ඡන්දය සමග මොළය පාවිච්චි කිරීම

Feb 8th, 2018 | By | Category: EDITOR'S CHOICE, Today Lead News, එම්.එෆ්.එෆ්.ඊ, කාන්තා, කාලීන, දේශපාලන, මැතිවරණ, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය, සමබිම පුවත්

මේ පැවැත්වෙන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම අවධානයට ලක්වූ පළාත් පාලන මැතිවරණය පමණක් නොව වැඩිම ප්‍රමාණයක් තරග වැදී සිටින මැතිවරණයයි. මේ මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන 341කට සභිකයන් 8293ක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරි වසර හතරක් සඳහා පත්වීමට නියමිතය. මේ මැතිවරණයේදී මිලියන 15.8 ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් ඡන්දය භාවිතා කරන ආකාරය අනුව ඉදිරිපත් වී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් 60%ක් කොට්ඨාස ක්‍රමයෙන් පත්වන විට 40%ක් සමානුපාතිකව පත්වේ. මෙවර එසේ පත්වන මුළු සභික සංඛ්‍යාවෙන් 25%ක් කාන්තාවන් වනු ඇත.

මේ මැතිවරණය යනු මැතිවරණ ක්‍රමයේ සිදුවූ ආකෘතිමය වෙනසේ පිළිඹිබුවක් පමණක් නොව පසුගිය කාලයේ ලංකාවේ දේශපාලන ක්‍රමයේ සිදුවූ වෙනසේ පිළිඹිඹුවක් ලෙස ද සැලකිය හැකිය. විශේෂයෙන්ම පසුගිය කාලයේ ලංකාවේ දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවී තිබේද යන්න පිළිබඳ කුකුසක් ඇති අයට ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට මේ මැතිවරණය මිනුම් දණ්ඩක් ලෙස භාවිතා කළ හැකිය.

දැනට මතුපිට නිරීක්ෂණයන් කිහිපයක් සඳහන් කළොත්, අපේ මැතිවරණ ක්‍රමය සමග අනිවාර්ය දේවල් බවට පත්ව තිබූ පොස්ටර් කටවුට්, පෙළපාලි මෙන්ම රාජ්‍ය මාධ්‍ය සහ දේපොළ අවභාවිතය මෙවර අඩුවීමක් දක්නට ඇත. එම නිසා ජාතික දේශපාලන තලයේ මෙතරම් උනන්දුවක් පවතින මැතිවරණයක් එයට සාපේක්ෂව ප්‍රාදේශීය තලයේ පෙනෙන නොපෙනෙන තත්ත්වයට පත්ව ඇත. කොළඹ සහ මොරටුව වැනි නගර සභාවල නගරාධිපති අපේක්ෂක අපේක්ෂිකාවන් එකම වේදිකාවක තම නාගරික සැලසුම් ඉදිරිපත් කළ බව වාර්තා විය. කාන්තාවන් ද පෙරට වඩා දේශපාලන අරගලයේ පෙනෙන අය බවට පත්වී ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂවලට හැරණුකොට සමහර කොට්ඨාසවල ස්වාධීන කණ්ඩායම් ද ඉදිරියට පැමිණ ඇත. ප්‍රධාන මාධ්‍ය ආයතන ප්‍රධාන දේශපාලන පක්ෂවලට දේශපාලන වැඩසටහන්වලදී සම අවස්ථාවක් ලබා දෙන ලදී. ආණ්ඩු බලයේ සිටින දේශපාලන පක්ෂ දෙකටම දැඩි විවේචනයන්ට ලක්වෙමින් මැතිවරණය මෙහෙය වීමට සිදුවීම රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ දර්ශකයකි. මැතිවරණය සම්බන්ධයෙන් පොලිසිය සහ අධිකරණයේ හැසිරීම, නිතීයේ පාලනය පිළිබඳ දර්ශකයන් වේ. රටේ වෙන කිසිම තැනක දී නීතියක් තිබෙන බව නොදැනුනත් මැතිවරණයට අදාළ නීතියක් පවතින බව දැනෙන්නට පටන් ගෙන තිබේ.

ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබූ ලංකාවේ දේශපාලන සහ ආයතනික ව්‍යුහය එක රැයකින් හැදිය නොහැකි බව කවුරුත් දන්නා සත්‍යක් වන බැවින් මෙවර මැතිවරණයෙන් පෙනුන මේ සාධනීය කාරණා බලාපොරොත්තු දල්වන සුළුය. එම නිසා මෙම මැතිවරණයේදී භාවිත කරන ඕනෑම ඡන්දයක් මෙම සාධනීය ලක්ෂණ පවත්වා ගැනීම වෙනුවෙන් දෙන ඡන්දයක් වනු ඇත.

මේ මැතිවරණ දර්ශකයෙන් පෙනෙන්නෙ ඉහත කී සාධනීය කරුණු පමණක් නොවේ. මැතිවරණයේ ඉලක්කය පළාත් පාලන බල ප්‍රදේශ වුවත් මැතිවරණයේදී තීරණාත්මක වූයේ ජාතික තලයේ මාතෘකාවන්ය. ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දූෂණ විරෝධය සහ දූෂිතයන්ට දඩුවම් දීම සිය ප්‍රධාන සටන් පාඨය කර ගත් අතර, අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රටේ සංවර්ධනය තමන්ගේ ප්‍රධාන තේමාව කරගත්තේය. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ සුපුරුදු පරිදි යුද ජයග්‍රහණය සහ රට පාවාදීම පැත්තෙන් තම අදහස් දැක්වීය. ජනතා විමුක්ති පෙරමුණද දූෂණ විරෝධය මත පමණක් සිය සටන මෙහෙය වනු දක්නට ලැබුණි. 2015 ආණ්ඩු වෙනසේදී සිවිල් සමාජ බලවේගවල ප්‍රධාන බලාපොරොත්තුවක් වූ ජාතීන් අතර සංහිඳියාව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදාළ සංවාදයට කිසිදු ඉඩක් මේ පක්ෂවලින් ලැබී තිබුනේ නැති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරේ සිය ප්‍රචාරක කටයුතුවලදී සංක්‍රාන්තික යුක්තිය, සංහිඳියාව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා කෙරුණ බව වාර්තාවේ.

දකුණේ මැතිවරණ ප්‍රචාරණයේදී මෙම කරුණු මගහැර යෑමෙන් පෙනෙන්නෙ වසර දෙකකට පසුත් මෙම මාතෘකා දකුණේ දේශපාලනයේදී සාධනීය අර්ථයෙන් භාවිත කළ නොහැකි බව නොවේද? (මේ මාතෘකා නිශේධනීය අර්ථයෙන් භාවිත කිරීම මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය මගින් සිදු කළ අතර එහි ප්‍රතිඵලය ඡන්ද ප්‍රතිඵලවලින් මැනගත හැකි වනු ඇත). කෙසේ හෝ ඡන්දය දිනා ගැනීම වැඩ කරන දේශපාලන පක්ෂ මේ මාතෘකා සාධනීය ලෙස භාවිතා කිරීමට උනන්දු නොවීම තේරුම්ගත හැකි වුවත් දේශපාලන පක්ෂ ඒ සඳහා උනන්දු කිරීමට සහ විකල්පව එම මාතෘකා සංවාද ගත කිරීමට සිවිල් සමාජ බලවේගයන්ට නොහැකිවීම සිවිල් සමාජ දේශපාලනයේ දුර්වලතාවයක් ලෙස හඳුනාගත හැකිය. ග්‍රාමීය මට්ටමෙන් දේශපාලන උනන්දුව වැඩි සක්‍රීය සමයක ජාතික වශයෙන් සංවාදයට ලක්විය යුතු ප්‍රධාන මාතෘකා ගමේ නව දේශපාලන නායකත්වය සමග සංවාදයට ලක්කීරීමට නොහැකි වීම දැවැන්ත අඩු පාඩුවකි.

දැන්, එමනිසා නැවතත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සංහිඳියාව, රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම වැනි මාතෘකා ඉදිරියට ගෙන ඒමට අපට යෝජනා කළ හැක්කේ කුමක්ද?

01. මේ මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සහ එසේ කිරීමට අන් අය උනන්දු කිරීම. මේ මැතිවරණයේදී වැඩි ප්‍රතිශයතයක් ඡන්දය භාවිත කිරිම යනු ප්‍රජාතන්ත්‍රීකරණය වූ අවකාශයකට ජනතාව සිය කැපවීම උපරිමයෙන්ම පෙන්විමක් ලෙස හැඳින්විය හැකිය. ජනතාව සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය උපරිමයෙන් භාවිතා කිරීම තුළ මෙම ආයතන සහ නීති රීති තවදුරටත් ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමේ අවශ්‍යතාවය පැන නගී.

02 ඡන්දය භාවිතයේදී ජාතික සංහිඳියාව, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදිය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන පක්ෂ සහ අපේක්ෂක/අපේක්ෂිකාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටීම.

03 මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වනවාත් සමගම යටගැසී තිබෙන ඉහත මාතෘකා පිළිබඳ සංවාදය නැවත ඉස්මතු කර ගැනීමට කටයුතු කිරීම සහ පත්වන අලුත් දේශපාලන නියෝජිතයන් අටදාහකට වැඩි ප්‍රමාණය මේ සංවාදයට හවුල් කර ගැනීම.

ඇතැමුන් තවමත් සිතන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති වන්නේ දේශපාලන පක්ෂයකට වැඩි බලයක් යෑමෙන් බවයි. එසේ නම් මහින්ද රාජපක්ෂට තිබූ දේශපාලන බලය අනුව තව වසර ගණනාවක් ආණ්ඩු කළ යුතුව තිබුණි. එහෙත් රටේ සැබැවින්ම දේශපාලන ස්ථාවරත්වය රැදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය මතය. කවුරු බලයේ සිටියත් මේ කෙරෙහි අවධානය යොමු කරනවා නම් රට ස්ථාවරව ඉදිරියට යනු ඇත. ඒ නිසා මේ මොහොතේ අප කළ යුත්තේ මේ වෙනුවෙන් පෙනී සිටින අයට දේශපාලන බලය ලබා දීමයි. ■

2018.02.11 වැනි දින රාවය සමබිම අතිරේකයට නීතිඥ ප්‍රබෝධ රත්නායක විසින් ලියන ලද ලිපියකි.

 

Recent Posts

Leave a Comment