එල්.එල්.ආර්.සී. සහ ඒ.පී.ආර්.සී. නිර්දේශ ආරම්භය සඳහා හොඳ පදනමක්… ජාතීන් අතර විශ්වාසයක් නැත්නම් කිසිම විසඳුමක් සාර්ථක වෙන්නෙ නෑ- නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Jul 17th, 2012 | By | Category: ප්‍රතිසන්ධානය

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් සභා වාර්තාවේ නිර්දේශ පිළිබඳව ශ්‍රී ලාංකික සමාජය තුළ විශාල ආන්දෝලනයක් මතුව ඇත. පසුගිය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනාවෙන් ඉල්ලා සිටිනු ලැබුවේ එල්.එල්.ආර්.සී. වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි. මෑත කාලයේ මාධ්‍ය වාර්තා කරනු ලැබූවේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ඔහුගේ සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මියට එල්.එල්.ආර්.සී. වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කාලසටහනක් ඉදිරිපත් කරන ලද බවයි.
ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකරුවෙකු සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවෙකු වන නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා යංග් ඒෂියා ටෙලිවිෂන් හි ත්‍රිමාන වැඩසටහනේදී නාරද බක්මීවැව සමඟ එල්.එල්.ආර්.සී. වාර්තාවේ නිර්දේශ ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසුගිය දිනක කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මෙවර සමබිම සැකසේ. මෙම වැඩසටහන ජුනි 14 වන දා රාත්‍රී 7.25 ට ටී.එන්.එල්. නාළිකාව ඔස්සේ විකාශය විය. අන්තර්ජාලය ඔස්සේ මෙම වැඩසටහන නැරඹීමට www.samabima.com වෙත පිවිසෙන්න.

එල්.එල්.ආර්.සී. යෝජනාව එන්නේ රජයේ අවංක වුවමනාවක් ලෙසද නැත්නම් දරුස්මාන් වාර්තාවට එරෙහි යෝජනාවක් ලෙසද?
මගේ අදහස නම් මේක අවංකව පටන් ගත් දෙයක් නෙවෙයි. ඒ ඒ තත්ත්වයන්ට මුහුණ දෙන්න ගත්ත ක්‍රියාමාර්ගයක්. යුද්ධය අවසන් වීමත් එක්කම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලංකාවට ඇවිත් ජනාධිපතිතුමා සමඟ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා. යුද්ධය අවසානයේදී මානව හිමිකම් නීතිය සහ මානවවාදී නීතිය යන ජාත්‍යන්තර නීති දෙක උල්ලංඝනය වීමක් වුණාද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න අවශ්‍ය බව එහි කියනවා. නමුත් ඉන් එහාට මුකුත් වෙන්නෙ නැති නිසා බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් එහෙම නැත්නම් දරුස්මාන් කමිටුව පත් කරනවා එයාට උපදෙස් දෙන්න. මෙන්න මේකට ප්‍රතිචාරයක් වශයෙන් තමයි ‛අපිට ඒ ජාත්‍යන්තර කමිටුව වැඩක් නෑ. ඒකට අයිතියකුත් නෑ එහෙම කරන්න. අපි දේශීය වශයෙන් මේ ගැන හොයා බලනවා’ කියන අදහසින් ආණ්ඩුව එල්.එල්.ආර්.සී. හෙවත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත් කරන්නෙ.

උගත් පාඩම් කොමිසම හරහා අනාගතය ගොඩනඟා ගැනීම පිළිබඳව විවිධ යෝජනා සහ බලය බෙදා හැරීම වගේ දේශපාලන යෝජනාත් ඉදිරිපත් වෙලා තියෙනවා. මෙය කොතරම් පුළුල් යෝජනාවලියක්ද?
මේ රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියන එක දිගින් දිගටම සාකච්ඡා වුණ දෙයක්. සෑම ආණ්ඩුවක්ම මේ ගැන යම් යම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙම දිගුවක් තමයි මේක. මේ වාර්තාවෙන් කියන්නේ අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා ඒකට විසඳුමක් අවශ්‍යයි කියන අදහසම තමයි. මේ කොමිසමට ආණ්ඩුව විසින් පත් කරලා තියෙන්නෙ හිටපු නීතිපතිතුමා, විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පලිහක්කාර මහත්මයා, විදේශ අමාත්‍යාංශයේ උපදේශක රොහාන් පෙරේරා මහත්මයා ඇතුළු යම්කිසි විශ්වාසවන්ත කට්ටියක්. මෙහි කොටස් තුනක් තියෙනවා. පළමු වැන්න වගවීම පිළිබඳ ප්‍රශ්නය. ඒ කියන්නෙ යමක් වුණා නම් ඒකට වග කියන්න ඕන කවුද කියලා සොයා ගන්න ඕන. දෙවෙනි කරුණ දේශපාලන ප්‍රතිසංස්කරණ. ඒ කියන්නේ නීතියේ ආධිපත්‍යය පිහිටුවලා රටේ ස්වාධීන ආයතන යළි පිහිටුවීම සඳහා ඇති අවශ්‍යතාවය. තුන්වැනි කරුණ බලය බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නය. ඒ කියන්නෙ රටේ දෙමළ කථා කරන ජනතාවට දේශපාලන නියෝජනයක් නැහැ, ඒ අයට තමන්ගේ පලාත්වල පාලනය කරගෙන යෑම සඳහා දේශපාලන නියෝජනයක් ලබාදිය යුතුයි කියන අදහසයි. මේ කරුණු තුනම සමස්තයක් වශයෙන් ගත්තම ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක වෙලා නැහැ. වාර්තාවේ නමවෙනි පරිච්ඡේදය පමණක් සිංහලෙන් පරිවර්තනය කරලා රජය විසින් නිකුත් කළා. අඩුම වශයෙන් මේ වාර්තාවේ තියෙන්නෙ මොනවද කියලවත් සිංහල හා දෙමළ භාෂාවෙන් පරිවර්තනය කරලා රටේ බහුතර ජනතාව එක්ක සංවාදයක් ඇති කරන්න ක්‍රියා කරලා නැති තත්ත්වයක් යටතේ මෙය ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්.

2011 නොවැම්බර් මාසයේ තමයි මේ වාර්තාව එළි දක්වන්නෙ. ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසි වාරයේදී යෝජනාවක් ඉදිරිපත් වෙනවා අපේ රටට සම්බන්ධව. මොකක්ද එතනදි සිද්ධ වුණේ? ඇයි මෙච්චර ඉක්මනට යෝජනාව ගේන්නේ?
උගත් පාඩම් කොමිසම් වාර්තාව නිකුත් කරන්න කලින් ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ කළා ‛යුද අපරාධ ගැන ජාත්‍යන්තරයට සොයා බලන්න අයිතියක් නෑ, අපි අපේ රට තුළම විසඳුමක් සොයනවා, එයට කොමිසමක් පත් කරල තියෙනවා’ කියලා. කොමිසම වාර්තාව එළි දැක්වුවාට පස්සෙ ජාත්‍යන්තර ප්‍රජාවෙ බලවත් රටවල් කිව්වා ‛බොහොම හොඳයි වාර්තාව ආපු එක. ප්‍රසිද්ධ කරපු එක තවත් හොඳයි. ඒකෙ තියෙන නිර්දේශ පිළිගන්නවා කියලා පාර්ලිමේන්තුවේ සභා නායකතුමාත් කියලා තියෙනවා. දැන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කාල රාමුවක් ඉදිරිපත් කරන්න. ඒක නැති එක ගැන අපි කණගාටුවෙනවා. ඒ නිසා අපි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගේනවා’ කියලා. මේක ඇමරිකාව විසින් තමයි ඉදිරියට ගත්තෙ. රොබට් ඕ බ්ලේක් සහ මාරියෝ ඔටේරෝ කියන ඔවුන්ගේ නියෝජිතයෝ දෙන්නෙක් ලංකාවට ඇවිල්ලා ජනාධිපතිතුමත් හමුවෙලා මාධ්‍ය සාකච්ඡාවකුත් තියලා කිව්වා ‛අපි යෝජනාවක් ගේනවා’ කියලා.

එක පැත්තකින් ලංකාවෙ ආණ්ඩුව මේක කරන්නෙ නැහැ, ඒ නිසා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියන ඉල්ලීම තියෙනවා. එක්කො ඇමරිකාව ජත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියන අදහසට එකතුවෙලා ඒ පැත්තට යන්න ඕන. එහෙම නැත්නම් මේක දැක්කෙ නෑ වගේ ඉන්න ඕන. මෙතනදී ‛අපි තුන්වෙනි මාර්ගය තෝරා ගන්නවා, ලංකාවේ ආණ්ඩුව දාපු කොමිසමට මේක කරන්න පුළුවන්, ඒ නිසා ඒ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලීමක් කරනවා’ කියලා ඒගොල්ලො කිව්වා. ඡන්දෙදි රටවල් 25ක් ඡන්දෙ දුන්නෙ යෝජනාවට පක්ෂවයි. ඉතින් මේ යෝජනාව වැඩි ඡන්දෙන් සම්මත වුණා. විරුද්ධ වෙච්ච කට්ටියත් ඡන්දෙ දීමෙන් වැළකී හිටිය කට්ටියත් කිව්වෙ මේක ක්‍රියාත්මක කරන්න ඕන නමුත් ඒ සඳහා ආණ්ඩුවට කල් දෙන්න කියලා. ඉතිං මේකෙ පොදු මතය මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලයි. මං හිතන්නෙ ආණ්ඩුව විසින් දාපු කොමිසන් එකේ නිර්දේශ අතරින් ක්‍රියාත්මක කරන්නේ මොනවාද නොකරන්නේ මොනවාද කියලා ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුයි.

ඔබ කියන්නේ ඒ මොහොතේ ඒ යෝජනාවත් එක්ක ආණ්ඩුවත් එකතු වෙලා මෙන්න අපේ දේ කියලා ඉදිරිපත් කළා නම් මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියල ද?
ඔව්, මං හිතන්නේ එහෙම වුණා නම් ජාත්‍යන්තර වශයෙන් මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් මං හිතන විදියට ආණ්ඩුව කල්පනා කළේ වෙන ආකාරයකට. ලංකාවේ හැමදාම ජාතික ප්‍රශ්නය කියන එක හැමෝම පන්දුවක් විදියට සෙල්ලම් කරනවානෙ. මොකද කිසිම ආණ්ඩුවක් මේ ප්‍රශ්නය විසඳන්නේ නෑ. අපි තමයි මේ රාජ්‍යය රැක ගන්නෙ කියලා පෙනී සිටිනවා. යම් අවස්ථාවක දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර බලපෑම් නිසා හෝ මේක විසඳන්න අඩිය තියපු ගමන්ම විපක්ෂයේ ඉන්න සමහර බලවේග විශේෂයෙන්ම ජාතිවාදී බලවේග කියනවා ‛ඔන්න මේ ආණ්ඩුව රට පාවා දෙන්න යනවා’ කියලා. ඒ නිසා වීදියට බැහැලා හෝ උසාවි ගිහිල්ලා හෝ මොනයම් ආකාරයකින් හෝ ආණ්ඩුවේ සුජාතභාවය අහිමි කරනවා.
ආණ්ඩුව මෙතනදී කළේ ජාත්‍යන්තර වශයෙන් නරක නාමයක් ඇතිවුණාට කමක් නැහැ දේශීය වශයෙන් බලය රැක ගන්න අවශ්‍යයි; වෙන කාටවත් මේ සටන් පාඨය ගන්න දෙන්නෙ නෑ. අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය අපිම තියාගන්නවා කියල දේශීය වශයෙන් අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය ගෙන ආ එකයි. ඒකට මෙහේ කැම්පේන් එකක් කළා. ජිනීවා වලත් ඒ කැම්පේ්න් එකම අරන් ගියා. අන්තිමට පැරදුණා. දැන් ඇමරිකාවට ගිහිල්ලා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කළා කියල කියනවා.

හිලරි ක්ලින්ටන් හම්බවෙලා…..
හිලරි ක්ලින්ටන් හමුවුණා. ක්ලින්ටන් කිව්වා ‛හොඳම හොඳ යෝජනාවක් මේක. දැන් ඉතිං ක්‍රියාත්මක කරන්න. ජනතාවට මේක ගැන කියන්න’ කියල.

ඔබ කියන්නේ වක්‍රාකාරයෙන් ආණ්ඩුවත් මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කැමතියි කියන එකද?
කිසිම ආණ්ඩුවක් තමන් අතේ තියෙන බලය අතහරින්න කැමති නෑ. මේ යෝජනාවලින් කරල තියෙන්නෙ විධායකය විසින් සංකේන්ද්‍රණය කරල තියෙන බලය ටිකක් බුරුල් කරන්න කියන එකනෙ. එතකොට විධායකය කැමැත්තෙන් නම් බලය අත අරින්නෙ නෑ. නමුත් විධායකයට පෙනී ගියොත් විශාල බලපෑමක් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එනවා, මින් එහාට යන්න බෑ කියලා අන්න එතකොට ඒ ගොල්ලෝ ක්‍රමානුකූලව මේ බලය බුරුල් කරන්න කැමති වෙනවා. දැන් 17 වැනි සංශෝධනය ආවෙ එහෙමනෙ. තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් අන්තිමට විධායක ජනාධිපතිනිය එකඟ වුණා 17 වැනි සංශෝධනය මගින් තමන්ගේ බලය කප්පාදු කරගන්න. ඉතිං එවැනි තත්ත්වයක් ආවම තමයි මේක වෙන්නෙ. ආණ්ඩුවට තේරෙනවා ජාතික වශයෙන් කොහොමවුණත් ජාත්‍යන්තර වශයෙන් තියෙන බලපෑම නිසා ඉස්සරහට යන්න නම් යම් යම් වෙනස්කම් කරන්න ඕන කියලා. ඉතිං ඒ අනුව මේක ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කැමතියි කියලා මට හිතන්න පුලුවන්. හැබැයි එක පැත්තකින් ඒක ප්‍රසිද්ධියේ කීම තුළ දේශපාලන වශයෙන් අවාසියක් වෙයි කියල ඔවුන්ට බයක් තියෙනවා. ඉතිං ඒකට නිර්භීතභාවයක් අවශ්‍යයි. ඒ වගේම නායකත්වය ගන්න ඕන. ඒ කියන්නෙ සරලව කිව්වොතින් එල්.එල්.ආර්.සී. යෝජනාව මහජනයා අතරේ සාකච්ඡාවට ලක් කරන්න ඕන. මේක හංගන් ඉඳලා හරියන්නේ නෑ. නමුත් ඔවුන් ඒක කරන්නෙ නෑ. ඒක කරන්න බයයි. ඒත් අපි බය නැති නිසා අපි මේක මහජනයා අතරේ සාකච්ඡාවට ගන්නවා.

එල්.එල්.ආර්.සී. වාර්තාව ගැන හිලරි ක්ලින්ටන් සමඟ යම්කිසි එකඟතාවකට ආවා කියල යම් යම් ප්‍රකාශ වලින් අපිට හිතන්න පුළුවන්. එයට විපක්ෂය පැත්තෙන් සහයෝගය දෙනවා. ඒත් එක්කම දෙමළ ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂත් මෙයට සහය දෙනවා. එල්.එල්.ආර්.සී. වාර්තාව ක්‍රියාත්මක කරවීම හරහා අපේ රටේ ජාතික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලැබෙනවාද?
මම හිතන්නේ මේක ආරම්භක පියවරක්. මේක නීිතියෙන්, ව්‍යවස්ථාවෙන් විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අන්තිම වශයෙන් ගත්තම මේ මනුෂ්‍යයන්ගේ ආත්මීය ප්‍රශ්නයක්. සිංහල දෙමළ ජාතීන් අතරේ විශ්වාසය පළුදු වෙලා තියෙන්නේ. සිංහල අය බයයි දෙමළ අය මේ බලය අරගෙන ගිහිල්ලා රට කඩා ගනියි කියල. දෙමළ අය බයයි මේ දෙන බලය බොරුවට දීලා ආයෙමත් තමන් පරණ තත්ත්වයටම පත්වෙයි කියලා. ඉතිං දිගටම ඉතිහාස කතාව මේකයි. මං කියන්නෙ මේක ආරම්භක පදනම. නමුත් මෙතනින් පටන්ගෙන විශ්වාසය තහවුරු කරන්න පුලුවන් දෙපැත්තටම. දැන් සම්බන්දන් මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා යාපනේ මැයි දිනය තියලා සිංහ කොඩිය ඉස්සුවා. ඉතිං මං හිතන්නේ ඒක එක ආරම්භයක්. හැබැයි සිංහ කොඩිය ඉස්සුවට අපි හිතන්න හොඳ නෑ සම්බන්දන් මහත්මයා තමන්ගේ දේශපාලන ඉල්ලීම් ඔක්කොම පැත්තකින් තියලා මේ තියෙන තත්ත්වය එහෙමම බාරගනී කියලා. ඒ දේශපාලන ඉල්ලීම්වලට පදනමක් තියෙනවා. ඒක තමයි ඔහු ඔහුගේ සම්මේලනයේදි කිව්වේ. අපි හිතමු සම්මේලනයේදී සම්බන්දන් මහත්මයා කිව්වා කියලා ‛අපි කැමති විදිහටම දැන් මේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා ඉවරයි, දැන් ඔක්කොම පාරවල් කාපට් කරල තියෙන්නේ, ඒ නිසා දැන් අපිට දේශපාලන විසඳුමක් අවශ්‍ය නෑ’ කියලා. කිව්වදාට පහුවෙනිදා සම්බන්දන් මහත්මයා විසිවෙලා ගිහිල්ලා අපිට ඊටත් වඩා ගනුදෙනු කරන්න බැරි නායකයෙක් හැදෙනවා. අපි බලන්න ඕන දැන් අපට ගනුදෙනු කරන්න පුළුවන් නායකයෙක් දෙමළ ජනතාව අතරින් ඇවිල්ලා ඉන්නවා. එයාට පිළිගැනීමක් තියෙනවා. එයාට තමන්ගේ ප්‍රජාව තුළ තියෙන විශ්වාසය තහවුරු කරන්න අපි උදව් කරන්න ඕන. නැත්නම් හැමදාම වුණා වගේ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය විනාශ වුණාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන නායකයෙක් ඉස්සරහට එනවා. මම හිතන්නේ ඒ අතින් ගත්තම මේක පදනමක්. අපි මේක අවංකව ක්‍රියාත්මක කළොත් දෙමළ මිනිස්සුන්ට පේන්න පටන් ගන්නවා මේක සාර්ථක වෙනවා කියල. පලාත් සභා අසාර්ථක වුණේ එක අතකින් දීපු බලය අනිත් අතින් ආපහු ගත්ත නිසයි. ඉතිං ඒක හරිම ඛේදවාචකයක්.

අපි දන්නවා රටේ එක් පසෙක යම් යම් බලවේග මේකට විරුද්ධව බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම රජයේ ඇතුළෙ ඉන්න කණ්ඩායම් පවා බොහොම විරුද්ධව ක්‍රියාත්මක වෙන ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ වගේම තව පැත්තකින් දෙමළ ප්‍රජාව නියෝජනය කරන සමහර නියෝජිතයිනුත් මෙය මදි, මෙතනින් එහා යා යුතුයි කියා අරගල කරනවා. ආණ්ඩුවටත් දෙමළ ප්‍රජාව නියෝජනය කරන පක්ෂවලටත් යම්කිසි එකඟතාවකට එන්න බැරිද?
ඒක ඇත්ත. සාමාන්‍යයෙන් මිනිස්සු කියනවා ‛දෙමළ මිනිස්සුයි සිංහල මිනිස්සුයි යාළුවෙලා ඉන්නවා, මේ දේශපාලන ක්‍රමයේ තමා ප්‍රශ්නෙ තියෙන්නේ’ කියලා. ඒත් අපි කියනවා, නෑ සිංහල දෙමළ මිනිස්සු යාළුකමෙන් ඉන්නවා දේශපාලනය ගැන කතා කරන්නෙ නැතිතාක් නමුත් දේශපාලනය කතා කරන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙනවා. දෙමළ ප්‍රජාව කිව්වොත් ‛අපිව ඇතුළත් කරගන්න රටේ පාලනයට’ කියලා. එතකොට ඔන්න සිංහල ප්‍රජාව කියනවා ‛මේ දැන් හදපු එක තමයි තියෙන්නේ, ඊට වඩා දෙයක් දෙන්න බෑ’ කියලා. ඉතිං මේක අතරනෙ ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒකයි මං හිතන්නෙ එකඟතාවකට එන්න පදනමක් හදාගැනීම අවශ්‍යයි කියලා. ඒ පදනම හැදීමේදී හැමෝටම සැකයි. ඒ නිසා කට්ටියක් මෙහෙන් දෙන්න බයයි. එතකොට එහෙන් කියනවා මදි කියලා. මෙතනදි යම් පොදු ක්‍රියාවලියක් අවශ්‍යයයි.

පසුගිය ආණ්ඩුව විසින් පත් කරල අවුරුදු 4 ක් තිස්සේ රැස් වුණ සර්වපාක්ෂික සමුළුව විසින් පත් කරපු APRC  එහෙම නැත්නම් සර්වපාක්ෂික නියෝජිත කමිටුව තුළ පොදු එකඟතාවක් දැනට තියෙනවා. ඒකෙ සිංහල පක්ෂ දෙමළ පක්ෂ ඔක්කොම වගේ එකතුවෙලා එකඟ වෙච්ච වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාව ජනාධිපතිවරයාට බාරදීල තියෙනවා. ඒත් ඒක තාම එළිදක්වලා නෑ. මං හිතන්නෙ ඒක සාකච්ඡා පටන් ගන්න පදනමක් වෙනවා. පසුගිය කාලෙ පුද්ගලිකව ඒ ලියවිල්ල නිසාම් කාරියප්පර් හා ආර්. යෝගරාජන් කියන මන්ත්‍රීවරු විසින් එළිදැක්වුවා . ඒකට සම්බන්ධ වුණේ නැත්තෙ දෙමළ ජාතික සන්ධානයයි එක්සත් ජාතික පක්ෂයයි විතරයි. නමුත් දෙමළ ජාතික සන්ධානයයි එක්සත් ජාතික පක්ෂයයි බලය බෙදන්න එකඟයි. එතකොට එකඟ නැති කට්ටිය ඔක්කොම මේකෙ ඉඳල තියෙනවා. එතකොට මේක පදනමක් වෙනවා. මං හිතන්නෙ ඒ වගේ තැනකින් පටන් ගත්තොත් හරි මේක.

ඒ වාර්තාවයි llRC නිර්දේශ ක්‍රියාත්මක කරවීමයි හරහා ජාතීන් දෙක අතර ඇතිවෙලා තියෙන විරසකභාවය, එහෙම නැත්නම් හිත හොඳකම් අඩුවෙයිද? ඒ වගේම අපිට අපි හැමදාම ඉතිහාසයේ දේශපාලන කතාව කිව්වොත්, මේ ජාතික රාජ්‍යය බිහි කර ගැනීමට බැරිවීමේ කාරණාව, ශ්‍රී ලාංකේය ජාතික. ඒ දේවල් බිහිකරගන්නට පදනමක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?
මං හිතනවා පුළුවන් කියලා. කොටස් 4ක් මෙහිදී සලකන්න ඕන. ඒ සැලකීමේ අරමුණ එක රටක් වශයෙන් එක ජාතියක් වශයෙන් අපිට ඉස්සරහට යන්න අවස්ථාව හැදීමයි. ලෝකෙ තරගකාරීව අපි ඉස්සරහට යන්න ඕන කාලයක් මේ. අනික් රටවල් අපි පහුකරගෙන ඉස්සරහට යනවා. එතකොට අපේ තරගය තියෙන්න ඕන වෙන රටවල් එක්ක. ඒත් අපි තරග කරන්නෙ අපේම රටේ ඉන්න ජන කොටස් අතරයි. හැරිල බලනකොට අපි පහුකරගෙන අනිත් රටවල් ඉස්සරහට ගිහින්. ගෝලීය තත්ත්වයක් යටතේ අපේ අවස්ථාවන් අපිට අහිමි වෙනවා. LLRC  වාර්තාව මගින් විශේෂයෙන්ම රටේ ආයතන පද්ධතිය නැවත සකස් විය යුතු ආකාරය ගැන, ස්වාධීන ආයතන බිහි කිරීම ගැන කතා කරනවා. දෙවනුව දේශපාලන විසඳුම ගැන බොහෝ දේවල් ්ඡඍක්‍ වාර්තාවෙ තියෙනවා . තුන්වෙනුව මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා ආණ්ඩුව විසින් පිළිගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරලා තියෙනවා ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක්. ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. හතරවෙනුව මේ වාර්තාවෙන් ආවරණය නොවුණ වගවීම සම්බන්ධ ප්‍රශ්නය ආවරණය කිරීම සඳහා යම්කිසි පියවර ගන්න ඕන. අපි හිතනවා සිවිල් සමාජ සංවිධානයක් වශයෙන් වගවීම සම්බන්ධ ප්‍රශ්නය මෙහි ප්‍රමාණවත් පරිදි ආවරණය වෙලා නැහැ කියල. ඒක ජිනීවා යෝජනාවෙත් කියනවා. ඒ සඳහා දකුණු අප්‍රිකාවෙ කළා වගේ අපිට පුළුවන් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කරලා ඇත්ත වශයෙන්ම මොකක්ද වුණේ ඉතිහාසයේ කියලා සොයන්න. මොකද සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම දුක්බර කතාවක් තියෙනවා කියන්න. මේ වෙච්ච දේ කාපට් දාල වහන්න බෑ. වුණේ මොකක්ද කියල අපි විවෘතව කතා කරල අවසානෙකට එන්න ඕන. ඉන් පස්සෙයි අපිට අලුතෙන් එක ජාතියක් වශයෙන් ඉස්සරහට යමු කියන එක කරන්න පුළුවන්. මං හිතන්නේ ඒ කාරණා හතර ඉෂ්ට කරන්න අපි පටන් ගන්න ඕන. ඒ සඳහා මහජනයා අතර සාකච්ඡාවක් ඇති කරන්න ඕන. ඉස්සෙල්ලම ප්‍රශ්නයක් තියෙන බව පිළිගන්න ඕන. ඊට පස්සෙ පුළුවන් මේක විසඳන්න.

Recent Posts

Tags: , ,

Leave a Comment