බලි ඇඹීම වෙනුවට, පිළිම ඇඹීම

Nov 28th, 2013 | By | Category: LEAD NEWS, දේශපාලන, සමබිම මාධ්‍ය රැකවරණය

දස්කොන් අදිකාරම් අප අතර ඉතා ප්‍රකට චරිතයක් වී ඇත්තේ ඔහු සහ ප්‍රමිලා බිසව අතර තිබූ පෙම් කතාන්දරය නිසාය. උපතින් ප්‍රංශ ජාතිකයෙකු වූ දස්කොන්ගේ නියම නම ‛ගාකොන්’ වුවත් සිංහල කටවහරට අනුගත වන පරිදි එය දස්කොන් බවට පත්විය. රාජසිංහ රජතුමාට සේවය කිරීම වෙනුවෙන් දස්කොන්ට අදිකාරම් තනතුරක් ලැබිණි. ඔහු නරේන්ද්‍රසිංහ රජතුමාට සේවය කළ බව ද තවත් කතාවකින් කියැවේ. කෙසේ හෝ එවකට ලංකාවට පැමිණ සිටි යුරෝපීය ජාතිකයින් සමඟ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවලදී දස්කොන් අදිකාරම් බෙහෙවින් ප්‍රයෝජනවත් වූ පුද්ගලයෙකි.

දෙවන රාජසිංහ රජතුමා කැලෑවටත් වන සතුන්ටත් ඇළුම් කළ තැනැත්තෙකු වූ අතර ඔහු කැලෑ පීරමින් වන සතුන් එකතු කර සත්වෝද්‍යානයක් පවත්වාගෙන ගියේය. රජතුමාගේ බිසව වූ ප්‍රමිලා බිසව කිවිඳියක් බව කියැවේ. දස්කොන් අදිකාරම් ප්‍රමිලා දේවිය සමඟ පෙම් සබඳතාවයක් ඇතිකර ගත්තේය. අවසානයේ දෙදෙනාට දෙදෙනා නැතිවම බැරි විය. රජතුමා නොමැති අතරතුර හොර රහසේ සිත්සේ තහනම් ගසේ ගෙඩි අනුභව කළහ.

ඔබ අප දන්නා පරිදි මේ දස්කොන් ප්‍රමිලා පෙම් කතාව අවසන් වන්නේ ඛේදාන්තයකිනි. ප්‍රමිලා දේවියට අසනීපයක් වැළඳෙන අතර, එය සුව කිරීමට තොවිලයක් කළ යුතු යැයි වෙදැදුරන් විසින් යෝජනා කරයි. තොවිලය සඳහා ආතුරයාගේ – ප්‍රමිලා දේවියගේ – රූපයක් ඇඹීමට අවශ්‍ය වන අතර රජතුමා ඒ කටයුත්ත මෙහෙයවීම පවරන්නේ දස්කොන්ටය.

දස්කොන් ඒ කටයුත්ත අකුරටම ඉටු කරන අතර බලියක් ඇඹීම මෙහෙයවීමෙන් නතර නොවී අඹන ලද බලිය සර්ව සම්පූර්ණ කිරීම ද දස්කොන් විසින් කරනු ලබයි. දස්කොන්ට දකින්නට අවශ්‍ය වන්නේ බලියක් වෙනුවට යථාර්ථවාදී පිළිමයකි. ප්‍රතිමාවේ අඩුපාඩුවක් නොමැතිව අංගසම්පූර්ණ වීම සඳහා ඔහු බිසවගේ රහස් පෙදෙසට පහළින් කකුලේ තිබෙන උපන් ලපයක් ද සලකුණු කරයි. යාතුකර්මය සඳහා රජතුමා වෙත ඉදිරිපත් කෙරෙන්නේ මෙම අංග සම්පූර්ණ ප්‍රතිමාවයි.

රජතුමාගේ සිරියහන් ගැබට සීමා විය යුතු රහසක් මෙසේ මහජනයා අතරට පත්වීම පිළිබඳව රජතුමා අතිශයින් කෝපයට පත්වන අතර, දස්කොන් හා ප්‍රමිලා බිසවගේ සම්බන්ධය එයින් හෙළිදරව් වෙයි. අවසානයේ දස්කොන්ගේ හිස ගසා දැමීමට නියම වෙයි. දස්කොන් අදිකාරමට වැඩ වරදින්නේ මෙසේ බලියක් ඇඹීමෙන් නතර නොවී අතිශයින් නිවැරදි වාර්තාකරණයක නිරත වන්නට උත්සාහ කිරීමෙනි. වර්තමානයේ බලි අඹන ජනමාධ්‍යවේදීන් අතර යථාර්ථවාදී රූප අඹන්නට උත්සාහ කරන ජනමාධ්‍යවේදීන්ට අත්වන ඉරණම වන්නේ ද රාජ උදහසට ලක්වීමයි. මේ හේතුව නිසාම පුරුදු පරිදි බලියක් අඹමින් කිසිවෙකුට කරදරයක් නොවන ආකාරයෙන් ජීවිකාව කරගෙන යාමට බොහෝ ජනමාධ්‍යවේදීන් පෙළැඹී ඇති අයුරු අපට දකින්නට ලැබේ. ඔවුහු පාලකයාට අවශ්‍ය බලිය ඇඹීමෙන් රාජ්‍ය සම්මාන ලබන ජනමාධ්‍යවේදීන් බවට පත්වෙයි, උපන් ලපය ගැන කතා නොකරයි. මේ ආකාරයේ ජනමාධ්‍යවේදීන් ද වර්ග දෙකකි. එක් පිරිසක් බලි ඇඹීමෙන් තෘප්තිමත් වෙයි. ඔවුන් අඹන්නේම බලි වන අතර, එයින් ඔවුහු වින්දනයක් ද ලබති. රජතුමා පිරිවරාගෙන සිටින්නේම මෙවැනි ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් සහ බුද්ධිමතුන්ය. ඔවුන් පුල පුලා පවසන්නේ උපන් ලපයේ කතාව රජතුමාට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවයි. එවැනි උපන් ලපයක් නැති බවට ඔවුහු හත් පොළේ ගසමින් පවසති. ආණ්ඩුවේ එවැනි උපන් ලපයක් ගැන තොරතුරක් කෙසේ හෝ ලීක් වුවහොත් එසේ හෙළිකළ තැනැත්තා ‛රටට එරෙහි කුමන්ත්‍රණකරුවෙකු’ බවට පත්වේ.

අනෙක් පිරිස වන්නේ ප්‍රතිමා ඇඹීමට කැමති නමුත්, අමාරුවේ වැටීමට අකැමති පිරිසයි. මෙම ප්‍රවණතාවය හඳුන්වන තාක්ෂණික වචනය ‛ස්වයං වාරණය’යි. උපන් ලපයක් ඇති බව ඔවුහු හොඳින් දනිති. එහෙත් උපන් ලපය ගැන කතා නොකරන්නේ ඇයි දැයි විමසන විට ඔවුන් පවසන්නේ “අපෝ… ඕවා ගැන කතා කරලා කරදරේ වැටෙන්න බෑ” යනුවෙනි. ගෙදර අය ද ඔවුන්ට කියන්නේ “පිළිම අඹලා කරදරේ වැටිලා එහෙම ගෙදර එන්න එපා” යනුවෙනි. උපන් ලප සළකුණු කරන්නට ගොස් පහරදීම්වලට අතුරුදන්වීම්වලට ලක් වූ අය සහ ඝාතනයට ලක්වූ අය සිහි වන විට ඔවුන්ට පිළිම ඇඹීම එපා වෙන්නට ද ඉඩ තිබේ. ‛සමබිම’ මාධ්‍ය රැකවරණය අරඹා ඇත්තේ මේ ගණයේ මාධ්‍යවේදීන් උදෙසා ය.

තොරතුරු හෙළිදරව්වීම වැලැක්වීමට බලධරීන් විසින් දරණ උත්සාහය දැන් පෙර නොවූ විරූ තරම් දැඩි වී තිබේ. උදාහරණයක් ලෙස අලුත්ම කැකිල්ලේ තීන්දුව වන මහානාම විදුහලේ ගුරුවරියගේ සිදුවීම ගත හැකිය. විදුහලේ ගුරුවරයෙකු අතින් ලිංගික හිංසාවන්ට ලක් වූ ගුරුවරිය බලධාරීන් හරහා යුක්තිය ඉටුකර ගැනීමට කළ උත්සාහයන් ඵල රහිත වූ විට ජනමාධ්‍යවල පිහිට පැතුවාය. අවසානයේ ‛ජනමාධ්‍යවලට තොරතුරු හෙළිදරව් කිරීම’ යන චෝදනාව යටතේ ඇයට රුපියල් 30,000 ක දඩයක් ද වැටුප් වර්ධක අහිමි කිරීමක් ද පනවා තිබේ. අදාළ ගුරුවරයාට එරෙහිව තවමත් කිසිදු දඬුවමක් නැත. මේ අනුව ලංකාවේ ජනමාධ්‍ය වෙත තොරතුරු හෙළිදරව් කිරීම, ලිංගික හිංසනයන්ටත් වඩා බරපතළ ක්‍රියාවක් ලෙස සැලකෙන බව පෙනේ. ඒ අතරම අනාගතයේ ජනමාධ්‍ය වෙත තොරතුරු හෙළිකරන රාජ්‍ය සේවකයන්ට මෙමගින් අනතුරු ඇඟවීමක් ද කර ඇති බව පෙනේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කරූ ජයසූරිය මහතා විසින් ගෙන ආ පනත් කෙටුම්පත් රජය විසින් ප්‍රතික්ෂේප කළ අතර, දිනේෂ් ගුණවර්ධන මහතා පොරොන්දු වූ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ රජයේ පනත කිසිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ නැත. තොරතුරු දැනගැනීමේ අයිතිය නොමැති දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව කියැවේ. මෙය ආසියාවේ තවත් ආශ්චර්යයකි. උපන් ලප ගැන කතාකිරීම තබා උපන් ලප ගැන තොරතුරු සොයා ගැනීමට ද නොහැකි වන සේ කටයුතු කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බව පෙනේ.

‛සමබිම’ අප උත්සාහ කරමින් සිටින්නේ කරදරේ වැටීමකින් තොරව ප්‍රතිමා ඇඹීමටත්, යම්කිසි හේතුවකින් කරදරේ වැටුණහොත් එහිදී මාධ්‍යවේදියා ආරක්ෂා කිරීමට සහාය වීමටත් ය.

මෙහිදී අමතක නොකර සඳහන් කළ යුතු තවත් කරුණක් තිබේ. එනම්, දස්කොන් උපන් ලපයේ රහස සොයාගත්තේ ආචාරධර්ම කඩකිරීමකින් බවයි. ඔහු හෙළි කළේ රජතුමාගේ විශ්වාසය කඩකරමින් ප්‍රමිලා බිසව සමඟ යහන්ගත වීමෙන් ඔහු දැනගත් රහසකි. ජනමාධ්‍යවේදී වෘත්තියේ ආචාරධර්ම කඩ කිරීමට අප කිසිදු ලෙසකින් අනුමත නොකරයි, එකී ආචාරධර්ම කඩකරන්නා ස්වාභාවිකවම අයිටීඑන් කාරයෙකු බවට පත්වීමේ අවදානමක් ඇති අතර එමගින් අවසානයේ පිරිහීමේ දොරටු විවර කරගනියි. කොටින්ම කිවහොත් තමන්ගේ කාඩ් එක කුඩුකර ගනියි. එම නිසා යථාර්ථවාදී ප්‍රතිමාවක් ජනතාව වෙත ඉදිරිපත් කිරීමේ වගකීම ඉටුකිරීමේදී වෘත්තීය ආචාරධර්ම ආරක්ෂා කිරීම ද වැදගත් බව සිහි තබා ගත යුතුය. බලි ඇඹීමෙන් තොරව ප්‍රතිමා ඇඹීමට කැමති අයට, උපන් ලප ගැන කතා කිරීමට ධෛර්යය ඇති අයට, ‛සමබිම’ මාධ්‍ය රැකවරණය සමඟ එක්ව වැඩ කිරීමට ඇති හැකියාව දැන් එළඹී තිබේ∎

ප්‍රියලාල් සිරිසේන

t5

d4

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment