පළාත් සභාව පාර්ලිමේන්තුවට?

Sep 11th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

1987 නොවැම්බර් 14 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වන සංශෝධනය සම්මත කරමින් ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දී වසර තිහක් එළැඹීමට ඇත්තේ තව මාස දෙකකි. මේ නිසා වසර තිහක අත්දැකීම් ඇසුරින් පළාත් සභා ක්‍රමය අපේක්ෂිත අරමුණු ඉටු කරගත්තාද යන්න පිළිබඳ සංවාදයකට මුල පිරීමට සමබිම අදහස් කර සිටියේය. නමුත් අප අදහස් කළ පරිදි මෙවර සමබිමෙන් එම සංවාදය ගැනීම සිදු කළ නොහැකි වූයේ යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතු වූ කතා බහ නිසාය. එනම් පළාත් සභා සතු බලය පාර්ලිමේන්තුවට පවරාගැනීමට උත්සාහයක් තිබෙන්නේද යන්නයි. එක් අතකින් පළාත් සභාවලට වසර තිහක් ගතවන මොහොතේ පළාත් සභා බලතල පාර්ලිමේන්තුවට පවරා ගැනීමක් සිදුවේවිද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුවීම උත්ප්‍රාසාත්මක සිදුවීමකි. ඒ අනුව විසිවන සංශෝනය පළාත් සභාවලට බලපාන ආකාරය පිළිබඳ සමබිම කළ අදහස් විමසීමක් සහ විසිවන සංශෝධනයේ දේශපාලන පසුබිම පිළිබඳව විකල්ප වෙබ් අඩවියට ධනුෂ්ක සිල්වා විසින් ලියන ලද ලිපියක් මෙවර සමබිම පළ කරන්නේ පළාත් සභා සහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මතුව ඇති සංවාදය තවත් ඉදිරියට ගෙන යෑම පිණිසය.

සටහන-ජයනි අබේසේකර

Upul

එකම දිනයට ඡන්දය තියන්න  සදාකාලිකව බලය පවරගන්න හදන එක  වැරදියි

උපුල් නිශාන්ත

හිටපු මාතර නගරාධිපති

මම පෞද්ගලිකවම බලය බෙදීමට පක්ෂව මතයක් දරන කෙනෙක් නිසා විසිවන සංශෝධනය මඟින් ස්වාධීන ආයතනයක් සතුව තිබූ බලය පාර්ලිමේන්තුවට ගැනීමට මම එකඟ නැහැ. අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දියුණු තැනක නැහැ. ඒ නිසා මගේ අදහස, මේකේ අන්තිමට සිද්ධ වෙන්නෙ පාර්ලිමේන්තුව කියන වචනෙත් කැපිලා බලයේ ඉන්න දේශපාලන කණ්ඩායමකට මේ බලය ලැබෙනවා කියන එක. මගේ ප්‍රශ්නය තමයි මෙය බලයක් විදිහට දිර්ඝ කාලීනව තබා ගන්නද අවශ්‍ය වෙන්නෙ නැතිනම් එකවරකට විතරක් මේ ආකාරයට පවත්වන්නද පාර්ලිමේන්තුවට මේ බලය අවශ්‍ය වෙන්නෙ කියන එක. අපේ රටේ පිරිස්, බලතල භාවිත කර තිබෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ශක්තිමක් කරන ආකාරයකින් නෙවෙයි. ඉතාමත් හොඳ බලතල පවා භාවිත කර තිබෙන්නෙ පටු දේශපාලනික අරමුණු ශක්තිමත් කරන්න. කෙසේ නමුත් මැතිවරණ එකවර පැවැත්වීම සඳහා මේ අවස්ථාවේදී පමණක් පාර්ලිමේන්තුවට බලය පවරා ගැනීමේ වරදක් මම දකින්නෙ නැහැ. ඇතැම් හදිසි අවස්ථාවල එවැනි දේ කිරීමට සිදු විය හැකියි. නමුත් මම දකින්නෙ මෙය එවැනි තැනකින් නොනැවතී යම් ආකාරයකට සදාකාලික බලය පවරා ගැනීමක් බවට පත්වෙන බවක්. මොකද මේ රටේ ජාතික තලයේ ඉන්න දේශපාලඥයන් ආදර්ශයෙන් හෝ ඔප්පු කර පෙන්වා නැහැ ඒ අය ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදායක වැඩ කරනවා කියල. මේ සම්බන්ධයෙන් මගේ අදහස සහ මට තිබෙන ප්‍රශ්නය එකවර මැතිවරණය පැවැත්වීම ඉතාම හොඳ අදහසක් වුනත් ඇයි දිගු කාලීනව බලය ගන්නෙ හදන්නෙ කියල. 

rarara_o

තම බලය දුර්වල කරන සංශෝධනයකට කිසිම පළාත් සභාවක් එකඟ නොවේවි

රාජා උස්වැටකෙයියාව

හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී

විසිවන සංශෝධනය මඟින් පළාත් සභාවලට දී තිබෙන බලතල දුර්වල වීමක් සිදුවෙනවාය කියල මම හිතන්නෙ නැහැ. මේ සංශෝධනයට අනුව එකම දිනයක පළාත් සභා ඡන්ද පැවැත්වීම කියන කාරණය ගත්තම ඒක ඉතාම හොඳ දෙයක්. විසිවන සංශෝධනයෙන් පළාත් සභා කල් දැමීම වගේ දෙයක් සිදුවෙනවා නම් අපි එයට විරුද්ධයි. මොකද නිසි කලට මැතිවරණ පැවැත්වීම කියන දේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. ඒ නිසාම මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වීමක් ලෙසයි මම දකින්නෙ. නමුත් විටින් විට මැතිවරණ පැවැත්වීම කියන කාරණය එතරම් සුදුසු නැහැ. පහුගිය ඉතිහාසය පුරාම දකින්න ලැබෙන දෙයක් එක පළාතක මැතිවරණය පවත්වනවා ඒ මැතිවරණයට සියලු සම්පත් භාවිත කරල රාජ්‍ය බලය යොදවලා අදාළ පාර්ශ්වයන් ජයග්‍රහණය කරනවා. මෙය වැරදි ආදර්ශයක්. ඒ නිසාම මැතිවරණ කල් දැමීමට අපි විරුද්ධත්වය පළ කරනවා වගේම මැතිවරණ එකම දිනයක පැවැත්වීම සම්බන්ධයෙන් එකඟත්වයත් පළ කරනවා. 

පළාත් සභාවලට මේ බලතල දී තිබෙන්නෙ දහතුන්වැනි සංශෝධනය මඟින්. එහිදී තිබෙන බලතල නැවත ගැනීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි වගේම මම හිතන්නෙ නැහැ ඒ බලතල නැවත ගන්න හැකියාවක් තිබේවී කියලත්. නමුත් යම් ආකාරයකට විසිවන සංශෝධනය මඟින් ඉදිරිපත් කර තිබෙනවා නම් පළාත් සභාවල බලතල පාර්ලිමේන්තුවට පැවරීමට එවැන්නකට කිසිදු පළාත් සභාවක් එකඟ වෙන්නේ නැහැ. හිතුවක්කාර ලෙස පළාත් සභාවල අනුමැතියෙන් තොරව එවැනි යමක් කිරීමට මධ්‍යම ආණ්ඩුවට හැකියාවක් නැහැ. පළාත් සභා විසුරුවා හැරීමෙන් අනතුරුව ඒ අන්තර් කාලය තුළ පළාත් පාලනයට අදාළව සියලු කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් ඇති කියා මම හිතන්නෙත් නැහැ. ■

16ee6dceb3a58bdfc9d3f658e96dd692_XL

විග්නේෂ්වරන් වගේම ඉසුර දේවප්‍රියත් පළාත් සභා රැකගන්න ඉදිරියට ඒම  හොඳ ප්‍රවණතාවක්

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 

පාලන අපහසුතා සහ කාලය සම්බන්ධයෙන් තිබෙන අපහසුතා හේතුවෙන් පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීමේ අරමුණ ඇතිව විසිවන සංශෝධනය ගේන්න උත්සාහ දරනවා. නමුත් මෙයින් පළාත් සභාවලට දී තිබෙන ස්වපාලන අයිතිය අඩු කිරීමක් හා හානි කිරීමක් සිදුවෙනවා. පළාත් සභා ක්‍රියාත්මක විය යුත්තේ පළාත් සභාවලට දී තිබෙන බලතල අනුව සහ ඒ ප්‍රදේශයේ තිබෙන අවශ්‍යතාවන් අනුව. ඒ වගේම ඒ ඒ ප්‍රදේශවල සිදුවන දේශපාලන ගැටුම් තුළින් යම් ආකාරයකට පළාත් සභාවල ඡන්ද පවත්වන්නට සිදුවෙනවා නම් එය කළ හැකි ආකාරයේ ස්වපාලන අයිතියක් පළාත් සභාවලට දී තිබුණා. නමුත් මෙයින් සිදු කරන්න හදන්නෙ ඒ අයිතිය අඩු කිරීමක් නැතිනම් කප්පාදු කිරීමක්. එයට කිසිසේත් අපට එකඟ වීමට නොහැකියි. ඒ වගේම මුදල් අමාරුකම් උඩ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අඩු කරනවා කියන දේ පිළිගත හැකි කතාවක් නෙවෙයි. වියදමක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය ගෙනයන්න බැහැ. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවේ තිබෙන පහසුකම් අනුව මේවා ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණය ප්‍රජාතන්ත්‍රවාදයටත් ස්වපාලන මූලධර්මවලටත් පටහැනියි. පළාත් සභා ඡන්ද එකවර පැවැත්වීම කියන කාරණය මේ වෙලාවේ හදිසි දෙයක් නම් එය මේ වාරයට පමණක් සීමා කළ හැකියි ව්‍යවස්ථාව වෙනස් කිරීමකින් තොරව. එසේ නොමැතිව දිගු කාලීනව ව්‍යවස්ථාව වෙනස් කිරීම කියන දේ කිසිසේත් පිළිගත නොහැකියි. පළාත් සභා විසුරුවා හැරීමෙන් පසුව එහි බලතල මධ්‍යම ආණ්ඩුව යටතට ගන්න මේ තුළින් යෝජනා වෙනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි සහ බරපතළ ක්‍රියාවක්.

මෙහි තිබෙන හොඳම දේ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, ඉසුර දේවප්‍රිය මෙයට විරුද්ධ වෙමින් විග්නේෂ්වරන් එක්ක අත්වැල් බැඳගෙන තිබෙනවා. මේ දෙගොල්ලන්ම දැන් කියන්නෙ බලය බෙදීම නවත්තන්න එපා කියල. බලය බෙදීම වැඩක් නැහැ කියන තැනක හිටපු ඉසුර දේවප්‍රිය අමාත්‍යවරයා බලය බෙදීමට එකඟ වෙමින් එයට හානි කිරීමට උත්සාහ දරන වෙලාවක එයට විරුද්ධ වෙමින් නැඟී සිටීම විශාල ජයග්‍රහණයක්. දැන් උතුර, නැගෙනහිර, දකුණ ඔක්කෝම එකට එක්කාසු වෙලා පළාත් සභා ආරක්ෂා කර ගැනීමේ සටනට අවතීර්ණ වී තිබීම තමයි මේ සංශෝධනය ගෙන ඒම නිසා ලැබුණ වාසිය. 

Lal-Wijenayake

පළාත් සභාවල  බලය අඩුකිරීමේ අරමුණක් විසිවන සංශෝධනයේ නැහැ

නීතිඥ ලාල් විජේනායක 

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා බලතලවලට සම්බන්ධයක් නැහැ. ඡන්ද එක එක දිනේට පැවැත්වීම නිසා එක එක පළාත් සභාවල වසර පහක කාලය අවසන් වෙන්නෙ විටින් විට වීම හේතුවෙන් වසර පුරාම ඡන්ද පැවැත්වීමට සිදුව තිබෙනවා. ඒ නිසා පළාත් සභා නමයේම ඡන්ද එක් දිනයක පැවැත්වීමට අවශ්‍ය නිසයි මෙම සංශෝධනය ගෙන එන්නෙ. එහි අන්තර් කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියනනෙ සියලු පළාත් සභා ඡන්ද එකම දිනයක පවත්වනවා නම් ඒ විසුරුවා හැරිය දිනයේ සිට ඡන්ද පවත්වන තෙක් කවුද ඒ බලතල පාවිච්චි කරන්නෙ කියන කාරණය. මෙහි කරුණු දෙකක් තිබෙනවා. එකක්, එකම දිනය පවත්වන්න ඕනෑ කියන දේ සහ දෙවැන්න මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන කාරණය. ප්‍රාදේශීය සභා ඡන්දය තියන්නෙ මනාප ක්‍රමය ඉවත් කරල. යෝජිත යෝජනා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නෙත් මනාප ක්‍රමය නැති කරලා මිශ්‍ර ක්‍රමයකින්. ප්‍රාදේශීය සභාවලටත් පාර්ලිමේන්තුවටත් එන්නෙ මිශ්‍ර ක්‍රමයක් නම්, එයට ආසන මට්ටමිනුත් මන්ත්‍රීවරු පත්වෙනවා නම් ඇයි පළාත් සභාවලට විතරක් එය ඇති කර නොගන්නෙ කියන ප්‍රශ්නය එනවා. ඒ නිසා ඉදිරි අවුරුද්දක් තුළ පළාත් සභාවල ඡන්ද ක්‍රමයත් වෙනස් කරල ප්‍රාදේශීය සභා සහ පාර්ලිමේන්තුවේ වගේම මිශ්‍ර ක්‍රමයක් ඇති කරන පනතක් සම්මත කරන්න වෙනවා. ඉන් අනතුරුව එක දිනයක ඡන්දය පැවැත් විය යුතුයි කියන කාරණයට එළැඹිය යුතුයි. මෙන්න මේ කියන කාරණා යටතේ තමයි පළාත් සභා ඡන්ද කල් දැමෙන්නෙ. ඒ කල් දැමෙන වසරක කාලය තුළ කවුද පළාත් සභාවල බලතල භාවිත කරන්නෙ කියන කාරණයේදී එය පාර්ලිමේන්තුවට හිමි වෙනවා. එමඟින් පළාත් සභාවල බලතලවලට හානියක් වෙන්නෙ නැහැ. එම අන්තර් කාලය තුළ පළාත් සභාවල මන්ත්‍රීවරු නැහැ. ඒ අනුව වසරක කාලය තුළ පළාත් සභාවලට නීති ගෙන ඒමේ හැකියාව නැති වෙනවා. ඒ බලය පාර්ලිමේන්තුවට පැවරීමෙන් ඒ වසරක කාලය තුළ යම් ආකාරයක නීති පළාත් සභාවලට ගෙන ආ යුතු නම් එය සිදු කරන්නෙ පාර්ලිමේන්තුව විසින්. මෙන්න මේ කියන කාරණය යටතේ පළාත් සභා බලතලවලට මෙය බලපෑමක් කියල කියන්න පුළුවන් වුනත් මෙහි ප්‍රධාන කාරණාවන් දෙකක් තිබෙනවා. එකම දිනයක ඡන්ද පැවැත්විය යුතුයි කියල ජනතා ඉල්ලීමක් එක් පසෙක තිබෙනවා. මොකද වියදම සහ එක එක දිනවල ඡන්ද පැවැත්වීමෙන් රටේ සමස්ත දේශපාලන ක්‍රියාවලියටම විශාල බලපෑමක් සිදුවෙනවා. ඒ වගේම මානප ක්‍රමය අහෝසි කර මිශ්‍ර ක්‍රමයකට යෑමේ අවශ්‍යතාවය. එහෙම නම් මේ කාරණා දෙකම ඉටු කරන්න අනිවාර්්‍යයෙන්ම පළාත් සභාවල ක්‍රියාකාරීත්වය කෙටි කාලයකට නතර කරන්න සිදුවෙනවා.  

 

Recent Posts

Leave a Comment