පළාත් සභා සහ පරමාධිපත්‍යය

Oct 18th, 2017 | By | Category: LEAD NEWS, අධ්‍යාපන, දැනුම, දේශපාලන, ප‍්‍රබෝධ රත්නායක, සමබිම ඉරිදා අතිරේකය

ලංකාවට පළාත් සභා ක්‍රමය හදුන්වාදී මේ වන විට වසර 30ක් බලය බෙදා ගැනීමේ අත්දැකීම අප අත්විද ඇතත් බලය බෙදීමට අදාළ සමහර මූලික සංකල්ප පිළිබදව රටේ පොදු ජනතාව අතර කෙසේ වෙතත් මත සම්පාදකයන් අතරවත් එකඟතාවක් නැත.

සිය මුහුණු පොතේ අාචාර්ය සුමනසිරි ලියනගේ තබන සටහනකින් මෙසේ කියයි. ‘පසුගිය දිනෙක දෙරණ 360 වැඩසටහනට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හරිම නැවුම් නිර්වචනයන් ඒකීය සහ සන්ධීය යන වචන දෙකට දෙනු ලැබුවා. ඔහුට අනුව පරමාධිපත්‍යය (Sovereignty)  බෙදුන රටවල් සන්ධීයයි. පරමාධිපත්‍යය නොබෙදුන රටවල් ඒකීයයි. මෙම නිර්වචනය කොහෙන් ගත් එකක් දැයි මාව දැනුවත් කිරීමට යමෙකු ඉදිරිපත් වන්නේ නම් පිං. සන්ධීය/ ඒකීය ක්‍රම ගැන නමගිය පොත් ගණනාවක් පෙරළලත් එවන් නිර්වචනයක් හොයා ගන්න බැරි වූ නිසයි අහන්නෙ…’

මෙහිදී අාචාර්ය සුමනිසිරි ලියනගේ ගේ මේ ගැටලුව නිවැරදිව නිරාකරණය කරන පිළිතුරක් රමිදු පෙරේරා ලබා දෙනවා.

‘දහතුන් වැනි සංශෝධනය ගැන නඩු තීන්දුවේ බහුතරය පළාත් සභා ක්‍රමය ඒකීය රාජ්‍ය රාමුවට අනුකූලයි කියලා නිගමනය කරන්නේ ඔය පදනම-පළාත් සභා ස්වාධිපත්‍යය බලය සහිත ආයතන නොව මධ්‍යයට යටත් අභිනියෝජන ආයතන කියන පදනම මත…’ ඔහු එහිදී දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ආදාළ කොටසත් උපුටා දක්වල තිබුණ.

අපට මේ සංවාදය වැදගත් වන්නේ වඩා නිවැරදි කවුද කියල හොයනවට වඩා මේ සංකල්ප සම්බන්ධයෙන් තිබෙන අපැහැදිලිකම තේරුම් ගන්න අපට මෙය උපකාරීවන නිසා. ඒත් අාචාර්ය නිර්මාල් දේවසිරි මෙම සංවාදයේදීම වෙනත් වචන වලින් කියා තිබුනා මේ සමහර සංකල්ප අපට කොච්චර කිව්වත් අපහැදිලි වන්නේ අපි එම සංකල්පයට අකමැති විීම නිසා මිස වෙන හේතුවකින් නොවන බව. ඒ කෙසේ වෙතත් මේ සංකල්පවලට අකමැති නිසා තේරුම් නොගන්නා අයට හැර, සැබැවින්ම සංකල්පය නොතේරෙන නිසා පඹගාලක පැටලී සිටින අයට පරමාධිපත්‍ය කියන සංකල්පය ඒකීය, සන්ධීය ආණ්ඩුක්‍රමවලට සහ පළාත් සභාවලට  සම්බන්ධ වන ආකාරය පැහැදිලි කර දෙන එක වටිනවා. ඒ නිසා ජනාධිපති නීතිඥ අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා 2017 ඔක්තෝම්බර් 02 දින දෙරණ රූපවාහිනී වැටසටහනේදී ඉදිරිපත් කළ කරුණු ඇසුරින්  සමබිම මේ සටහන තබනවා.

සන්ධීය රාජ්‍යක ප්‍රධානම ලක්ෂණය ජනතාව වෙත තිබෙන පරමාධිපත්‍ය බලය බෙදීම. ඇමරිකාවේ ව්‍යවස්ථාවේ කොමා එකක් වෙනස් කරන්න පවා කේන්ද්‍රයේ තිබෙන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනට් මණ්ඩලයේ තුනෙන් දෙකක කැමැත්තට අමතරව ප්‍රාන්තවලින් මන්ත්‍රී මණ්ඩලවල තුනෙන් දෙකක කැමැත්ත අවශ්‍යයි. මෙහි අදහස තමයි බොහොම පැහැදිලි ලෙස පරමාධිපත්‍ය සමස්ත ඇමරිකානු ජනතාවටත් ප්‍රාන්තවල ජනතාවටත් බෙදිලා තිබෙනවා කියන එක. ඇමරිකානු ව්‍යවස්ථාවට ඒ දාන කොමාව ප්‍රාන්තවල බලතලවලට කිසිම අදාළත්වයක් නැති කොමාවක් වෙන්නත් පුළුවන්. ඒත් ඒකට ප්‍රාන්තවල කැමැත්ත විමසනවා. එය සන්ධීය රාජ්‍යයක මූලික ලක්ෂණයක්; ජනතාව වෙත තිබෙන පරමාධිපත්‍ය බලය බෙදී යාම.

ඉන්දියාව අපි හඳුනාගන්නේ අර්ධ ෆෙඩරල් හෙවත් අර්ධ සන්ධීය රාජ්‍යක් ලෙස. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් දේවල් වෙනස් කිරීම සඳහා පමණයි ප්‍රාන්තවල බහුතර කැමැත්ත අවශ්‍ය වෙන්නෙ. නමුත් අපේ මේ යෝජිත ව්‍යවස්ථාවේ කිසිසේත් පරමාධිපත්‍ය බෙදී නැහැ. එහි අදහස වෙන්නෙ අපේ රටේ ව්‍යස්ථාව සම්බන්ධයෙන් වෙනස්කම් කරන්න තනි හා අනන්‍ය බලයක් මධ්‍යම ආණ්ඩුවට තිබෙනවාය යන්නයි. දැනට තිබෙන අපේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ තිබෙන්නෙ, “ශ්‍රී ලංකා ජනරජය පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය”. මෙහි කොහේවත් සඳහන් වෙන්නෙ නැහැ පරමාධිපත්‍ය බෙදන්න බැහැ කියල. නමුත් මේ යෝජිත ව්‍යවස්ථාවේ යෝජනාවල එයත් ඇතුළත් කර තිබෙනවා. “ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටනු ලැබ ඇති අතර එය අත්හළ නොහැකි සහ බෙදිය නොහැකි වනු ඇත”. මෙහි රට බෙදන්න බැහැ කියල පමණක් නෙවෙයි පරමාධිපත්‍ය බෙදන්න බැහැ කියන දේත් කියල තිබෙනවා. “ශ්‍රී ලංකාව එක් නොබෙදු සහ නොබෙදිය හැකි රටක් වනු ඇත. රට බෙදීම වැළැක්වීම සඳහා වන විශේෂ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ඇත. බලය බෙදා හැරීම උපරිම මට්ටමින් සිදු කරනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තර නීතියයි”.

ඊළඟට වැදගත්ම දේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට කේන්ද්‍රයේ ව්‍යස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවට සහ අදාළ තැන්හිදී (ජනමත විචාරණයක් අවශ්‍ය විට) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරේ” යනුවෙන් යෝජිත ව්‍යවස්ථාවේ පළමු පිටෙහිම සඳහන් කර තිබෙනවා.

අපේ නව ව්‍යවස්ථා යෝජනා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පළාත් සභාවල අතපෙවීමක් සිදුනොවන බව පැහැදිලිව කියන්න පුළුවන්. එතකොට යෝජිත දෙවන මන්ත්‍රී මණ්ඩලය සම්බන්ධයෙන් සැකයක් ඇති වෙන්න පුළුවන්. දෙවන මන්ත්‍රී මණ්ඩලය කියන්නෙ කේන්ද්‍රයේ ව්‍යවස්ථාදායකයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දෙවන මන්ත්‍රී මණ්ඩලය කියන්නෙ මධ්‍ය ව්‍යවස්ථාදායකයේ කොටසක්. රටක දෙවන මන්ත්‍රී මණ්ඩලයක් හදන්නෙ පැහැදිලි හේතුවක් ඇතුව. බලය බෙදුවට පස්සේ ඔවුන්ට ඔහේ වැඩ කරගෙන ඉන්න විතරක් නෙවෙයි නැවත ඔවුන් කේන්ද්‍රයට ගේන්න අවශ්‍යයි. දෙවන මන්ත්‍රී මණ්ඩලය මගින් කේන්ද්‍රය ශක්තිමත් වෙනවා සහ පළාත දුර්වල වන්නෙ නැහැ. මෙහි අදහස කේන්ද්‍රයේ වැඩකටයුතුවලටත් ඔවුන්ව සහභාගී කරවා ගැනීම. ලෝකයේ හැම තැනකම දෙවන මන්ත්‍රී මණ්ඩලයෙන් කේන්ද්‍රය ශක්තිමත් වෙලා තිබෙනවා. ඉන්දියාවේ ගත්තත් ඉන්දීය පාර්ලිමේන්තුව, මධ්‍ය ව්‍යවස්ථාදායකය හැදෙන්නෙ ලොක් සභාවෙන් සහ රාජ්‍ය සභාවෙන්. එය කේන්ද්‍රයේ කොටසක් සහ එහි මුලාසනය දරන්නෙ ජනාධිපති. ඉන්දියාව කියන්නෙ අපේ සීමාව ඉක්මවා ගිහින් බලය බෙදුණු රටක්. එහි පවා දෙවන මන්ත්‍රී මණ්ඩලය තිබෙන්නෙ මධ්‍ය ව්‍යවස්ථාදායකය හැටියට.

පළාත් සභා ක්‍රමය තුළින් ඇති වී තිබෙන බලය බෙදා හැරීම තවත් අර්ථවත් කරල ඒ පළාත් කේන්ද්‍රයට සම්බන්ධ කර ගැනීමයි වැදගත් වෙන්නෙ. ඒ වගේම පළාත් සභා ක්‍රමයට යම් ආරක්ෂාවක් තිබිය යුතුයි. කේන්ද්‍රයට හිතුමතේ හැමදේම කරන්න දෙන්න බැහැ. ඒ නිසා මෙයත් කේන්ද්‍රය තුළම හදන ව්‍යවස්ථාදායක මණ්ඩලයක්. ඒ නිසා මෙහිදී සාමාන්‍ය නීතියක් සම්මත වුනාම එය ඔවුන්ගෙනුත් විමසනවා. දෙවන මන්ත්‍රී මණ්ඩලයට පිරිස් පළාත් සභාවලින්ම පත් කිරීම අවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස. පළාත් සභා ඡන්දය තියන ගමන්ම දෙවන මන්ත්‍රී මණ්ඩලයටත් ජනතාවගේ ඡන්දයෙන්ම කෙලින්ම පිරිස් පත් කිරීමත් එක හොඳ විකල්පයක්. ස්වාධිපත්‍ය බෙදී යන්නේ ප්‍රාන්තවලට හෝ පළාත්වලට හෝ දිස්ත්‍රික්වලට නිශේධ බලතල තිබෙනවා නම් පමණයි. මේ යෝජනාවේ එවැනි ඒකකවලට නිශේධ බලතල නැහැ.

රට බෙදීම වැළැක්වීමට විශේෂ විධිවිධාන ඇතුළත් කළ යුතුය යනුවෙන් මෙම යෝජනාවේ ඇතුළත්වන විධිවිධාන පිළිබඳව පස්වැනි පිටුවෙහි තිබෙනවා. “ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රී ලංකාවේ පළාතක් හෝ කොටසක් වෙන් කිරීමට හෝ කිසිම පළාත් සභාවක් හෝ වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුතුයි” යනුවෙන් සඳහන් වෙනවා. දැන් කේන්ද්‍රයට බලය නැහැ පළාත් සභා විසුරුවා හරින්න. වර්ධරාජා පෙරුමාල්ගේ සිද්ධියේදී පළාත් සභා විසුරුවා හරින්න ව්‍යවස්ථාවේ වගන්තියක් තිබුනේ නැති නිසා විශේෂ නීතියක් ගෙන එන්න සිදුවුණා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නෙවෙයි සාමාන්‍ය නීතියක්. නමුත් දැන් මේ යෝජනාවලියෙන් යෝජනා කර තිබෙනවා ව්‍යවස්ථාවටම මේ සම්බන්ධයෙන් ආරක්ෂක විධිවිධාන ඇතුළත් කරන්න. ඒ අනුව පළාත් සභා රටේ භෞමික අඛණ්ඩතාවයට සහ පරමාධිපත්‍යට හානියක් වන ආකාරයට කටයුතු කරනවා නම් කේන්ද්‍රයට මැදිහත් වීමට අයිතිය දී තිබෙනවා වගේම එය අනිසි ලෙස පාවිච්චි කරන්නත් නොහැකි වන සේ විධිවිධාන යොදා තිබෙනවා. මේ ඇතුළත් යෝජනා වර්තමාන ව්‍යවස්ථාවේ පවා නැහැ. වර්තමාන ව්‍යස්ථාවේ පවා නැති බෙදුම්වාදයට විරුද්ධ ආරක්ෂක විධිවිධාන මේ ව්‍යස්ථාවට අපි ඇතුළත් කර තිබෙනවා කියන දේ අවධාරණය කළ යුතුයි. ■

2017.10.15 රාවය සමබිම අතිරේකයට ප්‍රබෝධ රත්නායක සහ ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.
ඡායාරූපය http://www.deshaya.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Recent Posts

Leave a Comment