සංහිඳියාවට නව ව්‍යවස්ථාවක් කුමටද?

Jun 7th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News, නීතිය, සරනි ගුණතිලක

යුද්ධයෙන් වසර 7 ක් ගෙවී ගොස් ඇතිමුත් තවමත් ශ්‍රී ලංකාව සංහිඳියා කුසගින්නෙන් පෙළෙමින් සිටී. සංවර්ධනය නමින් කොතෙක් නිවන්නට හැදුවද නොනිමුණු මේ කුසගින්න නිවා ගැනීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අවතීර්ණ විය. සත්‍ය සෙවීම සහ පැවසීම, වගවීම, හානි පූර්ණය සහ යළි ඇති නොවන බවට තහවුරු කිරීම ලෙස සිව්විධ අංගයන්ගෙන් සමන්විත වූ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියෙහි අවසන් කොටස වන යළි ඇති නොවන බවට තහවුරු වීම යන්න සාක්ෂාත් කර ගැනීමෙන් තොරව සංහිඳියා කුසගින්න නිවා ගැනීම කිසිසේත් කළ නොහැක්කකි. අතීතයේ ගැටුම්වලට හේතු වූ මූලික සාධක නොවෙනස්ව පවතින විට අතීතයේ මෙන් අනාගතයේදී ද මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වීමට ඇති ඉහළ සම්භාවිතාවය පිළිබඳව ජනතාව නිරන්තර බියෙන් පසු වීම ඊට ප්‍රධානම හේතුවයි. එබැවින් එවන් මානව හිමිකම් උල්ලංඝනයන් යළි ඇති නොවන බවට සියලු ජනතාවට සහතික වීම අත්‍යාවශ්‍ය වේ. එවන් සහතික වීමක් ඇති කර ගනු වස් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පැහැදිලි කරමින් ලියන ලද මෙම ලිපියේ පළමු කොටස පසුගිය සමබිම කලාපයේ පළ වූ අතර මේ එහි දෙවන කොටසයි.

යළි ඇති නොවීම තහවුරු කරන නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ජනරජයේ 1972, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ද්විත්වයම පක්ෂග්‍රාහී වූවා මිස උත්තරීතර වූයේ නැත. ඊට හේතු වූයේ එකී ව්‍යවස්ථා දෙකම එවක බලයේ සිටි පක්ෂවල අරමුණු සහ දැක්ම පදනම් කර ගනිමින් සකස් වූ ඒවා මිස රටෙහි අවශ්‍යතාවය සහ ජනතාවගේ අවශ්‍යතාවය අනුව සකස් වූ ඒවා නොවීමයි. එසේම සුළුතරයේ අයිතීන් තහවුරු කරනු වෙනුවට බහුතරය තව තවත් ශක්තිමත් කිරීමත් ජනතාව බල ගැන්වීම වෙනුවට පාලක පක්ෂය බල ගැන්වීමත් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල දක්නට ලැබිණ. ඒ හේතුවෙන් 1972, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රට තුළ ගැටුම් උත්සන්න කිරීමට පසුබිම සැකසුවේය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත සඳහන් කළ 16, 80(3), 84 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය අභියෝගයට ලක් කරයි. ඊට අමතරව ඒකීයභාවය එනම් බලය බෙදීම පිළිබඳ ගැටලුව ජන වාර්ගික අර්බුදයකට මුහුණ දුන් අප රට විසින් ඉතාම කල්පනාකාරීව විසඳා ගත යුතුම ගැටලුවකි. එහි 9 වන වගන්තිය මගින් සියලු ආගම් අනුගමනය කිරීමට අයිතිය ලබා දුන්න ද බෞද්ධාගමට සැලකීමට හා එය රැක ගැනීමට රජයට විශේෂ වගකීමක් පවරා ඇත. ඒ තුළ අනෙක් ආගම් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් නොවන්නේ ද යන ගැටලුවට පසුබිම සකස් කර ඇත. මීට අමතරව භාෂාව, මිනිස් අයිතිවාසිකම් ආදී ක්ෂේත්‍ර ගණනාවක්ම අප විසින් පැහැදිලි කර ගත යුතුව ඇත. මෙම ගැටලුවලට පැහැදිලි විසදුම් සැපයීමකින් තොරව සංහිඳියාව අපේක්ෂා කිරීම එය සිහිනයකට පමණක් සීමා කරනු ඇත. අනෙක් අතට අතීත ගැටුම්වලට මුල් වූ හේතූන් නොවෙනස්ව පවතින විට යළිත් එවැනි ගැටුම් ඇතිවීමට විශාල ලෙස ඉඩ ඇත.

