දෙමළ ජනතාවගේ විමුක්තිය තිබෙන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අයිතිවාසිකම් සඳහා වන අරගලය තුළයි – ඇලන් කීනන්

Feb 28th, 2013 | By | Category: ප්‍රතිසන්ධානය

කැනේඩියානු දෙමළ කොන්ග්‍රසය විසින් පැවැත්වූ තෛපොංගල් දින රාත්‍රී සාදයේ ප්‍රධාන දේශනය පවත්වමින් International Crisis Group සංවිධානයේ ඇලන් කීනන් විසින් කළ කතාවේ සිංහල පරිවර්තනයේ පළමු කොටස

මා වරින් වර ශ්‍රී ලංකාවේ ජීවත් වූ පුද්ගලයෙක්. ඇතැම් විට මා එහි සැලකිය යුතු තරම් දිගු කාල පරිච්ඡේද ගත කර තිබෙනවා. ඒ වගේම පසුගිය දශකය හෝ ඊට වැඩි කාලය තුළ මා ශ්‍රී ලංකාව ගැන බොහොම සියුම් ලෙස අධ්‍යයනය කර තිබෙනවා – ඒකට හේතුව, මුල් කාලීනව මම අධ්‍යයන පර්යේෂකයෙකු වශයෙනුත් විශේෂයෙන්ම අවසාන වසර 6ක පමණ කාලය තුළ International Crisis Group ආයතනයේ විශ්ලේෂකයෙකු ලෙසත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් දක්වමින් කටයුතු කිරීමයි. මේ දිවයිනේ වාසය කරන මිනිසුන් ගැන මගේ සිතේ බොහොම සමීප හැඟීමක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, යම් දිනයක ශ්‍රී ලංකාවට ස්ථාවර සාමයක් උදා වෙයි සහ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ශ්‍රී ලංකාව තුළ යම් දිනෙක ගොඩනැගෙයි කියන කාරණය මම නිරන්තරයෙන්ම දකින සිහිනයක් වෙලා තිබෙනවා.

ඉතාම අවාසනාවන්ත කාරණය තමයි, අපි සියලු දෙනාම දන්නවා ඒ දිනය වෙනුවෙන් අපිට තවත් කාලයක් බලා සිටින්නට සිදුවෙන බව. සත්‍ය වශයෙන්ම මෙය ශ්‍රී ලංකාවටත් – විශේෂයෙන් එරට වාසය කරන දෙමළ ජනතාවටත් පොදුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක්. මා මගේ මේ අදහස් දැක්වීමෙන් ගෙන එන්නේ එක් පණිවුඩයක් පමණයි. එක් අතකින් රටේ දෙමළ ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් ඉතිහාසයේ සිට මේ දක්වාම දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් පවතිනවා. අනෙක් අතට අද වනවිට රට තුළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ ලෙස කඩා වැටීමේ තර්ජනයක් ඇතිව තිබෙනවා. ශ්‍රී ලංකාව ඉදිරියේ මේ වනවිට තිබෙන බරපතළම අර්බුදයන් තමයි ඒ. ඒ අර්බුදයන්හි දිග පළල හඳුනා ගැනීම සහ විසඳුමක් වෙනුවෙන් ඒ අර්බුදයන් ආමන්ත්‍රණය කිරීම අප විසින් ඉටු කළ යුතු පොදු අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා.

මේ අර්බුදයන් දෙකෙන් එකක් මගහැර අනෙක් කරුණ පමණක් ආමන්ත්‍රණය කිරීමෙන් මේ ගැටලු දෙකෙන් එකක් හෝ විසඳා ගන්නට ලැබෙන්නේ නැහැ, එය ඉතාමත්ම පැහැදිලි කරුණක්. රටේ දෙමළ ජනතාවට අඩන්තේට්ටම් කරනවා නම්, ඔවුන් රට තුළ නින්දාවට පත් කරනවා නම් සහ විශේෂයෙන්ම ඔවුන්ගේ පුද්ගලික සහ සාමූහික අයිතිවාසිකම් මුළුමනින්ම නොසලකා හරිනවා නම් ශ්‍රී ලංකාවට, එසේත් නැත්නම් රටේ බහුතර සිංහල ප්‍රජාවට කිසිම දිනෙක රට තුළ ස්ථාවර සහ ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරගන්නට ලැබෙන්නේ නැහැ. දෙමළ ජනතාවට සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට එදිරිව දශක ගණනාවක් තිස්සේ මුදා හැරුණු ප්‍රචණ්ඩත්වය සහ ඔවුන් පාගා දමන්නට අනුගමනය කළ කුරිරු සැලසුම් සියල්ලම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සෙමින් සෙමින් හානි කළා පමණක් නෙවෙයි, ඒ බව මෙතුවක් කාලයක් වසන් කරගෙනත් සිටියා. නමුත් අද වනවිට එය ප්‍රජාතන්ත්‍රවාදයටත් නීතියේ ආධිපත්‍යයටත් එරෙහිව මහා පරිමාණයෙන් තුවාල කරමින් සිටිනවා. රටේ නීතියේ ආධිපත්‍යයත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකමුත් යළි සුවපත් කර ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන ගමන ඇරඹිය හැක්කේ දෙමළ ජනයා විසින් නිරන්තරයෙන්ම ඉල්ලා සිටින, රටේ පුරවැසියන් ලෙස ජීවත් වීමේදිත් දේශපාලන බලය භුක්ති විඳීමේදීත් සාධාරණ හිමිකමක් සඳහා වූ ඉල්ලීම ඉටු කිරීමෙන්ම පමණයි.

කරුණු එසේ වුවත්, තමන් ඉදිරියේ ඇති අර්බුදයන් තව තවත් දරුණු කර ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථානුකූලවාදය සහ නීතිමය සමානාත්මතාව පිළිබඳ අතිශයින්ම සරල ප්‍රමිතීන් පවා නොසලකා හරිමින් ශ්‍රී ලංකාව යන මේ ගමන ගැන සිතා බලන විට අනෙක් පසින් මා හට නැගිය හැකි තර්කය වන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව කිසි දිනෙක තමන් වෙනුවෙන් යුක්තිය හෝ තමන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් හෝ සාධාරණ බලතල සමුච්චයක් හෝ දිනා ගැනීමට සමත් නොවනු ඇති බවයි. එබැවින් දෙමළ ජනතාව තම සාධාරණ අයිතිවාසිකම් සඳහා වන අරගලය ඉදිරියට ගෙන යා යුත්තේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සාධාරණ අයිතිවාසිකම් සඳහා වන අරගලය හා මුහු වෙමිනි.

ශ්‍රී ලංකාවේත් ඉන් පිටතත් සියල්ලෝම එක සේ බලාපොරොත්තු වූයේ යුද්ධයෙන් පසුව රජය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් පෝෂණය කර නගා සිටුවීමේ ගමන අරඹනු ඇති බවයි. අවාසනාවකට මෙන් දැන් බලන විට සිදුව ඇත්තේ එහි අනෙක් පැත්ත. යුද්ධය පැවති කාලය පුරාම එල්.ටී.ටී.ඊ.ය විනාශ කර දමනු වස් රජය විසින් දෙමළ ජනතාව වෙත එල්ල කර නඩත්තු කරමින් තිබූ ප්‍රජතන්ත්‍ර විරෝධී, බියකරු සහ විනාශකාරී යාන්ත්‍රණයේ මුවවිට දැන් සිංහල සහ මුස්ලිම් ජනතාව වෙත හැරවී ඇත.

පසුගිය කාලය පුරාම ප්‍රවෘත්ති ලෙස අප දුටුවේ මුළුමනින්ම දේශපාලන අවශ්‍යතාවන් මත අගවිනිසුරුවරියට එරෙහිව ක්‍රියාවට නංවා තිබූ දෝෂාභියෝගය පිළිබඳ තොරතුරුය. හොඳ සිංහල බෞද්ධයෙකු වශයෙන් පෙනී සිටි, එපමණක්ද නොව රජයේ අනිසි ගමන පිළිබඳ කවර හෝ හැඟීමක් නැති බවක් පෙන්වමින් සිටි අගවිනිසුරුවරියගේ නරක කාලය ඇරඹුනේ රාජපක්ෂලාගේ සැලසුම්වලට කුමක් සිදු වූවත් ඊට ද වඩා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර යැයි තීන්දුවක් දුන් තැන පටන්ය. පැහැදිලිවම සඳහන් කරනවා නම් ඇයගේ ගමනේ අවසානය සනිටුහන් වීම සිදු වූයේ සුභසාධනය සහ සංවර්ධනය විෂයෙහි පළාත් සභාවලට පවරා ඇති බලතල විශාල ප්‍රමාණයක් යළි පවරාගෙන, එකී බලතල අලුතෙන් ස්ථාපිත කිරීමට නියමිත රාජ්‍ය දෙපාර්තමේන්තුවක් යටතට ගෙන ඒමටත් ඒ හරහා මිලියන 600කට වඩා වැඩි රජයේ වත්කම් ජනාධිපතිවරයාගේ බාල සහෝදරයා වන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ යටතට පත්කිරීමත් සඳහා වූ පාර්ලිමේන්තුවේ වෑයමක් තාවකාලිකව වැළැක්වීමටත් ඇය ගත් තීරණයට පින් සිදු වන්නටය.

International Crisis Group ආයතනය විසින් පසුගිය දිනෙක නිකුත් කළ ප්‍රකාශයකින්ද පැහැදිලි කළ ආකාරයට අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කරලීමේ ක්‍රියාවලිය සහ ඒ ක්‍රියාවලියේදී අගවිනිසුරුවරියට නගා තිබූ චෝදනාවන්ට ඇය වරදකරු කරන්නට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කටයුතු කළ ආකාරය එවැනි අධිකරණ ක්‍රියාවලියක තිබිය යුතු මූලිකම හරයන් පවා පැහැදිලිවම උල්ලංඝනය කරන ලද අතර අවසානයේ එය විසින් නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාලකයන් තුළ ඇත්තේ කොතරම් නම් කුඩා සැලකිල්ලක්ද යන වග අන් කවරදාකටත් වඩා හොඳින් විද්‍යමාන කරන ලදී. ඒ නිසාවෙන්ම කැනේඩියානු සහ එක්සත් ජනපද රජයන් ද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ද පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයා ද තවත් බොහෝ දෙනෙක් ද මේ සමස්ත සිදුවීම් පෙළ පිළිබඳව එකහෙළා සිය නොසතුට ප්‍රකාශ කර සිටියෝය.

International Crisis Group හි අපගේ නිල ප්‍රකාශයේදී ද අප විසින් අවධාරණය කළ පරිදි “අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ක්‍රියාත්මක කළ ආකාරය යනු ඉදිරියේදී තමන් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් නොතකමින් සිය බලතල භුක්ති විඳින්නට බලාපොරොත්තු වන්නේ මෙපරිද්දෙන් යැයි කියන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත් කළ පණිවුඩයක් වැනිය. ඒ අර්ථයෙන් ගත් කළ දෝෂාභියෝගයේදී රජයේ හැසිරීම 2009 වසරේ යුද්ධයේ අවසාන අදියරේදී සිවිල් වැසියන් 40,000කට වඩා ඝාතනය කරමින් රජය ගෙන ගිය හමුදා ක්‍රියාන්විතයට ද බරපතළ ගණයේ යුද අපරාධ සිදු කළේ යැයි රජයට එල්ල වන කිසිම චෝදනාවක් සම්බන්ධයෙන් කවරම හෝ විමර්ශනයක් සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීමේ රජයේ හැසිරීමට ද පැහැදිලි ඌන පූරණයක් වන්නේය. සත්‍ය වශයෙන්ම අධිකරණයට ගැසූ මේ පහර මෙන්ම 2009 දී සිදු කළ යුද අපරාධ යන මේ දෙකම එකම කාසියක දෙපැත්ත මෙන් එකිනෙක හා සහසම්බන්ධ සිදුවීම්ය.”

තමන්ට එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඒවාට නිසි පිළියම් යෙදීමේ වගකීම තමන්ටම පවරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් නිරන්තරයෙන් කරන ඉල්ලීම සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ එවැනි සාධාරණ පරීක්ෂණයක් ඔවුන් විසින් කිසිදා නොකරනු ඇත යන්නයි. ඒ පිළිබඳ කිසිවෙකුට හෝ වැඩිමනත් සාක්ෂි අවශ්‍ය වූයේ නම් රට තුළ ඉතිරිව තිබූ අවසානම ස්වාධීන ආයතනය වූ ශ්‍රී ලංකා අධිකරණයට මේ එල්ල කළ පහරෙහි දරුණු බවම එහිලා ප්‍රමාණවත්ය∎

පරිවර්තනය – ප්‍රගීත් ලියනාරච්චි

මෙහි වීඩියෝව මෙතනින් බලන්න

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment