මතකයන් පවා කොහේ වැළළුවේද?

Jul 27th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

සංහිඳියාව උදෙසා ප්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් සමඟින් සමබිම ඇවිද යන ගීතමය චාරිකාවේ තවත් එක් නැවතුමකි මේ. ලෙයින් වැකි බිමකට සිහින් දිය බිඳක්ව මෙය වැගිරෙන්නේ ද, එය අපගේ අපේක්ෂාව ද වන්නේය.

කොහේ හෝ තැනක මියගිය තම ආදරණීයයන් සිහිපත් කරමින් සොහොන් කොත් නිර්මාණය කිරීම තුළින් මිය ගිය තම සමීපතමයා කෙරෙහි පැවති ආදරය හා ඔහු හෝ ඇය පිළිබඳ වන මතකය සදාකල් කර ගැනීමට අපි උත්සාහ දරන්නෙමු. එළාර, දුටුගැමුණු ද්වන්ධ යුද්ධයේදී දුටුගැමුණු විසින් එළාර මරා දමනු ලැබූව ද යුද්ධයේදී සිය සතුරා වූ එළාර වෙනුවෙන් දුටුගැමුණු රජු සොහොන් කොතක් නිර්මාණය කරමින් සිය ගෞරවය එළාර රජු වෙත පුද කරන්නට අමතක නොකළ බව අපි ඉතිහාසයෙන් උගන්නෙමු. එපමණක් නොව එම සොහොන් කොත අසලින් යන එනවිට රථවලින් බසිමින්, හිස්වැසුම් ගලවමින් ගෞරව කළ යුතු බවට රාජඥාවක් ද දුටුගැමුණු රජු විසින් නිකුත් කරන ලද බව මහාවංශයේ සඳහන්ය. සොහොන් කොතක් මිය ගිය මිනිසෙකු පිළිබඳව ජීවත්වන්නවුන්ට තිබෙන ස්මරණීය සංකේතයක් මිස එය කිසිදු ආගමක්, ජාතියක්, වර්ගයක් හෝ කුලයක් නියෝජනය නොකරයි. අනෙක් අතින් පස් යට වැළලී ගිය ඒ මිනිස් ශරීර තවදුරටත් ඒ කිසිවකට අයත් වන්නේ ද නැත.

උතුරු යුද්ධයෙන් මියගිය විරුවන් වෙනුවෙන් ද ස්මාරක ඉදි විය. යුදමය වාතවරණය යටතේ පවා උතුරේ එක පෙළට ගොඩනඟා තිබූ මිය ගිය විරුවන්ගේ, ආදරණීයන්ගේ සොහොන් කොත්වලට ගෞරවාදරය දක්වමින් මලක් තබා යන්න ජනතාවට අවකාශය තිබුණි. එහෙත් 2009 වසරේ යුද්ධය යුධබිමේ අවසන් කිරීමෙන් අනතුරුව ඒ විරු ස්මාරක මහ පොළොවට සමතලා කර තිබූ බව නොරහසකි. එදා නල්ලූර් කෝවිල අසල තනා තිබූ රණවිරු ස්මාරකය අද එහි දක්නට නැත. ඒ ස්මාරකය ඉදි වූයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වූත් එල්.ටී.ටී.ඊ.යෙහි දේශපාලන අංශයේ නායකයෙකු වූත් තිලීපන් වෙනුවෙනි. රජීව් ගාන්ධි සහ ජේ.ආර්. ජයවර්ධන සමඟ ඇතිකරගත් ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අනුව ලංකාවට පැමිණි ඉන්දීය හමුදාවන්හි ක්‍රියාකලාපයට එරෙහිව ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් 1987 සැප්තැම්බර් පහළොස්වැනි දින තිලීපන් මාරාන්තික උපවාසයක නියැළුණේය. ඒ සඳහා සුදුසු ස්ථානය ලෙස තිලීපන්ගේ තෝරා ගැනීම වූයේ යාපනය නල්ලූර් කන්දසාමී කෝවිල අසල භූමියය. ඔහු උපවාසය අරඹා දින කිහිපයක් ඉක්ම යන විට දෙමළ ජනතාව නල්ලූර් කෝවිල අසල භූමියට ඇදී එන්නට වූහ. තිලීපන් වෙනුවෙන් ගැයුණු හින්දු බැති ගී ගායනාවලින් නල්ලූර් කෝවිල අසල භූමිය භක්තියෙන් ද තිගැස්මෙන් ද පිරී යන්නට විය.

මහත්මා ගාන්ධිගෙත් තිලීපන්ගෙත් රූපය රැගත් බෝඞ් ලෑලි ඒ භූමිය සරසමින් තිබුණි. තිලීපන් සිය අරමුණු වෙනුවෙන් මරණය කරා ළං වෙමින් වැතිර සිටියේය. ඔහු වෙනුවෙන් බැති ගී ගායනා කළ දෙමළ ජනතාව තිලීපන්ගේ ඉරණම දෙස වේදනාවෙන් බලා සිටියා මිස ඔවුන්ට වෙන කළ හැකි අන් කිසිවක් නොතිබුණි. උපවාසය අරඹා දින එකොළහක් ගතව ගිය තැන එනම් 1987 සැප්තැම්බර් 26 වැනි දින තිලීපන් අවසන් සුසුම් හෙළුවේය. ඒ භූමිය පුරා රැස්ව සිටි දෙමළ ජනතාවගේ ඇස්වලින් ගලාගෙන ගිය කඳුළු සහ සුසුම් තිලීපන්ගේ අවසන් සුසුම් සමඟ උතුරු සුළඟට මුහුව යමින් තිබුණි. ආයුධ කෙරෙහි විශ්වාසය තබා සටනට පිවිසි තිලීපන් නිරායුධ මිනිසෙකු ලෙස කෝවිලක් ඉදිරිපිට නිහඬවම තම මරණය වැළඳගනු ලැබුවේය. ‘ආයුධ කෙරෙහි තැබූ විශ්වාසය අවිහිංසාවාදී සටන් ක්‍රමයක් බවට පරිවර්තනය කළ අවස්ථාවක්’ ලෙස තිලීපන්ගේ මරණය දේශපාලන විචාරකයන් විසින් අර්ථ දැක්වූහ. තිලීපන්ගේ මරණය උතුරට මෙන්ම දකුණට ද සුවිශේෂී වූයේ එනිසාමය.

තිලීපන්ගේ මරණය විසින් උතුරේත් දකුණේත් මිනිසුන් තුළ ඇති කළ කම්පනය විවිධ නිර්මාණයන් හරහා පිටාර ගැලීය. පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනෙහි අධිපතිව වැඩ විසු කෝන්ගස්දෙණියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ කවි සිත ද මෙම සිදුවීමෙන් චංචලව තිබිණි. උන්වහන්සේ අතින් යතිවරයෙකු ලෙසත් කවියෙකු ලෙසත් උපවාසයෙන් මිය ගිය තිලීපන් වෙනුවෙන් කවියක් ලියැවෙන්නේය.

“අහස බලා ගිනි අව් කූටකේ දරාපන්
පොළොව බලා වැගිරූ ලේ සයුර බලාපන්
ජීවිතයේ වන්දි ගෙවූ සොයුරු තිලීපන්
උඹයි මමයි එක අම්මගේ දරුවෝ තිලීපන්”

මෙම කවි පන්තිය එවකට සුනන්ද දේශප්‍රියගේ සංස්කරණයෙන් පළ වූ යුක්තිය පුවත්පතෙහි පළ විය. මිනිසුන් මරා දැමීම නිවන් දැකිය හැකි පින්කමකැයි යුද සාහිත්‍යය විසින් හඬ නගා කිව් යුගයක මෙම යතිවරයා මරණයට එරෙහිව සිය පෑන මෙහෙය වූයේය. නෑකමක් නැති සටනකින් නෑකමක් ඇති මිනිසුන් මියැදෙන විට පපුව රිදුණා වූ මිනිසුන් යුද්ධයට එරෙහි වූවෝය. කෝ. ආනන්ද යතිවරයාණෝ එවැන් වූ අයෙකි. මිය ගිය තිලීපන් අමතා ‘මම ඇවිදින් දණ නමනවා උඹගේ පිළිරුව ඉඹගෙන’ යැයි උන්වහන්සේ අවසන් වශයෙන් කියන්නේය. එහෙත් තවදුරටත් දණ නමා ඉඹින්නට තිලීපන්ගේ පිළිරුවක් අපට නැත.

‘තිලීපන් උපවාස කර මිය ගිය, නල්ලූර් කන්දසාමි කෝවිල අසල භූමියේ ඉදි වුණ, තිලීපන්ගේ ස්මාරකය අබියස වේදිකාවක් මතදී මේ ගීතය ගායනා කරන්නට යුද සමයේදීම මට අවස්ථාව ලැබුණා. ඒත් යුද්ධයෙන් පසුව යාපනයේ සංචාරය කළ මට නල්ලූර් කෝවිල අසල නිහඬවම නැඟී සිටි තිලීපන්ගේ ස්මාරකය නැවත කිසිදාක දකින්නට ලැබුණේ නැහැ. මිය ගිය අනෙක් දෙමළ සටන්කරුවන් වෙනුවෙන් ඉදිව තිබූ ස්මාරක වලත් අවශේෂ මිස අන් කිසිවක් දකින්න ලැබුණෙත් නැහැ. යුද්ධය අවසන් කර අපි ප්‍රාර්ථනා කරන්නේ සංහිඳියාව නම් දෙමළ සටන්කරුවන් වෙනුවෙන් ඉදි වූ ස්මාරක හෝ සොහොන් කොත් බිඳ දැමීමෙන් සංහිඳියාවක් ඇති නොවන්නේය යන සත්‍ය අපි කවද ද තේරුම් ගන්නේ?’ ජයතිලක බණ්ඩාරයන් බිඳුණු හඬින් එලෙස අසනු පමණක් ඇසිණි.

අහස බලා ගිනි අව් කූටකේ දරාපන්
පොළොව බලා වැගිරූ ලේ සයුර බලපන්
ජීවිතයෙන් වන්දි ගෙවූ සොයුරු තිලීපන්
උමයි මමයි එක අම්මගේ දරුවෝ තිලීපන්

උඹට අපිට සතුරු කවුද සොයා බැලුවේ නෑ
එක අම්මගේ දරුවෝ කියල පිළිගත්තෙත් නෑ
එක මඟ යන්නට අප හා එකඟ වුණෙත් නෑ
ජීවත් වී සටන් කරන්නට කැමතිත් නෑ

අපි සිහලය අපි දෙමළය අපේ මෝඩකම් නොතකන
මතු පරපුර රට එක්කර මිනිස්කමට ප්‍රේම කරන
මොහොතක උඹ ගුණ සිහිකර ඒ කෝවිල ළඟ ඊඳගෙන
මම ඇවිදින් දණ නමනවා උඹගේ පිළිරුව ඉඹගෙන

ගායනය – ජයතිලක බණ්ඩාර
පදරචනය – කෝ. ආනන්ද ස්වාමීන් (කෝන්ගස්දෙණියේ ආනන්ද ස්වාමීන්)
සංගීතය – ප්‍රේම් රංජිත් විජේවික්‍රම

ප්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් සමඟ සාකච්ඡා කර සකස් කළේ ජයනි අබේසේකර

Recent Posts

Tags:

Leave a Comment