කාන්තා අපේක්ෂිකාවන් දිනවන්න බලවේගයක් හදන්න පවිත්‍රා, රෝසි, සුදර්ශනී,තලතා, අසමත් වුණා – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

Oct 12th, 2013 | By | Category: LEAD NEWS, sunday1, ඇන්ටිගනී, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

මෙම වසරේදී උතුරේ පමණක් නොව වයඹ සහ මධ්‍යම යන පළාත්වලද පළාත් සභා මැතිවරණයන් පැවැත්වූ අතර එම පළාත් නියෝජනය කරමින් සිංහල කාන්තාවන්ද ඡන්ද අපේක්ෂිකාවන් වශයෙන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වූහ. මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු කරුණ නම් කාන්තාවක් මෙවැනි සමාජ කාර්යයකට ඉදිරිපත්වීමේදී ඇගේ තරාතිරම, ආගම, ජාතිය, භාෂාව හෝ වර්ණය ගැන නොසලකා ඇයට කාන්තාවක් වශයෙන් මුහුණදීමට සිදුවන අභියෝගයන් සහ අසීරුතාවයන් එක හා සමාන බවය.

මෙවර සමබිම ඇන්ටිගනී අතිරේකය හරහා උතුරේ මැතිවරණ නිරීක්ෂණය සඳහා සහභාගී වූ කාන්තාවන්ගේ අත්දැකීම් සහ ඔවුන්ට මුහුණදීමට සිදුවූ අභියෝගයන් සාකච්ඡා කර ඇති අතර මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ කාන්තා ඡන්ද අපේක්ෂිකාවන්ට මුහුණදීමට සිදුවන අභියෝගයන් සහ අසීරුතාවයන් සාකච්ඡා කිරීමටයි. ඒ සඳහා අපි මැතිවරණයට ඉදිරිපත් වූ කාන්තාවන් දෙදෙනෙකු වන උතුරු පළාත් සභා ඡන්දයේදී මුලතිව් දිස්ත්‍රික්කය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් තරග වැදුණු කේ. මෙරිකලා ගුණසීලන් සහ වයඹ පළාත් සභා ඡන්දයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ කුමාරි වීරසේකර ගෙන් කාන්තාවන් වශයෙන් ඔවුන් මැතිවරණයේදී නිරූපණය කරන ලද භූමිකාව සහ ඔවුන්ගේ අත්දැකීම සහ අභියෝගයන් පිළිබඳව විමසා සිටියෙමු. ඒ සමඟම කාන්තා දෘෂ්ටිකෝණයකින් මැතිවරණ නීරීක්ෂණය කිරීමේදී ලබාගත් ගත් නීරීක්ෂණ ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ නීති උපදේශිකා ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය ද අප සමඟ බෙදාහදා ගත්තාය.

දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම පක්ෂය දෙමළ ජාතික සන්ධානයයි
දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් අපේක්ෂිකා කේ. මෙරිකලා ගුණසීලන්

‛‛මම දැක්කා අපේ තරුණ බිරින්ඳෑවරුන් ඉතාම තරුණ කාළේ වැන්දඹුවන් බවට පත්වෙනවා. සැමියන්, වැඩිහිටි පුතුන් නැතිව පවුලේ සම්පූර්ණ බර කාන්තාවන්ගේ කර මත පැටවෙනවා. ඇතැම් ස්වාමි පුරුෂයින් අනියම් විවාහ සිදුකර ගැනීමට පෙළඹුන අවස්ථා මට බහුලව දකින්නට ලැබිලා තියෙනවා. විශේෂයෙන් අපේ ප්‍රදේශවල කාන්තාවන් වැඩි වශයෙන් පීඩාවට පත්වෙලා තියෙනවා. මම පාසැල් ගුරුවරියක්. ඒ භූමිකාව තුළ මම ළමයින්ගේ මව්වරුන්ට ගොඩාක් සමීපයි. කාන්තාවන් පෙළ ගැස්වීමට හා දැනුවත් කිරීමට මට වැඩි අවස්ථාවක් තියෙනවා.

2012 – 2013 අතර 10,000 ක වගේ ඡන්ද ප්‍රමාණයක් අපේ ප්‍රදේශවල අඩුවෙලා තියෙනවා ගිය වතාවට වඩා. ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මිනිසුන් මෙම ගම්වල යළි පදිංචි කිරීම් සිදු කළා. අපි නම් හිතන්නේ මෙය ආණ්ඩුව කල් ඇතිව සැලසුම් කරලා කළ දෙයක් බවයි. මේ මිනිස්සු දෙමළ ජාතික සන්ධානයට තමන්ගේ ඡන්දය දෙන බව ආණ්ඩුව දන්නවා. එහෙම ආණ්ඩුව ක්‍රියා කිරීමෙන් අපේ වැසියන්ගේ ඡන්දය තව දුරටත් ආණ්ඩුවට විරුද්ධව භාවිත වීම මිස වෙනත් දෙයක් සිදුවෙන්නේ නෑ.

දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම පක්ෂය දෙමළ ජාතික සන්ධානය විතරයි. ඉතිං අපි ඒ තුළින් මිස වෙන කුමන පක්ෂයක් හරහා අපේ ගැටලුවලට පිළියම් හොයන්නද?

රජය බෞද්ධ පන්සල්, වෙහෙර විහාර රට පුරාම අලුතින් ඉදිකරනවා . විශේෂයෙන් මෙම ප්‍රදේශවල පවා. නමුත් අපේ ආගමික අයිතිය වෙනුවෙන් රජය මොනවද කරල තියෙන්නෙ? අඩු තරමේ අපේ කැඩී බිඳී ගිය පල්ලියක් කෝවිලක් නවීකරණය කිරීමටවත් රජය ක්‍රියා නොකරන්නේ ඇයි? රජය තමන්ගේ ආර්ථික ශක්තිය භාවිත කරමින් උපරිමයෙන් මැතිවරණය ප්‍රචාරණය වෙනුවෙන් වැඩ කරනවා. ඒත් ඔයාලට පේනවා අපේ ප්‍රචාරණ හැකියාව ගොඩාක් අඩු බව.

ඡන්ද කාලයට තමයි කීයක් හරි හොයාගන්න පුළුවන් කියලයි මිනිස්සු හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂිකා කුමාරි වීරසේකර

‛‛ඡන්දය ඉල්ලද්දී අපට තිබුණු පළමු බාධාව තමයි මුදල් ප්‍රශ්නය. අද පවතින දේශපාලනය කරන්න බෑ මුදල් නැතිව. මම විශ්වාස කරනවා හැම පිරිමි අපේක්ෂකයෙක්ම කෝටියකට වැඩිය වියදම් කරා. මිනිස්සු මුදල් මත තමයි හැමදේම තීරණය කළේ. මා සමඟ වැඩවලට හිටියේ තරුණ ගැහැණු ළමයි සහ පිරිමි ළමයි. ඒ ළමයි වෙනුවෙන් මම ලොකුවට වියදම් කළේ නෑ. එයාලා තමයි මට උදව් කළේ. එහෙම වෙලත් මටත් ලක්ෂ 22 ක් විතර වියදම් වුණා. කාන්තාවක් විදිහට ඡන්දයට ඉදිරිපත් වූ බහුතර කාන්තාවන්ට මඩ ව්‍යාපාරවලට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් මට එහෙම ප්‍රශ්නයක් ආවේ නෑ. මොකද මා සමඟ සිටියේ කාන්තාවෝ. මගේ වාහනේ රියැදුරා වුණේ මගේ ලොකු පුතා. ඒ නිසා මට කිසිම මඩ ප්‍රහාරයක් ආවේ නෑ. අනෙක කාන්තාවක් විදියට මම එන්න නියමිත ප්‍රශ්නවලට විසදුම් තියාගත්තා. අනෙක් කාරණාව තමයි මට කාලය මදිකමක් තිබුණා. මං ඡන්දයට ඉදිරිපත් වුණේ හිරියාල ආසනයෙන්. නාම යෝජනා දෙන්න දවස් 02කට කලින් තමයි මට මා තෝරාගත් බව දැනුම් දුන්නේ. අපි විශ්වාස කළා රටේ ආර්ථිකය, යහ පාලනය, සංවර්ධනය කියන දේවල් වෙනස් කරන්න, වර්ධනය කරන්න දේශපාලනයට හැකියාවක් තියනවා, ඒ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මිනිස්සු ඡන්දය දෙනවා කියලා. ඒ වුණාට බහුතරයක් මිනිස්සු සල්ලි වෙනුවෙන් තමයි වැඩ කළේ. මිනිස්සු කිවුවේ ඡන්ද කාලයට තමයි කීයක් හරි හොයාගන්න පුළුවන් කියලයි. මනුස්සයෙකුට පෝස්ටර් 25 අලවන්න අරක්කු බෝතලයක් ඉල්ලනවා. ඒ තැනට අද දේශපාලනය බලු කරලා තියෙන්නේ. අනෙක් ප්‍රධාන කාරණාව ලංකාවේ 53%ක් කාන්තාවෝ ඉන්නවා. ඒ අය කාන්තාවන් වෙනුවෙන්ම සංවේදී වුනේ නෑ. මම නිකුත් කරපු අත් පත්‍රිකාව විතරක් කියෙව්ව නම් කාන්තාවන් වත් ඡන්දය දෙන්න ඕනේ. ඒත් අද වෙන විට බහුතරයක් මුදල් කියන සාධකයට යටවෙලා ඉවරයි .” මෙහිදී නැවතත් පෙනී යන්නේ උතුරේ වුවද දකුණේ වුවද කාන්තාවන් ට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක අවකාශය ලඟා කර ගැනීමට ඇති දුෂ්කරතාවයයි. ප්‍රශ්නයේ මුහුණුවර වෙනස් වුවද අවසානයේ සිදුව ඇත්තේ කාන්තාවන් තවත් ආන්තීකරණයට ලක්වීමයි

කාන්තා අපේක්ෂිකාවන් දිනවන්න බලවේගයක් හදන්න පවිත්‍රා, රෝසි, සුදර්ශනී,තලතා, අසමත් වුණා
ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

මෙවර පළාත් සභා ඡන්දයේදී ඡන්දය සඳහා ඉදිරිපත් වුණ කාන්තා අපේක්ෂිකාවන්ට කිසිදු ජනමාධ්‍ය ආවරණයක් ලැබුණේ නෑ. මාධ්‍යයන්වල ප්‍රමුඛ තැන ලැබුණේ පිරිමි දේශපාලනඥයන්ට විතරයි. අඩුම තරමේ කාන්තා මාධ්‍යවේදිනියන්වත් මේ අතළොස්සක් වූ කාන්තා අපේක්ෂිකාවන්ගේ සම්මුඛ සාකච්ඡාවක් පළ කළේ නැහැ.

දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් වුණ ආනන්දි සශීධරන්ට දෙමළ මාධ්‍යයන්ගෙන් හා වෙබ් මාධ්‍යයන්ගෙන් යම් ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි ප්‍රබල ක්‍රියාධරයකුගේ බිරිදක් වුණ නිසයි. ඒ වගේම ඇය දේශපාලන ප්‍රචණ්ඩත්වයටත් ලක්වුණා.

විශේෂයෙන් වයඹ හා මධ්‍යම පළාත්වල මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු පුරුෂ පාර්ශ්වයන් පෝස්ටර්, බැනර් හා කටවුට් ආදිය ප්‍රදර්ශනය කරමින් ඉතාමත් තරඟකාරී විදියට නීති රීති උල්ලංඝණය කරමින් ඉහළින්ම වැජඹුණා. ආණ්ඩු පක්ෂය වෙතින් වගේම විරුද්ධ පක්ෂ තුළිනුත් කාන්තා අපේක්ෂිකාවන් සඳහා නාම යෝජනා දීලා තිබුණේ එක්කෙනෙකුට දෙන්නෙකුට පමණයි. ඒ පක්ෂවල කාන්තාවන්වත් මේ අයව දිනවීමට උත්සුක වුණේ නෑ. ශාන්තිනී කෝන්ගහගේ කියන්නේ ප්‍රබල කාන්තා දේශපාලන නායිකාවක්. නමුත් ඇය පරාජය වුණා. එයම කාන්තා දේශපාලන ක්‍රියාකාරීත්වයේ පරාජයක්. ඇය පරාජය වුණේ එක්සත් ජාතික පක්ෂයේ බල අරගලයක් හේතුවෙනුයි. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මේ පක්ෂ 2 කට ප්‍රබලව වැඩ කරපු කාන්තාවන් මුදල් හා වෙනත් ගැටුම් හමුවේ පරාජය වුණා.

කාන්තා දේශපාලන නියෝජනය අද වන විට තියෙන්නේ පසුගාමී තත්ත්වයක. පක්ෂ නායකයන් පමණක් මේවාට වගකිවයුතු නෑ. ජනගහනයට සාපේක්ෂව ඡන්දදායිකාවන් ප්‍රමාණය විශාලයි. ඒත් ඒ ඡන්දදායිකාවන්වත් කාන්තා නායකත්වය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේ නෑ. ඔවුනුත් පුරුෂ දේශපාලනයට නතුවෙලා.

ප්‍රබල කාන්තා නායිකාවන් වන එක්සත් ජාතික පක්ෂයේ රෝසි සේනානායක හා තලතා අතුකෝරාළ යන මන්ත්‍රීවරියන් දෙදෙනා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රචාරක කටයුතු කළත් ඒ ප්‍රධාන ධාරාවේ ඉන්න කාන්තාවන්ටවත් තමන්ගේ පක්ෂයෙන් නියෝජනය වුණු කාන්තාවන් ජයග්‍රහණය කරවන්න බැරිවුණා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ කාන්තා අපේක්ෂිකාවන් වෙනුවෙන් පොදු කැම්පේන් එකක් කරන්න එම පක්ෂයේ කාන්තා නායිකාවන් වන පවිත්‍රා වන්නිආරච්චි හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේටත් බැරි වුණා.

මේ කාන්තාවන්ට නායකත්වයක් දෙන්න ඔවුන් ඉදිරියට ගන්න ඔවුනට ධෛර්යක් සපයන්න රාජ්‍ය නොවන කාන්තා සංවිධානවත් පෙර පරිදි කැම්පේන් එකක් කළේ නෑ.

මේ තත්ත්වය යටතේ අපි කාන්තාවන් විදිහට විශේෂ ක්‍රියාදාමයකට අවතීර්ණ විය යුතුයි. බරපතල ලෙස කාන්තා දේශපාලනය, කාන්තා නියෝජනය පිළිබඳව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මේ හැම කෙනෙක්ම තමන්ගේ දේශපාලන වැඩසටහන්වල තියෙන මානයන් ස්වයං විවේචනයකට ලක්කළ යුතුයි.

මේ සියළුම අත්දැකීම් අනුව අපට පැහැදිලි වන කරුණ නම් ඕනෑම කාන්තාවක් සාම්ප්‍රදායික කාන්තාව නැමති රාමුවෙන් මිදී සමාජ ක්‍රියාවන්හි සක්‍රීයවීමට යාමේදී ඔවුන්ට නිතැතින්ම විවිධ අභියෝගයන්ට සහ අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවන බවයි. ඒත් සමඟම අවසාන වශයෙන් මෙහිදී අප අවධාරණය කර ගත යුත්තේ තීරණ ගැනීම හා පාලනය යන ක්‍රියාවලි සඳහා කාන්තා සහභාගීත්වයක් ලබා ගන්නා තුරු සාධාරණත්වයේ, සංවර්ධනයේ හා සාමයේ අරමුණු ලඟා කර ගත නොහැකි බවත් සමාජයේ සංවර්ධනය වෙනුවෙන් අවංකව කටයුතු කිරීමට සූදානම් කාන්තාවන්ට ඒ සඳහා ඉදිරියට ඒම සඳහා සමාජයක් වශයෙන් අවකාශය නිර්මාණය කළයුතු බවයි.

dr4

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment