තිබුණේ එක් ඡන්දයකි. ඒ උතුරේය.

Sep 29th, 2013 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS

පළාත් සභා තුනක ඡන්දය අවසන්ය. මධ්‍යම හා වයඹ පළාත් සභා කොහොමටත් ආණ්ඩුව ජයගන්නා බවට ස්ථිරවී තිබිණි.
එජාපය සටන ආරම්භ කළේම පරාජිත මානසිකත්වයක් සමගය. ඒ දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වීම නිසාය. මැතිවරණ ප‍්‍රතිඵල කියන එක් දෙයක් නම්, පහළ මට්ටමේ ජනතාව සමග වැඩකරන දක්‍ෂ හා කාර්යක්‍ෂම ආසන සංවිධායකයන්ගේ බලවත් අඩුවක් එජාපයට තිබෙන බවය. එම දුර්වලතාව එම පක්‍ෂයට ඡන්ද ලබාගැනීමට බලවත් ලෙස බාධාකරයි. දැනට ඉන්නා අපේක්‍ෂකයෝද කී‍්‍රඩා කරන්නෝ ආරක්‍ෂාකාරීවය. පක්‍ෂයේ ඉහළ සිට පහළට මුල්බැසගෙන තිබෙන නායකත්වය පිළිබඳ නිශේධනාත්මක හැඟීම් හා එක තැන පල්වන තත්ත්වය විසින් සිය ශ‍්‍රමය හා ධනය ඡන්ද ව්‍යාපාරයක් වෙත නිදහසේ යෙදවීමට අපේක්‍ෂකයන් උදාසීන කෙරෙන අතර, දක්‍ෂ, කාර්යක්‍ෂම පුද්ගලයන් පක්‍ෂය වෙත ආකර්ෂණය කරගැනීමද අඩුකරයි. එජාපය ඉන්නේ මේ දෙපැත්තේම ගැටලූ සහගතව මරණීය අගුලක් වැටුණු තත්ත්වයකය. එහෙත් එජාපයේ සකල පරාජයන්ට හේතුව නායක රනිල් වික‍්‍රමසිංහය යන්න අතිශයෝක්තියකි. රනිල් වික‍්‍රමසිංහද මේ ප‍්‍රතිඵලයන්හි වැදගත් සාධකයක් වන නමුත් ඊට වඩා බලවත් ලෙස ලංකාවේ දේශපාලන ක‍්‍රමය හා ව්‍යුහය විසින් නිර්මාණය කරන ලද නිශේධනීය අංග රාශියක් එක්සත් ජාතික පක්‍ෂයේ පරාජය කෙරෙහි ඍජුව බලපායි. එය කවුරුත් දන්නා, එහෙත් සමහර මාධ්‍යද සමහර පුද්ගලයන්ද අමතක කරන දෙයකි. එනිසා එම තත්ත්වය ‘රනිල් ගෙදර යනු’යැයි කියන සටන් පාඨය තරම් සරල හා ලඝු නොවේ.

දයාසිරි ජයසේකර මහතාගේ ඉහළ මනාප සංඛ්‍යාව, ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ මහන්සියේ ප‍්‍රතිඵලයකි

මැතිවරණ ජයග‍්‍රහණය විසින් සුපුරුදු පරිදි සරත් ෆොන්සේකා මහතා ස්වයං අධිතක්සේරුවකට ඔසොවා තබා ඇති බව පෙනෙයි. දැනට තුන්වන බලවේගය වන තමන් ළඟදීම දෙවැනි බලවේගය බවටද, අවුරුදු තුන හතරක් තුළ පළමුවන බලවේගය බවටද පත්වන බවට ෆොන්සේකා මහතා කරන ප‍්‍රකාශය ලංකාවේ ප‍්‍රායෝගික දේශපාලනය ගැන කිසිවක් නොදන්නා අයෙකුගේ ළාමක සිහිනයකට වෙනස් දෙයක් නොවේ. දේශපාලන පක්‍ෂයක් නොවන කේවල ස්වාමි ව්‍යාපාරයකට ලැබුණු ඒ ඡන්ද පළමු වටයේ කෘත‍්‍රිම එසැවීමක් පමණක් බව පසුව ඔහුට තේරුම්ගත හැකිවනු ඇත. වයඹ හා මධ්‍යම පළාත්වල ආණ්ඩුව ලත් ඉහළ ඡන්ද ප‍්‍රතිශතයට එක් හේතුවක් වන්නේ පක්‍ෂය තුළම අපේක්‍ෂකයන් අතර පැවැති මනාප පොරයයි. එකිනෙකාට අබිබවා යන්නට ඒ ඒ අපේක්‍ෂකයන් ගත් උත්සාහය කෙළවර වූයේ ඡන්දපොළට නොඑන්නට සිටි පක්‍ෂයේ ඡන්දදායකයන් පවා ඒ වෙත කැඳවාගනිමිනි. ඒ අර්ථයෙන් දයාසිරි ජයසේකර මහතාගේ ඉහළ මනාප සංඛ්‍යාව, ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ මහන්සියේ ප‍්‍රතිඵලයකි. දයාසිරි එතරම් ඉහළින් දිනවීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔහුටය. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එකතුවුණු දා සිට, වයඹ සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට හා පක්‍ෂ නායකයන්ට එල්ල කළ අභියෝග සියල්ලේ සම්ප‍්‍රයුක්ත ප‍්‍රතිඵලය මෙවර ඔහුට භුක්තිවිඳින්නට ලැබුණේ තමා නියෝජනය කරන ආසනයෙන් පවා තම ප‍්‍රතිවාදියාට විශාල වැඩි ඡන්ද ප‍්‍රමාණයක් හිමිකර දෙමිනි. මෙතෙක් ජොන්ස්ටන් ඇමැතිවරයාගේ අඛණ්ඩ කෙනෙහිලිකම්වලට මුහුණ දුන් එස්.බී.නාවින්න, සාලින්ද දිසානායක, ජයරත්න හේරත් වැනි ශ‍්‍රීලනිප සාම්ප‍්‍රදායික නායකයන්ට ඔහුගේ ආධිපත්‍යයට විරුද්ධව යොදවන්නට දයාසිරි ජයසේකර නමැති ශක්තිමත් අශ්වයකු ලැබුණේය. ඔවුහු සියල්ලෝම එක්වී ඒ අශ්වයා දිනවීමටත්, ඔහු සමග ඈඳා තම තමන්ගේ ඥාතීන් ඉදිරියට ගෙනඒමටත් කටයුතු කළහ

උතුරේ දැවැන්ත පරාජය මුවා කරගන්නට ආණ්ඩුවට කඩතුරාවක්

දයාසිරි-ජොහාන් මනාප අරගලය උත්කර්ෂයට නැංවූ මාධ්‍යවලින් මඟහැරුණු වැදගත්ම මැතිවරණය පැවැතියේ උතුරෙහිය. ඇත්ත වශයෙන්ම, උතුරු පළාත් සභා ඡන්දයට සාපේක්‍ෂව බලන කල වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණවලට ඇත්තේ ඉතා අඩු වැදගත්කමකි. උතුරේ දැවැන්ත පරාජය කිසියම් ප‍්‍රමාණයකින් හෝ මුවා කරගන්නට ආණ්ඩුවට කඩතුරාවක් සපයාදීම පමණකි වයඹින් හා මධ්‍යම පළාත් සභා ඡුන්ද ප‍්‍රතිඵලවලින් සිදුවූයේ.

උතුර කොහොමටත් ආණ්ඩුව පරාද වන බව පැහැදිලිව පෙනීගොස් තිබිණි. එසේ තිබියදී ආණ්ඩුව උතුරු පළාත් සභා ඡන්දයට ගියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඇති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුවිශේෂ ඇල්මක් නිසා නොව එය නොකර සිටිය නොහැකි වූ නිසාය. එය දේශීය මෙන්ම විදේශීය බලවේගවල බලපෑමෙහි ප‍්‍රතිඵලයකි. ආණ්ඩුවේ බලාපොරොත්තුව ලෙස තිබුණේ පරාජය වන නමුත් පරාජයේ පරතරය විශාල එකක් නොවනු ඇත යන්නය. මීට පෙර 2011 පළාත් පාලන ඡන්ද ප‍්‍රතිඵලවලින් පෙන්වූ පරිදි තමන් ඉතාමත් නරක තත්ත්වයක නොසිටින බව ආණ්ඩුවේ විශ්වාසය විය. එම ඡුන්ද විමසීමේදී උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහෙන්ම ආණ්ඩුවේ ඡන්ද ප‍්‍රමාණය සියයට තිහකට වඩා බැස්සේ නැත. එය

-කිලිනොච්චි දිස්ත‍්‍රික්කයෙන් 37%ක්,

-මුලතිව් 35%ක්,

-වවුනියාව 40%ක්,

-යාපනය 33%ක් හා

-මන්නාරම 41%ක් වශයෙනි.

ඒ අනුව, එවර උතුරු පළාතේ ආණ්ඩුව ගත් සමස්ත ඡන්ද ප‍්‍රතිශතය 37%ක පමණ තිබිණි.

එහෙත් මෙවර කිලිනොච්චි දිස්ත‍්‍රික්කයෙන් ආණ්ඩුවට ලැබුණු ප‍්‍රතිශතය 17%කි.

මුලතිව් දිස්ත‍්‍රික්කයෙන් 20%කි.

වවුනියාවෙන් 26%කි.

යාපනයෙන් 14%ක් වන විට

මන්නාරම දිස්ත‍්‍රික්කයෙන් 28%කි.

උතුරු පළාතේ ආණ්ඩුවේ සමස්ත ප‍්‍රතිශතය 18.38%කි.

ආණ්ඩුවේ ප‍්‍රධාන නියෝජිතයාවූ ඇමැති ඩග්ලස් දේවානන්දාගේ ගොදුරු බිමක්ව තිබුණු කයිට්ස් ප‍්‍රාදේශීය සභාව 2011 දී ආණ්ඩුව දිනාගත්තේ 77%ක ඡන්ද ප‍්‍රමාණයකිනි. මෙවර කයිට්ස්වලින් ආණ්ඩුවට ලැබුණේ 31.48%ක් පමණෙකි. උතුරු පළාතේ සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය අනුව දෙමළ ජාතික සන්ධානය 78.48%ක විශිෂ්ට ජන අනුමැතියක් ලබාගත්තේය. ආණ්ඩුව පල්ලම් බැස නතර වූයේ 18.38%හිය.

 ‘මුන්ට කෙළෙහි ගුණ නෑ’

දෙමළ ජාතික සන්ධානයේ මේසා විශාල වැඩි ඡන්ද පරතරය ආණ්ඩුව විස්මයටත් ලජ්ජාවටත් පත්කරන්නට හේතුවූවා නිසැකය. ‘මුන්ට කෙළෙහි ගුණ නෑ’ කියා ආණ්ඩුවේ ඉහළම ඇමැතිවරයකු මහජන රුස්වීමකදීම කීවේ ඒ ලජ්ජාවත් විස්මයත් නිසාය. දෙමළ සන්ධානය මේ ජයග‍්‍රහණය වාර්තා කළේ විශාල අභියෝග ප‍්‍රමාණයක් මැදය. මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම හමුදාවද සමග යොදා තිබුණේ ඔවුන්ට එරෙහිවය. පොදු රාජ්‍ය මණ්ඩල මැතිවරණ නිරීක්‍ෂකයන් විසින්ද විශේෂයෙන් උපුටාදක්වන තරමට විශාල හමුදා ගහනයක් පළාත පුරා විසුරුවා තිබුණා පමණක් නොව හමුදාව මුළුමනින්ම ආණ්ඩුවේ අපේක්‍ෂකයන්ගේ යහපත සඳහා ක‍්‍රියාත්මක විය. පෝස්ටර් ඇලවීමේ සිට විවිධ සමාජ සේවා වැඩ හරහා ආණ්ඩුවේ අපේක්‍ෂකයන්ට අනියමින් ආධාර දෙන ප‍්‍රතිපත්තියක් හමුදාව ගෙනගියේය. ආණ්ඩුකාරවරයාද සිටියේ ස්වාධීන පුද්ගලයකු ලෙස නොවේ. නියම ලෙසම ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස රාජ-පක්‍ෂවය. ඡන්දය දමන්නට නොයන ලෙස හමුදා සාමාජිකයන් මහජනතාවට නියෝගකළ අවස්ථා ගැනද වාර්තා විය. දමිළ සන්ධාන අපේක්‍ෂිකා ආනන්දි සසීහරන්ගේ මහගෙදරට පහරදෙන ලද්දේ හමුදා සාමාජිකයන් පිරිසක් විසින් බවට සාධාරණ සැකයක් සියල්ලෝ පළකරති. ප‍්‍රහාරකයන් හමුදා භටයන් බව ‘සියයට එකසිය එකක්’ සහතිකයැ’යි දකුණු ආසියානු මැතිවරණ නිරීක්‍ෂක මණ්ඩලයේ ප‍්‍රධානී ඉන්දීය හිටපු මැතිවරණ කොමසාරිස් එන්. ගෝපාලසාමි තමාට ප‍්‍රකාශ කළ බව කොළඹ බීබීසී වාර්තාකරු චාල්ස් හැවිලන්ඞ් බීබීසීයට වාර්තාකර තිබුණි.

ආණ්ඩුව තමන්ගේ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියටම ගෙනගියේය. කිලිනොච්චිය දක්වා උතුරු දුම්රිය මාර්ගය විවෘතකොට යාල්දේවි දුම්රිය ධාවනයද ආරම්භ කරන ලදි. එහෙත්, පෞද්ගලික බැංකුවක පරිත්‍යාග මත ගොඩනංවන ලද කිලිනොච්චිය දුම්රිය ස්ථානයේත් ඒ දක්වා වූ අනෙක් අලූත් දුම්රිය ස්ථානවලත් සේවකයන්ට විවේක ගැනීමට ස්ථානයක්, මුදල් බහා තැබීමට සේප්පුවක් වැනි මූලික පහසුකම්වත් නැතිව ලහි ලහියේ දුම්රිය මඟ පමණක් විවෘතකැරුණු බව දුම්රිය වෘත්තීය සමිති කීවේය. 21වැනිදායින් පසු උතුරු වසන්තය සංවර්ධන ව්‍යාපෘතියෙන් තමා ඉවත්වන බවට ඇමැති බැසිල් රාජපක්‍ෂ කළ දැනුම්දීම එක්තරා ආකාරයක තර්ජනයක්ද විය. එනම්, තවදුරටත් උතුරු වසන්තය ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය නම්, ආණ්ඩුවට සම්බන්ධ පාලනයක් උතුරේ ජනතාව විසින් ඇතිකරගත යුතුය යන්නයි.

ඊට අමතරව දෙමළ සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මත විශාල බෙදුම්වාදී ආන්දෝලනයක් නිර්මාණය කරවන ලදි. එය රට බෙදීමේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් බවට ආණ්ඩු හිතවාදී ජාතිකවාදී පාර්ශ්ව නිර්මාණය කළ අදහස ජනාධිපතිවරයාද පුනරුච්චා රණය කළේය. දෙමළ සන්ධානය එක්සත් රටක් තුළ සිය ජනතාවට ප‍්‍රාදේශීය පාලන බලයක් ඉල්ලා සිටින්නේය යන පැහැදිලි සත්‍යය ඒ කිසිවෙක් නොකීවෝ දේශපාලන අවස්ථාවාදය නිසාය. අවසානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට එරෙහිව නඩු දමන තත්ත්වයට එය වර්ධනය විය. උතුරේ ජනතාවට අවශ්‍ය ස්වපාලනය පිළිබඳ මතවාද නොව හොඳ මහාමාර්ග, පාලම්, බෝක්කු, ජීවනෝපාය මාර්ග, රැුකියා අවස්ථා බවත්, දෙමළ දේශපාලන නායකයන් ජනතාව නැවතත් යුද්ධය කරා මෙහෙයවමින් සිටින බවටත් ආණ්ඩුව කීවේය. ජනාධිපතිවරයා අවසන් වශයෙන් කීවේ විග්නේශ්වරන් වැනි කොළඹ මිනිසකු උතුරට ගෙන ඒමෙන් දෙමළ සන්ධානය උතුරේ දෙමළ ජනතාවට අගෞරවයක් කර ඇති බවය.

‘කොළඹින් ආනයනය කළ’ විග්නේශ්වරන්ට මනාප 1,32,255ක්

උතුරේ දෙමළ ජනතාව ජනාධිපතිවරයාට පිළිතුරු දුන්නේ ‘කොළඹින් ආනයනය කළ’ විග්නේශ්වරන්ට මනාප 1,32,255ක් ලබාදෙමිනි. සහ දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත් සභාවෙන් තුනෙන් දෙකක හෙවත් ආසන 38න් 30ක බලයක් ලබාදෙමිනි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ‘භෞතික සංවර්ධනය පමණක්’ යන ප‍්‍රවේශය නිර්දය ලෙස ප‍්‍රතික්‍ෂෙප කළ උතුරේ දෙමළ ජනතාව ඒ සියල්ලටමත් වඩා ජාතික අභිමානය, මානව ගරුත්වය හා ස්වපාලනය කෙරෙහි ඇති සිය අප‍්‍රතිහත ධෛර්යය හා කැපවීම පෙන්වාලූහ. එනයින් උතුරු පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලය, සිංහල ජාතිකවාදී දේශපාලනයේ දැවැන්ත පරාජයක් ලකුණු කරනවා සේම මානව අයිතිවාසිකම්, බලය බෙදීම, ජනතාවගේ පාලනය, නීතියේ ආධිපත්‍යය, වාර්ගික සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන සමාජයේ සුළුතරයක් පිරිසගේ ආස්වාදයටද හේතුවන්නේය.

තමන් මෙතෙක් හමුවීම ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටි ප‍්‍රතිවාදියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වේදිකා අවකාශයකදී දකුණේ පාලකයන්ට හමුවී තිබේ

දැන්, උදාවී තිබෙන්නේ ලංකාවේ දේශපාලනයේ අලූත් අවස්ථාවකි. එය අලූත් වන්නේ දකුණට පමණක් නොවේ. උතුරට ද ය. තමන් මෙතෙක් හමුවීම ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටි ප‍්‍රතිවාදියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වේදිකා අවකාශයකදී දකුණේ පාලකයන්ට හමුවී තිබේ. ඔවුන්ගෙන් කොටසක් පාර්ලිමේන්තුව තුළදීද මෙතෙක් එදිනෙදා හමුවූ නමුත්, ඒ අයට ව්‍යවස්ථාදායක, විධායක බලය තිබුණේ නැත. දැන් සිටින්නේ සීමිත නමුත් විධායක හා ව්‍යවස්ථාදායක බලය සහිත ප‍්‍රතිවාදියෙකි. සිය බලය අතහරින්නට, අන්සතු කරන්නට රිසි නැති ප‍්‍රතිවාදියෙකි. වේදිකාව අත්‍යන්තයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා නීත්‍යනුකූල නිසා වේදිකාවෙන් බැසයෑමට සාධාරණ හේතුවක් සොයාගන්නට ආණ්ඩුවට හැකිවන්නේද නැත. ක‍්‍රීඩාව සිදුවන්නේ වේදිකාවක් මත නිසා නීති විරෝධී පහර එල්ල කරන්නටද දැන් ඉඩක් නැත. සියල්ලන්ටම පෙනෙන්නේය.

දෙමළ ජාතික සන්ධානයද මුහුණ දී සිටින්නේ සමාන අවස්ථාවකටය. දෙමළ ජනතාවගේ අනන්‍යතාවත් මානව ගරුත්වයත් රැකගෙන, සිය පාලනයේ උපරිම ප‍්‍රතිලාභ උතුරේ ජනතාවට ලැබෙන අයුරින් දකුණේ ආණ්ඩුව සමග කටයුතු කරන්නේ කෙසේද යන අසීරු ව්‍යායාමයෙහි යෙදෙන්නට ඔවුන්ට සිදුවී තිබේ. ඒ අතර, උතුර බලාපොරොත්තු වන භෞතික සංවර්ධනයද ඉටුකරන්නට ඔවුන්ට සිදුවන්නේය. එසේ කළයුතු වන්නේ, ආණ්ඩුව සිය විමධ්‍යගත බලය නැවත ඩැහැගන්නට විවිධාකාර උපක‍්‍රම යොදන සන්දර්භයක සිටය. 13වැනි සංශෝධනය නැවත වෙනස්කිරීම, ඊට අදාළව අධිකරණයෙන් විවිධ අර්ථකථන ලබාගැනීම, ජාතික ප‍්‍රතිපත්ති යටතේ පළාත් සභා විෂයයන් ගැන නීති කෙටුම්පත් සෑදීම, පළාත් සභාවෙන් පාලනය වන ආයතන රජයට පවරාගැනීම යනාදිය හරහා අලූත් දිසා ඇමතිවරුන් පත්කිරීම දක්වා වන විවිධාකාර බලය ආපසු ගැනීමේ උපක‍්‍රම රාශියක් ක‍්‍රියාත්මක කරමින් සිටින ආණ්ඩුවක් සමග දිගු ගමනක් යෑම මෙතෙක් එවැනි පරිපාලන අත්දැකීමක් එහෙමට නැති දෙමළ ජාතික සන්ධානයට අලූත් දේශපාලන අභ්‍යාසයක්ද වනු ඇත්තේය.

[කේ.ඩබ්ලිව්. ජනරංජන]

උපුටා ගැනීම රාවය වෙබ් අඩවියෙනි.
www.ravaya.lk

 tna

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , ,

Leave a Comment