හඳුනාගත්තොත්  ඔබ මා

Dec 27th, 2017 | By | Category: LEAD NEWS, දේශපාලන, මානව හිමිකම්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

යුද්ධය අවසන් වී වසර අටක් ගතවී ඇතත් එහි බලපෑමට පත් වූ පාර්ශ්වයන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු තවමත් විසඳා ගැනීමට අප අසමත්ව තිබුණද රජය සංහිඳියාමය ක්‍රියාමාර්ගයන් වෙත ප්‍රවිෂ්ට වෙමින් යුද්ධය අරඹයා රටේ උද්ගතවූ අර්බුද විසඳා ගැනීමට උත්සාහ දරමින් ඇත. යුද බිමේදී ස්වාමීපුරුෂයන් මිය ගිය, ආබාධිතව නිවසට පැමිණි හෝ තම ස්වාමීපුරුෂායට සිදුවූයේ කුමක්ද යන්න හෝ නොදැන ජීවත් වෙමින් සිටින ‘කාන්තාව’ යුද්ධයේ පීඩිතම පාර්ශ්වයක් නියෝජනය කරන බව අප අත්දැකීමය. මාස හතරක කාලයක් අනුරාධපුරය, කුරුණෑගල, ගාල්ල සහ කටුණායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව, හමුදාසේවයේ සිටියදී මිය ගිය සහ අබාධිත වූ සෙබළුන්ගේ බිරිදෑවරු සහ යුද්ධය සමග එදිනෙදා ජීවත් වූ කැබිතිගාල්ලෑව වැනි ගම්වල කාන්තාවන් සමග රයිට්ස් නව් සහ ෆෝකුස් විමෙන් සංවිධානය සංවාද සභාවන් පැවැත්වූහ. එම සංවාද සභාවන් තුළින් යුද්ධයේ බලපෑමට පත් කාන්තාව පොදු සමාජයේ හඳුනා ගැනීමට වඩා වෙනස්ව හඳුනා ගන්නටත් ඇයගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නටත් අපටත් මානව හිමිකම් කොමිෂන් සභාවටත් අවස්ථාව ලැබිණි. එම අත්දැකීම තුළින් ගොනු කරගත් කාරණා වාර්තාවක් ලෙස දෙසැම්බර් 13 වැනිදාවේ එළිදැක් වූ අතර එම කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් යුතුව මේ අරඹයා ජාතික සංවාදයක් අරඹන්නටත් අප එය අවස්ථාවක් කර ගත්හ. මේ සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් අම්බිගා සත්කුනනාදන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වූහ.  

රජය විසින් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන සංහිඳියා යාන්ත්‍රණ දෙස යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන් බලන්නෙ යම් සැකයකින් යුතුවය. මාධ්‍ය සහ රණවිරු සංගම් මගින් කරනු ලබන වැරදි ප්‍රචාරයන් මෙවැනි සැකයක් ඇති කිරීමට තුඩු දී ඇති බව මාස හතරක කාලයක් යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන් හා අප කළ ගනුදෙනුවේ නිරීක්ෂණයයි. එම නිසා දැනට යෝජිත සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධයෙන් මෙම කාන්තාවන් දැනුවත් කිරීම සහ යුද්ධයේ බලපෑමට ලක්වූ කාන්තාවන් ගැන සංවේදීව මෙම යාන්ත්‍රණ සකස් විය යුතුව ඇති බව අප සිතන්නෙමු. විශේෂයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව යුද්ධයේ බලපෑමට පත්වූ කාන්තාවන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති අතර එම තත්ත්වය උපයෝගී කර ගනිමින් මානව හිමිකම් කොමිසම ඇතුළු අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවන් හරහා විසඳා ගැනීමට හැකියාව ඇති මෙම කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් ඇතිකිරීමට අප මෙම වාර්තාව මගින් යෝජනාද කළෙමු. 

වාර්තාව එළි දැක්වූ වැඩසටහනේදී අදහස් දැක්වූ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම යුද්ධයේ බලපෑමට ලක්වුවන් සම්බන්ධයෙන් වාර්ගික අර්ථයෙන් සිංහල ද  දෙමළ ද මුස්ලිම් ද යන්න සලකා බලනවා වෙනුවට කාන්තාවන්ට වූ බලපෑම සහ අතුරුදන්වූවන් සම්බන්ධ ප්‍රශ්නය දෙස පුළුල්ව බැලීමේ වැදගත්කම අවධාරණය කළාය. මෙසේ මූලික කාරණය අමතක කර එක් එක් ප්‍රජාවට සාපේක්ෂව බැලීම තුළින් අප අතර තිබෙන බෙදීම් වැඩි වන බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය. ආචාර්ය දීපිකා උඩගම තවදුරටත් පැවසුවේ සංහිඳියාව ඇතිකර ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කර ගන්නා තුරු නොසිට අපි විසින්ම ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කරගත යුතු බවයි. මෙහිලා කාන්තාවන්ට විශාල වගකීමක් සහ ශක්තියක් ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. 

මෙහිදී අදහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කළේ රජයට මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,  රටේ සංවර්ධනය ඇති කිරීම සහ සංහිඳියාව ගොඩනැගීම  කියන ප්‍රධාන අභියෝග තුන තිබෙන බවයි. රටේ සංහිඳියාව සම්බන්ධයෙන් යාන්ත්‍රණ ගොඩනගමින් සිටින මොහොතක මාධ්‍යයේ භූමිකාවේ වැදගත්කම මෙන්ම සිවිල් සමාජයේ හඬ මාධ්‍යට ඉදිරිපත් කිරීමේ දුර්වලතාවයන් මෙන්ම මාධ්‍ය සිවිල් සමාජ විෂයන් වලින් ඈත්වෙන ආකාරය පිළිබඳව ද අදහස් දැක්වීය.

‘කැකිරාවේ පාසලක ශිෂ්‍යාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලු‍ව ඉදිරියට ආවේ මාධ්‍ය මගින් ලබාදුන් පුළුල් ප්‍රචාරය නිසයි. මේ සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙනු ලැබුවා. එය අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නයක් වශයෙන් සමාජය හමුවේ තැබීමට මාධ්‍යය සමත් වුණා. නමුත් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව නිකුත් කරන ලද පොදු නිර්දේශ සහිත වාර්තාවට සැලකිය යුතු ප්‍රචාරයක් මාධ්‍ය මගින් නොලැබීම සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්‍රියාව විවේචනය කිරීම කණගාටුවට කාරණයක්. අනෙක් අතින් එය මාධ්‍යට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි ලෙස ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කොමිෂමට හෝ සිවිල් සමාජයට හැකි වුණාද කියන එකත් ගැටලුවක් එම නිසා සංහිඳියාව ගොඩනැගීමට යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන් සම්බන්ධ කරගැනීමේදී මානව හිමිකම් කොමිෂන් සභාවට සිවිල් සමාජයට සහ මාධ්‍යට තිබෙන්නේ සාමුහික වගකීමක්.’

යුද්ධයෙන් සිය ස්වාමීපුරුෂයන් අහිමිවූ කාන්තාවන් සමාජ, ආර්ථීක, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් විඳින පීඩාව සමාජයේ බහුතරයකට නොපෙනෙන්ට ඉඩ ඇත. එය උතුරේ හෝ දකුණේ කියා වෙනසක් නැත. ඒ අනුව යුද්ධයේ බලපෑමට පත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා අප කළ වාර්තාව ඇය මුහුණ දෙන අර්බුදයන් හෙළි කරන කැඩපතකි. එම කැඩපතෙන් ඔබට ඔවුන්ව පෙනෙන්නේ නම් අපේ වෑයම සාර්ථකය.■ 

2017.12.24 වන දින රාවය සමබිම අතිරේකයට චානක රූපසිංහ විසින් ලියන ලද ලිපියකි.

25626187_1730921383617984_4030629393663962027_o (1) 25487430_1730920673618055_544394565642767292_o 25440076_1730920496951406_1973202019966647667_o 25440039_1730921390284650_3729426399194072626_o

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment