නීතිඥ සංගම් රැස්වීමේදී ඇත්තටම මොකද වුණේ?

Dec 19th, 2012 | By | Category: EDITOR'S CHOICE

පැයකට වැඩි කාලයක්‌ සාමාජිකයන් අදහස්‌ දැක්‌වීමෙන් අනතුරුව ආණ්‌ඩු පක්‍ෂයට සම්බන්ධව ප්‍රකටව ක්‍රියා කරන සාමාජිකයන් කිහිප දෙනෙකු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එකී යෝජනාවන්ට විරුද්ධව කිසිවකු අදහස්‌ ඉදිරිපත් නොකළ බැවින් තවදුරටත් ප්‍රමාද නොකර ඒවා සම්මත කරන ලෙසටය. එම අවස්‌ථාවේ සභාවේ මතය විමසමින් ඒකමතිකව සම්මත කිරීමට පක්‍ෂ දැයි අසා සිටියහ. කිසිවකු විසින් විකල්ප යෝජනාවක්‌ ඉදිරිපත් නොකළ අතර ඡන්ද විමසීමක්‌ ඉල්ලා නොසිටියහ. සියලුදෙනා අත් ඔසවා එකඟත්වය පළ කළහ. ඒ අනුව නිලධාරී මණ්‌ඩලය සභාවේ වැඩ කටයුතු අවසන් කොට විසිර ගියහ.

අනතුරුව සභාපතිවරයාට සහ ලේකම්වරයාට දැන ගන්නට ලැබුණේ සභාව අවසන් කොට ඔවුන් පැමිණි පසු කිසියම් පිරිසක්‌ කඩාකප්පල්කාරී ලෙස හැසිරෙමින් මාධ්‍යයට ආවරණය කරගත හැකි ලෙස කලහකාරි ලෙස හැසිරී ඇති බවය.

****************************************************************

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් හාරසිය හතළිස්‌ දෙනෙක්‌ විසින් අත්සන් කරන ලද යෝජනා සම්මතයන් කිහිපයක්‌ 2012 දෙසැම්බර් මස 8 වැනි දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නිල වශයෙන් භාර දුන් අතර සංගමයේ ව්‍යවස්‌ථාව අනුව ඒ පිළිබඳව ප්‍රසිද්ධ දැන්වීම් පළකොට 2012 දෙසැම්බර් මස 15 වැනි දින විශේෂ මහා සභා රැස්‌වීමක්‌ පැවැත්වීමට සංගමය විසින් කටයුතු කරන ලදී. විශේෂ මහා සභා රැස්‌වීමට ඉදිරිපත් කර තිබූ යෝජනා සම්බන්ධයෙන් යම් බෙදීමක්‌ ඇතිවුවහොත් ව්‍යවස්‌ථාව අනුව ඡන්දයක්‌ පැවැත්වීම සඳහා සියලු කටයුතු සංවිධානය කොට තිබිණි. ඡන්දයක්‌ පැවැත්වුවහොත් ඒ සඳහා සුදුසු නිලධාරීන්ගේ සහාය ලබා දෙන ලෙසට නීතිපතිතුමාගෙන් ඉල්ලීමක්‌ කළද එය ඉටු නොවූ නිසා ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයෙන් ඒ සඳහා නිලධාරි සහායද ලබාගෙන තිබිණි.

එම මහා සභා රැස්‌වීම පැවැත්වීමට නියමිතව තිබූ 2012 දෙසැම්බර් 15 වැනි දිනට පෙර දින එනම් 14 වැනි දින සවස්‌ භාගයේ තවත් සාමාජිකයන් තුන්සිය තිහක්‌ අත්සන් කරන ලද යෝජනා සම්මතයක්‌ සංගමය වෙත භාරකළ අතර එහි සඳහන් වූවේ අග්‍රවිනිශ්චයකාරතුමියට එරෙහිව දෝෂාභියෝග ක්‍රියාවලියට නීතිඥ සංගමය මැදිහත් නොවිය යුතු බවයි.

එවැනි යෝජනාවලියක්‌ ඉදිරිපත් කරන්නේ නම් ව්‍යවස්‌ථාවට අනුව රැස්‌වීම් දිනයට අවම වශයෙන් දින 7 කට පෙර ඉදිරිපත් කළ යුතු වීම අනිවාර්ය වන නමුත් එකී යෝජනාව රැස්‌වීම පැවැත්වීමට පැය 18 කට පමණ පෙර දී භාරදී තිබිණි.

2012 දෙසැම්බර් මස 15 වැනි දින නියම කරගත් පරිදි හරියටම පෙ.ව. 10.30 ට මහා සභා රැස්‌වීම ආරම්භ කළ අතර ආරම්භයේදී සංගමයේ සභාපතිවරයා විසින් අරමුණු පැහැදිලි කොට නීතිඥ වෘත්තියේ ගරුත්වය ආරක්‍ෂා වන පරිදි පරිභාහිර මතිමතාන්තර ඉවත දමා ඒකමතික තීන්දු තීරණවලට පැමිණීමේ වැදගත්කම පහදා දෙන ලදී. අනතුරුව ඉහත කී පාර්ශ්වකරුවන් දෙක විසින් ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතයන් සභාපති විසින් සභාව වෙත කියවා දෙන ලදී. තවද දොaෂාභියෝග ක්‍රියාදාමයට එරෙහිව පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කර තිබූ යෝජනා දෙකක්‌ සභාවට ඉදිරිපත් කිරීම සභාපතිවරයා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. එම යෝජනාවන් නම්,

1. වර්තමාන අගවිනිසුරුවරිය දෝෂාභියෝග චෝදනාවෙන් ඉවත්කොට නව අගවිනිසුරුවරයෙකු පක්‌කරනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට නිල පිළිගැනීමක්‌ ලබා නොදීම, එවැනි පත් කිරීමක්‌ පිළිනොගැනීම සහ ඔහු හෝ ඇය ඉදිරියේ නීතිඥයන් පෙනී නොසිටිය යුතු බව.

2. වත්මන් අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය පදනම් කොටගෙන වර්තමානයේ අධිකරණයේ ස්‌වාධීනත්වයට මහත්සේ බලපෑම් ඇති වී ඇති බැවින් එය විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙසට එක්‌සත් ජාතීන්ගේ සංගමය, පොදුරාජ්‍ය මණ්‌ඩල සංගමය, ජාත්‍යන්තර නීතිඥ සංගමය යනාදී ආයතනයන්ගෙන් ඉල්ලීම් සිදු කිරීම.

අනතුරුව සංගමයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුව සංගමයේ ව්‍යවස්‌ථාවට අනුකූලව ඉදිරිපත් කළ හැකි සහ සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි යෑයි සාධාරණ ලෙස විශ්වාස කළ හැකි යෝජනා සම්මුතින් 3 ක්‌ සභාවට ඉදිරිපත් කර සිටියේය. එනම්,

1. අගවිනිසුරුතුමියට එරෙහිව ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝග චෝදනාව විමර්ශනය කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තා ස්‌වාධීන මණ්‌ඩලයක්‌ මගින් නැවතත් විශ්ලේෂණය කරන බවට අතිගරු ජනාධිපතිතුමා 2012/12/11 වැනි දින කර ඇති ප්‍රකාශය පදනම් කරගෙන අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය නැවත සලකා බලන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉල්ලා සිටීම.

2. අතිගරු ජනාධිපතිතුමා සහ/ හෝ දෝෂාභියෝග යෝජනාවට අත්සන් තබා ඇති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවදුරටත් එකී දෝෂාභියෝග චෝදනාවන් මත කටයුතු කිරීමට තීරණය කරනු ලබන්නේ නම් ඊට ප්‍රථම උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීම පිණිස ස්‌වභාවික නීතියේ මූලධර්ම අනුගමනය කරමින් සාධාරණ නඩු විභාගයක්‌ සහතික වන පරිදි ක්‍රියා පටිපාටිමය නීති පාර්ලිමේන්තුව තුළින් සම්මත කිරීම.

3. ස්‌වභාවික යුක්‌තියේ මූලධර්ම අනුගමනය කරමින් සාධාරණ නඩු විභාගයක්‌ සඳහා වර්තමාන අගවිනිසුරුවරියට අවස්‌ථාවක්‌ ලබා නොදෙමින් එතුමිය එම තනතුරෙන් ඉවත්කොට වෙනත් අග්‍රවිනිශ්චයකාරවරයෙකු පත්කළහොත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එසේ පත්කරනු ලබන අග්‍රවිනිශ්චයකාරවරයා උත්සවාකාරයෙන් පිළිගනු නොලැබීම.

යන යෝජනා වේ.

එම යෝජනා සම්මතයන් හට එකඟ වීමට හෝ එරෙහි වීමට හෝ ඒවා සංශෝධනය කිරීමට හෝ ඒ වෙනුවට විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට හෝ පූර්ණ නිදහස එම රැස්‌වීමේ සාමාජිකයන්ට ඇති බව පැහැදිලි කොට ඔවුනට තමන්ගේ අදහස්‌ ප්‍රකාශ කිරීමට අවස්‌ථාව ලබාදෙන ලදී.

එම යෝජනා සම්මතයන් තුන සම්බන්ධව අදහස්‌ ප්‍රකාශ කළ කිසිදු සාමාජිකයෙක්‌ එය ප්‍රතික්‍ෂේප කරන ලෙසට ඉල්ලා නොසිටියේය.

අමතර යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. ජී. (ජෙඩ්) ගුණරත්න මහතා යෝජනා කර සිටියේ දෝෂාභියෝග විමර්ශනය පැවැත් වූ ආකාරය අනුව එය මුලුමනින්ම හෙළා දකින ලෙසට යෝජනාවක්‌ සම්මත කරන ලෙසය.

දෝෂාභියෝග යෝජනාවට අත්සන් කළ පාර්ශ්වකරුවකු ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති නීතිඥ ලලිත් දිසානායක මහතාටද අදහස්‌ දැක්‌වීමට අවස්‌ථාවක්‌ ලබාදුන් අතර ඔහු ප්‍රකාශ කර සිටියේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් දෝෂාභියෝග මගින් ඉවත් කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පනවා ඇති ආකාරයට අදාළ නීතියක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත හැකිව තිබියදී නීතිඥ සංගමයේ සභාපතිවරයා එසේ නොකිරීම සභාපතිවරයාගේ වරදක්‌ ලෙස දකින බවය.

දෝෂාභියෝග චෝදනාවන් ඉදිරිපත් කොට ඒ පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව ගෙන ගිය ක්‍රියාදාමය නිත්‍යානුකූල සහ යුක්‌ති සහගත බවට තර්ක කරමින් සිටි ආණ්‌ඩුවට සම්බන්ධ ක්‍රියාකාරී සාමාජිකයන් බොහෝ දෙනෙක්‌ අදහස්‌ දැක්‌ වූ අතර එම සියලු දෙනාම ඉහත කී යෝජනා සම්මතයන් තුන ඉතා අපක්‍ෂපාති, යුක්‌ති සහගත සහ සාධාරණ ඒවා බවට ප්‍රකාශ කළේය.

රැස්‌වීමේ ආරම්භයේ සඳහන් කළ පරිදි අදහස්‌ දැක්‌වීමට කැමැති සාමාජිකයන් හට විනාඩි 3 ක අවස්‌ථාවක්‌ ලබාදුන් අතර අදාළ මාතෘකාවෙන් පිට කිසිදු කරුණක්‌ කථා නොකළ යුතු බවටද සභාපතිවරයා දැනුම් දුන්හ. සමහර සාමාජිකයන් අදාළ කරුණු වලට පරිභාහිර වෙනත් පාර්ශ්වයන්ගේ නැතහොත් විරුද්ධ මතධාරීන්ගේ අදහස්‌ හෙළා දකිමින් සහ ප්‍රකෝපකාරි ලෙස කථා කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේදී ඔවුන්ට එසේ කථා කිරීමට සභාපතිවරයා අවසර නොදුන්හ.

පැයකට වැඩි කාලයක්‌ සාමාජිකයන් අදහස්‌ දැක්‌වීමෙන් අනතුරුව ආණ්‌ඩු පක්‍ෂයට සම්බන්ධව ප්‍රකටව ක්‍රියා කරන සාමාජිකයන් කිහිප දෙනෙකු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එකී යෝජනාවන්ට විරුද්ධව කිසිවකු අදහස්‌ ඉදිරිපත් නොකළ බැවින් තවදුරටත් ප්‍රමාද නොකර ඒවා සම්මත කරන ලෙසටය. එම අවස්‌ථාවේ සභාවේ මතය විමසමින් ඒකමතිකව සම්මත කිරීමට පක්‍ෂ දැයි අසා සිටියහ. කිසිවකු විසින් විකල්ප යෝජනාවක්‌ ඉදිරිපත් නොකළ අතර ඡන්ද විමසීමක්‌ ඉල්ලා නොසිටියහ. සියලුදෙනා අත් ඔසවා එකඟත්වය පළ කළහ. ඒ අනුව නිලධාරී මණ්‌ඩලය සභාවේ වැඩ කටයුතු අවසන් කොට විසිර ගියහ.

අනතුරුව සභාපතිවරයාට සහ ලේකම්වරයාට දැන ගන්නට ලැබුණේ සභාව අවසන් කොට ඔවුන් පැමිණි පසු කිසියම් පිරිසක්‌ කඩාකප්පල්කාරී ලෙස හැසිරෙමින් මාධ්‍යයට ආවරණය කරගත හැකි ලෙස කලහකාරි ලෙස හැසිරී ඇති බවය.

එම කණ්‌ඩායම තුළ සංගමයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි පත්කර ඇති උප සභාපතිනියද සිටිමින් මාධ්‍යයට ප්‍රකාශයන් නිකුත් කර ඇති බව පසුව දැනගන්නට ලැබිණි.

වර්තමාන නිලධාරී මණ්‌ඩලය නිල රාජකාරි භාරගත් 2012/03/31 දින සිට අද දින දක්‌වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ ද, නියෝජිත මණ්‌ඩලයේදී ද සහ මහා සභා රැස්‌වීම් වලදී ද ගන්නා ලද සියලු තීන්දු තීරණ ඒකමතිකව සිදු වූ බව වැඩි දුරටත් අවධාරණය කර සිටින්නෙමු.

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ
සභාපති
ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නීතිඥ සංජය ගමගේ
ලේකම්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය

උපුටා ගැනීම දිවයින වෙබ් අඩවිය

http://www.divaina.com

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment