පාර්ලිමේන්තුව අධිකරණය හා ගැටෙයි

Jan 4th, 2013 | By | Category: EDITOR'S CHOICE, PRESS RELEASE

අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහි චෝදනා විභාග කිරීමට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බලයක් නැතැයි ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය දුන් නියෝගය පාර්ලිමේන්තුවේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කැරුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගැනීමට පාර්ලිමේන්තුව බැඳී නැති බවයි නියෝජ්‍ය කතානායක වරයා ප්‍රකාශ කරන්නේ.

බීබීසී සංදේශය හා කතා කරමින් නියෝජ්‍ය කතානායක නීතිඥ චන්දිම වීරක්කොඩි කියා සිටියේ පාර්ලිමේන්තුව සතු බලය සම්බන්ධව තීරණ දීමට වෙනත් ආයතනවලට බලයක් නැති බවයි.

විනිසුරුවරුන් ඉවත් කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව කියා සිටි නියෝජ්‍ය කතානායක වරයා ‘ඒ බලය අපි ක්‍රියාත්මක කරනවා,’ යැයි ප්‍රකාශ කර සිටී.

අභියාචනාධිකරණය විසින් බ්‍රහස්පතින්දා දුන් තීන්දුවෙන් කියවුනේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පොදු නීතියක් නොවන හෙයින් ඒ යටතේ පිහිටුවා ගන්නා ලද විශේෂ කාරක සභාවට අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට විරුද්ධ දෝෂාභියෝග චෝදනා විභාග කිරීමේ නීතිමය බලයක් නොමැති බවයි.

ඓතිහාසික නිගමනයක්

මෙම තීන්දුව ශත වර්ෂ දෙකක ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ දී එළැඹි ඓතිහාසික නිගමනයක් ලෙසින් පැසසුමට ලක් කරන ආසියානු මානව හිමිකම් කොමිසම එමගින් අග විනිසුරුවරියට එරෙහි පාර්ලිමේන්තු දෝෂාභියෝග ක්‍රියාදාමය නිෂ්ප්‍රභ කැරෙන බව නිවේදනයකින් කියා සිටී.

දෝෂාභියෝග ක්‍රියාදාමය ට එරෙහි පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසුරිය තීන්දුවෙන් අනතුරුව බීබීසී සංදේශයේ කේ එස් උදයකුමාර් හට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අග විනිසුරුවරුන්ට එරෙහි චෝදනා විභාග කිරීමේ ව්‍යවස්ථානුකූල යාන්ත්‍රණයක් සකසා ගත යුතුය යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය වූ බවයි.

නඩු තීන්දුව විසින් ‘ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාවට ගරු කළ යුතු බව,’ සහතික කොට ඇතැයිද අධිනීතිඥ වර්ණසුරිය ප්‍රකාශ කළේය.

රට ‘අරාජික භාවයට’

මේ අතර කොළඹදී ජනමාධ්‍යවේදීන් ඇමතූ නීතිඥ සංගම් නායකයන් රජයෙන් ඉල්ලා සිටියේ අභියාචනාධිකරණ තීන්දුවට හිස නමන ලෙසයි.

එසේ නොකළොත් රට අරාජික භාවයට ඇද වැටීමේ අවදානමක් ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිවේදීන්ගේ සංගමය අනතුරු ඇඟවීය.

එහි සම කැඳවුම්කරු ජේ සී වැලිඅමුණ කියා සිටියේ එම තත්වය උදා නොකිරීමේ වගකීම ‘පාර්ලිමේන්තුව ඇතුළු සියලුම ආයතන වලට,’ තිබෙන බවයි.

අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ කමිටුවේ නිර්දේශ සැලසුම් කොට ඇති පරිදි ලබන සතියේ විවාදයට ගැනීමෙන් වලකින ලෙසයි අධිකරණය සුරැකීමේ එකමුතුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ.

ජනතාවගේ පරමාධිපත්‍යය

එය විවාදයට ගතහොත් ‘දැවැන්ත මහජන විරෝධයක්‌,’ ඇතිවීම වලක්වනු නො හැකි බවයි එකමුතුවේ නීතිඥ ඒ එස් එම් පෙරේරා ප්‍රකාශ කළේ.

ජනතා නීතිඥ සංගමයේ උප සභාපති සුනිල් වටගල ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව හැඳින්වුයේ ‘අධිකරණයේ ස්වාධීනත්වයත් ජනතාවගේ පරමාධිපත්‍යයත් සහතික කිරීමක්,’ ලෙසින්.

මේ අතර දෝෂාභියෝග පරීක්ෂණ වාර්තාව පදනම් කොටගෙන ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම තහනම් කරන්නැ’යි ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය කළ ඉල්ලීම විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ලබන සඳුදාට කල් දැමීය.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දුන් නිගමනය පරීක්ෂා කිරීමට තවත් කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා මීට ඉහතදී පවසා තිබුණි.

උපුටා ගැනීම බීබීසී සන්දේශය 

http://www.bbc.co.uk/sinhala

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment