ඉන්දියාවෙ එහෙම වුනත් – ලංකාවේ එහෙම වුනේ නැත්තෙ ඇයි?

May 9th, 2017 | By | Category: OTHER NEWS

මෙම ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බවයි. මෙම නව ව්‍යවස්ථාව හරහා මෙරට ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීමට ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ද අපේක්ෂා කරන ලදී. මෙම ක්‍රියාවලියේ මුල් පියවර වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර එහි වාර්තාව ද නිකුත් කර ඇත. මින් පසුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වූ අතර එම මණ්ඩලයට පාර්ලිමේන්තු කාරක සභාවක බලය ඇත.

lal-wijenayake-report
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව මන්ත්‍රීවරුන් 21 දෙනකුගෙන් සමන්විත වන අතර මෙම කමිටුවේ කාර්යභාරය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත පිළියෙල කිරීමයි. මෙහෙයුම් කමිටුව විසින් නිශ්චිත විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තවදුරටත් මහජන අදහස් විමසූ අතර මේවා පදනම් කරගෙන මහජන අදහස් විමසීමේ කමිටුව විසින් අතුරු වාර්තාවක් ද ඉදිරිපත් කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මුල්‍ය, රාජ්‍ය සේවය සහ මධ්‍යම-පර්යන්ත සබඳතා යන සය වැදෑරුම් කාරණා පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටු හයක් පත්කරන ලදී. මෙම අනු කමිටු සියල්ලේම වාර්තා දැන් ඉදිරිපත් කර ඇත. තවමත් ඉදිරිපත් කර නැත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පතයි. මෙයට හේතුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධනාත්මක නොවන ආකල්පයයි.

රටේ මූලික ප්‍රශ්නය වන්නේ ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීම බැවින් මධ්‍යම-පර්යන්ත සබඳතා පිළිබඳ අනු කමිටු වාර්තාව ඉතා වැදගත්ය. මෙරට පවතින සිංහල බෞද්ධ ජනප්‍රිය විශ්වාසය වන්නේ උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජනතාව බලය බෙදීමට කැමති බවත්, විශේෂයෙන්ම දෙමළ ජනතාව බලය බෙදීම හරහා වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට උත්සාහ කරන බවත්, දකුණේ වෙසෙන සිංහල ජනතාව බලය බෙදීමට විරුද්ධ බවත්ය. ලාල් විජේනායක කමිටු වාර්තාව මගින් ද මධ්‍යම-පර්යන්ත සබඳතා පිළිබඳ අනු කමිටු වාර්තාව මගින් ද මෙම මතය ඛණ්ඩනය කර ඇත.

මෙම අනු කමිටුව ඉදිරියේ සාක්ෂි දුන් දකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ප්‍රධාන ඇමතිවරුන් තමන්ගේ පළාත් සභාවල කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා තමන් වෙත තවත් බලතල ලැබිය යුතු බව නිර්දේශ කර ඇත. එබැවින් බලය බෙදීම හරහා සමස්ත රට තුළ කටයුතු කාර්යක්ෂමව ඉටුවීමට මග සැලසෙන අතර එහි අතුරු ඵලයක් ලෙස ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබේ. මෙම කාරණය සලකා බැලීමේදී පමණක් මෙරට වෙසෙන අන්තවාදී සිංහල බෞද්ධයන් පසුගිය අවුරුදු 69 තුළ කටයුතු කර ඇති අමනෝඥ ස්වභාවය විශද වේ.

මෙම අනු කමිටුව ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතනවල බලතල, පළාත් විධායක කාරක සභා, ආණ්ඩුකාරවරයාගේ බලතල, පළාත්වල පරිපාලන ව්‍යුහ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ කාර්යභාරය, ආදායම් එකතු කිරීම හා ආදායම් බෙදීම සම්බන්ධ කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර සමගාමී ලැයිස්තුව, පොලිස් හා ඉඩම් බලතල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පිළිබඳව ද කරුණු දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ක්‍ ඡේදය අනුව ආණ්ඩුකාරවරයාට ඍජුවම හෝ අමාත්‍ය මණ්ඩලය හරහා හෝ පළාත් සභාවේ නිලධාරීන් හරහා හෝ විධායක බලය ක්‍රියාත්මක කළ හැක. මේ අනුව ප්‍රධාන අමාත්‍යවරයාගේ භූමිකාව, මෙරට අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාවට අදාළව ආර්. ප්‍රේමදාස මහතා අගමැතිව සිටි යුගයේ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයට අනුගත වේ. මෙම තත්ත්වයට ප්‍රතික්‍රියාවක් වශයෙන් ආණ්ඩුකාර තනතුර සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවත් පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයා විසින් පත්කළ යුතු බවත් උතුරු මැද පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා අනු කමිටුවට නිර්දේශ කර තිබේ.

ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට පාදක වූ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඡේදය අනුව ආණ්ඩුකාරවරයාට ඍජුවම හෝ පළාත් සභාවේ නිලධාරීන් හරහා හෝ විධායක බලය ක්‍රියාත්මක කළ හැක. අමාත්‍ය මණ්ඩලයේ සම්බන්ධයක් ව්‍යවස්ථාවේ සඳහන්ව නැත. ඉන්දියාවේ මෙම තත්ත්වය කළමනාකරණය කරන ලද්දේ ප්‍රාන්ත සහ මධ්‍යය අතර වන දේශපාලන අවබෝධය මගිනි. එනම් මධ්‍යය සමන්විත වන්නේ ප්‍රාන්තවල නියෝජනය මත බැවින් මධ්‍යය විසින් අනවශ්‍ය බලයක් ප්‍රාන්ත මත මුදාහැරියහොත් ප්‍රාන්ත විසින් මධ්‍යය අර්බුදයකට ලක් කිරීමට ඉඩ තිබේ. ආරම්භයේදී කොන්ග්‍රස් පක්ෂය මධ්‍යයේ ද සියලු ප්‍රාන්තවල ද බලවත්ව තිබුණි. ඒ අනුව එවකට බල තුලනයක් විය. පසුව ඉන්දිරා ගාන්ධි යුගයේදී කොන්ග්‍රසයේ බලය හීනවී ප්‍රාන්ත පක්ෂ බලවත් වූ විට ප්‍රාන්ත ආණ්ඩු විසුරුවා ඒවා මධ්‍යය යටතට පත්කිරීම් සහ පසුව වෙනම රාජ්‍ය සඳහා වන ව්‍යාපාර ඇතිවිය. දැන් මේ තත්ත්වය සමනය වී නැවතත් බල තුලනයක් ඇතිවී තිබේ.
ලංකාවේ බලය බෙදීමේ ඉතිහාසය තුළ ඇති වූ වංක ක්‍රියාකාරිත්වයන් නිසා ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන මෙවැනි තුලනාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම අපහසුය. ආණ්ඩුකාරවරයා නාමික විධායකයකුගේ තත්ත්වයට ව්‍යවස්ථාව මගින්ම පත්කළ යුතු බව අනු කමිටුව යෝජනා කරයි.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ කාර්යභාරය මගින් පළාත තුළ ද්විත්ව බලයක් නිර්මාණය වන බව අනු කමිටුව පෙන්වා දේ. එබැවින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු ද ග්‍රාම නිලධාරින් ද පළාත් සභා යටතට පත්කර ඔවුන් මගින් මධ්‍යම ආණ්ඩුවේ කාර්යභාරයන් ඉටු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අනු කමිටුව යෝජනා කරයි. එමෙන්ම පළාත් සභාව තුළ තිබෙන පළාත් පාලන ආයතනවල සම්පූර්ණ වගකීම පළාත් සභාවලට පැවරිය යුතු බවත් මධ්‍යම ආණ්ඩුව මගින් කෙළින්ම පළාත් පාලන ආයතන වෙත මුදල් ලබා දීම නොකළ යුතු බවත් අනු කමිටුව යෝජනා කරයි.

පළාත් සභා කලින් වෙළෙඳ සමාගම්වලින් පිරිවැටුම් බද්ද අයකරගත් නමුත් එකතු කළ අගය මත බදු පැනවීම නිසා එම බද්ද අහිමි වූ බවත් දැනට මධ්‍යම ආණ්ඩුවෙන් යැපෙන තත්ත්වයක ඇති බවත් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවන බවත් අනු කමිටුව පෙන්වා දේ. මෙයට අමතරව ගම් ගණනාවක් එක්කර ග්‍රාම රාජ්‍ය ඇතිකිරීමට ද යෝජනා කර තිබේ.

මූලික වශයෙන් අනු කමිටුව යෝජනා කරන්නේ පළාත තුළ පවතින සියලු රාජ්‍ය ආයතන පළාත් සභාවට වග කියන ලෙස බල සම්බන්ධතා නැවත සකස් කරන ලෙසයි. මේ අනුව පළාත තුළ කෙරෙන මධ්‍යම ආණ්ඩුවේ කටයුතු ඉටු කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුය. මේ මගින් බලය බෙදීම ක්‍රමානුකූල කර සම්පත් සහ ශ්‍රමය අනවශ්‍ය පරිදි අවභාවිත කිරීම වැළැක්වේ. මෙම යෝජනාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ සාමාජිකයන්ගේ අනුමැතිය ලැබී ඇති අතර ඒවාට පක්ෂයේ නිල අනුමැතිය තවමත් ලැබී නොමැත. ප්‍රධාන පක්ෂ දෙක එකතු වූ ප්‍රධාන කාරණය මෙය බැවින් සියල්ලන්ගේම අවධානය මේ සඳහා යෙදිය යුතු කාලය එළඹ තිබේ.

හර්ෂ ගුණසේන

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment