ශාන්තිගේ කතාව

Jul 11th, 2017 | By | Category: OTHER NEWS

මුලතිව් පරණ පල්ලිය ලඟ කොහොඹ ගස සෙවණේ ශාන්ති වාඩි වී සිටියාය. ශාන්ති දෙදරු මවකි. ඇය අස්වාමික නමුදු ඇය වැන්දඹුවක් නොවේ. දැන් ඇගේ රැකියාව පෙර පාසලක ඉගැන්වීමයි. ඉන් ලැබෙන වැටුප දරුවන්ගේ මාසික ටියුෂන් ගාස්තු ගෙවීමට පමණක් සෑහේ. එහෙත් කෙසේ හෝ ඇය දරුවන්ගේ තුන් වේල සරි කරවයි. ‘මේ හොඳටම ඇති අපිට ලොකු දේවල් ඕනි නැහැ’ ඒ ඇගේ හඬයි. ක්‍රිස්තියානි බැතිමතියක වන ඇය තුළ පිරී පවතින්නේ දෙවියන් කෙරෙහි අපරිමිත භක්තිය සහ විශ්වාසයයි. යුද්ධයේ අවසන් දින ගැන කතා බහේදී පවා එහි අඩුවක් නොමැත. ‘අපිට මෙහෙම හරි ඔයත් එක්ක කතා කරන්න ජීවත් වෙලා ඉන්නේ දෙවියෝ අපේ දිහා බලපු නිසා’ ඒ හැම දවසකම අපි ඕන කෙනෙක් නිකම්ම මැරෙන්න තිබ්බා. වැල්ලේ හැම තැනම ලේ තිබ්බා අපි කොහේ අඩිය තිබ්බත් එතන ලේ.

Church

ශාන්ති ඉපදුණේ 1983 වසරේ මන්නාරමේදී. වයස අවුරුදු හය වෙද්දි ඇයට අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා. ඒ නිසා ඇගේ පොඩි කාලේ ගෙවුණේ ළමා නිවාසයක. වයස විසි ගණන්වලදී ඇයට රාජ්‍ය නොවන සංවිධානයක රැකියාවක් ලැබුණා. ඇගේ සැමියා බාලා හමු වුණෙත් එහිදීමයි. විවාහයෙන් පසුව ශාන්ති පුදුකුඩුඉරිප්පුවලට පදිංචියට ආවා. ශාන්තිට දරුවන් දෙදෙනා ලැබුණෙත් සත්කාරිකාවක් විදිහට රැකියාවක් ලැබුණෙත් පුදුකුඩුඉරිප්පුවලදිමයි. මෙහෙම පුදුකුඩුඉරිප්පුවල ඉන්න කොට තමයි 2009 දී ඔවුන් මරණයෙන් මිස ගැලවීක් නැති යුද්ධයේ අවසන් උගුලට හිරවුණේ. සුහන්දිපුරම් යුද මුක්ත කලාපයක් ලෙස වෙන් කෙරුණ නිසා මිනිස්සු ඔක්කොම එහෙට ගියා. නමුත් රජයේ හමුදාවලින් එල්ල වුණ ප්‍රහාර නතර වුණේ නැහැ. ‘බාල ද මහලු ද කියලා නැහැ යුද මුක්ත කලාපයට යනවද නැත්ද කියන එකෙන් තමයි ජීවිතය තීරණය වුණේ. හැම පැත්තෙන්ම ප්‍රහාර එල්ල වුණා හැම තැනම මිනිස්සු පණ අදිමින් සිටියා’ ඒ ශාන්තිගේ හඬයි. ෂෙල් වෙඩි කෙළින්ම ඇදිලා ආවේ බංකර් උඩට. මියගිය දුවගේ ඇඳුම මාරු කරමින් සිටි තාත්තෙක් ප්‍රහාරයෙන් මැරුණා. තවත් සමහරු මැරුණේ බඩගින්නෙන්. යුද්ධයේ අවසාන මාසවලදී මරණය ආවේ විවිධ භයංකර නම්වලින්. අප්‍රේල් මාසෙදී, හමුදාව මාතලන්වලට ආවා. ජීවිත බේරගන්න ශාන්තිගේ පවුල අනිත් අයත් එක්කම කලපු දිය තරණය කරද්දි ශාන්තිට එයාගේ සැමියා මඟ හැරුණා.

ශාන්ති අවුරුදු දෙකක් තිස්සේ සැමියාව හෙව්වා. අන්තිමේදී ආරංචි වුණා එයා වෙන කෙනෙක්ව බැඳලා කියලා. ‘මම හිතුව දැන් එයාට කතා කරන එක හරි නැහැ කියලා ඒකයි මම මෙහෙට වෙලා ඉන්නේ’ ශාන්ති මෙහෙම කිව්වේ යුද්ධෙන් පස්සේ ඇගේ අලුත් ජීවිතය ගැන කතා කරද්දි. ‘අපේ පවුල වෙන් කළේ යුද්ධෙ තමයි’ ඒ ඇගේ හඬ.

 

පවුල සහ නෑදැ හිතවතුන් නැතිව දැනුණ හුදකලාව ශාන්තිට ටිකක් හරි අඩු වුණේ පල්ලිය සහ අවට ජීවත් වුණ තමන් වගේම කාන්තාවන්ගේ ආශ්‍රය නිසා. ඔවුන්ගේ උදව්වත් එක්ක තමන්ටම කියල ගෙයක් හදාගන්නත් පෙරපාසලක ගුරුවරියක් වෙන්නත් ශාන්තිට පුළුවන් වුණා. තමන් එක්ක හිටපු ගමේ අයට දැන් ශාන්ති උදව් කරනවා. ඇය ළමයින්ට නොමිලයේ උගන්වනවා. අලුත් ජීවිතයට හුරුවෙලා අනිත් කාන්තාවොත් එක්ක ජීවිතය බෙදා ගන්නවා. ‘අපි එකතු වුණාම අපේ ප්‍රශ්න සහ ඒවාට උත්තර හොයන විදිහ ගැන කතා කරනවා’ ලැබෙන මුදලින් එදිනෙදා ජීවිතය ගැටගහ ගන්න විදිහ ගැන කතා කරන අතර ශාන්ති කිව්වා.

 

තමන් ජීවත් වන සමාජයේ හොඳ වෙනසක් කිරීමට උත්සාහ දරන ශාන්ති තවම ඉන්නේ මූලික අවශ්‍යතා කිහිපයක් සපුරා ගැනීමේ උත්සාහයක. ‘වතුර තමයි අපේ ලොකුම ප්‍රශ්නේ’ පාවිච්චියට හොඳ වතුර සොයා ගැනීමේ අමාරුව ගැන විස්තර කරමින් ඇය කිව්වා. සමහර දවසට හවස් වෙනකම්ම අපේ පෙර පාසලේ වැඩසටහන් තියෙනවා එහෙම දවසට මට නාන්නවත් වෙන්නේ නැහැ. ළමයි ගෙදර තියලා යන්නත් බැහැ. ඒ මදිවට හවසට එළියට බැස්සොත් මිනිස්සු කතන්දර හදනවා. තමන්ව වටින්නේ ඡන්දේ කාලෙට විතරයි කියල දැනගෙන වුණත් ශාන්ති එයාගේ අසල්වාසීන් එක්ක එකතු වෙලා මේ කියපු වතුර ප්‍රශ්නේ, තනිවුණ කාන්තාවන්ට කරන්න රැකියාවක් නැතිකම වගේ දැවෙන ප්‍රශ්න ගැන ඇති වෙන්න බලධාරීන්ට ලියලා කියල තියෙනවා. තවම ඒ ප්‍රශ්නවලට විසඳුමක් නැති වුණත් වඩා හොඳ හෙට දිනයක් ගැන ශාන්තිත් ඇගේ හිතවතුනුත් ළඟ තිබෙන විශ්වාසය අචලයි ස්ථිරයි. ශාන්ති යුද්ධය අවසන් සමයේ පැවැති සිතා ගත නොහැකි කෲරත්වයක සාක්ෂිකාරිණියක් වගේම සාමූහික උත්සාහයෙන් ජීවිතය නැවත අත්පත් කර ගැනීමේ ද සාක්ෂිකාරිණියක්. ‘එදා අපි ජීවිත බේරගන්න එකට එකතු වෙලා බංකර් හෑරුවා, අද අපි වතුර නැති නිසා එකට නාන්න යනවා. දැන් තත්ත්වය වෙනස් වෙලා ඒත් අපේ එකතුව අපව ජීවත් කරවනවා’ අවසානයේ ශාන්ති එසේ පැවසුවා.

 

සන්නද්ධ ගැටුම් කාලය හා ඊට පසු කාලය තුළ දෙමළ සිවිල් වැසියන්ගේ ජීවන අත්දැකීම් ඇසුරින් ලියන ලද ‘මුල්ලෙවයික්කාල්හි කතන්දර’ (Stories of Mullivaikkaal), යුද්ධයේ අවසන් අදියරෙන් දිවි ගලවා ගත්තවූවන්ට නැවත නැගී සිටීමට සහය දැක්වීම පිළිබඳ සංවාදය පුළුල් කරනු වස් Adayaalam Centre for Policy Research (ACPR) විසින් දියත් කරන වැඩසටහනක ප්‍රතිඵලයකි. http://storiesofresilience.com/ වෙබ් අඩවියෙහි ‘මුල්ලෙවයික්කාල්හි කතන්දර’ යටතේ එන ‘ශාන්තිනීගේ කතාව’ සමබිම වෙනුවෙන් පරිවර්තන කර සකස් කළේ නීතිඥ ප්‍රබෝධ රත්නායක විසිනි.

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment