ඒක පුංචි මැජික් එකක්

May 25th, 2017 | By | Category: OTHER NEWS, තොරතුරු හෙළිකරනු, දැනුම, දේශපාලන

biggest-post-office-in-india

‘නන්නු’ කියන්නේ නැගෙනහිර දිල්ලියේ ජීවත් වූ දෛනික වැටුපක් ලබන මිනිසෙක්. ඔහුගේ සලාක කාඞ්පත නැතිවීම නිසා නැවත එය ලබා ගැනීමට 2004 වර්ෂයේදී අයදුම් කරනු ලැබුවා. ප්‍රාදේශීය ආහාර හා සිවිල් සැපයුම් කාර්යාලයට ඔහු මාස තුනක් තිස්සේ කිහිප වතාවක් ගියත් තමන්ගේ නැති වූ සලාක කාඞ්පත වෙනුවට අලුත් සලාක කාඞ්පතක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වුණා. නන්නුට තමන්ගේ සලාක කාඞ්පත තබා තමන්ගේ ප්‍රශ්නය පිළිබඳව හෝ තමන් පිළිබඳව සැලකිලිමත් වන නිලධාරියෙකුවත් එහිදී මුණගැසුණේ නැහැ. අවසානයේ නන්නු තීරණය කරනවා “තොරතුරු දැනගැනීමේ අයිතිය පනත” යටතේ අයදුම්පතක් ගොනු කරමින් තමන්ගේ ඉල්ලීමේ දෛනික ප්‍රගතිය පරීක්ෂා කර බලන්න.

තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ අයදුම්පත බාර දී සතියක් ගත වීමට මත්තෙන් ආහාර දෙපාර්තුමේන්තුවේ පරීක්ෂකවරයෙක් නන්නුගේ නිවසට පැමිණ නන්නුට කියනවා ‘නන්නු ජී ඔබගේ ආහාර සලාක කාඞ්පත සූදානම් එය රැගෙන යන්න කාර්යාලයට පැමිණෙන්න’ කියල. නන්නු පසුදාම කාර්යාලයට ගොස් ප්‍රධානියාව මුණගැසෙනවා. ප්‍රධාන ආහාර සැපයුම් නිලධාරියා නන්නුට තේ කෝප්පයක් පිළිගන්වමින් උණුසුම් අයුරින් ඔහුව පිළිගන්නවා. ඔහු නන්නුට කියනවා “නන්නු ජී මෙන්න ඔබගේ සලාක කාඞ්පත, කරුණාකර ඔබ ඉදිරිපත් කළ ආර්.ටී.අයි. අයදුම්පත ඉවත්කර ගන්න” කියල.

මේ එක සත්‍ය කතාවක්. මම තව කතාවක් කියන්නම්. ‘අශෝක් ගුප්තා’ තම නිවසට විදුලි සබඳතාවයක් ලබා ගැනීම සඳහා 2001 වසරේ පෙබරවාරියේ දිල්ලි විදුලි බල මණ්ඩලයට අයදුම්පතක් යොමු කළා. එහෙත් සිද්ධ වුණේ දිල්ලි විදුලි බල මණ්ඩල නිලධාරියා ඔහුගෙන් අල්ලස් ඉල්ලීමයි. අශෝක් ගුප්තා ඔහුට අල්ලස් දීම ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රතිඵලය ලෙස ඔහුගේ නිවසට විදුලි සබඳතාවය ලබා ගැනීමට නොහැකි වෙනවා. අශෝක් ගුප්තා තමන්ගේ කන්නලව්වත් අරගෙන දිල්ලි විදුලි බල මණ්ඩල කාර්යාලයට කීප වතාවක් ගියත් කිසිම නිලධාරියෙක් ඔහුව මායිම් කළේ නැහැ. අවසානයේ අශෝක් ගුප්තා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් අයදුම්පතක් යොමු කළා. ඒ 2002 වසරේ පෙබරවාරියේදී. එම වසරේම මාර්තු මස වන විට ආශ්චර්යමත් ලෙස අශෝක් ගුප්තාගේ නිවසට නව විදුලි සබඳතාවය ලැබුණා.

මෙවැනි කතා බොහොමයක් ඉන්දියාවෙන් අරන් ඔබට කියන්න අපට පුළුවනි. අපේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කර ගැනීමෙන් නිදහස් ඉන්දීය භූමියේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය අතිශයින්ම පුළුල් කරගත්තා. විනිවිදභාවය කියන්නේ හැම රටක්ම යා යුතු දිගු ගමනක්. තොරතුරු දැනගැනීමේ අයිතිය ඒ දිගු ගමනේ එක සැතපුම් කණුවක් විතරයි. ඒ සැතපුම් කණුව ජයග්‍රාහී ලෙස පසුකර යන්න අද ඉන්දියාව සමත් වෙලා තිබෙනවා. ඒ නිකන්ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කිරීමෙන් නෙවෙයි. රටේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මූලික කොටගත් සංස්කෘතියක් ගොඩනැගීමෙනුයි. ඒක එක රැයින් හැදුණේ නැහැ. ඒ අයිතිය දිනාගත්තේත් ඒ තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ වෙනම සංස්කෘතියක් හැදුණේත් ඒ රටේ මිනිස්සු ඒ අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ගෙන ගිය විශාල මහජන ව්‍යාපාර සහ අරගලයේ ප්‍රතිඵලයක් ලෙයසි. තොරතුරු දැනගැනීමේ අයිතිය පනතක් වශයෙන් දිනා ගැනීමෙන් ඔබ්බට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මිනිස්සුන්ගේ ලේවලට මුහු කරන්න ඉන්දීය මහජන ව්‍යාපාරයන් විශාල මැදිහත් වීමක් සිදු කළා. එහෙම නොවුණා නම් නන්නු වගේ දුප්පත් මිනිහෙක්ට තමන්ට හිමි දේ දිනාගන්න ලැබෙන්නේත් නැහැ. රාජ්‍ය ආයතනයකින් ප්‍රශ්න කරන්න ඔහුට හයියක් ලැබෙන්නෙත් නැහැ.

150129123753_lanka_parliament__512x288_epa_nocredit
දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන උවමනා එපාකම් මත සිදු වූ කකුලෙන් ඇදීම් පසුබෑම් හේතුවෙන් සම්මත කර ගැනීමට නොහැකිව තිබූ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පසුගියදාක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවා. මේ අයුරින් තොරතුරු දැනගැනීමේ පනත අප සම්මත කරගන්නා විටත් එම අයිතිවාසිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මඟින් අපට මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් ලබා දී තිබුණා. එනමුත් භාවිතයේදී හුදු අයිතිවාසිකම් ලියවිල්ලක පමණක් තිබීම ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ අයිතිවාසිකම් මත පමණක් පදනම් වෙලා මම ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් කිව්වොත් ‘මට ඔබේ ආයතනයේ තොරතුරු අවශ්‍යයි. ඒ සඳහා ඔබේ ආයතනයේ සියලුම තොරතුරු ගොනු පිරික්සා බලන්න අවශ්‍යයි’ කියල එම ආයතනයේ පිරිස් මාව බෙල්ලෙන් අල්ලලා එළියට ඇද දමනු නිසැකයි. ඒ දරුණු ප්‍රතිචාරයට ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම තිබෙනවා ඔබ ආයතනය එය දන්නේ නැද්ද’ වැනි ප්‍රතිචාරයක් දක්වන්න මට බැහැ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් වශයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය තිබුණත් එය භාවිතයට ගත හැකි ආකාරයේ යාන්ත්‍රණයක් අපට තිබුණේ නැති නිසයි අපිට ඕනෑ අන්දමින් තොරතුරු කාගෙන්වත් ඉල්ලන්නවත් ඒ ඉල්ලීම සලකලා යම් කෙනෙක් අපිට තොරතුරු දෙන්නවත් සූදානම් නොවුණේ. අපේ රටේ සිවිල් සමාජ ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් දීර්ඝ කාලයක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ඉල්ලලා අරගල කළේ මෙන්න මේ හේතුව නිසයි. ඉන්දියාවේත් සිදු වුණේ ඒ දේමයි.

ArunaRoy                                                                                    අරුණා රෝයි මහත්මිය

අරුණා රෝයි වගේම අර්වින්ද් කෙජ්රිවාල් කියන නම් අපට ආගන්තුක නැහැ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්බන්ධ අපේ අරගලයේදීත් මේ නම් අපි නිතර භාවිත කළා. පුංචි ශරීරයක් සහිත ගැහැනියක් සහ මිනිසෙක් වුවත් ඉන්දියාව වගේ විශාල රාජ්‍යයක තොරතුරු දිනාගැනීමේ අයිතිය වෙනුවෙන් ඔවුන් ගෙනගිය අරගලය නිසා මේ දෙන්නාගේ නම් ලෝකයේ අමරණීය ලෙස සටහන් වෙනවා. ‘මස්දූර් කිෂාන් සන්ඝටන්’ කියන සංවිධානයේ මූලිකත්වයෙන් අරුණා රෝයි ඇතුළු පිරිසක් 1990 වසරේදී ඉන්දියානු තොරතුරු දැනගැනීමේ අයිතිය දිනා ගැනීම සඳහා මහජන ව්‍යාපාරය ආරම්භ කළා. අරුණා රෝයිගේ මූලිකත්වයෙන් එම මහජන ව්‍යාපාරය වර්ධනය වුණත් එම මහජන ව්‍යාපාරය ඇරඹීමේ පුරෝගාමීන් වුණේ වෙන කිසිවෙකුත් නොවෙයි ඉන්දියාවේ ජීවත් වුණු දුප්පතුන්ගේත් දුප්පතුනුයි. එය ඉන්දීය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අරගලය සුවිශේෂී වෙන්න එක හේතුවක් වුණා. එම ව්‍යාපාරයේ ආදර්ශ පාඨය වුණේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිය යනු ජීවත්වීමේ අයිතියයි’ යන්නයි.

10TH_KEJRIWAL_1750918g

                                                                                   අර්වින්ද් කෙජ්රිවාල් මහතා

ඔවුන් එය එලෙස නම් කළේ ප්‍රජාතන්ත්‍රවාදය වර්ණවත් වෙන්න අර්ථපූර්ණ වෙන්න තොරතුරු දැනගැනීමේ අයිතිය අත්‍යවශ්‍ය නිසයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම දිනා ගැනීම සඳහා වූ ඉන්දීය සටනේදී එරට අධිකරණය වැදගත් කාර්යභාරයක් ඉටු කළා. එහිදී ඉන්දීය අධිකරණය වැදගත් මූලධර්ම දෙකක් ප්‍රකාශ කළා. ‘පාරේ හිඟමන් යදින යාචකයා ද ඇතුළුව සෑම පුරවැසියෙක්ම බදු ගෙවන්නෙකි. හිඟමන් යදින්නෙක් කඩයට ගිහින් සබන් කෑල්ලක් මිලට ගන්නා විට පවා ඔහු ආණ්ඩුවට බද්දක් ගෙවනු ලබයි. මේ අනුව මහජනයාගෙන් ආණ්ඩුව එකතු කරගන්නා මුදල් අයිති මහජනයාටමය. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ මුදල් පාවිච්චි කරන්නේ මොන ආකාරයට යන්න පිළිබඳව දැනගැනීමේ අයිතිය මහජනයාට තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත්වන පුරවැසියන් ඒ රටේ හිමිකරුවන් වන හෙයින් එම හිමිකරුවන්ට තමන්ගේ සේවකයන් වන මහජන නියෝජිතයින් ක්‍රියාකරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට තොරතුරු අවශ්‍ය බවත්’ ඉන්දීය අධිකරණය ප්‍රකාශ කරනු ලැබුවා. ඉන්දීය අධිකරණයේ මේ අදහස අපටත් ඒ ලෙසටම අදාළයි.

ඒ නිසා නන්නුගෙත්, අශෝක් ගුප්තාගෙත් ප්‍රශ්න විසඳුව මැජික් එක අපි පාවිච්චි කරන්නේ කොහොමද කියල අපි ලබන කලාපයෙන් කතා කරමු.

ජයනි අබේසේකර

Recent Posts

Tags: , , , ,

Leave a Comment