සමාජ ආර්ථික අයිතිවාසිකම් විවාදය_අපි සිංහලෙන් ලියන්නේ ඇයි?

Jun 5th, 2017 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා අතිරේකය, සුදර්ශන ගුණවර්ධන

“සමබිම”‍ සහ එය පළ කරන රයිට්ස් නව් කලෙක්ටිව් ෆො ඩිමොක්‍රසි සංවිධානය මානව අයිතිවාසිකම් සාර්වත්‍රික බවද, ඒවා එකිනෙකින් වෙන් කළ නොහැකි බවද, එකිනෙක මත රඳා පවතින බවද පිළිගනී. ඒ අනුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම්ද මනුෂ්‍යයාගේ අනුල්ලංඝනීය අයිතිවාසිකම් බව පිළිගනී. 

විවාදය පවතින්නේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම්  පිළිගැනීම පිළිබඳව නොවේ. එකී අයිතිවාසිකම් අධිකරණ මගින් බලාත්මක කිරීමට හැකිවන සේ එය මූලික අයිතිවාසිකම් විෂය පථයට ඇතුළත් කළ යුතුද යන කරුණ පිළිබඳවය. මේ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් පමණක් නොව මානව අයිතිවාසිකම් ක්‍රියාධරයන් ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාධරයන් අතරද නො එකඟතා පවතියි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහිදී විවාදය පවතින්නේ මෙම ක්ෂේත්‍රයෙහි පමණක් නොවෙයි. රාජ්‍යයේ ස්වභාවය ඒකීය විය යුතුද ෆෙඩරල් විය යුතුද යන්නත්, බුද්ධාගමට හිමිවිය යුතු ස්ථානය පිළිබඳවත්, විධායකයේ ස්වරූපය පිළිබඳවත්, ඡන්ද ක්‍රමය කුමනාකාර විය යුතුද යන්න ගැනත් විවාදය අවසන් වී නොමැත. මේ සියලු විවාදයන්ගේ අරමුණ වන්නේ තරගකාරී අභිලාෂයන් සහිත පුරවැසි කණ්ඩායම අතර පොදු සම්මුතියක් ගොඩ නගා ගෙන එම සම්මුතිය අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස නීතිගත කිරීමය.

සමාජ ආර්ථික අයිතිවාසිකම් අධිකරණ මගින් බලගැන්විය හැකි සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුද යන විවාදය සිංහල පාඨකයා වෙතට ගෙන ඒමට “සමබිම”‍ ඉරිදා සංග්‍රහය කටයුතු කළේ අරමුණු දෙකක් ඇතිවය. පළමුව, මානව අයිතිවාසිකම් යනුවෙන් ගැනෙන පුළුල් විෂය සම්බන්ධව හුදු “දැනුවත් කිරීම්”‍ වලින් ඔබ්බට ගිය න්‍යායික සාකච්ඡාවක් සිංහල බසින් ගොඩනැගීම අපගේ අරමුණක් විය. දෙවනුව, සමාජ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳව ඉංග්‍රීසි බසින් පමණක් සිදුකෙරෙන සංවාදයෙහි සාරය සිංහල පාඨකයාට ලබා දීමයි.

මෙම කාර්යය ඉදිරියට ගෙන යමින් සමාජ ආර්ථික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට එරෙහිව මහාචාර්ය සූරි රත්නපාල විසින් ඉදිරිපත් කරන තර්ක ඇතුළත් ලිපියෙහි සිංහල පරිවර්තනයේ දෙවන සහ අවසාන කොටස ඔබ වෙත ගෙන එමු. ලිපියේ මාතෘකාව පමණක් බලා “සමබිම”‍ සමාජ ආර්ථික අයිතිවාසිකම් වලට විරුද්ධ ලිපි පළ කරනවා ය කියමින් අපට ගරහන විවේචකයන්ට කිව යුත්තේ අප සටන් කළේද කරන්නේද විසම්මුතිය පිළිගන්නා සමාජයක් වෙනුවෙන් බවයි. ආධානග්‍රාහීත්වය දකුණෙන් පැමිණියද, වමෙන් පැමිණියද එයට එරෙහිව බුද්ධියේ නිම් වළලු‍ පුළුල් කිරීම අපගේ වෑයමයි. ■

නීතිඥ සුදර්ශන ගුණවර්ධන

 

Recent Posts

Tags: , ,

Leave a Comment