ඡන්දෙන් ඇත්තටම දිනුවේ කවුද?

Sep 27th, 2013 | By | Category: LEAD NEWS, sunday1, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

සුදර්ශන ගුණවර්ධන

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් තුන සඳහා පැවැති පළාත් සභා ඡන්දය හමාර විය. දැන් එළැඹී ඇත්තේ පශ්චාත් මැතිවරණ විශ්ලේෂණ සමයයි. ජනමාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත. එක්සත් ජාතික පක්ෂය පැරදී ඇත. ජනතා විමුක්ති පෙරමුණට වැලේ වැල් නැතිවී ඇත. ජෙනරාල් ෆොන්සේකාගේ පක්ෂය තුන්වන බලවේගය බවට පත්ව ඇත. දයාසිරි ජයසේකර වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ඇත. මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව ජනමාධ්‍ය විසින් ඇතිකර තිබෙන කතිකාව හරහා ලෝකය දෙස බලන ආණ්ඩු විරෝධී සහ ප්‍රගතිශීලී බලවේග වික්ෂිප්ත වී ඇත.

ලංකාවේ මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍ය අතරෙන් අති බහුතරයක් සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ පාලනයට යටත්ව සිටින හෝ ආණ්ඩුවට සම්බන්ධ බලවත් පුද්ගලයන් විසින් හිමිකාරිත්වය දරන හෝ ආණ්ඩුවේ බලවතුන්හට කර්තෘමය නිදහස පූජා කරනු ලැබ ඇති ඒවා බව අපි කවුරුත් දනිමු. නමුත් එකී මාධ්‍ය විසින් මැතිවරණය හෝ වෙනත් යම් කාරණයක් අරභයා ඉන්ද්‍රජාල සංදර්ශන පෙන්වන් විට අපි කලබල වෙමු. එසේ කලබල වී ඒ මත පදනම්ව විග්‍රහයන් ගොඩනගා ගැනීමට මුග්ධ උත්සාහයක යෙදෙමු.

මේ වනාහි ආණ්ඩුව විසින් මේ සම්ම ජාතියේ පවත්වන්නට හිතා සිටි ඡන්දයක් නොවේ. තමන් මේ ආණ්ඩුවට කඩේ යන බව ප්‍රසිද්ධියේ අවංක ප්‍රකාශයක් කළ, ජාතික චින්තනයේ නිර්මාතෘ තැන්පත් මහාචාර්ය නලින් ද සිල්වාට අනුව දෙමළ ජනතාවගේ දේශපාලන අභිප්‍රායයන් සහ දෙමළ ජාතිකවාදී දේශපාලනය 2009 මැයි මාසයේදී නන්දිකඩාල් කලපුවේ ගිල්වා පරාජය කරන ලදී. එබැවින් යුද්ධයෙන් දිනාගෙන විශාල පාබල, නාවික සහ ගුවන් හමුදාවක ආරක්ෂාව සහ පාලනය යටතේ පවත්වාගෙන ගිය උතුරු පළාතට පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නොතිබිණි. යුද්ධය අවසාන වීමෙන් පසුව උතුරට ඡන්දයක් පවත්වා 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කොට, එයින් ඔබ්බටද ගමන් කරන බව ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ බලවත් රටවල්වලට පොරොන්දු වී තිබූ බව ඇත්තය. ඒත් යුද්ධය දිනන්නට ඉස්සර කාපු බීපු වේලාවට කියන කතා කවුරුවත් ඒ හැටි ගණන් ගනිතැයි ආණ්ඩුව කල්පනා කළේ නැත. දැන් එල්.ටී.ටී.ඊ සංවිධානය යුද්ධයෙන් පරාජය කොට ඇති නිසා 13 ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවේ යැයි ආණ්ඩුවේ බලවත්තු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව ගැන තමා හමුවී කතා කළ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදයම් සම්බන්ධන් මහතාට ජනාධිපති ප්‍රකාශ කළේ මෙසේය: ‛‛අපි හෙමිහිට පස්සෙ බලමු!”

ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනා පිට පිට දෙකක්ම සම්මත වී, ජාත්‍යන්තර බලපෑම රතු කට්ට පනින මට්ටමට ළං විය. යුද්ධයෙන් පසු ආනයන වෙළෙඳාමේ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අති විශාල ව්‍යාපෘතියේ පිහිටෙන් පවත්වාගෙන ආ ආර්ථික වෘද්ධි වේගය නැමැති සබන් බුබුල බිඳ වැටෙන්නට ආසන්න විය. මහා පරිමාණ ඉදිකිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් වාණිජ පදනමින් ලබාගත් ණය මුදල්, පොළියද සමඟ ආපසු ගෙවන කාලය ළඟා විය. සොඳුරු පෙතංගොඩ උයනට ආණ්ඩුව ළං වුණේය. එහිදී නපුරු උණ කටුව පතුළේ ඇනී වණවීමට ඉඩ ඇති බව ආණ්ඩුව දන්නේය.

උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ පැවැත්වෙන බව ආණ්ඩුව විසින් ‛බැරිම තැන’ නිවේදනය කරන ලද අතර, ඉන් අනතුරුව ආණ්ඩුවේ විවිධාකාර ක්ෂමාලාපකයින් විසින් 13 සංශෝධනය එකින් එක හෝ එක පැහැර නාශනය කිරීම සඳහා විවිධ පිල්ලි එවනු ලැබීය. විමල් වීරවංශ ඇමැතිවරයා විසින් (තම අමාත්‍යංශයේ මුදල් සහ සම්පත් සත පහක්වත් පාවිච්චි නොකොට පිරිසිදු මහජන මුදලින්) ඉඩම් සහ පොලිස් බලතල අහෝසි කරන පනතක් 2/3කින් සම්මත කරගන්නා ලෙස තමන්ද අයත් ආණ්ඩුවෙන් ඉල්ලන අත්සන් විසි ලක්ෂයක මහජන පෙත්සමක් ආරම්භ කළේය. චම්පික රණවක ඇමැතිවරයාගේ ජාතික හෙළ උරුමය එතැනින්ද ඔබ්බට ගොස් 13 සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කරන පනතක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ‛බොදු බල සේනා’ සංවිධානය සෙසු ජාතිවාදී සංවිධානද සමඟ එක්ව අතිවිශාල රැළියක් මහරගමදී පවත්වමින් 13 අහෝසි කරන ලෙස අනතුරු ඇඟවීමක් කළේය. අධිකරණයට ගොස් 13 අහෝසි කිරීම සඳහා ඇමරිකාවෙන් ආනයනය කරන ලද සහ දැන් ඇමරිකානු තානාපති කාර්යාලයට අනුබද්ධව සේවය කරන නීතිඥයකු යොදාගෙන මහත් ඝෝෂාවක් කළේය.

මේ සියල්ල මෙසේ පවතිද්දී පළාත් සභා ව්‍යුහයට කිසිදු හානියක් හෝ කප්පාදුවක් සිදු නොකොට උතුරු පළාත් සභා ඡන්දය පවත්වන්නට ආණ්ඩුව කටයුතු කළාය. මෙම ඡන්දය ‛ලොවෙත්’ දිනන්නට නොහැකි බවත්, එයින් පිට පිට සෑම ඡන්දයක්ම ජයග්‍රහණය කළ බවට වූ රෙකෝඩ් එක කැඩෙනවා පමණක් නොව විශාල හානි ගෙනදෙමින් සිදුකරන ලද යුද ජයග්‍රහණයකින් පසු ප්‍රභාකරන් ඉල්ලූ දෙය බන්දේසියක තමා සම්බන්ධන්ට ලබා දී රට පාවා දුන්නේය යන චෝදනාවට තම දේශපාලන විරුද්ධවාදීන් වෙතින් ලක්වීමටද සිදුවන බවත් සක් සුදක් සේ දැන සිටි ආණ්ඩුව කළේ උතුරේ ඡන්දය සමඟ එකට ගැටගසා වයඹ සහ මධ්‍යම පළාත්වලද ඡන්දය පැවැත්වීමය.

ආණ්ඩුවේ උතුරු වසන්තයේ කාපට් පාරවල් සහ රේල් පාරවල් ඔස්සේ ඇවිද ගොස්, ආණ්ඩුවේ හමුදාවේ ආරක්ෂාව යටතේ වසර 26කට පසු පළමුවරට පළාත් සභා ඡන්දයකට මුහුණ දුන් උතුරේ ජනතාව පසුගිය සැප්තැම්බර් 21 වනදා කථා කළහ. ප්‍රතිඵලය ආණ්ඩුව බිංදුවට බස්සවා කුජීත කොට දෙමළ ජාතික සන්ධානය 3/4ක බලයක් ලබා ගැනීමය. ඩග්ලස් දේවානන්දාගේ සහ රිෂාඩ් බදියුදීන්ගේද සහය ඇතිව පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූයේ මන්ත්‍රී ධුර 7ක් පමණි. ප්‍රවෘත්තියක් වශයෙන් මෙය පමණක් පළ කළේ නම් එය සිංහල ජනතාව අතර ආණ්ඩුව පවත්වාගෙන යන ආධිපත්‍යයට මරු පහරක් වන්නේය. මාධ්‍ය කෙරෙහි පවතින ආණ්ඩුවේ සෘජු හෝ වක්‍ර පාලනයට පින් සිදුවන්නට තමන් උතුරේදී ලබා ඇති පරාජය ‛ඩවුන් ප්ලේ’ කොට වයඹ සහ මධ්‍යම ජයග්‍රහණය උස්සන්නට ආණ්ඩුව සමත් විය.
දැන් ආණ්ඩුවට සිදුවන්නේ උතුරේ බලය හිමි දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කොට, සහයෝගීතාවයෙන් යුතුව ක්‍රියා කිරීමටය. පළාත් සභාවේ බලතල කප්පාදු කරන ආකාරයේ කිසිදු පනතක් උතුරු පළාත් සභාවේ අනුමැතිය නැතිව සාමාන්‍ය බහුතරයකින් සම්මත කරගැනීමට ආණ්ඩුවට නොහැකිය. අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ කීවාක් මෙන් ආණ්ඩුව දෙමළ සන්ධානයට පළ නොකියා පළා බෙදන්නට තැත් කළොත් ඒ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව තම විමසුම් ඇස හෙළන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ මහත්මිය සැප්තැම්බර් 25 වනදා ජිනීවාහිදී කළ කරුණු දැක්වීමෙන්ද පෙනේ. එසේ නම් ආණ්ඩුව ඉදිරියේ ඇත්තේ ප්‍රතිසංස්කරණයේ සහ සමගි සන්ධානයේ මාවතය.

වයඹ සහ මධ්‍යම ඡන්ද ප්‍රතිඵලය මගින් පෙන්වන්නේ එම පළාත්වල බහුතර ඡන්ද දායකයන් ජනාධිපතිවරයාගේ දේශපාලන ආධිපත්‍යය ප්‍රශ්න නොකර පිළිගන්නා බවයි. උතුරට ඡන්දයක් පවත්වා දෙමළ සන්ධානයට බලය එන්නට පාර කැපුවත්, උතුරේ හමුදා කඳවුරු අඩු කළත්, උතුරු නැගෙනහිර අතුරුදහන්වීම් සිදුවී ඇති බව පිළිගෙන අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කළත්, විදුලි බිල වැඩි කළත්, රතුපස්වල ජනයාට වෙඩි තැබුවත් එකී ජනතාව ජනාධිපති කෙරෙහි විශ්වාසය තබන බවයි. වෙනත් වචනයකින් කිව්වොත් ‛මහින්ද අපට කියනව නම්- පිදුරු වුණත් අපි කන්නම්’ කියන වර්ගයේ ජන කොට්ඨාශයක් බවයි.

අනාගතයේදී ජාත්‍යන්තර දේශපාලනයේ සහ දේශීය ආර්ථිකයේ බලපෑම මත අකමැත්තෙන් වුවද ප්‍රතිසංස්කරණ දිශාවට ආණ්ඩුව ගමන් කරන විට ඒ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය තර්කානුකූලභාවය හෙවත් සුජාතභාවය ආණ්ඩුව ලබා ගන්නේ වයඹ සහ මධ්‍යම පළාත් සභා ජයග්‍රහණ යොදා ගනිමිනි.

යම් හෙයකින් මෙම මැතිවරණයන්හිදී ජනාධිපතිවරයගේ සහ සන්ධානයේ ඡන්ද පදනම ඛාදනය වීමක් සිදුවූයේ නම්, පළාත් සභාවලට සහ බලය බෙදීමට විරුද්ධව සිටි ජාතිවාදී නඩය තමන් දැන් සැඟවී සිටින මී ගුල් වලින් හිස එළියට දමා කෑ ගසනු ඇත්තේ ජනාධිපතිවරයා ඊනියා ජාතික බලවේගවලින් වියෝ වී බෙදුම්වාදීන්ගේ සහ ෆෙඩරල්වාදීන්ගේ සුරතලෙකු බවට පත්වීම නිසා ඔහුගේ සහ සන්ධානයේ ජන පදනම විනාශ වී ඇති බවයි. නමුත් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ඉහළින් ජයගෙන ඇතිවා පමණක් නොව කුමක් හෝ හේතුවක් නිසා විමල්ගේ, චම්පිකගේ සහ දිනේෂ්ගේ පක්ෂවලින් සන්ධානය බුලත් කොළය ලකුණ යටතේ ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් සියළු දෙනාම කුජීතව ගොස් ඇති නිසා අද ඔවුන් කර කියා ගත හැකි දෙයක් නැති පිරිසක් බවට පත්ව ඇත. එබැවින් එය ප්‍රගතිශිලී බලවේගවලට වාසිදායක තත්ත්වයක් බව අප තේරුම්ගත යුතුය.

ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කොළ පාට සිග්නල් දමා ඇති මේ මොහොතේ වයඹ සහ මධ්‍යම පළාත්වල සන්ධානය ලද මෙම මැතිවරණ ජයග්‍රහණය අප අර්ථකථනය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට පක්ෂව ලැබුණු ජනවරමක් ලෙසය. උතුරේදී පළාත් සභාව වර්ජනය කළ යුතු යැයි ප්‍රකාශ කළ අන්තවාදී කණ්ඩායම්වල බලපෑම සහ ශ්‍රී ලංකා හමුදාවේ මර්දනය මැද දෙමළ සන්ධානය උතුරේ ලද ජයග්‍රහණයද දකුණ සමඟ ප්‍රතිසන්ධානයකට පිවිස ප්‍රතිසංස්කරණ ලබා ගැනීම සඳහා වන ජනවරමක් ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් බැලූ කළ ඉහත ජයග්‍රහණ දෙකම වනාහි දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමද ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දිගටම පෙනී සිටි සහ ඒ නිසා විශාල දේශපාලන අලාභ වලට මුහුණ දුන් එක්සත් ජාතික පක්ෂයේ සහ විශේෂයෙන්ම ජාතිවාදයට යට නොවී කෙළින් සිටගත් එහි නායකත්වයේද ජයග්‍රහණයක්ද වේ. අවසන් වශයෙන් මෙය වනාහි පසුගිය කාලයේ නොයෙක් නින්දා අපහාස අවලාදවලට ලක්වෙමින් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයෑමට කටයුතු කළ නිදහසේ වේදිකාව ප්‍රමුඛ සිවිල් සමාජයේද ජයග්‍රහණයකි. ඉහත දැක්වූ සියළු බලවේග ලබා ගත් ඡන්දය එකට එකතු කළ විට මෙය වනාහි ප්‍රතිසංස්කරණ සඳහා වන ජාතික එකඟතාවයක් ලෙස සැලකිය හැකිය. එබැවින් ආණ්ඩුව ප්‍රතිසංස්කරණ දිශාවට තල්ලු කිරීම මේ අවස්ථාවේදී ප්‍රගතිශීලීන්ගේ වගකීම වේ.

මේ තර්කය තවදුරටත් විදාරණය කිරීම පිණිස මේ සමඟ පළවන ‛චින්තනය කොම්ප්‍රොමයිස්වීම’ යන පරිවර්තන ලිපිය කියවන මෙන් පාඨකයාගෙන් ඉල්ලා සිටිමින් මෙම ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි. සිංහල ජාතිකවාදී දෘෂ්ටිකෝණයෙන් එස්. අකුරුගොඩ මහතා තර්ක කරන්නේ ජනාධිපතිවරයා ෆෙඩරල්වාදීන් විසින් වටකරගෙන ඇති බැවින් ඔහුගේ මහින්ද චින්තනය සම්මුතිගත වී හෙවත් කොම්ප්‍රොමයිස් වී ඇති බවයි. ඊනියා ජාතික බලවේගවල අනතුරු හැඟවීම් නොතකා උතුරු පළාත් සභාව වෙනුවෙන් ඡන්දයක් පැවැත්වීමත්, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක්ද තබාගෙන සිටින තත්ත්වයක් යටතේ මැතිවරණයට පෙර අඩුගනනේ පළාත් සභා බලතල කප්පාදු නොකිරීමත් ඔහුගේ දෝෂ දර්ශනයට ලක්වේ. මේ තත්ත්වය යටතේ වයඹ සහ මධ්‍යම පළාත් සන්ධානය විසින් ජයග්‍රහණය කළ විට එය 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිට ජනතාව විසින් ලබා දුන් වරමක් ලෙස අර්ථකථනය කෙරෙනු ඇතැයි ඔහු බිය පළ කරයි. අපගේ ප්‍රතිවාදියෙකු විසින් රචනා කරන ලද එම ලිපිය මගින් මවිසින් ඉදිරිපත් කරන ලද තර්කය ප්‍රතිලෝම වශයෙන් සනාථ වන බව මම විශ්වාස කරමි.

සබැදි පුවත්
චින්තනය කොම්ප්‍රොමයිස්වීම

‛‛13 වන සංශෝධනය ආරක්ෂා කර ගනිමු’’ විපක්ෂයේ විරෝධය සහ සිවිල් සමාජ සංවිධාන විසින් 2013.06.03 දින කොළඹ කොටුවේ පැවති විරෝධතාවයේ අවස්ථාවක්….

DSC_0064

Recent Posts

Tags: , , , , , , , , , , , , , , ,

Leave a Comment