කුලය තවමත් තීරණාත්මකයි

Jan 8th, 2018 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, දේශපාලන, පුවත්, මානව හිමිකම්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

ඉමාඩා – IMADR සංවිධානය යනු ජපානය මූලික කරගෙන කි‍්‍රයාත්මක වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකි. ඉමාඩා වචනයේ තේරුම (International Movement Against all forms of Discrimination and Racism) වර්ගවාදයට සහ සියලූ ආකාරයේ වෙනස් කොට සැලකීම් වලට එරෙහි ජාත්‍යන්තර සංවිධානය යන්නයි. ඉමාඩා සංවිධානය සිය තිස් වන සංවත්සරය මේ වසරේදී සමරයි. ඉමාඩා සංවිධානයේ වර්තමාන සභාපතිවරිය ලෙස කටයුතු කරන්නේ අාචාර්ය නිමල්කා ප්‍රනාන්දුය. සිය සංවිධානය හරහා ජාතීන් සහ ආගම් අතර සහජීවනය වෙනුවෙන් ලංකාවට පමණක් නොව ආසියානු කලාපයටම නායකත්වය දෙන අචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මෙවර සමබිම සමග එක් වන්නේ ඉමාඩා සංවිධානයේ තිස්වසරක අත්දැකීම් බෙදා හදා ගැනීමටය. 

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු - සියලු‍ වර්ගවාදයට සහ වෙනස්කම් කිරිමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනි

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු –
සියලු‍ වර්ගවාදයට සහ වෙනස්කම් කිරිමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනි

ඉමාඩා කියන සංවිධානය බිහිවෙන්නෙ කොහොමද? 

ඉමාඩා කියන්නෙ වර්ගවාදයට එරෙහිව ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර ව්‍යාපාරයක්. ලෝකයේ බොහෝ රටවල විවිධ සාධක පදනම් කරගෙන ප්‍රජාවන් නොසලකා හැරීමට වෙනස් කෙට සැලකීමට භාජනය වෙනවා. ජපානය වැනි සංවර්ධිත රටක පවා කුල පීඩනයෙන් හෙම්බත් වූ ජනතාවක් අදටත් ජීවත් වෙනවා. ඔවුන්ව බුරාකු ලෙස හඳුන්වනවා. බුරාකු ප්‍රජාව සහ ඉන්දියාවේ එලෙසින්ම කුල පීඩනයට පත් ජනතාවක් වන දලිත්වරු ජාත්‍යන්තර තලයේ මානව හිමිකම් ප්‍රවර්ධන කටයුතුවලදී, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සමුළු සහ සාකච්ඡාවන්හිදී මුණගැසෙනවා. එම සබඳතාවය සහ ඒ තුළ ඇති වූ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් 1987 වසරේදී ඉමාඩා කියන ජාත්‍යන්තර සංවිධානය බිහිවෙනවා. එක්සත් ජාතීන්ගේ වර්ගවාදයට සහ සියලු අකටයුතුකම්වලට එරෙහි වීමට අදාළව තිබෙන ජාත්‍යන්තර ප්‍රඥප්තිය  (International convention on the elimination of all forms of racial discrimination) ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනය මත පිහිටා ඉමාඩා සංවිධානයේ උපාය මාර්ගයන් සහ මතවාදයන් ගොඩනැගී තිබෙනවා. මෙය කුල පීඩන අරගල මතින් බිහි වූ සංවිධානයක් වුනත් ඒ හරහා සියලුම ආකාරයේ අකටයුතුකම්වලට එහෙිව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර තලයේ සංවිධානයක් වශයෙන් කටයුතු කරනවා.

විවිධ ප්‍රජාවන්ට සංවේදී වන විෂයක් සම්බන්ධයෙන් පෙනී සිටින ඔබ සංවිධානයේ ව්‍යුහය කෙබඳුද?

 ඉමාඩා සංවිධානයේ නිර්මාතෘවරුන්/වරියන් විවිධ කුල කණ්ඩායම්, ආදීවාසී සහ ගෝත්‍රික ජන කණ්ඩායම් සමඟ කටයුතු කළ අය පමණක් නොවෙයි, ඔවුන් මේ විවිධත්වය නියෝජනය කළ පිරිසක් වීමත් සුවිශේෂියි. මීට අවුරුදු තිහකට පෙර මෙම සංවිධානය බිහිකරන අවස්ථාවේදී ගත් තීන්දුවක් තමයි සංවිධානයේ අධ්‍යක්ෂක මණ්ඩයෙන් බහුතරයක් අදාළ ප්‍රජාවන් නියෝජනය කරන හෝ එම කණ්ඩායම් වෙනුවෙන් කාලාන්තරයක් පෙනී සිටිමින් අරගල කරන දැනුවත් විද්වත් පිරිසක් විය යුතුයි කියන දේ. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මේ වෙනුවෙන් විශාල මෙහෙයක් කරන තියෝ වැන් බෝවන් (Theo Van Boven), නේපාලය සහ ඉන්දියාව නියෝජනය කරමින් දලිත් ප්‍රජාවගෙන් එන කාන්තාවාදීන් දෙදෙනක්, කාන්තා අයිතිවාසිකම් නියෝජනය කරමින් මමත් මෙහි කටයුතු කරනවා. අද අපගේ වැඩබලන ලේකම් තනතුර දරන්නෙ ජපානයේ බුරාකු අරගලය වෙනුවෙන් වැඩකළ කාන්තා නායිකාවක්. ප්‍රධාන ලේකම් ධුරය දරන්නෙ බුරාකු සංවිධානයේ නායකයෙක්. කාන්තා ක්‍රියාධරනියක් ලෙස කටයුතු කළ මම වසර විස්සක් පුරා මෙම සංවිධානයේ සභාපති ධුරය දරනවා. මට පෙර එහි සභාපතිත්වය දැරුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල වශයෙන් මැදිහත්වීම් කළ බෙල්ජියම් කාන්තාවක්. විශේෂයෙන්ම සංවිධානයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ පුරුෂයන් පමණක් සිටින ව්‍යුහයක් නිර්මාණය වීම වෙනුවට කාන්තාවන්ද එම ක්‍රියාවලියට දායක කර ගැනීම වෙනුවෙන් සංවිධානය ආරම්භයේ සිටම අපි යම් ආකාරයකට උත්සාහ දරා තිබෙනවා.

මානව හිමිකම් සංවිධාන භූමිකාවේ දී ඉමාඩා අත්පත්කර ගන්නා සුවිශේෂිත්වය කුමක්ද? 

බිම් මට්ටමේ පීඩාවට පත්වෙන ප්‍රජාවගේ සාමාජිකත්වයෙන් මෙම සංවිධානය බිහිවී තිබෙන්නෙ. එය බොහෝ මානව හිමිකම් සංවිධානවල දක්නට නොමැති තත්ත්වයක්. මෙය ජපානය මූලික කරගෙන බිහිවූවත් එය ආසියානු සංවිධානයක් පමණක් නොවෙයි. අපි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මකවන සංවිධානයක් වශයෙන් බුරුමයේ රොහින්ග්‍යා ජනතාව, යුරෝපයේ ජිප්සිවරුන්, ලතින් ඇමරිකාවේ මපුචේ ලෙස හැඳින්වෙන ආදීවාසීන්, පිලිපීනයේ ආදීවාසීන් සම්බන්ධයෙන් වගේම ලංකාවේ වැදි ජනතාව සමඟත් යම් සහෝදරාත්මක සම්බන්ධයක් ගොඩනගාගෙන ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්න සමත් වී තිබෙනවා. පීඩනයට පත් ප්‍රජාවන්ට එම අකටයුතුකම්වලට එරෙහිව නැඟී සිටීමට හැකිවන අන්දමින් සවිබල ගැන්වීම අපේ ප්‍රධාන කාර්ය භාරයක් වෙනවා. ඔවුන්ට අවශ්‍ය මානව හිමිකම් අධ්‍යාපනය ලබා දෙමින්, මානව හිමිකම් වෙනුවෙන් ඔවුන් සිදුකරන්නා වූ අරගල පෝෂණය කිරීම තුළින් ඔවුන්ගේ අරගලයට ජාත්‍යන්තර වශයෙන් සහය දැක්වීම අපේ අරමුණක්. ප්‍රජාවන් තුළ පවත්නා විවිධත්වය අපි උත්කර්ෂණය කළ යුත්තක් මිස එය යමෙකු පීඩනයට පත් කිරීමට හේතුවක් නොවේය යන්න අපේ මූලික තේමාවක්. ඉමාඩා සංවිධානය වශයෙන් අප කරන්නා වූ ප්‍රකාශයන් මතයන් හැමවිටම ඉදිරිපත් කරන්නෙ පීඩාවට පත් වූවන්ගේ අරගලය මත හිඳිමින්. මොකද අප සංවිධානය පීඩාවට පත් වූවන්ගෙන්ම සකස් වූවක්. ඒ නිසා සංවිධානයේ අප සියලු දෙනා සහ පීඩිත ප්‍රජාවන් කියන්නෙ එකම අරගලයක සමාන බර දරන්නන්. එයයි අපේ සුවිශේෂිත්වය.

මේ වන විට සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් සහ වර්ගවාදයට එරෙහිව තිස් අවුරුද්දක් ඉමාඩා අරගල කර තිබෙනවා. ඒ ගමන් මඟේ පීඩාවට පත් ප්‍රජාවන් වෙනුවෙන් අත්පත් කර ගත් ජයග්‍රහණයන් මොනවද? 

මෙය ජනතාව හා එක්ව අප කළ අරගලයක්. මිනිසුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ මේ අරගලය තුළ අපි ප්‍රබල සංධිස්ථාන කිහිපයක් සලකුණු කර තිබෙනවා. පළමුවැන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අද වන විට කුලය යන්න සම්බන්ධයෙන් අපි ඇති කර තිබෙන්නා වූ ස්ථාවරය. එහිදී කුල පීඩනයට අදාළව යමෙකුගේ ඡන්මයෙන් ඇතිවන අකටයුතුකම් යන පදනම යටතේ මාර්ගෝපදේශ මූලධර්ම (Guiding Principles) පද්ධතියක් සකස් කර එය මානව හිමිකම් කවුන්සිලයේ පිළිගැනීමට ලක්කරන්නට අප සමත්ව තිබෙනවා. විශේෂයෙන්ම මේ සඳහා කළ මෙහෙයවීම් තුළින් ජාත්‍යන්තර දලිත් සහෝදරත්වයේ ජාලයක් පවා ගොඩනැගීමට හැකි වුණා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධනයේ සියලු වාර්තාකරුවන් කුල පීඩනයට පත් ප්‍රජාවන් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් තමන්ගේ වාර්තාවන්හි පරිච්ජේද ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් වෙන් කිරීමට අද කටයුතු කරනවා. උදාහරණයකට සෞඛ්‍ය හෝ නිවාස සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර තිබෙන වාර්තාකරුවා, දලිත්වරුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවාස ගැටලු සම්බන්ධයෙන් සොයාබලා වාර්තාකරන තත්ත්වයකට පත්ව තිබීම අප ලද විශාල ජයග්‍රහණයක්.

දෙවැනි කාරණය, ලංකාවේ වතුකරයේ ජීවත්වන ජනතාවගේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අප ගෙන ගිය සටන. වතුකරයේ ජනතාවගේ පුරවැසිභාවය සම්බන්ධ කාරණය විශාල ප්‍රශ්නයක්ව පැවතියදී ඉමාඩා සංවිධානය, ලංකාව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවට විකල්පව වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ තුළ අපි සඳහන් කරනු ලැබුවා ලක්ෂ තුනහාමාරක පමණ වතුකරයේ ජනතාවක් පුරවැසිභාවය අහිමිව සිටින බව. ඒ අනුව එම විද්වත් කමිටුවේ එක යෝජනාවක් වුනේ එම ජනතාවට වහාම පුරවැසිභාවය ලබා දෙන්න කියල. 2000 වසරේ තමයි පුරවැසිභාවය පිළිබඳ පනත ගෙන එනු ලබන්නෙත්.

ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලංකාවේ සංහිඳියාව, සංක්‍රාන්ති යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගෙන එන්නට යෙදුණු යෝජනාව අපේ ගමන් මඟේ එක් සංධිස්ථානයක්. 2005 වසරේ සිට ඉමාඩා සංවිධානය ලංකාවේ අතුරුදන් කිරීම්, මාධ්‍යකරුවන් ඝාතනය, පැහැරගෙන යාම වැනි කාරණා සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජ ආර්ථීක, කවුන්සිලයේ සමාජිකත්වය දරන සංවිධානයක් නිසා අපට පුළුල් අවකාශයක් හිමිවෙනවා කටයුතු කිරීමට. එම අවකාශය මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යොදවන්නට අපට හැකියාව ලැබෙනවා.

අනෙක, කාන්තාවන්ගේ කුට්ටනය සම්බන්ධ කාරණාවේදී ජාත්‍යන්තර වශයෙන් විශාල මැදිහත් වීමක් කිරීමට අපට හැකිවුණා. නේපාලය සහ ඉන්දියාව අතර, තායිලන්තය සහ ජපානය අතරත් තිබුණා වූ කුට්ටනය සම්බන්ධයෙන් කටයුතු කරමින් එය ප්‍රධාන ප්‍රශ්නයක් වශයෙන් අග්නිදිග ආසියාව තුළ මතු කර ගැනීමට අප සමත්ව තිබෙනවා.

තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ සටනට ජාත්‍යන්තර තලයේදී විවිධ ප්‍රජාවන් මැදිහත් වන ආකාරය සමඟ ඔබේ දේශිය අත්දැකීම් එකතු වෙන්නේ කොහොම ද ?

මෙය සුවිශේෂී කාරණයක්. මගේ අත්දැකීම අනුව මට හිතෙන්නෙ ලංකාවේ අපිට තිබෙනවා බොරු මාන්නයක්. අපේ ප්‍රශ්නේ වෙනුවෙන් හිටගන්නත් අපි කල්පනා කරනවා. කුලය කියන කාරණය උදාහරණයකට ගත්තොත්, ලංකාවේ දේශපාලනඥයන් පවා බොහෝ වෙලාවට කියන්නෙ දැන් ලංකාවේ කුල ප්‍රශ්නයක් නැහැ කියල. නමුත් ඇත්ත තත්ත්වය ඊට වඩා හාත්පසින් වෙනස්. සමාජවාදය ගැන කතා කරන පක්ෂ පවා මැතිවරණයකට නාම යෝජනා ලබා දීමේදී කුලය කියන සාධකය ප්‍රයෝජනයට ගනිමින් පුද්ගලයන් ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෝස්ටර්යක් ඇලවුණා රටපුරා. නිල්ල පිරුණු ගොයමක් මැදින් ඔහු ඇවිද එනවා. සරත් ෆොන්සේකා අම්බලන්ගොඩ ගඟේ පාරුවක නැගිලා ඉන්නවා. මේ ලංකාවේ කුල සංකේත දෙකක්. බැලු බැල්මට අද රටේ කුල ප්‍රශ්නයක් පේන්න නැහැ. ඒත් දේශපාලන පද්ධතිය, ආගම යන ක්ෂේත්‍රයන් දිහා බැලුවත් පෙනෙන්න තිබෙන්නෙ කුලය මත පදනම්ව කටයුතු කරන ආකාරය. වතුකරය ගත්තොත් අතිශය කුල පීඩිත ජනතාවක් ඉන්නෙ. ඉන්දිවේ අම්බේඞ්කාර් මැතිතුමා දලිත් කුලයෙන් ඇවිත් තමන්ගේ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කළා. නමුත් අපි අධ්‍යාපනයෙන් ඉහළට ගියාම මුදල්වලින් සියල්ල වහලා ජීවත් වෙනවා. තමන් වෙනුවෙන් හෝ තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් හෝ සටනක් අපිට නැහැ. ඉන්දියාව ගත්තොත් ලංකාවට වඩා ආර්ථීක වශයෙන් දුප්පත් මිනිස්සු මම දකිනවා. නමුත් ඔවුන් අපිට වඩා තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ අරගලයේදී පොහොසත් මිනිස්සු කොටසක් හැටියටයි මම දකින්නෙ.

කාන්තාව කියන්නෙ සමාජයේ අනතුරාසන්න කණ්ඩායමක්. විශේෂයෙන්ම දේශීය වශයෙන් කාන්තාව දේශපාලනිකව බලගැන්වීම වෙනුවෙන් ඉමාඩා ආයතනයේ මැදිහත්වීම කෙබඳුද? 

කාන්තා අරගලය අරඹයා ඉමාඩා සුවිශේෂී කාර්ය භාරයක් කරන සංවිධානයක්. විශේෂයෙන්ම ලංකාවේ කාන්තා දේශපාලන නියෝජනය වැඩි කිරීම කෙරෙහි විශාල මැදිහත් වීමක් කරන්න මට හැකි වෙන්නෙ ඉමාඩා සංවිධානය නිසා. තැන් තැන්වල කඩ හැටියට කාන්තාවෝ සංවිධානය කිරීමට වඩා කාන්තාව එක තැනකට ඒකරාශී කරන ‘කාන්තා පීඨය’ බිහි කරන්න ඉමාඩා විශාල හයියක් වුණා. 25% කෝටාව එක් අතකින් කාන්තා දේශපාලනයට දුන් ගෞරවයක්. ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම සටන් කළා. දේශිය වශයෙන් අපි ගෙන ගිය ඒ සටනට ඉමාඩා විශාල සවියක් වුණා. අද කාන්තාවට පුරුෂයන් හා උරෙනුර ගැටී දේශපාලනයේ නියැළිමට විවෘත වී තිබෙන ඉඩ එක්තරා ආකාරයකට කාන්තාව සවිබල ගැන්වීම වෙනුවෙන් ඉමාඩා ආයතනය කරන ලද යොමුවේ එක් සාර්ථීක සංධිස්ථානයක් ලෙස මම දකිනවා.

සමාජ, ආර්ථීක හා සංස්කෘතික අයිතිවාසිකම් සම්බන්ධව සාකච්ඡාව අද ඉදිරියට ඇවිත් තිබෙනවා. ඉමාඩා ගෙන යන අයිතිවාසිකම් අරගලය ජයගන්න මේ සාකච්ඡාව උදව්වක් නොවෙයිද?

මානව හිමිකම් ක්‍රියාධරයන් හැටියට මානව හිමිකම් ඒකකවලට වෙන්කිරීම (compartmentalize) සම්බන්ධයෙන් මම විරුද්ධයි. අපගේ විග්‍රහය තිබිය යුත්තේ පරිපූර්ණ මානව හිමිකම් කෙරෙහි. ඒ නිසා ඉමාඩා ආයතනය එක ක්ෂේත්‍රයක පමණක් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අරගල කළ යුතුයි කියන තැනක නැහැ. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්, සමාජ ආර්ථීක හා සංස්කෘතික අයිතිවාසිකම් යන සියල්ල එකට බැඳී තිබෙන්නෙ. සමස්ත මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවෙන්නෙ ජාතිකත්වය පිළිබඳ කාරණය සමඟ. උදාහරණයක් ලෙස, වතුකරයේ සහ දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් නැතිවීම සමඟ බැඳී තිබෙන්නෙ ඔවුන් සුළු ජනකොටස් වීම කියන කාරණය මත. සිංහල ජනතාවගේත් සමාජ ආර්ථීක හා සංස්කෘතික අයිතිවාසිකම් නැතිවීමට ඔවුන්ගේ කුලය කියන සාධකය හේතුවක් වෙනවා. ඒ නිසාම මේ ද්වි ඛණ්ඩනය කිරීමට අපි කිසිසේත් එකඟ නැහැ. ඉමාඩා සංවිධානය පෙනී සිටින්නේ පරිපූර්ණ මානව හිමිකම් වෙනුවෙන්.

අවුරුදු තිහක් පුරා අයිතිවාසිකම් සටනක ඉන්න ඉමාඩා සංවිධානයේ ඉදිරි අරමුණු මොනවද?

ජාත්‍යන්තර වශයෙන් ඇතිව තිබෙන්නා වූ තත්ත්වයන් සමඟ බැලීමේදී සියලු සිවිල් සමාජ සංවිධානයන්ට ඉදිරිය පෙරටත් වඩා අභියෝගාත්මක බවයි මගේ අදහස. එසේ වුවත් ඉමාඩා සංවිධානය වශයෙන් අපට හැකි අයුරින් අවුරුදු තිහක් ගෙන ආ අරගලය පෙරටත් වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමයි අපේ අරමුණ. සියලු ආකාරයේ වර්ගවාදී සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහිව පෙනී සිටිමින් ඒ ප්‍රජාවන් බලගැන්වීමේ අපේ අරමුණ කිසිදු හේතුවක් මත සිඳී යන්නෙ නැහැ. ඒ වගේම සිවිල් සමාජයේ ගෞරවය වෙනුවෙන් අපි බරපතළ ලෙස පෙනී සිටිනවා. ඒ ඒ රටවල සිවිල් සමාජ සංවිධාන වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලබා දී තිබෙන තැන රැක ගැනීම වෙනුවෙන් ඉමාඩා වශයෙනුත් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ■

2018.01.07 වන දින රාවය සමබිම ඉරිදා අතිරේකයට ජයනි අබේසේකර විසින් සාකච්ඡා කර සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Leave a Comment