ඇතීනා සිනමාවෙන් සමුගනීද? 4 වන කොටස

Feb 18th, 2013 | By | Category: FICTION, ඇතීනා, පරිවර්තන

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද – 04 කොටස

මෙතෙක් කතාව

තම චිත්‍රපටයේ තරු චරිතය රූමත් නවක නිළියක් වන ඇතීනා ඇක්විටේන් හට ලබාදීමට සුපිරි නළු ස්ටීවන් ස්ටෝලිංග් සැරසෙයි. නමුත් එම අවස්ථාව වෙනුවෙන් ඇය ස්ටීවන්ට ආදරය කළ යුතුය. අකමැත්තෙන් වුවද මෙම යෝජනාවට කැමති වෙන ඇතීනා තම ප්‍රථම චිත්‍රපටියෙන්ම සාර්ථකත්වයක් ලබයි. මීළඟ අවුරුදු පහ තුළ ඇය ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නගින අතර ස්ටීවන් ජනප්‍රියත්වයෙන් පහතට වැටෙයි. ක්‍රමයෙන් ඇය හා ස්ටීවන් අතර සම්බන්ධයද අවසන් වන අතර වසර පහකට පසු ‛මෙසලිනා’ චිත්‍රපටියේ ප්‍රධාන පිරිමි චරිතය තමාට ලබාදෙන ලෙස ඇතීනාගෙන් ඉල්ලන ස්ටීව්ට ඒ වෙනුවෙන් තමා සමඟ නිදාගැනීමට අවශ්‍ය නැතැයි සරදම් සහගත ලෙස පවසන ඇතීනා එය ඔහුට ලබා දෙන්නීය. අවසානයේදී වසරේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබන ඇය එම සම්මාන රාත්‍රියේදී ඇගේ සැමියා බොස් ස්කැනට්ගේ නොසිතූ ප්‍රහාරයකට ලක්වේ. ඉන් කිසිදු හානියක් සිදු නොවූවද තමාගේ ජීවිතයට ඔහුගෙන් ඇති තර්ජනය වටහා ගන්නා ඇතීනා තීරණයකට එළඹෙන්නීය.

තම ජීවිතයට ඇති තර්ජන හේතුවෙන් තමා තවදුරටත් .මෙසලිනා. චිත්‍රපටයේ රඟපෑමට නොපැමිණෙන බව චිත්‍රපටය නිෂ්පාදනය කරන ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝස් සමාගමට ඇතීනා දැනුම් දුන්නාය. සිනමා ඉතිහාසයේ වැඩිම මුදලක් යොදා නිෂ්පාදනය කරන්නට බලාපොරොත්තුවෙන් සිටි ‛මෙසලිනා’ ඇණ හිටියේය. ප්‍රධාන චරිතය රඟපාන ඇතීනා නොමැතිව චිත්‍රපටය කිසිසේත් සම්පූර්ණ කළ නොහැකිය.

මේ ලෝඩ්ස්ටෝන් ස්ටුඩියෝ අධිපති එලායි මාරියන් සිය නිවසෙහි සාකච්ඡාවක් කැඳවීය. ‛මෙසලිනා’ අධ්‍යක්ෂකවරිය වන ඩිටා ටොමී සාකච්ඡාව ඇරඹුවාය.

“ඇතීනා පණ බයේ ඉන්නෙ. එයාගෙ බය නැති කරන්න ඔයාලා මොනව හරි ප්ලෑන් එකක් නොගැහුවොත් ආයෙත් නම් එයා ෆිල්ම් එකට එන්නේ නෑ. ඇතීනා නැතුව කොහොමටවත් ෆිල්ම් එක ඉවර කරන්න බැහැ.”

‛මෙසලිනා’ චිත්‍රපටයේ කතාව ලියැවී ඇත්තේ ක්ලෝඩියස් අධිරාජ්‍යයා යටතේ රෝම අධිරාජ්‍යය පිළිබඳ ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකිනි. පුරුෂයන් විසින් ලියන ලද ඉතිහාස කතාවල මෙසලිනා අධිරාජිණිය දූෂිත, රාගයෙන් අන්ධ වූ සහ මිනීමරු ගැහැනියක් ලෙස නිරූපණය කර තිබුණි. නමුත් වසර දෙදහසකට පසු තැනෙන මෙසලිනා චිත්‍රපටයේ ඇය තවත් ඇන්ටිගනි කෙනෙකු හෝ මීඩියා කෙනෙකු වැනි ශෝකී වීරවරියක් ලෙස නිරූපණය කර තිබුණි. එහි ඇගේ චරිතය ගොඩනඟා තිබුණේ පිරිමින් විසින් ආධිපත්‍යය දරන, මනුෂ්‍ය වර්ගයාගෙන් අර්ධයක් වූ ස්ත්‍රීන් හට වහලුන්ට මෙන් සලකනු ලබන ලෝකයක් වෙනස් කිරීම පිණිස ඈ සතු එකම අවිය වූ ඇගේ රූප ශ්‍රියාව යොදාගන්නා වීරවරියක ලෙසය. මෙසලිනා රැජිණගේ චරිතය රඟපෑවේ ඇතීනා විසිනි.

“ෆිල්ම් එක බාගෙට බාගයක් ඉවරයි. ඇතීනා නැතුව ඒ වෙනුවට වෙන කෙනෙක් ඩබල් කරලා ෆිල්ම් එක කරන්න බෑ. එයා නාවොත් ඩොලර් මිලියන පනහක් වතුරේ”
නිෂ්පාදක ස්කිපී ඩියරි කීය.

“අපට මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගන්න විදියක් නැද්ද?” එලායි මාරියන් ඇසීය.
“මම පොලීසියේ ඉන්න තදයෙක් අල්ලගෙන ඔය ඇතීනාගේ හස්බන්ඩ් කියන මිනිහව ටිකක් බය කරන්න හැදුවා. ඒත් හරි ගියේ නැහැ. මිනිහගෙ ෆැමිලි එකටත් තද දේශපාලන සම්බන්ධකම් තියෙනවා” ස්කිපී කීය.
“හරි පුදුමයි මේ වගේ පිස්සු මිනිහෙක්ගෙ තර්ජනයට බයේ ඇතීනා වගේ කෙනෙක් තමන්ගේ කැරියර් එක විනාශ කර ගන්න එක. එයා ආපහු නාවොත් අපි ෆිල්ම් එක අත ඇරලා මිලියන් පනහේ පාඩුව දරා ගන්නවා. හැබැයි ඇතීනාට කියන්න අපි වන්දි ඉල්ලලා නඩු දානවා කියලා. එයා දැනගන්න ඕන අපට ගේමක් දුන්නොත් ආයෙ ඉතින් මේ ෆීල්ඩ් එකේ වැඩ කරලා ඉවරයි කියලා”
ඇතීනාගේ ඒජන්තයා වන මෙලෝ් ස්ටුවර්ට් යැයි අවධාරණයේ කී එලායි මාරියන් තවදුරටත් මෙසේද කීවේය.
“ෆිෆ්ටි මිලියන් ඩොලර්ස් කියන්නෙ මොන බම්බුවක් ද?”
තමා ආදරයෙන් නිර්මාණය කළ චිත්‍රපටය යළි ගොඩ නඟා ගත නොහැකි ලෙස විනාශ වී යාමට ආසන්න බව අධ්‍යක්ෂ ඩිටා ටොමීට වැටහුණි. ඇය කලබලයෙන් මෙසේ කීවාය.
“අපි ක්ලෝඩියා ට කියමු ඇතීනාට කතා කරන්න කියලා. එයා ඇතීනාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නේ”

—————————————————————————-
ක්ලෝඩියා ඩි ලේනා හොලිවුඩයේ සාර්ථක තිර පිටපත් රචිකාවියකි. ‛මෙසලිනා’ කතා සංකල්පය සහ තිර පිටපත ඇගේ ය. මේ පිටපත චිත්‍රපටයක් බවට පත් කරන්නට ඇය සෑහෙන වෙහෙසක් දැරුවාය. ඇගේ සිහින ව්‍යාපෘතිය සැබෑ වන්නට ඔන්න

මෙන්න තිබියදී එය විනාශ කිරීමට ඇතීනාට ඉඩ දිය නොහැකිය.
ක්ලෝඩියා බෙවර්ලි හිල්ස් හි පිහිටි ඇතීනාගේ නිවසට ගොස් ඇය හමු වූවාය. කාලයාගේ ඇවෑමෙන් ඇතීනා හා ක්ලෝඩියා ඉතා සමීප මිතුරන් බවට පත්ව සිටියහ. තව දුරටත් චිත්‍රපටයේ රඟපෑමට එන ලෙස ක්ලෝඩියා ඉල්ලා සිටියත් ඇතීනා කීවේ කොහොම වුණත් චිත්‍රපටය අවසානය දක්වා ඇයට ජීවත්වීමට ඇගේ සැමියා වන බොස් ස්කැනට් ඉඩ නොදෙන බව තමන්ට විශ්වාස බවයි.

තත්ත්වය බරපතළ බව තේරුම් ගත් ක්ලෝඩියා තම එකම සොහොයුරා වන ක්‍රොස් ගේ සහාය ලබා ගැනීමට කල්පනා කළාය. ක්‍රොස් ඩි ලේනා ලාස් වේගාස් හි සුප්‍රකට කැසිනෝවක් වන ෂනාඩු හොටෙල් හි පාලකයාය.

ක්ලෝඩියා බොස් ස්කැනට් විසින් ඇති කර තිබෙන වියවුල්කාරී තත්ත්වය පිළිබඳව විස්තරයක් ක්‍රොස් හමුවී පැහැදිලි කළාය.
“අනේ, ක්‍රොස්… මේක නිකං බිස්නස් ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, ඇතීනා කියන්නේ මගේ හොඳම යාළුවා. මට ජීවිතේටම මුණ ගැහුණු හොඳම මනුස්සයන්ගෙන් එක් කෙනෙක් එයා. මටත් ගොඩාක් උදව් කරලා තියෙනවා. අනේ කොහොම හරි එයාව මේ ප්‍රශ්නෙන් බේරලා දෙන්න”
යැයි තම සොහොයුරාට ආයාචනය කළ ඇය චිත්‍රපටය අත්හැර දැමීමෙන් සිදුවෙන පාඩුව පිළිබඳව විස්තර කිරීම ස්කිපීට බාර කළාය. අවසානයේ ක්‍රොස් මෙසේ කීය.

“පොඩ්ඩක් ඉන්න මම හරියටම කතාව තේරුම් ගත්ත ද කියලා බලන්න. ඇතීනා ආපහු වැඩට ආවෙ නැත්නම් ඔයාටයි ස්ටුඩියෝ එකටයි ඩොලර් මිලියන පනහක් පාඩු වෙනවා. ප්‍රොජෙක්ට් කරපු ලාභ වලින් මිලියන දෙසීයක් පාඩු වෙනවා. ඇතීනාගේ පරණ හස්බන්ඩ් බොස් ස්කැනට් ට බයේ එයා ආපහු වැඩට යන්නේ නෑ. ස්ටුඩියෝ එකට බොස් එක්ක ඩීල් එකක් දාගන්න පුළුවන්. ඒත් ඇතීනා විශ්වාස කරන්නෙ නැහැ බොස්ව මොනව කරලාවත් නවත්වන්න පුළුවන් කියලා. හරිද?
“හරියටම හරි. අපි පොරොන්දු වුණා චිත්‍රපටිය ඉවර වෙනකන් ඇමරිකන් ප්‍රසිඩන්ට්ටත් වඩා ඉහළින් එයාව ආරක්ෂා කරනවා කියලා. අපි ස්කැනට්කාරයා පිටි පස්සෙ ඔත්තුකාරයො දාලයි තියෙන්නෙ. පැය විසි හතරම ඇතීනාට ආරක්ෂාව දීල තියෙනව. එහෙම තියෙද්දිත් මේ ගෑනි වැඩට එන්නෙ නෑනෙ” ස්කිපී කීය.

“එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ”
“මේකයි, මේ ස්කැනට් හාදයගෙ පවුලට හොඳට බර තියෙනවා. ටෙක්සාස්වල තද පොලිටිකල් කනෙක්ෂන් එහෙමත් තියෙනවා. ඒ මදිවට මිනිහ යකෙකුටවත් බය නැහැ. මම බැලුව පොඩ්ඩක් බය කරන්න. ඒත් හරි ගියේ නෑ”
“ඉතිං ඔයාල මොකටද මාව හොයාගෙන ආවෙ”
“ඒකනං ඉතිං ඔයාගෙ නංගිගෙ අදහසක්. එයා කියනවා ඔයාට උදව් කරන්න පුළුවන් වෙයිලු”
“ක්‍රොස්, මම දැකල තියෙනවනෙ මීට කලින් ඔයා ප්‍රශ්න විසඳනව. ඔයා හරි දක්ෂයි මිනිස්සුන්ව නම්මවා ගන්න. හැම ප්‍රශ්නයටම ඔයා ළඟ උත්තරයක් තියෙනවා. අනෙක ඉතිං ඔයා මගේ ලොකු අයියනෙ” ක්ලෝඩියා කීවාය.
“පරණ මෝඩ කතා” ක්‍රොස් සුසුමක් හෙළා කීවේය.
මඳ නිහඬතාවයක් ඇති විය. අවසානයේදී නිහඬතාවය බිඳිමින් ක්‍රොස් මෙසේ කීය.
“ස්කිපී, මං කැමතියි මේ ඇතීනාව මුණ ගැහෙන්න. සමහරවිට ඊට පස්සෙ මට පුළුවන් වෙයි ඔයාලගෙ ප්‍රශ්න ඔක්කොම විසඳන්න”
“නියමයි, අපි හෙටම පිටත් වෙමු ” ක්ලෝඩියා කීවාය ∎

ඊළග කොටස බලන්න

පෙර කොටස බැලීමට

Recent Posts

Tags: , , , , ,

Leave a Comment