පණ්ඩිතයා නොවී “සමබිම” කරගෙන යන්න!

Jul 4th, 2017 | By | Category: OTHER NEWS, වැකිය, සුදර්ශන ගුණවර්ධන

ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියෙකුගෙන් මගේ දුරකථනයට ඇමැතුමක් ලැබිණි. “මොකද ඔයා “සමබිම” නවත්වන්න යන්නෙ?” ඔහු මගෙන් විමසුවේය. මම පසුගිය කලාපයේ කතුවැකියෙහි අඩංගු වූ කරුණු ඔහුට පැහැදිලි කරන්නට උත්සාහ කළෙමි. “සමබිම” ආරම්භයේ සිටම කියවන සහ ඒ ගැන ප්‍රතිචාර දක්වන එකී රාජ්‍ය නිලධාරියා මට මෙසේ කීවේය: “මල්ලි, ඔයා පණ්ඩිතයා වෙන්නෙ නැතුව පත්තරේ දිගටම කරගෙන යන්න. අපි උදව් කරන්නම්!”. “සමබිම” වැනි පත්තරයක් පැවතීමේ වැදගත්කම මේ මොහොතේ අන් කවරදාටත් වඩා වැඩිවන්නේ ඇයිදැයි පැහැදිලි කළ ඔහු අන්තිමේදී මෙසේද කීවේය. “මම වෙන කෙනෙකුට නම් මේක කියන්නේ අපේ ගමේ බාසාවෙන්. නමුත්, ඔයාට එහෙම කියන්න බැහැ. නමුත්, මම කිව්වා කියල හිතාගන්න!” රාජකාරි පිණිස එකී නිලධාරියා හමුවීමට ගොස් ඔහුගේ මේසය ඉදිරිපිට හිඳගෙන සිටින අවස්ථාවල ඔහු තම ගමේ බාසාවෙන් සමහරුන්ට අවවාද දෙනු මම අසා ඇති බැවින්, කියන්නට ගිය දෙය හිතාගන්නට මට අපහසු වූවේ නැත.

පසුගිය අප්‍රේල්-මැයි කලාපයේ කතුවැකිය පළ වූ මොහොතේ සිට “සමබිම” පිළිබඳව මටත්, අපගේ සංස්කාරක මණ්ඩලයටත් ලැබුණු ප්‍රතිචාර සංඛ්‍යාව ප්‍රමාණයෙන් විශාලය. දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ජනමත සම්පාදකයන් සහ සිවිල් සමාජ නායකයන් මෙන්ම සාමාන්‍ය පාඨකයන් ද ඒ අතර වූහ. ඒ සමහරුන්හට අප පිළිබඳ ඇගයීම් තිබුණු අතර තවත් සමහරු අප කෙරෙහි ප්‍රතිජනනාත්මකව විවේචනශීලී වූහ. එහෙත්, පොදුවේ පළවූ අදහස වන්නේ මේ “සමබිම” නවතා දැමිය යුතු මොහොත නොවන බවයි. එසේ නැවැත්වීමට ඒකපාර්ශ්විකව තීරණය කරන්නට මට අයිතිවාසිකමක් නැති බවයි. “සමබිම” ඉදිරියටත් පවත්වාගෙන යාමට ආධාර කිරීමට තමන් කැමැති බවයි.

advertising2

ෂෙල්ටන් සහ නිරෝෂන්:

“සමබිම” නවත්වනවා යැයි කීම පොඩි ඇඞ්වර්ටයිසිං වැඩක් හැටියට ද සමහරු දැක තිබූ බව අපට පෙනී ගියේය. මීට වසර ගණනකට පෙර මහවැලි ගඟේ වැලි ගොඩ දමා ජීවත්වන මහියංගණයේ ෂෙල්ටන් සහෝදරයා “සමබිම” වෙනුවෙන් දායකත්ව මුදල් එවූ විට ඒ බව පත්තරයේ පළ කළ විට ද සමහරු හිතුවේ මේක පොඩි ජිමික් එකක් බවය. අපේ ළඟ හිතවතෙකු වන නිරෝෂන් ඒකනායක සහෝදරයා මහනුවර වැලි තොටුපළවල් අසලට ගොස් ෂෙල්ටන් කියා කෙනෙකු ඇත්තටම සිටීදැයි සොයා බලන තරමට වැඬේ දුර දිග ගියේය. අන්තිමේදී ඒ පරිච්ඡේදය නිමවූයේ 2012 වසරේදී මහනුවර පැවැති “නිදහසේ වේදිකාව” රැස්වීමට සහභාගි වූ ෂෙල්ටන් සහෝදරයා කවුරුන්දැයි නිරෝෂන් ඒකනායක සහෝදරයාට හඳුන්වා දීමෙනි. මෙවර කතුවැකියෙන් විශාල ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබුණා යැයි කියා නැවත “සමබිම” කරගෙන යාම මගින් නැවතත් ඇඞ්වර්ටයිසිං ලොජික් එකට පණ ලැබීමට ඉඩ ඇත. ඒ නිසා පසුගිය කතුවැකිය ලිවීමට හේතු සාධක වූ කරුණු පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය යැයි සිතමි.

සේනා විමුදනය:

ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය අවසන් වී වසර අටක් ගත වී ඇත. යුද්ධය පැවැති කාලයේ එයට සක්‍රීයව සහභාගි වී ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධය ජයග්‍රහණය ලබා දීමට දායක වූ සන්නද්ධ හමුදා සාමාජිකයන් දැන් සිටින්නේ බැරැක්කවලය. තවදුරටත් ඔවුන්ට නිරත වීමට හමුදාමය කාර්යයන් ඉතිරිව නැත්තේය.

යුද්ධය අවසානයෙන් පසු සක්‍රීය හමුදා සාමාජිකයන් විශාල ප්‍රමාණයක් පවත්වා ගැනීම යනු වත්කමක් නොව වගකීමකි. ඒ ඔවුන් උදෙසා ඵලදායක නොවන ආකාරයේ විශාල වැය බරක් දරන්නට සිදු වන බැවිනි. එබැවින් රටක යුදමය තත්ත්වය අවසන් වූ පසු හමුදා සාමාජිකයන් සේනා විමුදනය කිරීම හෙවත් ඩිමොබිලයිස් කිරීම කරනු ලැබේ. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් තම හමුදා සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් උදෙසා යොමු කර විදේශ විනිමය ඉපැයීම ද සිදු කරයි. නොයෙකුත් හේතු නිසා ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයන් සේනා විමුදනය කිරීම සිදු නොවූ අතර සාම සාධක කටයුතුවලට යෙදවීම ද සාර්ථක නොවීය. එබැවින් පසු කාලයේ සිදුවූයේ ඔවුන් නගර සුන්දරකරණය සහ ගොඩනැගිලි ඉදිකිරීම වැනි හමුදාමය නොවන කාර්යයන්ට යෙදවීමය. යුද්ධය දිනූ හමුදා සාමාජිකයන් සේනා විමුදනය කිරීම අකෘතඥකමක් සේ කෙනෙකුට පෙනී යා හැකිය; එහෙත්, ඔවුන් හමුදාමය නොවන කාර්යයන්ට යොදවමින් තබා ගැනීමට වඩා, සේනා විමුදනය කොට වෙනත් ප්‍රයෝජනවත් කාර්යයක යෙදවීමට මඟපෙන්වීම වඩා අවංක විකල්පය වන්නේය.

2008 වසරේ සිට “සමබිම” අප නිරත වුණේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ස්ථාපිත කරගැනීම උදෙසා වන අරගලයකය. ඒ සඳහා ක්‍රියාකාරී වුණු ස්වේච්ඡා බල ගණ විශාල පිරිසක් අතර, ඒ කටයුතු සමායෝජනය කරමින් ද, ආයතනික සහ පරිපාලනමය පහසුකම් සලසමින් ද පූර්ණකාලීනව කටයුතු කළ බල ඇණියක් “සමබිම” සමඟ සිටියහ. ජීවිත තර්ජන සහ අස්ථාවරත්වය මැද, අනාගතයේ දිනක ඇති වන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පිළිබඳ සුබ සිහිනය දරා ගෙන, බලාපොරොත්තුවේ පහන් සිල නොනැසී දල්වා සිටින්නට අපගේ පූර්ණ කාලීන බලවේගයට හැකිවිය.

ටර්මිනේටර් භූමිකාව:

විවිධ හැලහැප්පීම සමඟ ඉදිරියට ගිය එම අරගලයේ එක් වැදගත් සන්ධිස්ථානයක් වූයේ 2015 ජනවාරි 08 වැනි දින ජනාධිපතිවරණ ජයග්‍රහණයයි. ඉන් ඉක්බිති ගත වූ වසර දෙක හමාර යනු ළදරු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය සහ ආණ්ඩුව පරාජය කරන ලද පසුගාමී බලවේගයන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ දෘෂ්ටිවාදී අරගලය ඉදිරියට ගෙන යාමට අප විසින් දායක වූ යුගයයි. සිවිල් සමාජය පැවරුණු මෙම භූමිකාව අප විසින් අර්ථකථනය කළේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සංහිඳියාව ඇතිකිරීමට වරම් ලබා සිටින ළදරු සම්මුතිවාදී ආණ්ඩුව, එය ළදරු අවදියේම විනාශ කිරීමට සැරසෙන පරාජිත රෙජීමයේ ඉතුරු බිතුරුවල දෘෂ්ටිවාදී ප්‍රහාරයෙන් බේරා ගැනීමට සටන් කරන ටර්මිනේටර් භූමිකාවක් වශයෙනි. වෙනස විසින් බිහි කරන ලද ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලැබ තිබුණ ද, එය ක්‍රියාකරමින් සිටියේ තමා විසින් තමාට ආරක්ෂාව සපයා ගත නොහැකි “ටර්මිනේටර්” චිත්‍රපටයේ ජෝන් කොනර් නම් දස හැවිරිදි ළමයා ලෙසය. එබැවින් ආණ්ඩුවට ආරක්ෂාව සැපයීමට සිදුව ඇත්තේ ජනවාරි 08 වන දා වෙනස ඇති කිරීමට දායක වූ “සිවිල් සමාජය”ටමය. මෙම නිරන්තර අරගලයෙහි ප්‍රතිඵලයක් ලෙස අප ප්‍රතිසංස්කරණයන්හි ආරක්ෂකයන් ලෙසින් නොව ආණ්ඩුවේ ආරක්ෂකයන් ලෙස පෙනී යාම නිසා “ටර්මිනේටර්” චිත්‍රපටයේ ටී 800 හෙවත් ෂ්වාසෙනෙගර්ට මෙන් අපට ද තුවාල සිදු විය.

යුද සමයේ ආරක්ෂක හමුදාවන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අරගල සමයේ අපගේ සාමාජිකයන් ද කටයුතු කළේ චිත්ත ධෛර්යයෙන් හෙවත් “මොරාල්” එකෙනි. දැන් අරගල සමයෙන් සාපේක්ෂ සාමකාමී අවධියකට පැමිණ ඇති විටෙක “මොරාල්” එක පවත්වා ගැනීම අපහසුය. ඒ සඳහා බොරුවට පාරට බැසීම හෝ බොරු සටන්වල යෙදීම වනාහි වංකකමකි. යුද්ධය අවසානයෙන් පසු අනාගතයේ දිනෙක නැවත ඊනියා ත්‍රස්තවාදය හිස ඔසවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් හමුදා සාමාජිකයන් සේනා විමුදනය නොකොට ඔවුන් හමුදාමය නොවන කාර්යයන්හි යොදා ගන්නාක් මෙන්, වර්තමාන යහපාලන ආණ්ඩුව ද අද හෝ හෙට හෝ අනිද්දා ඒකාධිපති ස්වරූපයකට පත්වී නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගලයක් ඇති වේය යන බලාපොරොත්තුවෙන් අපගේ පූර්ණ කාලීන බලවේගය කෙසේ හෝ පවත්වා ගෙන යාම කළ හැකි වුව ද එය නිෂ්ඵල දෙයකැයි යන්න අපගේ අදහසයි.

ඔරුව කර තබාගෙන යාම:

“සමබිම” බලකාය සේනා විමුදනය කිරීමට කාලය පැමිණ ඇතැයි අපි නිර්දය තීරණයකට එළැඹුණේ එම තතු යටතේය. ඒ බව අපි “සමබිම” අප්‍රේල්- මැයි කලාපයේ කතුවැකියෙන් නිවේදනය කළෙමු. අපගේ පාඨකයන් අතරින් බහුතරයක් අපගේ තීරණයට එකඟ වන බව අපගේ විශ්වාසය විය. අප මෙන්ම ඔවුන් ද දියෙන් එගොඩ වීමට යොදා ගත් ඔරුව කර තියා ගෙන යන අන්දමේ මෝඩයන් නොවන බව අපි ප්‍රැග්මැටික හෙවත් ප්‍රයෝජ්‍යතාවාදී ලෙස කලපනා කළෙමු. එහෙත්, අපගේ ආදි සීමාවාසිකයන්ගෙන් සමහරෙකු ද ඇතුළත් සැලකිය යුතු පාඨක පිරිසක් අපගේ මතයට එරෙහිව ප්‍රතිචාර දැක්වූ බව ඔවුන් කෙරෙහි ගෞරවයෙන් ප්‍රකාශ කළ යුතුය. ලිපි, දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ සහ ෆෙස්බුක් පණිවුඩ සිය ගණනක් ඔස්සේ ඔවුන් කියා තිබුණේ “සමබිම” තවදුරටත් පැවතිය යුතු බවය. එම අදහස්වලින් සමහරක් මෙවර කලාපය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නෙමු. “සමබිම”ට දායකත්ව මුදල් ගෙවන පිරිසගේ ද හදිසි වැඩිවීමක් සිදු විය.

දැන් අප පත්ව ඇත්තේ “ගෙදර ගියොත් අඹු නසී – මග සිටියොත් තා නසී” වැනි තත්ත්වයකටය. “සමබිම” පවත්වාගෙන ගොස් ද බැරිය; එය නවත්වලා ද බැරිය. එබැවින්, පළමුව අපගේ හිතවත් පාඨකයන් පිරිසකට ආරාධනය කොට ඔවුන් සමඟ එක්ව අනාගතය පිළිබඳව උපායමාර්ගික සැලසුමක් සකස් කිරීමට අපි අදහස් කළෙමු. එය ජූලි මස 15 වන සෙනසුරාදා කොළඹදී පවත්වමු. ඒ සඳහා දායක වීමට ඔබ කැමැති නම් කරුණාකර අපට දැනුම් දෙන්න. ඉන් අනතුරුව, පළමුව දිගටම දායකත්වය ලබා ගන්නා පාඨකයන් වෙනුවෙන් සහ මුදලෙන් දායක වීමට අපහසු වුව ද, “සමබිම” කියැවීමට අවශ්‍ය යැයි කියන පාඨකයන් වෙනුවෙන් සීමිත පිටපත් සංඛ්‍යාවක් පළ කිරීමටත්, සිරිත් පරිදි “සමබිම” අන්තර්ජාලයට නොමිලේ මුදා හැරීමටත් කටයුතු කරමු. “සමබිම” වෙනුවෙන් ස්වේච්ඡාවෙන් දායක වීමට කැමැති අයට ද අප හා සම්බන්ධ විය හැකිය. ඒ අයුරින් අනාගතය සම්බන්ධව සැලසුමක් සදා ගැනීම වනාහි කළ නොහැක්කක් නොවේ.

අවසන් වශයෙන් ඔබ අතරින් සමහරෙකු කෙළින්ම අපගෙන් නොඅසන නමුත්, ඔබ සිත තුළ පැන නැගිය හැකි ප්‍රශ්නය අපිම අසමු. “සමබිම” පළ කරන රයිට්ස් නව් කලෙක්ටිව් ෆො ඩිමොක්‍රසි සංවිධානය එන්ජීඕ එකකි. එන්ජීඕවලට සල්ලි තිබේ. එසේ නම් අපෙන් සල්ලි ඉල්ලන්නේ ඇයි? ඔබ අපෙන් අසනු ඇත. එවිට අප ඔබට ආරාධනය කරන්නේ කතුවැකිය නැවත මුල සිට කියවන ලෙසය. අප අරගලයට පිවිසුණේ ජීවත්වීම උදෙසා නොවේ; ජීවත්වුණේ අරගලය උදෙසාය. අරගලයේ මේ අවදිය තුළ අපට කාර්යභාරයක් නැත්නම්, අප තෝරා ගන්නේ කාණු සුද්ද කිරීම හෙවත් සුන්දරකරණය නොවේ, සේනා විමුදනය හෙවත් ඩිමොබිලයිස් කිරීමයි.

සුදර්ශණ ගුණවර්ධන 

Recent Posts

Tags: , , , , ,

Leave a Comment