ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවිද?

Oct 4th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News, කාලීන, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය, සමබිම ඉරිදා අතිරේකය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ජනාධිපතිතුමාගේ ස්ථාවරය පිළිබඳ සැකයක් තියාගන්න කිසිම හේතුවක් නැහැ‍

jeyampathyජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස රැස්වූ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. සැප්තැම්බර් 22 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙගා හර්ට්ස් 91.7 සහ 91.9 ඔස්සේ සිකුරාදා පෙව 7.00ට විකාශය වන සිකුරාදා සුභාරතී වැඩසටනට එක්වූයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ ද  සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න  මහතාය. නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන සමඟින් එහිදී සංවාද ගත වූ ජයම්පති වික්‍රමරත්න මහතාගේ අදහස් මෙවර සමබිම ඉරිදා සංග්‍රහයෙන් ගෙන එන්නේ විධායක ජනාධිපති ක්‍රමය, රාජ්‍යයේ ස්වරූපය සහ පළාත් සභාවලට බලතල බෙදීම වැනි නව ව්‍යවස්ථාවක් සමග ඉදිරියට එන විවාදාත්මක සංකල්ප වඩා පැහැදිලි කර ගැනීම පිණිසය. 

 

අගමැතිවරයා ඉකුත් 21 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සකස් වීම දක්වා වූ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද ?

2016 ජනවාරි 9 වෙනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීම පිළිබඳව ආණ්ඩුව වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. එදා ජනාධිපතිතුමත් පාර්ලිමේන්තුවට ඇවිත් එයට සහයෝගය දෙමින් ඉතා වැදගත් කතාවක් කළා. ඉන් පසුව එම යෝජනාව පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වීමෙන් පසු යම් සංශෝධන සහිතව 2016 මාර්තු 09 වෙනිදා එය ඒකමතිකව සම්මත වුණා. ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන්ම සමන්විත වන පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවීම සිදු වුණා.

එහි කාර්යය වුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබාගැනීමේ විභවයක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමයි. ඒ සමඟම ඒ සඳහා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් නියෝජනය වන පරිදි පාර්ලිමේන්තුවේ ඒකමතිකත්වයෙන් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව 21 දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ වගේම මූලික අයිතිවාසිකම්, නීතිය හා සාමය, අධිකරණය, මධ්‍ය කේන්ද්‍රය සහ පර්යන්තය අතර සම්බන්ධතාවය, රාජ්‍ය මූල්‍ය සහ රාජ්‍ය සේවය පිළිබඳ අනු කමිටු හයක් ඒකමතිකව පත් කරනු ලැබුවා. ඊට අමතරව විශේෂඥවරු ගණනාවක් මේ සඳහා උපදෙස් දීමට විවිධ පක්ෂවලින් පත් කරනු ලැබුවා. 

රාජ්‍ය මූල්‍ය අනුකමිටුවේ සභාපතිවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා, මධ්‍ය සහ පර්යන්තය සම්බන්ධ අනුකමිටුවේ සභාපතිවරයා ලෙස සිද්ධාර්ථන් මහතාත්, අධිකරණය පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයා ලෙස රවුෆ් හකීම් මහතාත්, මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් අනුකමිටුවේ සභාපතිවරයා ලෙස මහින්ද සමරසිංහ ඇමතිතුමාත් පත්වුණා. සාගල රත්නායක ඇමතිතුමා නීතිය හා සාමය පිළිබඳ අනුකමිටුවේත්, සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා රාජ්‍ය සේවය සම්බන්ධ අනු කමිටුවේත් සභාපතිත්වය දරනවා. මේ අනු කමිටුවල වාර්තා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. 

මෙහෙයුම් කමිටුව හැත්තෑ තුන් වාරයක් හෝ හැත්තෑ හතර වාරයක් රැස් වුණා. ගිය දෙසැම්බර් මාසේ සිටම මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ කෙටුම්පත තිබුණා වුනත් සමහර පක්ෂ සිය ස්ථාවරයන් ඉදිරිපත් කරන්න කල් ඉල්ලු‍වා. මේ වාර්තාවේ ඇතුළත් හැම වචනයකටම කමිටුවේ 21 දෙනොගේ එකඟත්වය නොතිබුණා වුනත් බහුතර මතයන් මෙහිදී සලකා බැලු‍ණා. නමුත් මීට අමතරව යමක් එකතු කරන්න තියෙනවා නම් ඒවත් එකතු කරන්න කියල කමිටුවේ 21 දෙනාටම කිව්වා. පසුගිය අගෝස්තු මාසයේ 31 වැනිදා දක්වා එයට කල් ලබා දී තිබුණා. ඒ සඳහා බොහෝ අය අදහස් ඉදිරිපත් කර තිබුණා. මම පවා එහිදී මගේ අදහස් වෙනම ඉදිරිපත් කරනු ලැබුවා. එසේ නොකළේ එක්සත් ජාතික පක්ෂය පමණයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අගමැතිතුමා ප්‍රකාශයක් කළා ඔවුන්ට වෙනස් මතයක් නොමැති අතර මෙහෙයුම් කමිටුවේ වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්න බව. 

මෙවැනි අදියරක දී  තවදුරටත් වෙනස් අදහස් ඉදිරිපත් වීම කියන කාරණය පිළිගත යුතු තත්ත්වයක්. ටීඑන්ඒ එක ඉදිරිපත් කර ඇති අදහස්වල අවසානයේ කියනවා “අතුරු වාර්තාවේ ප්‍රකාශිත මූලික ප්‍රතිපත්ති ප්‍රධාන පක්ෂ දෙකට පිළිගත හැකි වන්නේ නම්, පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමට ඉඩ සැළසීම සඳහා ඒවාට එකඟවීම සලකා බැලීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්තෙන් සිටී” යනුවෙන්. මෙය ඉතා වැදගත් සහ විවෘත ප්‍රවේශයක්. මේ ආකාරයට අනිකුත් පක්ෂත් විවිධ අදහස් පළ කර තිබෙනවා. මීට අමතරව රාජ්‍යයේ ස්වරූපය, විධායකය, මැතිවරණ ක්‍රමය, බලය බෙදා හැරීම පිළිබඳ මූලධර්ම, ආගම සහ රජයේ ඉඩම් ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධය සොයා බලා වාර්තා කිරීම මෙහෙයුම් කමිටුව විසින්ම සිදු කළ අතර පසුගිය 21 වැනි දින ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු වන්නේ ඒ පිළිබඳවයි. 

ලාල් විජේනායක කමිටුව මහජන අදහස් මත සකස් කළ වාර්තාවේ ඇතුළත් කරුණු මේ අතුරු වාර්තාවේ ඇතුළත්ද ?

අපි ලාල් විජේනායක කමිටු වාර්තාව දිහාත් බැලු‍වා. එහි ඉතාම හොඳ යෝජනා අඩංගු වී තිබෙනවා. අපි ඒවා වෙනස්කම් ඇතුවත් ඒ ආකාරයෙන්මත් බාරගෙන තිබෙනවා. අනුකමිටු හයත්, ලාල් විජේනායක කමිටු වාර්තාව ගැන සැලකිල්ල යොමු කරලා තියෙනවා. ඒ අනුව මහජනතාවගේ අදහස් සැලකිල්ලට ගැනීමත් මෙහිදී සිදු කොට තිබෙනවා. ඒ වගේමයි මහජනතාව සිය යෝජනා ඍජුවම මෙහෙයුම් කමිටුවට එවපු අවස්ථාත් තිබෙනවා. අපි ඒ සියල්ලත් අනු කමිටු වෙත යොමු කළා.

මෙතනින් එහාට නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පදනම් වෙන්නේ මෙහෙයුම් කමිටු වාර්තාව මතද? නැතිනම් තවදුරටත් අදහස් හෝ සංශෝධන එක්වීමේ අවස්ථාත් තිබෙනවාද?

ස්ථිර වශයෙන්ම තවදුරටත් එකතුවීමට ඉඩ තිබෙනවා. අපි ඊළඟ පියවර වශයෙන් බලාපොරොත්තු වන්නේ මෙහෙයුම් කමිටු වාර්තාව සහ අනුකමිටු හයේ වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළ සාකච්ඡා කරන්නයි. එය බොහෝ දුරට ඔක්තෝබර් අග විතර සිදුවෙයි කියා සිතනවා. ඊළඟට පාර්ලිමේන්තුව මාස එකහමාරක් දෙකක් අය-වැය ලේඛනයට හිරවෙන නිසා වෙනත් කිසිවක් කරගන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් එම කාලය තුළත් මෙහෙයුම් කමිටුව රැස්විය හැකියි. අය-වැය අවසන් වීමෙන් පසුව නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස් කර සාකච්ඡා පැවැත්වීමට පුළුවන්කම ලැබෙනවා. 

දැනටමත් රටේ සාකච්ඡාවක් ඇතිවෙලා තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන. ඒ අතර දේශපාලන පක්ෂ තුළත් මේ ගැන සාකච්ඡා වෙනවා. මෙලෙස පිටත සිදුවෙන සමහර සාකච්ඡාත් ප්‍රයෝජනවත් වෙනවා අවසන් එකඟත්වයක් ඇති කරගැනීමට. නමුත් සමහර පක්ෂ මොන දේ ගෙනාවත් විරුද්ධ වෙනවා. එය අපි බලාපොරොත්තු විය යුතු දෙයක්. මේ සාකච්ඡා සියල්ල අවසානයේ සියලු‍ දෙනාගේම හෝ බහුතරයේ එකඟත්වය අනුව මෙහෙයුම් කමිටුව අවසන් වාර්තාවක් සකස් කරනවා. එය තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සැකිල්ල වශයෙන් සැලකිය හැකි මෙම මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ ඇතුළත් වන මූලික කාරණා මොනවාද ?

මේ තුළ රාජ්‍ය ස්වරූපය, ඒ හා බැඳුණු කාරණා ඇතුළත් වෙනවා. “ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය අයිතිය ජනතාවට අයිති අත්හල නොහැකි සහ බෙදිය නොහැකි” යනුවෙන් එහි සඳහන් වෙනවා. දැනට තිබෙන ව්‍යවස්ථාවේ එවැන්නක් නැහැ. ෆෙඩරල් මාදිලියේ ව්‍යවස්ථාවක් නම් එය තුළ එක්තරා ආකාරයකට පරමාධිපත්‍ය බෙදෙනවා. දැන් ඇමරිකාවේ ව්‍යවස්ථාවේ කොමා එකක්වත් වෙනස් කරන්න බැහැ ප්‍රාන්තවල 2/3ක කැමැත්ත නැතිව. ඉන්දියාවේ සමහර වගන්ති වෙනස් කරන්න බැහැ එක්තරා ප්‍රමාණයකට ප්‍රාන්තවල එකඟත්වය නැතිව. එහි පරමාධිපත්‍ය බෙදීමක් තිබෙනවා. නමුත් අපේ යෝජිත ව්‍යවස්ථාවේ එලෙස පරමාධිපත්‍යය බෙදීමක් නැහැ. පරමාධිපත්‍යය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව සතුයි කියලයි තියෙන්නේ. ව්‍යවස්ථාව පසුව වෙනස්කම්වලට ලක් කරනවා නම් ඒ පිළිබඳ බලය තියෙන්නේ මධ්‍යම ව්‍යවස්ථාදායකයට හෙවත් පාර්ලිමේන්තුවට සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයක් සිටිනවා නම් එයටයි. සමහර වගන්ති වෙනස් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයයි කියලත් තිබෙනවා. 

නව ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුව සතු බලතල පළාත් සභාවලට දීලා රට දෙකඩ කිරීමක් සිදුවෙන බවට චෝදනාවක් තිබෙනවා?

බොහොම පැහැදිලිව යෝජනාවේ කියනවා ‘ඒකීය රාජ්‍යය’ කියන වචනය පාවිච්චි කරනවා කියල. රට බෙදීම වැළැක්වීමට අද නැති විශේෂ වගන්ති පවා අලු‍ත් ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න යෝජනා කරලා තියනවා. නමුත් මෙහි ඉංග්‍රීසියෙන් යොදා තිබෙන්නේ (යුනිටරි) කියන වචනයයි. ඒ ගැන පරස්පරයක් තිබෙනවා. සිංහලෙන් ඒකීය කියන එකට ඉංග්‍රීසියෙන් යුනිටරි කියනවා. ඒකීය (යුනිටරි) රාජ්‍යයේ මව් රාජ්‍ය වශයෙන් සැලකෙන එංගලන්තයේ පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරලා එක්දහස් නමසිය විසි ගණන්වල අයර්ලන්තය ඇති කළා. යුනිටරි කියමින් රට බෙදුවා. ඒ කියන්නේ යුනිටරි යන්න භාවිතයෙන් රට බෙදීම වැළැක්වෙන්නේ නැහැ. ඊළඟට උතුරු අයර්ලන්තයේ තිබෙන ගැටුම නිරාකරණය කිරීම සඳහා 1994දී මහා සිකුරාදා ගිවිසුමට ඇතුළත් වුණා. එහිදී අයර්ලන්තය සහ මහා බි්‍රතාන්‍ය අතර ඇතිකරගත් එකඟතාවය තමයි උතුරු අයර්ලන්තයේ වැඩි දෙනෙක් කවදාහරි දවසක කියනවා නම් අයර්ලන්ත සමූහාණ්ඩුවත් එක්ක එක්විය යුතුයි කියා අයර්ලන්ත ආණ්ඩුව එයට ඉඩ දෙනවා. ඒ වගේම පසුගිය වසරේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවට මහා බි්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුව විසින් බලය දුන්නා ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයේ සිටිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජන විචාරණයක් පවත්වන්න. ඒ අනුව පෙනෙනවා ඉංග්‍රීසියෙන් යුනිටරි කියන එක රට නොබෙදීමට කිසිම ආරක්ෂාවක් නොවෙයි. 

අද විශේෂයෙන්ම ලංකාවේ යුනිටරි මනෝභාවයක් තිබෙනවා. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැසිරිලා තියෙන්නේ කොයි විදිහටද කියල බැලු‍වොත් හොඳම උදාහරණය තමයි 1991 ජාතික ප්‍රවාහන කොමිසම් පනත. ව්‍යවස්ථාවේ 13 සංශෝධනයේ තිබෙනවා පළාත් තුළ බස් සේවා පවත්වාගෙන යාමට පළාත් සභාවට අයිතියක් තිබෙනවා කියල. නමුත් මේ ජාතික ප්‍රවාහන කොමිසම් පනත ගෙනල්ලා ව්‍යවස්ථාදායකය කිව්වා පළාත් සභාවලට තමන්ගේම බස් සේවා තියාගන්න බැහැ කියලා. ඔන්න ව්‍යවස්ථාදායකය කටයුතු කළ හැටි. මේ පනත ශේෂ්ඨාධිකරණයට ගියත් ශේෂ්ඨාධිකරණය පවා ඒ වගන්තිය දිහා බැලු‍වේවත් නැහැ. 

 ඌව පළාතේ පළාත් රාජ්‍ය සේවාවේ ඉන්න අය සම්බන්ධයෙන් ඇති වුණ ගැටුමක් පිළිබඳ කමලාවතී කියල නඩුවක් තියෙනවා. එහිදී මධ්‍යම ආණ්ඩුව කිව්වා අපේ ව්‍යවස්ථාදායකයේ හදපු ප්‍රතිපත්තිය තමයි අදාළ වෙන්නේ කියලා. මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා පවා කිව්වා මේක ජාතික ප්‍රතිපත්තිය නිසා ඒක අදාළයි කියලා.

ඉතාම නරක උදාරහණය තිබෙන්නේ ගොවි ජන සේවාවට අදාළව. 13 වන සංශෝධනය අනුව ඒ විෂය අයත් වෙන්නේ පළාත් සභාවලට. 1988 සිට 1991 දක්වාම හැම පළාතකම ගොවිජන සේවා  දෙපාර්තමේන්තුව තිබුණා. අඳගොවි ගැටලු‍ සියල්ල  ඒ තුළ විසඳාගත්තා. එය බලය බෙදීමෙන් පළාත් සභාවට අයිති වූ විෂයක්. නමුත් ඒ කාලේ ආණ්ඩුව ගොවි ජන සේවා පනතට සංශෝධනයක් ගෙනාවා. ඒ පනත් කෙටුම්පත පළාත් සභාවල අනුමැතියට යැවිය යුතුව තිබුණත් එය කෙරුණේ නැහැ. ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වුණාම ආණ්ඩුවවත්, නීතිපතිවරයාවත් අධිකරණයට ඇවිත් කිව්වේ නැහැ මේ සංශෝධනයෙන් සිදුවන්නේ ජාතික ප්‍රතිපත්තිය හැදීමක්ය, ඒ නිසා මෙය පළාත් සභාවලට යැවිය යුතු නැහැ කියලා. අපි මොහොතකට හිතමු ඒ නඩු තීන්දුව හරි කියලා. එහෙම නම් ඒ ජාතික ප්‍රතිපත්තියෙන් පළාත් සභා බැඳෙනවා. දින කීපයක් තුළ නීතිපතිවරයා මධ්‍යම ආණ්ඩුවේ කෘෂිකර්ම ලේකම්වරයාට ලියුමක් යැව්වා මේ නඩු තීන්දුව අනුව ගොවි ජන සේවා විෂය තවදුරටත් පළාත් සභා විෂයක් නොවේ කියලා. දින කීපයක් ඇතුළත ගොවි ජන සේවා දෙපාර්තුමේන්තු, නිලධාරීන්, ගොඩනැඟිලි, උපකරණ ආදී සියලු‍ම දේ මධ්‍යම ආණ්ඩුවට පවරා ගත්තා. නමුත් නීතිපතිට බැහැ ඒක තීරණය කරන්න. එය  තීරණය විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින්. මේක තමයි ඒකීය මනෝභාවය කියන්නේ.  

2003 වසරේදී මේ ගැනම මද්දුම බණ්ඩා කියන අඳ ගොවියෙකුගේ නඩුවක් තිබුණා. මමයි එයට පෙනී සිටියෙත්. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය මේක නැවත සලකා බලා තීන්දුවක් දුන්නා ගොවිජන සේවා විෂය අයිති පළාත් සභාවට කියලා. එහෙත් අද වෙන තුරු මේ විෂය පළාත් සභාවට දීලා නැහැ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන මේ ආයතන තුනේම එක්තරා ආකාරයක යුනිටරි මයින්ඞ් සෙට් එකක් තිබෙනවා. හැම වෙලාවෙම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කරන්න අවශ්‍ය නැහැ. මොන ප්‍රශ්නයක් ආවත් තීරණය ගන්නේ කේන්ද්‍රයේ වාසියට. 

ඉංග්‍රීසි පිටපතෙත් යුනිටරි කියන ඉංග්‍රීසි වචනය වෙනුවට ‘ඒකීය රාජ්‍යයක්’ කියලා සිංහලෙන් ඇතුළත් කරමු කියා දෙමළ ජාතික සන්ධානය යෝජනා කර තිබෙනවා. ලෝකයේ එවැනි භාවිතාවන්ට උදාහරණ තිබෙනවා. දකුණු අප්‍රිකාව ඉංග්‍රිසි ව්‍යවස්ථාවේ තියෙන ‘උබන්ටු’ කියන වචනය එයට නිදසුනක්. 

විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීමක් අතුරු වාර්තාවෙන් යෝජනා කරනවාද?

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ පොදු එකඟත්වය වන්නේ අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව. පළාත් සභාවලට අදාළ බලතල ජනාධිපතිවරයා යටතේ දිගටම තිබිය යුතුයි කියලත් එහි තිබෙනවා. ඒ කියන්නේ අර පරණ ගොපල්ලව මාදිලියේ නාමික ජනාධිපති ධුරයකට යන්නේ නැහැ. ජනාධිපති ධුරයේ බලවත්කම තීරණය වන්නේ ජනාධිපතිවරයා පත්කරගන්නා ආකාරය අනුවයි. ඒ අනුව වාර්තාවේ බලවත් මතය වන්නේ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා තෝරාපත් කරගත යුතුයි කියන එකයි. මෙය ජනවාරි 8 ජනතාව දැක්වූ අදහසට අනුකූලයි. මෙහෙයුම් කමිටුවේ බලවත් මතය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටත් වෙනස් මතයක් ඉදිරිපත් කොට තිබෙනවා. ඔවුන් කියනවා මහජනයා විසින් ඍජු ඡන්දයෙන් තෝරාපත් කරගන්නා විධායක ජනාධිපති ධුරයක් තිබිය යුතු බව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව තිබෙන ජාතික සමගිය සඳහා විධායක ජනාධිපති ධූරය තිබිය යුතුය යන අදහස ගැන ඔබගේ මතය කුමක්ද?

මගේ සහ ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ මතය නම් අපි කොහෙත්ම එයට එකඟ නැහැ කියන එකයි. 1982 පැවැති ජනාධිපතිවරණයේදී සුළු ජාතීන් ඉතා විශාල ප්‍රමාණයක් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ඡන්දය දුන්නා. 1983 ජූලි කලබල ඇතිවුණ වෙලාවේ අන්තවාදීන්ගේ බලපෑම් හේතුවෙන් දින තුනක් යනකම් රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන්නවත් ජයවර්ධන ජනාධිපතිවරයාට බැරිවුණා. අන්තිමට තොණ්ඩමන් මහතා ඇවිල්ලා ලොකු කලබලයක් කරලා තමයි ඇඳිරි නීතිය දාගන්න පුළුවන් වුණේ. ප්‍රභාකරන්ලා ශක්තිමත් වුණෙත්, උතුරේ ගැටුම බොහෝ උග්‍ර වුණෙත් විධායක ජනාධිපති ධුරය තියෙද්දි. අන්තිමේ එල්ටීටීඊය පරාජයට පත්වීම වුණේ විධායක ජනාධිපති ක්‍රමය තිබීම කියන කාරණය නිසා නොවෙයි. ඒකට වෙනත් හේතු රාශියක් බලපෑවා. ඉන් පසුවත් අපි දැක්කා හැම දෙනාගේම ඡන්දයෙන් පත්වුණ අනෙක් විධායක ජනාධිපතිවරුත් සුළු ජාතීන් සම්බන්ධයෙන් කටයුතු කළේ කොහොමද කියලා. ජනවාරි 8 වෙනස ඇතිවෙන්නෙත් ඒ නිසා. අනෙක දෙමළ ජාතික සන්ධානය පවා විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් අතුරු වාර්තාව සමඟ එකඟයි.

ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරෙන විධායක බලතල යම් ප්‍රමාණයකින් අගමැතිවරයාට ලැබෙනවාද? අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කමිටුවේ යෝජනා මොනවාද? 

පාර්ලිමේන්තු ක්‍රමය තුළ විධායක බලතල තිබෙන්නේ අගමැතිවරයාට නෙවෙයි, නාමික වශයෙන් ජනාධිපතිවරයාට. ඔහු කටයුතු කරන්නේ අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුවයි. අනෙක අගමැතිවරයා ධුරය දරන්නේ පාර්ලිමේන්තුවේ සහාය ලැබෙන තාක් විතරයි. ඒ නිසා අවසන් වශයෙන් විධායක බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට. එය ක්‍රියාත්මක ජනාධිපතිවරයා මගිනුයි. පාර්ලිමේන්තු ක්‍රමවල පිළිගත් මූලධර්මය එයයි. 

අගමැතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන විකල්ප තුනක් යෝජනා කොට තිබෙනවා. එකක් තමයි ඍජු ඡන්දයෙන්. එය ලෝකයේ කොහෙවත් සාර්ථක වූ ක්‍රමයක් නොවෙයි. ඊශ්‍රායලයේ අවුරුදු තුනක් පමණ මෙය තිබුණා. එහිදී ජනතාව පාර්ලිමේන්තුව සඳහා කුඩා පක්ෂවලටත්, අගමැතිවරයාට ප්‍රධාන පක්ෂවල දෙන්නගෙන් එක් කෙනෙකුටත් ඡන්දය දෙන්න පටන් ගත්තා. එහිදී අගමැතිවරයා ඍජුව පත්වුණා වුනත් පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැති තත්ත්වයක් ඇතිවුණා. එයින් ප්‍රශ්න උග්‍ර වුණා. මම මෙයට එකඟ නැහැ. දෙවැනි ක්‍රමය, මහමැතිවරණයේදී ඒ ඒ පක්ෂවලින් අගමැති අපේක්ෂකයා කවුද යන වග ප්‍රකාශ කිරිම. නමුත් මගේ එකඟත්වය තිබෙන්නෙ ඡන්දයෙන් පසුව වැඩි බලයක් හිමි පක්ෂයෙන් හෝ පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්තෙන් අගමැතිවරයා පත් කර ගැනීමේ තෙවැනි ක්‍රමයට.  

යෝජිත ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ වෙස්ට් මිනිස්ටර් ක්‍රමය සහ විධායක ජනාධිපති ධුරය අතර මිශ්‍ර වීම හොඳින් පවත්වාගෙන යා හැකිද? මේ අතර ගැටුම් ඇතිවීමේ හැකියාවක් නැද්ද?

කිසිම ප්‍රශ්නයක් නැහැ. දැනටමත් එකඟවෙලා තියනවා පළාත් සභාවද ඇතුළත්ව, එකඟ වන බලතල ජනාධිපතිවරයාට දිය හැකි බවට. මෙතනදි ජනාධිපති සහ අගමැති කියන කොට සමහරු මේක දිහා බලන්නේ මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි කියන ආකල්පයෙන්. ඒක වලංගු වෙන්නේ 2020 වෙනකම් විතරයි. අපි දන්නේ නැහැ 2020න් පස්සේ කවුරුන් පත්වෙයිද කියලා. මෙතනදි අපි ඔක්කොම එකඟ වෙන කාරණයක් තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ ඔහුගේ බලතල කිසිවක් වෙනස් නොකළ යුතුයි කියන එක. ව්‍යවස්ථා අද හැදුවත් එය ක්‍රියාත්මක වන්නේ 2020 සිටයි.

මගේ පුද්ගලික මතය නම් විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමේ එක් අදියරක් 19 වන සංශෝධනයේදී අපි ක්‍රියාත්මක කළ බවයි. අපිට අවශ්‍ය නම් මෙහිදී තව අදියරක් ඇති කළ හැකියි. අලු‍ත් ව්‍යවස්ථාව යටතේ 2019 අගදී පත්වන අලු‍ත් ජනාධිපතිවරයාගේ අවුරුදු පහේ නිල කාලය තුළ අතර මැදි අවදියක් ඇති කරගෙන ඊළඟට පත්වෙන ජනාධිපතිවරයාගේ සිට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. එහෙම වුණොත් නිශ්චිත වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දෙවෙනි වාරයක් ලැබෙනවා. ඔහු පොරොන්දු ඉෂ්ට කෙරුවා වෙනවා. ඔහුට විශාල ප්‍රසාදයකුත් ලැබෙනවා. ඔහුට දෙවෙනි වාරයට අදාළව පමණක් විශේෂ බලතල පැවරීමක් කරන්නත් පුළුවන්. එහෙම වුණොත් 2025 දී විධායක ජනාධිපති ධුරය අහෝසි වෙනවා. මේවා කතා කරලා එකඟතා ඇති කරගත හැකි කාරණා.  

මේ දේශපාලන පසුබිම තුළ ජනවාරි 8 ජනතා අභිලාෂයන් ඉටු කරගන්නෙ කෙසේද ?

එය තමයි ඉතා වැදගත් ප්‍රශ්නය. ආණ්ඩුව තුළ ඉන්න පක්ෂවලත් වෙනස් මත තිබෙනවා. ඊපීඩීපී, කඳුරට දෙමළ ජනතාව නියෝජනය කරන සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළුව තවත් කුඩා පක්ෂ, විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි නොකිව්වට ජනාධිපතිවරයා ඍජුවම ජනතා ඡන්දයෙන් තෝරාපත් කරගත යුතුයි කියා ඔවුන් කියනවා. නමුත් ආණ්ඩුව තුළ ඉන්න අයට කිසිම අයිතියක් නැහැ ජනවාරි 8 ජනතා මතයට වෙනස්ව යන්නට. 

විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ නිල මතයත් එහි සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයාගේත් ස්ථාවරයත් අතර පරස්පරයක් තිබෙනවා නේද?

ජනාධිපතිතුමාගේ ස්ථාවරය පිළිබඳ සැකයක් තියාගන්න කිසිම හේතුවක් නැහැ. සෝභිත හාමුදුරුවන්ගේ අවමංගල්‍ය අවස්ථාවෙත් එතුමා ඉතා පැහැදිලිව කිව්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියා. සිවිල් සංවිධාන නියෝජිතයන් මුණ ගැසෙන අවස්ථාවලත් ඒක දිගින් දිගටම ඉතා පැහැදිලිව කියා තිබෙනවා. එතුමා රැස්වීමෙන් රැස්වීමට ගිහිල්ලා කිව්වෙත් මේක තමයි අවසාන ජනාධිපතිවරණය කියලා. අපිට යම් යම් කාරණා සම්බන්ධයෙන් නම්‍යශීලි එකඟතාවයන්ට එන්න පුළුවන්. නමුත් කරන්න අවශ්‍ය නම් මේ වැඩේ කරන්න ක්‍රම සීයක් වුවත් සොයාගන්න පුළුවන්.

බලතල බෙදීමේ ඒකකය වශයෙන් පළාත පිළිගැනීමට පොදුවේ සියල්ල එකඟ වුණා කියා වාර්තාවේ තිබෙනවා ?

අද කවුරුවත් කියන්නේ නැහැ දිස්ත්‍රික්කවලට බලය බෙදන්න කියා. ඒක තමයි එකඟත්වය. 20 වැනි සංශෝධන සම්බන්ධ නඩු තීන්දුවෙන් කියා තිබෙනවා පළාත් සභාවල මැතිවරණය කල් දාන්න බැහැ කියල. එසේ නම් පළාත් සභා අහෝසි කරන්නත් බැහැ. පළාත් සභාව තුළින් යම් යම් බලතල ක්‍රියාත්මක වන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අංගයක් වන පරමාධිපත්‍යයේ කොටසක් වෙනවා. පළාත් සභාවලට විරුද්ධ අය පවා ගිහින් තර්ක කරලා ලබාගෙන තිබෙන ප්‍රතිඵලය පළාත් සභා අහෝසි කළ නොහැකි බවයි. මගේ නම් එයට විරුද්ධත්වයක් නැහැ.

රටේ තිබෙනවා නීතිමය ව්‍යවස්ථාව සහ දේශපාලන ව්‍යවස්ථාව කියා දෙකක්. අපි හිතාගෙන හිටියේ පළාත් සභා අහෝසි කිරීම දේශපාලන ව්‍යවස්ථාව අනුව කවදාවත් වෙන්නේ නැති දෙයක් වුවත් ඒක නීතිමය ව්‍යවස්ථාව අනුව කරන්න පුළුවන් දෙයක් කියලයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය අපිට කියනවා දේශපාලන ව්‍යවස්ථාවෙන් පමණක් නොවෙයි, නෛතික ව්‍යවස්ථාව අනුවත් පළාත් සභා අහෝසි කළ නොහැකි බව. එහෙම නම් අපිට පැහැදිලියි පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සිදු නොවන දෙයක් කියන එක. එහෙම නම් ඒවා කාර්යක්ෂ්ම කරන එකයි කළ යුත්තේ. තවත් වැදගත්ම දෙයක් තමයි පළාත් පාලන ආයතන රජයේ තුන්වන ස්ථරය ලෙස පිළිගැනීම. සමහර විෂයන් පිළිබඳ බලතල ක්‍රියාත්මක කිරීම පළාත් පාලන අයතනවලට පැවරීම. මේවා අති විශාල ජයග්‍රහණ ලෙසයි මම දකින්නේ. පහළම ස්ථරයෙන් කළ යුතු දේවල් එයට පැවරිය යුතුයි. ආගමන විගමන පාලනය මධ්‍යම රජයෙන් කළ යුතුයි කියන එකට කවුරුත් එකඟ වෙනවා. එහෙත් පෙර පාසල් පාලනයේ බලයත් මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක කළ යුතු නැහැ. ප්‍රතිපත්ති තීරණය කරන්නේ මධ්‍යම රජයෙන්. අනුපූරකතා මූලධර්මය කියන්නේ එයයි. 

බලය බෙදීම සම්බන්ධයෙන් හොඳම යෝජනා ගෙනාවේ දකුණේ පළාත් සභා හතේ මහ ඇමැතිවරුන්. බලය බෙදා හැරීම පළාත් දියුණු කිරීමේ මෙවලමක් ලෙස යොදගැනීම සඳහායි ඔවුන් යෝජනා කළේ. ඔවුන්ගේ යෝජනා ඉතාම ප්‍රායෝගිකයි. ඔවුන් කිව්වේ බලය දෙනවා කියන දේ පැහැදිලි කරන්න, ජාතික ප්‍රතිපත්ති හදන එකට ඔවුන් සම්බන්ධ කරගන්න, ජාතික ප්‍රතිපත්ති හදන මුවාවෙන් බලය ආපසු ගැනීම නවත්වන්න, ආණ්ඩුකාරවරයාගේ බලතලවලින් එකක් අඩු කරන්න කියල. ඒ පළාත් රාජ්‍ය සේවා කොමිසම ගන්නා තීන්දු තීරණ වෙනස් කිරීමට ආණ්ඩුකාරවරුන්ට දී තිබෙන බලය ඉවත් කිරීම. එය ජනාධිපතිවරයාටවත් නැති බලයක්. 

යෝජනාවේ සඳහන් දෙවෙනි මන්ත්‍රණ සභාවක් කියන්නේ මොකක්ද ?

බලය බෙදා හැරුණු රටවල කේන්ද්‍රය ශක්තිමත් කිරීම සඳහා දෙවන මන්ත්‍රී මණ්ඩලයක් තිබෙනවා. ඒ අනුව පළාත් සභා නැවතත් මධ්‍යම ආණ්ඩුව හා සම්බන්ධ කරන්නයි මේ යෝජනාව එන්නේ. මේ යෝජනාව ඉතාම හොඳ එකක්. ■ 

2017.10.01 වන දින රාවය සමබිම ඉරිදා අතිරේකයට ශ්‍රී ලාල් සෙනෙවිරත්න විසින් සකස් කරන ලද ලිපියකි.

 

Recent Posts

Tags: , , ,

Leave a Comment