෝජනා ගේන්න හා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන යෝජනා ගේන්න තීරණය වුණේ. මේ කාරණා තුනම කර ගන්න පුළුවන් නම් සියයට සියයක්ම හොඳයි. මේ කාරණා තුන කරගන්න නම් ජනමත විචාරණයකට යන්න වෙනවා. මේ වෙලාවේ ජනමත විචාරණයකට ගියොත් ජනතාව ඡන්දෙ දෙන්නේ රටේ උද්ගතවෙලා තියෙන ප්‍රශ්නෙට මිසක් මේ අහන ප්‍රශ්නයට නෙමෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ ජනමත විචාරණයකට නොයා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් සකස් කරන එකටයි ව්‍යවස්ථා සංශෝධනයකින් බලය බෙදීමේ ක්‍රියාවලියකටයි මේ වෙලාවේ යමු කියලා.
ඔබ කියන විදිහට ආණ්ඩුවට ජන විරෝධයක් තිබෙන බව පැහැදිලියි. ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි වෙලා තියෙනවා නේ ද?
මේ රටේ දැන් තියෙන ප්‍රශ්නය තමයි, සයිටම් විරෝධය, බඩු මිල ඉහළ යාම, දූෂණ අක්‍රමිකතා. මේවාට ජනතා විරෝධයක් තියෙනවා. අපි ව්‍යවස්ථා ජනමත විචාරණයට ගියාම වෙන්නේ ආණ්ඩු විරෝධී ඡන්දයක් භාවිතා වීමයි. ඒ නිසා මේ කාලය ජනමත විචාරණයකට යන්න සුදුසු කාලයක් නෙමයි. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙනවා. ඒ බලයෙන් මම කලින් කිව්ව කාරණා කරන්න පුළුවන්. එහෙම නැතිව ආණ්ඩුව සූත්තර – සාත්තරකාරයන්ගේ වෙලාවට වැඩ කරන්න ගියොත් වැඩ වරදිනවා. දැන් අගමැතිතුමා මේ සූත්තරකාරයන්ට අහුවෙලා ඉන්නවා. ජයම්පති වික්‍රමරත්න කියන්නේ එක සූත්තරකාරයෙක්. සුත්තරකාරයායි, සාත්තර කාරයයි ඉන්නෙ මහ පොළොවේ නෙමෙයි. මේ තමයි තුනෙන් දෙකක් ආණ්ඩුවට ලැබෙන අන්තිම අවස්ථාව. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කර ගත හැකි ව්‍යවස්ථා සංශෝධන තිබියදී සූත්තරකාරයන්ගේ පදේට නටනවාද කියලා ආණ්ඩුව තීරණය කරන්න ඕන.
dilan2
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි කියන මතයේ ශ්‍රීලනිපය ඉන්නවා ද?
ඔව්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් බෑ. ඒක කරන්න නම් ජනමත විචාරණයකට යන්න ඕන. ඒක තමයි අපි කියන්නේ ජනමත විචාරණයකට යන්න ඕන සුදුසු වෙලාවේ දී ඒක කරමු. දැනට කරන්න තියෙන්නේ අලුත් මැතිවරණ ක්‍රමයක් හා බලය බෙදීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් කරන එකයි. ඒත් අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ දී පරෙස්සම් විය යුතුයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකීය රටක බලය බෙදීමේ කාරණය කරන්න පුළුවන් වෙන්නේ ඊට උඩින් විධායක ජනාධිපතිවරයකු සිටියොත් පමණයි. හැම එකකටම කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් මේ කිසිවක් කරගන්න වෙන්නෙ නෑ.
පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඒකාබද්ධ විපක්ෂය අයින් වුණා නේ ද?
ඒක ප්‍රෝඩාවක්. මේ මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවක් තියෙනවා. ඊට අමතරව අතුරු කමිටු හයක් තියෙනවා. ඒ අය අයින් වුණේ අතුරු කමිටුවලින්. අතුරු කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉවරයි. මෙහෙයුම් කමිටුවේ දිනේෂ් ගුණවර්ධන මහත්තයයි, ප්‍රසන්න රණතුංග මහත්තයයි ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂය කරන්නේ මුළාවක්. තාම අලුත් ව්‍යවස්ථාවක වචනයක්වත් හදලා නෑ. ඒක ගැන තාම මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා වෙනවා. ඒවා ගැන දිනේෂ්, ප්‍රසන්න කියන මහත්තුරු හොඳින්ම දන්නවා.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් යාපන මහාධිකරණ විනිසුරු පත් කළැයි චෝදනාව එල්ල වෙන්නේ ජනපතිවරයාට. ඒ ගැන මොකද කියන්නේ?
ජනාධිපතිතුමා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කළේ නෑ. ඒ සංශෝධනය අනුව නීති සංගම් මෙන්ම අදාළ අයගෙන් විමසීමක් කළ යුතුයි කියලා යෝජනා වෙලා තියෙනවා. හැබැයි මේ ආකාරයට විනිසුරුවරුන් ජේ. ආර්, චන්ද්‍රිකා, මහින්ද කියන හිටපු ජනපතිවරු පත් කරලා තියෙනවා. මෙතැන දී නීතීඥ සංගමය ජනපතිවරයාට මේ පත්කිරීම යෝජනා කරපු වෙලාවේ මුලින්ම බෑ කියලා කිව්වා. නැවත වරක් නීතිඥ සංගමය එතුමා මුණගැහුණ වෙලාවේ තදින්ම කියා සිටියා මේක කරමු කියලා. ඒ අනුව තමයි මේ පත්වීම කළේ.
නීතිඥ සංගමයේ ලේකම්වරයා කියනවා එවැනි ඉල්ලීමක් සංගමය සිදු කළේ නෑ කියලා.
ලේකම්වරයා මොනවා කිව්වත්, ජනාධිපතිතුමා සභාපතිවරයා ළඟ ඉන්න කොට තමයි කිව්වේ, මේක නීතිඥ සංගමයේ ඉල්ලීමක් කියලා. අද නීතිඥ සංගමයේ ඉල්ලීමට විරෝධය දක්වලා ඒ අය ඔවුන්ගේ නිලවරණය වර්ජනය කරලා තියෙනවා. දැන් බලන්න මේ නීතිඥ සංගමය දේශපාලනීකරණය වෙලා නේ. කලින් හිටපු සභාපතිවරයා දැන් මොකක් ද කරන්නේ. එතුමා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයානේ. ඒ අය ස්වාධීන වෙස් මුහුණු දාගෙන ජනාධිපතිවරයාට චෝදනා කරන එක වැරැදියි.
පළාත් පාලන මැතිවරණය ප්‍රමාදය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දක්වමින් කියා සිටින්නේ පැරැණි ක්‍රමයට මැතිවරණය තියන්න කියලා නේද?
මොකක් ද පැරැණි ක්‍රමය කියන්නේ. එහෙනම් මම යෝජනා කරනවා පැරැණි ගම් සභා ක්‍රමයට තියන්න කියලා. හැබැයි මනාප ක්‍රමයට තියන්න බෑ. ඒ වගේ මෝඩ තකතීරු යෝජනා කරන කොට අපිත් මෝඩ වෙලා ගම් සභා ක්‍රමය යෝජනා කරනවා. අලුත් නීතියක් ගෙනත් තියෙත් දී ආයෙත් තිබුණ මැතිවරණ ක්‍රමයට යන්න බෑ. තියෙන අඩුපාඩු සංශෝධනය කරගෙන යෝජිත මැතිවරණ ක්‍රමයට මැතිවරණය තියන්න ඕන.
රටේ මතුවෙලා තියෙන සහල් අර්බුදය සම්බන්දයෙනුත් චෝදනා එල්ල වෙන්නේ වත්මන් ජනපතිවරයාට?
අපේ ආණ්ඩුව කාලෙත් ජනතාව රට පෙරට හාල් හැටට කියලා කිව්වා. අද හාල් මිල වැඩි වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. ඕනෑම රටක ඕනෑම භාණ්ඩයක මිල අඩු කිරීමේ හැකියාවක් රජයකට හෝ රාජ්‍ය නායකයකුට නෑ. නමුත් මිල වැඩිවෙන වේගය පාලනය කරන්න පුළුවන්. ඒක මහජනතාව තේරුම් ගන්න ඕන. එහෙම නැතිව අරයගෙ සීයා මෙයාගෙ බෑණා කියලා චෝදනා නඟලා වැඩක් නෑ.
 dilan1වේදිකාවේ දී එජාපය විවේචනය කරන්න එපා කියලා හිටපු ජනාධිපතිතුමිය ඔබට කිව්වා නේ ද?
මට නම් එතුමිය එහෙම කියලා නෑ. එතුමිය තමයි අපේ ආණ්ඩු කාලේ මට කිව්වේ, එතුමියගේ පුතා විමුක්ති කුමාරතුංග මහත්තයාව රාජකීය විද්‍යාලයට දාන එක නැවැත්තුවේ එදා අධ්‍යාපන ඇමැතිවරයාව හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ නිසා අතීතයේ සිදුවීම් කතා කර කර ඉන්න එක වැඩක් නෑ. මම නිකරුණේ එජාපයේ, ජේවීපියේ කවුරුවක්වත් විවේචනය කරන්නේ නෑ. මම කෙලින්ම කියනවා චන්ද්‍රිකා මැතිනිය එදා ගෙනාපු යෝජනා ඉතා සෘජු, සාධාරණ යෝජනා කියලා. ඒ ගෞරවය ඇයට දෙන්න ඕන. හැබැයි එතුමිය මේ දවස්වල ශ්‍රීලනිපයයි එජාපයයි ගහල තියෙන දීගය සදාකාලික කරලා හංසයාට කතිරේ ගහන්න කියන එක නම් බහුභූත. මේවා විකාර කතන්දර. අපි ශ්‍රීලනිපය ඉදිරියට අරගෙන යන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් එක්කයි.
2020 ජනපතිවරණයට ශ්‍රීලනිපයෙන් කවුද ඉදිරිපත් වෙන්නේ?
පැහැදිලිවම මම කියන්නේ එදාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මම මේක කියලා ටික කාලයක් වෙනවා. මේ කතාව මම පක්ෂ මහ ලේකම්වරයාටත් කිව්වා. සන්ධාන ලේකම්වරයාටත් කියනවා. මේකට කවුද විරුද්ධ. එක පැත්තකින්, මහින්ද රාජපක්ෂ මහත්තයා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ අය තමයි විරුද්ධ වෙලා ඉන්නෙ. ඔය ඔක්කොමලා එක එක හේතු දාලා කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ආයෙ ඉදිරිපත් වෙන්න එපා කියලා. මේකට හේතුවක් තියෙනවා. ප්‍රේමදාස මහත්තයා විතරයි ඉහළ රඳල හෝ වලව්, ධනපති පැලැන්තියකින් පිට මේ රටේ ජනාධිපතිවරයා වුණේ. ඒ වගේ පැලැන්තියකින් තොරව දෙවැනි වතාවට තමයි මේ රටේ විධායක ජනපතිවරයෙක් පත් වෙලා තියෙන්නේ. මෙතැන අප්‍රකාශිත දේශපාලන හවුලක් තියෙනවා. ඒක තමයි පහළ පන්තියෙන් පත් වුණ මේ නායකයාගේ තනතුර ඩැහැගෙන ඒ අයගේ පන්තියට ගැනීම. මෙතන ඔරිජනල් වලව්කාරයෝ, ඩුප්ලිකේට් වලව්කාරයෝ, කොළඹ ධනපති, කොම්පදෝරු තුන්ගොල්ලොම කියන කතාව තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දෙ ඉල්ලන්න එපා කියන එක.
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ජනපතිවරයා යටතට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය කියද්දී ඇයි නොගන්නේ?
ඔය ගොල්ලෝ එතුමාට ආයෙ ඡන්දෙ ඉල්ලන්න එපා කියනවා. බන්දුල ගුණවර්ධන මහත්තයලා කියනවා මේ ආයතන පවර ගන්න කියලා. එතකොට අද රටේ ජනතාව කෑ ගහලා අහනවා මුළු රටේම ජනතාවගේ බලයෙන් පත් වෙච්චි ඔබතුමා බලය පාවිච්චි කරලා මේ රට පාලනය කරන්නේ නැත්තේ ඇයි කියලා. කොළඹ දිස්ත්‍රික්කයෙන් හරි වෙනත් දිස්ත්‍රික්කයකින් හරි පත් වෙච්චි කෙනෙකුට රට පාලනය කරන්න දීලා තියෙන්නේ ඇයි කියලා ජනතාව අහනවා. අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විරුද්ධ අයත් කියනවා තමන් අතට බලය ගන්න කියලා. ඒ අය කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නකන් විධායක බලයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්න ඕන කියලා. මොකක්ද මේ ජනතාව කියන්නේ. කරුණාකරලා වෙන අයට රට පාලනය කරන්න දෙන්නේ නැතිව ඔබතුමා රට පාලනය කරන්න කියලයි කියන්නේ.

 

දුමින්ද අලුත්ගෙදර
උපුටා ගැනිම http://www.dinamina.lk

Recent Posts

Leave a Comment