යොහාන් දේවානන්ද සහ අබ්දුල් රසාක්

Mar 27th, 2017 | By | Category: EVENT, OTHER NEWS, කාලීන, පුරවැසි සංවිධාන, සමබිම ඉරිදා අතිරේකය

සිය ජීවිත කාලයෙන් අවුරුදු 50කට අධික කාලයක් සමාජ යහපත උදෙසා කැප කළ මේ වන විට අභාවප්‍රාප්ත වී සිටින්නා වු පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව පැවැත්වෙන ගුණ සමරු සටහනක් 2017 මාර්තු මස 27 සඳුදා එනම් අද දින කුරුණෑගල, ඉබ්බාගමුව, යකල්ලේ දේවසරණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය පදනම් කොට ගෙන ආගම් දෙකක් නියෝජනය කරමින් තම ජීවිතයේ අවසාන සමය දක්වාම වයස්ගත බව පමණක් නොව ශාරීරික අපහසුතාවයන් පිළිබඳවද නොතකමින් හා තමන්ගේ පුද්ගලික දිවි පැවත්ම පිළිබඳවද කිසිදු සැළකිල්ලක් නොදක්වා ජනතාව පෙළෙන ලද අසාධාරණයන්ට එරෙහිව අඛණ්ඩව කටයුතු කළා වූ එම දෙපළ අතුරින් යකල්ල, දේවසරණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ යොහාන් දේවානන්ද පියතුමා මීට අවුරුද්දකට පෙරද අනෙක් අයවූ නිකාදළුපොත තිත්තවැල්ගාලේ අබ්දුල් රසාක් මහතා මීට මාස දෙකකට පෙරද අභාවප්‍රාප්ත විය.

යොහාන් දේවානන්ද පියතුමන්ගේ දේහය එතුමන්ගේ ඉල්ලීම පරිදිත් රසාක් මහතාගේ දේහය ඔහුගේ ආගම අනුවත් ඉතා චාම් අයුරින් හා අප්‍රකටව මිහිදන් කෙරුණු අතර විශේෂයෙන් රසාක් මහතාගේ අභාවය පිළිබඳව ඔහුගේ හිතවතුන් වැඩි දෙනෙකුට දැන ගැනීමට පවා නොහැකි විය. එම අවසන් කටයුතු එසේ සිදු වුවද ඔවුන්ගෙන් ජනතාවට සිදුවුණා වූ අනුපමේය මෙහෙය පිළිඳව යළි යළිත් සිහිපත් කරන දේවසරණ මධ්‍යස්ථානය ප්‍රධාන වූවන්ගේ හිත මිතුරන් එම දෙපළ අනුස්මරණය කිරීමේ වැඩ සහටනක් සංවිධානය කිරීමට අදහස් කරන ලදී.

යොහාන් දේවානන්ද පියතුමා සිය ජීවිත කාලය පුරාම පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටි අතර ඒ සඳහා ජනතාව සමඟ සංවාද ගොඩනගා ගනිමින් නිරන්තරව ඔවුන් හා රැඳී සිටිමින් කටයුතු කළහ. තම ආගමික අනන්‍යතාව රැක ගනිමින් සියලු ආගම් හා වාමංශික දේශපාලන දර්ශනයන් කැටිකොට ගත් චින්තනයක් මත පිහිට කටයුතු කිරීම එතුමන්ගේ සේවයේ කැපී පෙනුන අංගයක් විය. බහුතරයකට අදටත් වටහා ගත නොහැකි හා අදහගත නොහැකි මෙම ආදර්ශය එතුමන් සිය ජීවිත කාලය පුරාවටම අනුගමනය කළේය.

ජනතාව මුහුණ දුන් අභියෝගයන් හිදී එතුමන් ඉතා නිර්භීතව හා ධෛර්්‍යයමත්ව එම ජනතාවට සහන අත්කර දීම සඳහා සක්‍රීයව මැදිහත් වු අතර 71 දේශපාලන සිරකරුවනේගේ නිදහස, ජුලි වර්ජකයන්ගේ සටන හා ගොවි ජනතාව වෙත පැටවුණු ජල බද්ද ආදී අවහිරතාවන් හිදී එතුමන්ගේ ක්‍රියාකාරිත්වය මැනවින් ප්‍රදර්ශනය වූයේය. මේ හැර එතුමන් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් හා කාන්තා ක්‍රිියාකාරිත්වයන් ගොඩනැංවීම වෙනුවෙන්ද දැඩි කැපවීමකින් ක්‍රිියා කළහ.

එසේම යුද වැදුණු රටක මුළුමහත් සමාජයම පාහේ ඒ වෙනුවෙන් පෙනී සිටියදී යුද විරෝධී මතයක සිටිමින් කටයුතු කළ එතුමා සිය ජීවිතයේ අවසන් යාමයේද පවා සංහිඳියාව හා සහජීවනය උදෙසා නොපැකිලිව හා නොබියව අදහස් පළ කරන ලදී. මේ අතර 2015 ජනවාරි 08 සිදු වූ ආණ්ඩු පෙරළිය “විප්ලවයකුයි” කියා සිටි එතුමා තමන් මිය යන්නට පෙර එවන් තත්ත්වයක් උදාවීම ගැන සතුටට පත්ව සිටි බවක් පෙනුනි.

අබ්දුල් රසාක් මහතා තමන්ගේ මව්බස දෙමළ වුවද සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබු එමෙන්ම එය චතුර ලෙස කතා බහට පමණක් නොව ලේඛනය සඳහාද යොදාගත් සම්ප්‍රදායක මුස්ලිම් වරයෙකුගේ භූමිකාවෙන් ඉදිරියට ගොස් වාමාංශික දේශපාලනයේ යෙදෙමින් නිර්ධන පංති විප්ලවය වෙනුවෙන් ප්‍රසිද්ධියෙත් වරෙක රහසිගතවත් කටයුතු කළ අයෙකු විය. ගිනි පුපුර, පෙරදිග සුළං, ජනතා සංගමය ආදී වාමාංශික දේශපාලන ව්‍යාපාරයන්හි ප්‍රබල ක්‍රිියාධරයෙකු වූ රසාක් මහතා සමස්ත ලංකා ගොවි සම්මේලනය හරහා වාමාංශික ගොවි ව්‍යාපාරය ශක්තිමත් කරලීම සඳහාද කටයුතු කළේය. එසේම ජාතීන් අතර සහජීවනය වෙනුවෙන්ද කාන්තා හා ළමා අයිතීන් වෙනුවෙන්ද ඔහු නිරන්තරව ක්‍රිියා කරන ලදි.

මේ අතර පැවති රාජපක්ෂ රෙජිමයට එරෙහිව සටන් මඟට පිවිසි රසාක් මහතා එහිදී සිය දැඩි වාමාංශික දේශපාලන මතවාදයක් හා ක්‍රියාකාරීත්වය මඳකට අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම උදෙසා වෙනත් මඟක් තෝරා ගත් අතර ඒ අනුව 2009 දී ආරම්භ වු එජාපය ඇතුළු එවකට විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන සමග එක්ව ගොඩනගා ගත් “නිදහසේ වේදිකාව” හා 2014 දී බිහි වු “වීදියේ විරෝධය” හා එක්ව එම රෙජීමය පෙරළා දැමීම සඳහා දායකත්වය සපයන ලදී. 2015 ජනවාරි 08 අත්කර ගත් එම ජනතා ජයග්‍රහණය පිළිබඳව රසාක් මහතාද සතුටට පත්ව සිටි අතර මිය යන අවස්ථාව වනතුරු ඔහු නව රජය පිළිබඳව වෙනත් අය මෙන් අප්‍රසාදය පළ කරනු අසන්නට නොලැබුණි.

මෙම දෙපළගේ අභාවය කුරුණෑගල අපට මෙන්ම රටටද විශාල පාඩුවක් බවත් එම අඩුව පිරිමසාලීම ඉතා අසීරු කරුණක් බවත් සඳහන් කරන අතර ඔවුන්ගේ දර්ශනය මත පිහිටා තව දුරටත් කටයුතු කිරීමට ඔවුන්ගේ හිතවතුන් වු අප කවුරුත් යම් තරමකට හෝ උත්සාහ දැරිය යුතුව ඇති බව විශේෂයෙන් සඳහන් කරමු. ඔවුන් සැමරීම අරුත් ගැන්වෙන්නේ එවිටය. 

ඥානවීර දිසානායක විසින් 2017.03.26 වන දින රාවය සමබිම අතිරේකයට ලියන ලද ලිපියකි.

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment