තුවාල සනීප කිරීම වෙනුවට තුවාලකරු මරා දැමීම

Jul 19th, 2012 | By | Category: ප්‍රතිසන්ධානය, වැකිය

ලංකාවේ පැවැති වාර්ගික යුද්ධය අවසන් වූයේ වෙන්ව තිබූ භූමිය එක්සත් කරමිනි. එබැවින් වර්තමාන සමය හඳුන්වන්නේ පශ්චාත් යුද සමය වශයෙනි. නමුත් යුද්ධයට තුඩු දුන් හේතුවලට පිළියම් යෙදීමක් තවමත් සිදු නොවීම නිසා ජනවර්ගයන් අතර එක්සත්කමක් ඇතිවී නැති හෙයින් තවමත් ලංකාව පශ්චාත් ගැටුම් තත්ත්වයකට හෙවත් ගැටුමට පසු තත්ත්වයකට පත්ව නැත.

ගැටුමට බලපෑ හේතු විසඳීමට පෙර ඒ හේතු පිළිබඳව සියලු ජනවර්ගයන් අතර පොදු තේරුම් ගැනීමක් ඇති වීම අවශ්‍යය. එමෙන්ම යුද්ධය හේතුවෙන් විවිධ ජනවර්ගයන්ට ඇතිවූ තුවාල සුවපත් කිරීමේ ක්‍රියාවලියක්ද අවශ්‍යය. ඒ ආකාරයෙන් අතීතය පිළිබඳව පොදු තේරුම් ගැනීමක් හෙවත් ඉතිහාසය පිළිබඳ සාමූහික ආඛ්‍යානයක් ගොඩනගා ගන්නේ නැතිව එක්සත් රටක් සහ එක්සත් ජාතියක් ගොඩනගා ගැනීම කළ නොහැකිය.
දින කිහිපයකට ඉහත වවුනියාව සිරගෙදර සිදුවූ සිදුවීම මේ සඳහා ඛේදනීය උදාහරණයක් සපයයි. නඩු නැතිව කාලාන්තරයක් තිස්සේ රැඳවුම් භාරයේ සිටින ‛හිටපු කොටි’ සැකකරුවන් පිරිසක් කළ උද්ඝෝෂණයකදී ඔවුහු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත්හ. ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම අවසන් වූයේ නිමලරූබන් නැමැති සැකකරු තලා පෙළා මරා දමා හා තවත් සිරකරුවන් පිරිසකට බරපතළ තුවාල සිදු කරමිනි.

මෙම සිදුවීම දකුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ වවුනියා සිරගෙදර කොටි බලය බිඳීමක් ලෙසිනි. ඔවුන්ට අනුව මේ වනාහි දකුණේ ජනතාවට එරෙහිව බෝම්බ පිපිරවූ සහ වෙනත් ඊනියා ‛ත්‍රස්තවාදී’ ක්‍රියා කළ දාමරිකයන් පිරිසකි. ඔවුන් කෙරෙහි සානුකම්පිතවීම හෝ ඔවුන්ගේ මානව හිමිකම් ගැන කතා කිරීම වනාහි දේශද්‍රෝහී ක්‍රියාවකි. නමුත් ජාත්‍යන්තර ප්‍රජාව මේ සිරකරුවන් පිරිස හඳුනාගන්නේ නඩු නැතිව වසර ගණනාවක් නිදහස අහිමි කොට තිබෙන දේශපාලන සිරකරුවන් පිරිසක් වශයෙනි. ඔවුන් අපරාධයකට සම්බන්ධ නම් ඔවුන්ට නඩු පැවරීම හෝ නැත්නම් නිදහස් කිරීම හෝ ආණ්ඩුවේ වගකීම බව ඔවුහු කල්පනා කරති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් රාජ්‍යය සහ රටවැසියා අතර අළුත් සමාජ ගිවිසුමක් ඇති කරගත යුතුය යන අදහස සමහර බුද්ධිමතුන් විසින් මේ වනවිට ඉදිරිපත් කොට ඇත. එහෙත් එවැනි සමාජ ගිවිසුමක් ප්‍රතිඵලදායක වන්නේ රට තුළ ජීවත් වන සියලු ජන ප්‍රජාවන්ට ගැටුමට හේතු සාධක වූ කරුණු පිළිබඳව මෙන්ම ගැටුමේදී සිදුවූ තුවාල පිළිබඳව පොදු තේරුම් ගැනීමක් ඇති කරගත හැකි වුවහොත් පමණකි.

සුදු ජාතිකයන් තම බලය රඳවා ගැනීම පිණිස සකස් කළ ඇපාතයිඩ් හෙවත් වර්ණභේදවාදී ප්‍රතිපත්ති මත කළු සහ සුදු වශයෙන් බෙදී වෙන්ව තිබුණු දකුණු අප්‍රිකානු ජාතිය අළුතින් ගොඩනැංවීමට ආණ්ඩුව සහ කළු ජාතිකයන්ගේ විමුක්ති සංවිධානය වූ අප්‍රිකානු ජාතික කොංග්‍රසය අතර සාකච්ඡා ඇති වූ අතර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඔවුහු කටයුතු කළහ. සුදු පාලකයන්ට ඒ සඳහා එකඟ වීමට සිදු වූයේ ජාත්‍යන්තර වශයෙන් රට එන්න එන්නම හුදෙකලා වීම නිසාය.

ඉහළ මට්ටමේ දේශපාලන සාකච්ඡා මගින් ඇති කරගන්නා පරිපාලනමය එකඟතාව ඇත්ත වශයෙන්ම මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා මහජනයාගේ ආශිර්වාදය ලැබිය යුතු අතර ඒ සඳහා දේශපාලන ක්‍රියාවලියක් අවශ්‍ය වේ. එය ආණ්ඩුව හෝ නිලධාරීන් විසින් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි අතර එය මහජනයා දැනුවත් කොට සංවිධානය කරන සමාජ ව්‍යාපාරයක් විසින් කළ යුතු ක්‍රියාවකි.
දකුණු අප්‍රිකාවේදී ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරුතුමාගේ නායකත්වයෙන් යුතු සත්‍යය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම යනු සිවිල් සමාජයේ මුලපිරීමකි. පසුව ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසින් ඒ සඳහා වන අධිකාරය ලබා දෙන ලදී. එම කොමිසම විසින් සිදු කරන ලද්දේ අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව සත්‍යය සොයා ගොස් රටේ සියළු ප්‍රජාවන්ට පිළිගත හැකි එක ඉතිහාසයක් ගොඩනැගීමේ දේශපාලන මැදිහත්වීමකි. සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ අත්දැකීම මෙවර අප ‛සමබිම’ පාඨකයන් සමඟ බෙදා හදා ගන්නේ එබැවිනි∎

 

Recent Posts

Tags: , , ,

Leave a Comment