මේ ආණ්ඩුව අපේ යෝජනා ගණන් ගන්නෙ නෑ- කුමුදිනී සැමුවෙල්

Aug 17th, 2013 | By | Category: LEAD NEWS, ඇන්ටිගනී, කාන්තා, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය, සංවාද

ඉස්සර අපි දේශපාලනික වැඩ කළා, අපි පාරට බැහැලා උද්ඝෝෂණ මට්ටමින් තමයි වැඩ කළේ. රජයත් එක්ක කිසිම මට්ටමකින් සම්බන්ධ වුනේ නැහැ. පාරට බැහැලා ‘දියව්,දියව්’ කියලා කියන එක තමයි කළේ. පස්සෙ කාලෙක අපි හිතුවා අපි සහ ඔවුන් (රජය ) අතරේ ලොකු පරතරයක් තියාගෙන වැඩ කරනකොට ඔවුන් අපි කියන දේ අහන්නෙත් නැහැ, අපි ඔවුන් කියන දේ අහන්නෙත් නැහැ කියලා. ඊළගට අපි බැලූවා අපේ ජීවිතවලට බලපාන ප‍්‍රතිපත්ති, නීති වගේ දේවල් සංශෝධනය කරන්න ඕන නම්,ප‍්‍රතිපත්ති හදන්න දායක වෙන්න ඕන නම් එතකොට අර ඔවුන් එක්ක සම්බනධතා පවත්වාගෙන යන්න ඕන කියලා. ඊළඟට අපි ඒක කරන්න පුළුවන් කොහොමද කියලා බැලූවා.

දැන් මට හිතෙනවා ඒක ආපහු දැන් කරන්න බැහැ කියලා. ඒක කරන්න දේශපාලන අවකාශයක් නැහැයි කියලයි මම හිතන්නේ.

කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ අධ්‍යක්ෂිකා කුමුදිනී සැමුවෙල් මෙසේ කියන්නේ රාවය සමග පළවන ‘සමබිම’ ඇන්ටිගනී අතිරේකය වෙනුවෙන් මනෝරි කලුගම්පිටිය ඇය සමග කරන ලද සාකච්ඡාවකදී. මෙම සාකච්ඡාව 2013 අගෝස්තු 18 දින රාවය පුවත්පතේ පළවුණා.

ලංකාවේ කාන්තා දේශපාලනයේ මුල් අවදිය උද්ඝෝෂන ව්‍යාපාරයක්. 1994න් පසු ඇරැඹෙන දෙවන අවදිය එක්ව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කාන්තාවන්ගේ තත්ත්වය සහ කොන්දේසි ඉහළ මට්ටමකට ගෙන එමින් ‘ස්ත්‍රීන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස් කොට සැලකීම් තුරන් කිරීම’ සඳහා රාජ්‍යය සමග එක්ව වැඩකරන සහයෝගිතා දේශපාලනයක ආරම්භය ලෙස හඳුන්වන්නට පුළුවන්.

නමුත් 2004දී එක්සත් ජනතා නිදහස් සංධානය නමැති මහ ජාතිවාදී ආණ්ඩුව බලයට පත්වීමත් සමගම කාන්තා අයිතිවාසිකම් පිළිබඳව වැඩකරන සිවිල් සමාජ කණ්ඩායම් සහ රාජ්‍යය අතර පැවතුණු මධු සමයේ අවසානයේ ආරම්භය ඇරඹුනත්, තවදුරටත් රාජ්‍යය සමග එක්ව ප්‍රතිසංස්කරණ ඇතිකරගැනීමේ විභවයක් නොපවතින බව තේරුම් ගැනීමට තවත් දශකයක පමන කාලයක් ගතවුණා.

දැන් එළැඹ තිබෙන්නේ එහි තුන්වන අවදියයි. එනම් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ අනෙකුත් සිවිල් සමාජ සංවිධාන සමග එක්ව ජාතිවාදීහරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි අත්පත් කර ගැනීම සඳහා වූ ව්‍යාපාරයක් තුළ ස්ත්‍රී අයිතිවාසිකම් සඳහා වන අරගලය ස්ථානගත කිරීමයි. 2009 දී අසීරු තත්ත්වයන් යටතේ ‘නිදහසේ වේදිකාව’ විසින් කරන ලද පුරෝගාමී වැඩ කොටස හේතුවෙන් මේ වන විට එම තුන්වන අවදිය සඳහා ඉඩ හසර විවෘත වී ඇති බව ‘සමබිමේ’ විශ්වාසයයි.

විපක්ෂ නායකවරයා විසින් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කරන ලද ‘ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසන් සභාව’ සඳහා කාන්තා සංවිධාන නායිකාවන් කටයුතු කිරීම එවන් ප්‍රයත්නයක ආරම්භය සනිටුහන් කරනවා.

කුමුදිනී සැමුවෙල් සමග කළ කථා බහ අඩංගු සම්පූර්ණ සාකච්ඡාව පහතින් කියවමු.

 

කාන්තා සංවිධානයක් වශයෙන් කාන්තාවන්ට බලපාන ප්‍රශ්නවලදී වගේම රටේ පොදු ප්‍රශ්නවලදීත් අතීතයේදී ඒ සඳහා දේශපාලන බලපෑම් මෙන්ම නීතිමය සංශෝධන ගෙන එන්න උත්සුක වූ කාන්තාවක් හැටියට ඔබ දන්නවා මේ තැන්වල වැඩිපුරම ඉන්නෙ පිරිමි අය. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන සංස්ථාව පුරුෂ මූලිකයි. ඉල්ලීම් දිනාගැනීම පිණිස මේ අය සමඟ කරන ගනුදෙනුවේදී එයාලගෙ තීරණවලට කාන්තාවෝ හැටියට බලපෑම් කළේ සහ ඔවුන් අතරින් කාන්තාව පිළිබඳ කාරණාවට අවධානය ලබා ගත්තේ කොහොමද?
එතනදී අපේ උපාය මාර්ග වෙනස් වෙනවා. මම අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩ කරනකොට මට ආණ්ඩුවේ වගේම සිවිල් සමාජයේ විවිධ කමිටුවල වාඩි වෙන්න වෙනවා. එතකොට නිකන්ම ගිහිල්ලා මීටින් එකක ඉඳගන්නවාට වඩා ඒවගේ කමිටුවලට යනකොට පිරිමින් එක්ක වඩා කිට්ටුවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. හුඟක් වෙලාවට අපි බලන්නේ අපේ අනන්‍යතාව තියාගෙන එතැනට ගිහිල්ලා බලපෑම් කරන්නයි. අපි ඔවුන්ට අනුගත වෙන්නෙ නැහැ. උදාහරණයක් ලෙස සාම ක්‍රියාවලිය කාලෙ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ අනු කමිටුවට සහභාගී වෙන්න කියල කිව්වා. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවලින් 4 දෙනෙක් හිටියා මට මතක විදියට. අපි කිව්වා, අපි සම්පූර්ණයෙන්ම ස්වායත්තයි, ඔයාලා දෙන රාමුව ඇතුළේ අපි වැඩ කරන්නම්, නමුත් අපි සාකච්ඡා කරනකොට අපිට කිසිම බලපෑමක් නැතිව නිර්දේශ ඉදිරිපත් කරන්නත් අවස්ථාව සහ අයිතිය දෙන්න ඕන, නැතිනම් අපි කමිටුවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. වර්තමාන ආණ්ඩුව යටතේ තවත් වතාවක් කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් ක්‍රියාකාරී සැලැස්මක් හදනකොට එයාලා ඒක එක එක තේමාවලට බෙදලා අපෙන් ඇහුවා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. අපි එතකොට ඇහුවා කවුද ඒ කමිටුවල ඉන්නේ කියලා. අපි බැලුවා ඒ අය එක්ක අපිට වැඩ කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සෙ හොඳ සැලසුමක් හැදුවා. හැබැයි ඒ සැලසුම අද කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙන්නේ නැහැ. අවාසනාවකට ආණ්ඩුව එක්ක වැඩ කරනකොට එක්තරා දුරක් වෙනකන් වැඩකරන්න පුළුවන්. නමුත් එතැනින් එහාට අපිට ඒ ගැන බලපෑම් කරන්න බැහැ. මම හිතන්නේ ඒ සැලසුම සැර වැඩියි. ආණ්ඩුව ඒක පොඩ්ඩක් පැත්තකට දාලා තියෙන්නේ. නමුත් අපි ඒ වගේ සැලසුමක් හදන තැනට දායක වුණේ අපේ ස්වාධීනතාව ආරක්ෂා කරගෙනයි. ක්‍රියාකාරී සැලැස්ම හදනකොට අපි සිවිල් සමාජයේ ගොඩක් අය එක්ක කතා කරල ඇහුවා, අපිට මේ විදියේ ආරාධනයක් ලැබිලා තියෙනවා, මේකට යනවාද කියලා. ගොඩක් අය එකතු වෙලා, කතා කරලා තමයි තීරණය කළේ හරි මේ කොන්දේසි උඩ අපි යමු කියලා. අපි එහෙම සංවාදයකුත් කරනවා.

ආණ්ඩුවත් එක්ක කරන වැඩ එක තැනකින් එහාට යන්නෙ නැත්තේ එතැන වඩා බලසම්පන්න ඔවුන් වන නිසාත්, ගොඩක් අය පිරිමි නිසාත් ඒ අයගේ බලපෑම හේතුවෙන්ද?
නැහැ, ඒක දේශපාලනික බලපෑමක්. පාලන වුවමනාව එක්ක ආපු දෙයක්.

රටේ පොදු ප්‍රශ්න සහ විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ අතීතයේ කළ දේශපාලනික බලපෑම තාමත් ඒ ලෙසින්ම සිදුවෙනවද?
අපි දේශපාලනික වැඩ කළා, අපි පාරට බැහැලා උද්ඝෝෂණ මට්ටමින් තමයි වැඩ කළේ. රජයත් එක්ක සම්බන්ධ වුනේ නැහැ කිසිම මට්ටමකින්. පාරට බැහැලා දියව් දියව් කියලා කියන එක තමයි කළේ. පස්සෙ කාලෙක අපි හිතුවා අපි සහ ඔවුන් අතරේ ලොකු පරතරයක් තියාගෙන වැඩ කරනකොට ඒගොල්ලො අපි කියන දේ අහන්නෙත් නැහැ, අපි ඒ අය කියන දේ අහන්නෙත් නැහැ කියලා. ඊළඟට අපි බැලුවා අපේ ජීවිතවලට බලපාන ප්‍රතිපත්ති, නීති වගේ දේවල් සංශෝධනය කරන්න ඕන නම්, ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න ඕන නම් එතකොට අර අය එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න ඕන කියලා.
ඊළඟට අපි ඒක කරන්න පුළුවන් කොහොමද කියලා බැලුවා. දැන් මට හිතෙනවා ඒක ආපහු දැන් කරන්න බැහැ කියලා. ඒක කරන්න දේශපාලන අවකාශයක් නැහැයි කියලයි මම හිතන්නේ. ඊයේ පෙරේදා අපි සම්බන්ධ වුණා පාර්ලිමේන්තුවේ Women focus එකේ තිබුණු හමුවකට. ඒකට අගමැතිවරයාගේ සිට කථානායකවරයා සහ බැසිල් රාජපක්ෂ පවා සම්බන්ධ වුණා. සාමාන්‍යයෙන් බැසිල් රාජපක්ෂ වගේ අය ඔය වගේ සංවාදවලට එන්නෙ නැහැ. ඉහළම තැනේ ඉඳන් සහභාගී වුණ රැස්වීමක් ඒක. අපි ගොඩක් කතා බහ කළා. කාන්තාවන් තමයි 80%ක් පමණ හිටියේ. හැම ප්‍රාදේශීය සභාවකින්ම, පළාත් පාලන ආයතනයකින්ම සහ රාජ්‍ය සේවයේ පවා කාන්තාවන් හිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් හිටියා. මම හිතුවා ඒ රැස්වීම සාර්ථක රැස්වීමක් වුණා කියලා. හැබැයි පිරිමි අය පොඩ්ඩක් සෘණ ආකල්ප තියාගෙන කතා කළා. කාන්තාවන් ඒ වගේ අදහස්වලට අභියෝග කළා. නමුත් ඊළඟ දවසේ රෝසි සේනානායකයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙයි ගෙනාපු නීති කෙටුම්පත් සංශෝධනය දිනේෂ් ගුණවර්ධන නැගිටලා රීති ප්‍රශ්නයක් මත ප්‍රත්ක්ෂේප කළා. හැබැයි කලින් දවසේ ඇවිල්ලා දිනේෂ් පම්පෝරි ගැහුවා.
ඒ Women focus  එක උපාය මාර්ගිකව සැලසුම් කරලා පවත්වපු රැස්වීමක්. පසුගිය අවුරුදු ගණන පුරාවටම මම දැකපු ඉතාම ඉහළ බලපෑමක් තිබුණු රැස්වීමක්. හැබැයි එතැන පිරිමි අය එකතු වෙලා දිනේෂ් හරහා අර වැඩේ කළා. මම හිතනවා විශේෂයෙන්ම කාන්තාවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලන අධිෂ්ඨානය කියන දේ අද නැත්තටම නැතිවෙලා කියලා. දැන් අපි අපේ උපක්‍රම වෙනස් කරන්න ඕන කියලා මට හිතෙනවා. මට දැන් කිසිම විදිහක හැගීමක් හෝ වුවමනාවක් නැහැ ජාතික මට්ටමේ දේශපාලන අවකාශවලට ගිහින් වැඩ කරන්න. නමුත් පහළ මට්ටමේ – දිස්ත්‍රික් නැත්නම් ඊටත් පහළින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ, ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමේ ඉන්න අයත් එක්ක වැඩ කරන්න පුළුවන්. මොකද ඒ අය දන්නවා පහළ මට්ටමේ වැඩ කරන්න අවශ්‍යයි කියලා.

කාන්තාවන්ට සිදුවෙන හිරිහැර හා ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් සොයා බලන්න පසුගිය කාලෙ විපක්ෂයෙන් කොමිෂමක් පත් කළා.ඔබත් මේ කොමිසමේ ඉන්නවා. එහි තත්ත්වය කොහොමද?
ඒක බොහොම හොඳ වැඩසටහනක්. ප්‍රමිලා දිවාකර සහ ප්‍රියානි විජේසේකර හැරුණාම වැඩිපුරම ඉන්නේ සිවිල් සමාජවලින් ආපු අය. මේක එක්සත් ජාතික පක්ෂයේ කොමිෂමක් විතරක් නෙවෙයි විපක්ෂයේම කොමිෂමක්. කොමිෂමට එන්න පුළුවන්ද කියලා අහද්දි මම ඇහුවා වෙන කවුද කොමිෂමේ ඉන්නේ සහ අපිට දෙන Mandate එක මොකක්ද කියලා. එතැනදී අපිට කිව්වා ඔයගොල්ලො Mandate එකක් හදා ගන්න කියලා. අපි Mandate එකක් හදලා ඉදිරිපත් කළා. ඒකේ අංශ 12 ක් විතර තියෙනවා. මීට කලින් අපි සාකච්ඡා කරපු නැති අංශ කිහිපයකුත් අපි ඒකට එකතු කළා. අපි එක කොන්දේසියයි දුන්නේ, අපි ඉදිරිපත් කරන වාර්තාව එහෙම පිටින්ම භාර ගන්න ඕන, ඔයගොල්ලන්ට කියන්න බැහැ මෙන්න මේ මාතෘකාව කතා කරන්න බැහැ, මෙන්න මේ නිර්දේශය දාන්න එපා කියලා.
මම දන්නේ නැහැ අපි වාර්තාව ලියනකොට ඒගොල්ලො අපි කියන හැමදේටම එකඟවේවිද කියලා. කොටින්ම අපිට සාකච්ඡා කරන්න වෙයි මොනවද වාර්තාවට ඉදිරිපත් කරන්නේ කියලා. හැබැයි ඔවුන් අපිට පොරොන්දුවක් දුන්නා. අපි කතානායකවරයා මුණගැසුනා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම් සහ ඒකෙ නිර්දේශ එක්ක වැඩකරන්න කැමතියි කියලා එයාලා අපිට පොරොන්දුවකුත් දුන්නා. පාර්ලිමේන්තු සංකීර්ණයෙත් එහි කාර්යාලයක් තියෙනවා. ඒකට තමයි ලියුම් ලැබෙන්නේ. පෞද්ගලිකව අපිට ලියුම් ලැබෙන්නෙ නැහැ. කොමිෂමේ සමහර මහජන රැස්වීම් පිටතදී කළා, සමහර මහජන හමුවීම් අපි සම්පූර්ණයෙන්ම කොළඹින් පිට ගිහින් කළා. යාපනය සහ කිලිනොච්චිය වගේ ප්‍රදේශවලත් කළා. එන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කරන විදියට ඒ ගොල්ලො කියන විදිහටයි ඒ කටයුතු සිදු කළේ.
සමහර අංශවලදී අපි සමහර අයට කැඳවීම් කරනවා කියලා තීරණයක් ගත්තා. කොටින්ම එවැනි අංශ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තියෙන අයට ඇවිල්ලා අපට ඉදිරිපත් කිරීමක් කරන්න කියලා කිව්වා. එන හැමෝගෙන්ම අපි අහනවා ඔවුන්ගේ හැගීම් අනුව අපි නිර්දේශ කළ යුත්තේ මොනවාද කියලා.
අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්ව ප්‍රකාශනයේ දී තිබෙන නිර්වචන එක්කයි කටයුතු කරන්නේ. හැබැයි ලංකාවට අදාළ වන විදියට අපි ඒක පුළුල් කළා. උදාහරණයක් විදිහට යුද්ධය, මිලිටරීකරණය සම්බන්ධයෙන් තියෙන ප්‍රචණ්ඩත්වය අනුව අපි ඒකට නිර්දේශ ඇතුළත් කරනවා. අපිට පරීක්ෂණ පැවැත්වීමේ බලය නැහැ. අපි මේක කරන්නේ සිද්ධි අධ්‍යනයන් වශයෙන්. හැබැයි අපි අදාළ ආයතනවලට පරීක්ෂණ සඳහා ඇතැම් ඒවා යොමු කළා.

සාකච්ඡා කළේ මනෝරි කලුගම්පිටිය

kumuduni-samabima

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment