විමල් පුස්වෙඩිල්ලගේ 13 වන බෲමරය

Nov 18th, 2012 | By | Category: EDITOR'S CHOICE

රටක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සමාජයේ කාලීන අවශ්‍යතා මත තිරණාත්මක කරුණු පදනම් කර ගනිමින් සංශෝධනයට ලක්‌විය යුතුය. එවැනි කරුණු කාරණා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මේ වනවිට දහඅට (18) වතාවක්‌ සංශෝධනයට ලක්‌ කර ඇත.

 රටේ උත්තරීතරම ලියවිල්ල වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමේදී ජනතා කැමැත්ත හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකළ යුතුය. එහෙත් ඉතිහාසයේ සිට මේ දක්‌වා බලයට පැමිණි ආණ්‌ඩු විවිධ බලපෑම් අවශ්‍යතා හා නායකයන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් සංශෝධනවලට යොමු වූ අවස්‌ථා තිබේ.

 මෙරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ රට අර්බුදයකට හා මත ගැටුමකට යොමුකළ අවස්‌ථාවක්‌ ලෙස 1987 පළාත් සභා ක්‍රමය ස්‌ථාපිත කරමින් ඇතිකළ 13 වැනි සංශෝධනය හැඳින්විය හැකිය.

 එදා මෙදා තුර 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය රටේ උන්නතිය වෙනුවෙන් යොදා ගන්නවාට වඩා එය රට ගිල ගැනීමට ඉදිරිපත් කළ මහ රකුසකු ලෙස හඳුන්වමින් විවිධ කාල වකවානුවල බලයට පත්වූ ආණ්‌ඩු සහ දේශපාලන පක්‍ෂ සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කළ අවස්‌ථා බොහෝමයකි.

 1987 වනවිට මේ රට කොටි ත්‍රස්‌තවාදී හා තවත් ප්‍රශ්න ගණනාවකට මැදිව පැවැතිණි. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජාතික පක්‍ෂ රජය එදා පළාත් සභා ක්‍රමය රට තුළ ස්‌ථාපිත කළේ එවකට රට මුහුණ පා සිටි ගැටලුවලට විසඳුමක්‌ ලබා ගැනීමට හැකිය යන විශ්වාසය මෙන්ම ඉන්දියාවේ දැඩි බලපෑම මතය.

 දහතුන්වැනි සංශෝධනය හරහා පළාත් සභා ස්‌ථාපිත කළද මේ දක්‌වා මධ්‍යම ආණ්‌ඩුව මගින් ඉඩම්, පොලිස්‌ වැනි මූලික බලතල පළාත්සභාවලට මුදාහැර නොමැත.

 මෙම බලතල පළාත් සභාවලට මුදාහැරියේ නම් වෙනම රාජ්‍යයක්‌ බිහිවීම කිසි ලෙසකින්වත් වැළැක්‌වීමට නොහැකි වනු ඇති බව, පළාත් සභා අහෝසි කළයුතු බව පවසන පාර්ශ්වයන්ගේ මතය වී තිබේ.

 කෙසේ වෙනත් මධ්‍යම රජයෙන් මුදාහැර ඇති බලතල පාවිච්චි කරමින් පළාත්සභා නිසි මහජන සේවාවක්‌ ඉටු කරනවාද යන්න අද වන විට ප්‍රශ්නයක්‌ වී ඇත.

 මේ අතර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවට ඉතිහාසයේ වරින් වර නැගුණ හඬ මේ වන විට කරලියට පැමිණ තිබේ.

 මේ වෙනුවෙන් ආණ්‌ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමය, ජාතික නිදහස්‌ පෙරමුණ, මහජන එක්‌සත් පෙරමුණ වැනි දේශපාලන පක්‍ෂ පෙරමුණ ගෙන ක්‍රියාකරනවා සේම ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කර ඇත.

 එමෙන්ම දහතුන්වැනි සංශෝධනය අහෝසි කරනවාට විරුද්ධව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ඊ. පී. ඩී. පී. පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළුව දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් ගණනාවක්‌ සිය ස්‌ථාවරයන් මේ වනවිට ප්‍රකාශ කොට තිබේ.

 මේ අතර 13 වැනි සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු එහි පිරිසක්‌ සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්‍ෂයේ නියෝජිත පිරිසක්‌ අතර විශේෂ සාකච්ඡාවක්‌ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

 ඉන්දියානු රජයේ වුවමනාවට හඳුන්වාදී ඇති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය රටේ දියුණුවට බාධාවක්‌ වී ඇති බැවින් වහාම එය අහෝසි කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාදිය යුතු බවට වන ඉල්ලීම විමල් වීරවංශ මහතා මෙහිදී ඉදිරිපත් කර ඇත.

 එවකට පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ රජයට ඉන්දීය රජය විසින් බල කරමින් 13 වැනි සංශෝධනය බලෙන් පැටවූ එකක්‌ බැවින් එයින් රටේ ඒකීය භාවයට බරපතළ හානි ගෙන දෙන බව වීරවංශ මහතා මෙහිදී පෙන්වාදී තිබේ.

 මෙම ඉල්ලීම් සම්බන්ධව පැයකට ආසන්න කාලයක්‌ දෙපාර්ශ්වය අතර සාකච්ඡා වුවද වීරවංශ මහතාට අපේක්‍ෂිත අරමුණ කරා යැමට රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ පක්‍ෂය එකඟකරවා ගැනීමට නොහැකි විය.

 වර්තමානයේ රට මුහුණ පා ඇති අර්බුද හමුවේ කළ යුත්තේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරනවාට වඩා සමස්‌ත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවම සංශෝධනයකට ලක්‌කිරීම බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

 වත්මන් පාලන ක්‍රමය තුළ රටේ පැවැත්මට බාධාවන බොහෝ දේ තිබෙන බවත් එහි ප්‍රධාන තැනක්‌ ගන්නා විධායක ජනාධිපති ධුරයද අහෝසි කළයුතු බවත් විපක්‍ෂනායකවරයා මෙහිදී පැවැසීය.

 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහතුන්වැනි සංශෝධනය අහෝසි කරනවා නම් බලය බෙදීම සඳහා ඇති විකල්පය කුමක්‌දැයි යන්න මෙහිදී එජාපය වෙනුවෙන් සහභාගිවූ එහි මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පෙන්වා දී තිබෙන අතර එවැනි විකල්පයක්‌ නැතිව 13 අහෝසි කළොත් ජාතික හා ජාත්‍යන්තර ප්‍රශ්න ගණනාවකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බව පවසා තිබේ.

 තිබෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමෙන් හෝ නව සංශෝධන ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව ශක්‌තිමත් විය යුතු බවත් එසේ නොවන විසඳුමකින් ජනතාවට හෝ රටට ප්‍රයෝජනයක්‌ නොවන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දී ඇත

 සුහද හා මිත්‍රශීලීව පැවැති මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයටම නොහැකි වුවත් ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කර ගැනීමේ හොඳ ආරම්භයක්‌ කරගත හැකිය.

 මෙම සාකච්ඡාවෙන් පසු විමල් වීරවංශ මහතා ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ නායකයන් හා ආණ්‌ඩුවේ නියෝජිතයන් සමගද 13 වැනි සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

 දහතුන්වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලා විමල් වීරවංශ මහතා පසුගිය සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට තීරණයක්‌ ගෙන තිබුණද මේ වනවිට ඔහු එම තීරණයද කල්දමා ඇත. මේ සඳහා බලපා ඇත්තේ විපක්‍ෂ නායකවරයා සහ ආණ්‌ඩුවේ පක්‍ෂ අතර පැවැති සාකච්ඡාද විය හැකිය.

 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධව ආණ්‌ඩුවේ ස්‌ථාවරය සෘජුව ප්‍රකාශ කරන ලෙස විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්‌ මතු කළේය.

 එම සංශෝධනය අහෝසි කිරීමට රජය මෙතෙක්‌ නිල තීන්දුවක්‌ ගෙන නැති බවත් එය අහෝසි කරනවාද නැද්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ සමග පුළුල් සංවාදයක්‌ මත ඇතිකර ගන්නා එකඟතාවය රජයේ ස්‌ථාවරය වන බවත් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කොට තිබිණි.

 දහතුන්වැනි සංශෝධනය යටතේ සිදුකරනු ලබන බලය බෙදාහැරීම ක්‍රමවත් හා ශක්‌තිමත්ම සිදුකරන බවට ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට හා ජාත්‍යන්තරයට ලිත හා වාචිකව සිය ස්‌ථාවරය දැනුම්දී තිබෙන පසුබිමක්‌ තුළ එය අහෝසි කිරීම බරපතළ ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ.

 විකල්පයක්‌ නොමැතිව මෙය අහෝසි කිරීමෙන් ආණ්‌ඩුව අභ්‍යන්තරයේ මතුවන ගැටලුවලට වඩා දරුණු ප්‍රශ්න රැසකට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මුහුණ දීමට සිදුවනු ඇත.

 මේ පසුබිම තුළ 13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මහතා ගෙන යන ව්‍යාපාරය පුස්‌වෙඩිල්ලක්‌ වීමට ඉඩ ඇත.

 පියසේන දිසානායක

උපුටා ගැනීම – දිවයින වෙබ් අඩවිය

http://www.divaina.com/2012/11/18/politics02.html

Recent Posts

Tags: , , , , ,

Leave a Comment