මෙකී ගැටලු හඳුනා ගනිමින් වර්තමාන රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් සපිරීමක් බව අප විසින් වටහා ගත යුතුය. ඒ සඳහා වන ක්‍රියාවලියේ පියවරක් ලෙස සිදු කෙරුණු මහජන අදහස් විමසීමේදී ජනතාව විසින් ලබා දුන් අදහස්වලින් පවා පැහැදිලි වී ඇත්තේ රට තුළ බලය විමධ්‍යගත කිරීම, ඉඩම් අයිතීන් තහවුරු කිරීම, භාෂා හා අධ්‍යාපන අයිතීන් තහවුරු කිරීම, අසාධාරණයන්ට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී කරුණු රැසක් පිළිබඳව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ කරුණු සලකා බැලිය යුතු බවයි. එම කරුණු ද සැලකිල්ලට ගනිමින් යළිත් රට තුළ යුද්ධයක් හෝ ගැටුම් ඇති වීම වැළකෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරත්වය ආරක්ෂා වන ආකාරයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගත යුතුය.

සැබෑ ලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙසේ විය යුතු ද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ න්‍යායේ දැක්වේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටෙහි පාලනයට අවශ්‍ය කරන දේශපාලන රාමුවක් සකස් කළ යුතුය. එසේම ජනතාවගේ සහ සියලු ආකාරයේ සුළු ජන කොටස්වල (ආගමික, ජන වාර්ගික ඇතුළු අනෙක් සුළුතර කොටස් ද ඇතුළුව) අයිතීන් හා නිදහස ආරක්ෂා කළ යුතු අතර එකී සමාජය පාලනය විය යුතු ප්‍රතිපත්ති, වටිනාකම් හා මූලධර්ම මතු කොට දැක්විය යුතුය. තවත් ලෙසකින් කල්පනා කර බැලූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ බහුතරය අතින් සුළුතරය පීඩාවට පත්වීම වැළැක්වීමට මිස බහුතරය තවත් ශක්තිමත් කිරීමට නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කරන විට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වන විට ව්‍යවස්ථාදායක බහුතරයට වුව ද සුළුතර ජනතාව පීඩාවට පත් කිරීම කළ නොහැක. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම පෙර කී පරිදි බහුතරය තව තවත් ශක්තිමත් කරන්නේ නම් සුළුතරය අසාධාරණයට ලක්වීම පැහැදිලිය. හාවර්ඞ් නීති පීඨයේ හිටපු පීඨාධිපති රෝස්ටෝව්ට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු බහුතරවාදය පරදවන ලියවිල්ලකි.

මේ සියල්ල ඇතුළත් ලොව පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස දකුණු අප්‍රිකාවේ 1996 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැක්විය හැකිය. ඉතා දරුණු අපාර්තයිඞ් යුගය 1994 වසරේ අවසන් වීමත් සමඟ දකුණු අප්‍රිකාව විසින් සංහිඳියාව වෙත යන සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස සියලු ජනතාවගේ අයිතීන් ආරක්ෂා කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා න්‍යායන්ට අනුගත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේය. උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවේ පළමු වගන්තියේ දැක්වෙන්නේ දකුණු අප්‍රිකාව මානව ගරුත්වය, ජාතිවාදී බවින් තොර බව, ලිංගික බෙදීම්වලින් තොර බව, නීතියේ ආධිපත්‍ය, බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, වග වීම, විවෘතභාවය සහ සංවේදීභාවය යන වටිනාකම් මත ගොඩනැගුනු ජනරජයක් බවයි. එහි දෙවන වගන්තියේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වන අතර ඊට අනුගත නොවන සියලු නීතින් අවලංගු වන බවයි. ඒ අනුව දකුණු අප්‍රිකාවේ සියලු ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එරටෙහි සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය ශක්තිමත් කරමින් යළි ඇති නොවන බව තහවුරු කළ බව පැහැදිලිය.

ඒ අනුව බැලූ කල සංහිඳියාව අපේක්ෂා කරන ශ්‍රී ලංකාවට ද, යළි ඇති නොවන බව සහතික වන ආකාරයෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් නීතියේ ආධිපත්‍යයට ගරු කරන උත්තරීතර වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර සම්මත කර ගැනීමට නොපමාව කටයුතු කළ යුතු කාලය දැන් එළඹ ඇත.

මෙහි පලමු කොටස කියවිමට මෙතනින් 

නීතිඥ සරනි ගුණතිලක

Recent Posts

Tags: , , , ,

Leave a Comment