මැජික් එකෙන් වැඩක් ගමු

Jul 20th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News

රටක මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යයි වගේම ප්‍රජාතන්ත්‍රවාදය පවතින්න නම් තොරතුරු දැනගැනීමේ අයිතියත් අත්‍යවශ්‍යයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොනවද? ආණ්ඩුව ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළවල් මොනවද? ඒවා සඳහා ආණ්ඩුව මුදල් වියදම් කර තිබෙන්නේ කොහොමද? යනාදී දේ පුරවැසියෙකු ලෙස ඔබ නොදන්නවා නම් ඡන්ද පොළේදී ඔබ කතිරය ගසන්නේ කුමක් වෙනුවෙන්ද? ඔබේ කතිරය තීරණය වෙන්නේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළෙ ඔබට ලැබෙන හාල් මිටිය, ලූණු මල්ල හන්දා නම් පුරවැසියන් ලෙස ඔබටත්, රටක ප්‍රජාතන්ත්‍රවාදයටත් තවදුරටත් අර්ථයක් නැතිවෙනවා. තොරතුරු නොමැති වීමෙන් රටක සැබෑ ප්‍රශ්න යටපත් වීම තුළ ජාතිවාදී කුලවාදී ආගම්වාදී කණ්ඩායම් නැගී සිටිනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය නොමැතිව රටක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කිරීම පවා තේරුමක් නැති ක්‍රියාවක්. එනිසාම තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසියන් වෙත පවරා නොදී රටකට ප්‍රජාතන්ත්‍රවාදය වෙත යන්න බැහැ. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් වීමට නම් පුරවැසියන් මේ අයිතිවාසිකම නිසි අයුරින් භාවිතා කළ යුතුයි.

biggest-post-office-in-india
පසුගිය සමබිම කලාපයෙන්, ඉන්දියාවේ නන්නු සහ අශෝක් ගුප්තා වැනි සාමාන්‍ය මිනිසුන් තොරතුරු දැනගැනීමේ පනත භාවිත කර රාජ්‍ය නිලධාරීන්ට අභියෝග කරල තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගත් බව අපි කිව්වා. නන්නු තමන්ගේ නැති වුණ ආහාර සලාක කාඞ්පත නැවත ලබා ගන්න උත්සාහ දැරුවත් ඊට විසඳුමක් නොමැති තැන තොරතුරු දැනගැනීමේ අයදුම්පත මඟින් ප්‍රශ්න හතරක් අසා තිබුණා.

01. මම අහවල් දින සලාක කාඞ්පත ලබා ගැනීමට ඉල්ලුම්පතක් ඉදිරිපත් කළා. එහි දෛනික ප්‍රගති වාර්තාවක් ලබා දෙන්න.

02. මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට වගකීම ඇති එහෙත් තවමත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූ නිලධාරියාගේ නම මා වෙත ලබා දෙන්න.

03. රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම නිලධාරියාට විරුද්ධව ගනු ලබන පියවර මොනවාද? එම පියවර ගන්නේ කවදාද?

04. මගේ සලාක කාඞ්පත මට ලැබෙන්නෙ කවදාද?

මේ ප්‍රශ්න හතර කොයිතරම් ප්‍රබල වුණා ද කිව්වොත් මාස තුනක් නන්නුට කිසිම පිළිතුරක් නොදුන් ආහාර සැපයුම් කාර්යාලයේ නිලධාරීන් හැරුණු තැපෑලෙන් මේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වා තිබුණා. ඒකට හේතුව තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතියේ හැටියට අදාළ නිලධාරීන්ට මෙම තොරතුරු නොදී මඟ හැර යන්න කිසිදු ඉඩක් නැහැ. ඔවුන් මේ සඳහා පිළිතුරු දීමට බැඳී සිටිනවා මෙන්ම ඉන්දීය නීතිය ප්‍රකාරව අදාළ තොරතුරු දින 30ක් තුළ නොසැපයුවහොත් ඊළඟ දිනයේ සිට ඔහුගේ මාසික වැටුපෙන් යම් මුදලක් කපා හැරීම සිදුවෙනවා. ඉතින් ආහාර සැපයුම් නිලධාරීන් වහ වහා නන්නුට පිළිතුරු සැපයුවා වගේම නන්නුගේ ප්‍රශ්නයට වහා විසඳුම ලැබුණා. ඒ නිසා මේ ප්‍රශ්නවලට කියන්නේ මැජික් ප්‍රශ්න කියල. ඒ මැජික් එක වැඩ කරන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ සහ ඒ ගැන ජනතාවට තියෙන දැනුවත්භාවය මතයි. ඉන්දීය පුරවැසියන් තමන්ගේ ප්‍රදේශයේ මාර්ගයක් අලුත්වැඩියා කර ගැනීමට, ප්‍රදේශයට ජලය ලබා ගැනීමට, විදුලි බලය ලබා ගැනීමට වගේම ආණ්ඩුවේ ඉහළ මට්ටමේ ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමට පවා මේ මැජික් එක භාවිතා කරනවා.

ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කිරීමෙන් අනතුරුව අද අපිට තිබෙන විශාලතම අභියෝගය ජනතාව මෙය නිසි ලෙස භාවිත කිරීම සඳහා නැඹුරු කරවීමයි. ඉන්දියානු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත බිහි වෙන්නේ ඒ රටේ බිම් මට්ටමේ ජනතාවගෙන් නැගුණ හඬත් සමඟ නිසාම ඔවුන් මේ මැජික් එකත් එක්ක අපූරුවට සහ සීරුවට සෙල්ලම් කරනවා. ඔවුන් දන්නවා හඬක් නැති ඉඩක් නැති තමන් වැනි දුප්පත් මිනිසුන්ට මේ පනත ප්‍රදානය කළ වරප්‍රසාදය සුළුපටු එකක් නොවන බව. එහෙත් අපේ රටේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීම පසුපස පොදු ජනතාවගේ හඬ තිබෙන්නේ අවම මට්ටමින්. මොකද තොරතුරු දැනගැනීම කියන දේ අපෙන් බොහෝ දුරස්ථ කළ එය සාමාන්‍ය ජනතාවට අකැප යැයි සැලකු දශක ගණනාවක් අපි පසු කළා. ඒ නිසාම තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය යන්න අප තුළ අලුතෙන් ඇති කළ යුතුව තිබෙන දෙයක්. අරවින්ද් කේජ්රිවාල් වරෙක කිව්වා ලංකාව සහ ඉන්දියාව වැනි රටකට ගැලපෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතක ප්‍රධාන අංග තුනක් තිබිය යුතු බව. ඔහුට අනුව පළමුව, “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් නීතිය කඩ කරන ආණ්ඩුවේ නිලධාරීන්ට විරුද්ධව දඬුවම් කිරීමට ප්‍රතිපාදන තිබිය යුතුයි”. ඒ අපේ රටවල්වල සිටින නිලධාරී තන්ත්‍රයේ අනම්‍යභාවය හන්දයි. ඔවුන් නීතියක් තිබුණත් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තියෙනවා. දෙවනුව, “පුද්ගලයෙකු තොරතුරු ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළ විට එය ප්‍රතික්ෂේප වුවහොත් අභියාචනාවක් පහසුවෙන් කිරීම සඳහා විධායකයෙන් ස්වාධීන වූ ආයතනයක් තිබිය යුතුයි”. තුන්වෙනුව, “ජාතික ආරක්ෂාව, පුද්ගලිකත්වය සහ සෞඛ්‍ය වැනි හේතු මත තොරතුරු ලබා ගැනීම කළ නොහැකි විෂයන්වල ලැයිස්තුවක් තිබිය යුතු අතර එය හැකිතාක් සීමිත විය යුතුයි”.

කේජ්රිවාල්ගේ මේ ප්‍රකාශය තුළින් තොරතුරු සඳහා ප්‍රවේශයට ඇති පුරවැසියන්ගේ අයිතිය වඩාත් පුළුල් කිරීම සහ ඊට අවැසි මාර්ගය වඩාත් සංවෘතව තැබීමේ වැදගත්කම ගම්‍ය කරනවා. ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව යම් අයදුම්පතක් ලැබී දින දාහතරක් තුළ ඊට පිළිතුරු සැපයීමට අදාළ නිලධාරීයා බැඳී සිටිනවා මෙන්ම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප වන අවස්ථාවකදී නැවත අභියාචනාවක් කිරීමේ අවස්ථාව තොරතුරු ඉල්ලා සිටින්නා වෙත හිමිවෙනවා. මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය යම් සම්පත් ප්‍රමාණයක් වැය කළ යුතු වුවත් එය ප්‍රජාතන්ත්‍රීය පැවැත්මක් වෙනුවෙන් කළ යුතුම දෙයක්. කේජ්රිවාල් මේ සම්බන්ධයෙන් පැවසුවේ රටක් ලෙස ප්‍රථමයෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය බව පිළිගන්නා විට ඊට අවශ්‍ය සම්පත් නිසැකවම ගලා එනු ඇති බවයි.

නව රජය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කර තමන්ගේ වගකීමක් ඉෂ්ට කළා. දැන් පුරවැසියන් ලෙස අපි අපේ කාර්යභාර්ය කළ යුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ජනමාධ්‍යවේදීන්ගේ හෝ වෙනයම් කිසිවෙකුගේ හෝ පමණක් නොවෙයි. එය රටේ සියලු පුරවැසියන්ගේ අයිතියක්. මේ මැජික් එකෙන් අපි හරියට වැඩ ගන්න දවසකට, එහි අවශ්‍යතාවය අපේ ඇට මස් ලේ නහර තුළට කිදා බහින දවසකට රාජ්‍ය නිලධාරීන්ට කරන්නට බොහෝ වැඩ තියේවි; ප්‍රජාතන්ත්‍රවාදයේ අතු ඉති ශක්තිමත්ව මේ පොළොවේ මුල් අදීවි. එවන් වූ දවසකට විනිවිදභාවය නැමති දිගු ගමනේ එක සැතපුම් කණුවක් රටක් ලෙස අපි පසුකර ඇති බව කියන්නට අපට ද හැකි වේවි.

යන්ග් ඒෂියා ටෙලිවිෂන් වෙනුවෙන් අර්වින්ද් කේජ්රිවාල් සමඟ සංජන හත්තොටුව කළ සාකච්ඡාවකින් උපුටාගත් කොටසක් 2011 ජුලි මස සමබිම පුවත්පතෙහි පළ විය. මෙම ලිපිය ඒ ඇසුරින් සකස් කරන ලද්දකි.

සකස් කළේ ජයනි අබේසේකර

ඒක පුංචි මැජික් එකක් – 01 කොටස

Recent Posts

Tags: , ,

Leave a Comment