මේ රටේ කොමිස්‌වලින් තොර පිරිසිදු පාලනයකට එජාපය සමඟ එක්‌වන්න!

Dec 13th, 2013 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS

මේ රටට තවදුරටත් කොමිස්‌ පාලනයක්‌ අවශ්‍ය වන්නේ නම් මහින්ද රාජපක්‍ෂ රජය සමඟද කොමිස්‌වලින් තොර පිරිසිදු පාලනයක්‌ රටට අවශ්‍ය වන්නේ නම් එක්‌සත් ජාතික පක්‍ෂය සමඟද එක්‌වන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙවර අයවැය විවාදය ආරම්භ කරමින් තමන් විසින් කරන ලද කතාව පොතක්‌ වශයෙන් එළි දැක්‌වීම නිමිත්තෙන් කිරුලපන, මුගලන් පාරේ පිහිටි සිතුමිණ උත්සව ශාලාවේදී පෙරේදා (11 දා) සවස පැවැති උත්සවයේදී විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් හෙතෙම මෙසේද කීවේයජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ අණ්‌ඩුවේ අටවැනි අයවැය ඉදිරිපත් කරමින් එදා කතා කළ, විපක්‍ෂ නායකවරයා විදිහට මට පැවරිලා තියෙන්නේ එදා මහින්ද කළ කතාවේ සැඟවුණු පැත්ත ජනතාවට පැහැදිලි කරමින් කතා කරන්න.

එදා ඒ මම කළ කතාව තමයි අද පොත් පිංචක්‌ විදිහට එළි දකින්නේ.

අවුරුදු අටක්‌ මහින්ද රට පාලනය කළා. රට දියුණු කරන්න කටයුතු කළා නම් දැන් රට දියුණු වෙලා තිබෙන්න ඕන. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්න ඕනෑ. එදා ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බලයට පත්වෙලා අවුරුදු තුනක්‌ ඇතුළත මහවැලි ව්‍යාපාරය පටන්ගත්තා විවිධ ව්‍යාපෘති, ගල්ඔය ව්‍යාපාරය, හෝටල් සංකීර්ණ ඇති කළා.

මහින්ද රාජපක්‍ෂ අවුරුදු අටක්‌ පාලනය කළත් රට තවම ගොඩගන්න බැරිවුණා. යුද්ධයක්‌ තිබෙන නිසා ඉවසන්න කියලා තමයි කිව්වේ. ඊට පසුව 2010 දී නැවත ඡන්දයකට ඇවිත් කිව්වා යුද වියදම් නැති නිසා මේ ජනතාවට සහන දෙනවා කියලා. ඒත් අද වෙනකම් මහින්ද සහන දීලා තියෙන්නේ බල්ලන්ට විතරයි. වෙන එක සතෙකුටවත් හෝ මිනිසුන්ට හෝ මහින්ද සහන දීලා නැහැ.

අවුරුදු අටක්‌ රට පාලනය කළත් තරුණයන්ට රැකියා දීලා තියෙනවද? ජයවර්ධන ජනාධිපතිතුමා එදා 1977 දී ගල්ඔය ව්‍යාපාරය පටන්ගත්තා. හෝටල් දැම්මා. ප්‍රේමදාස ජනාධිපතිතුමා යුද්ධ දෙකක්‌ මැද්දේ ඇඟලුම් කලාප පටන් ගත්තා. ඇඟලුම් ශාලා 200 ක්‌ ඇති කළා. ඊට අමතරව වෙනත් කර්මාන්ත ශාලා 200 කට වැඩි ප්‍රමාණයක්‌ මා විවෘත කළා. ඔය පොඩි පොඩි විවෘත කිරීම් එදා අපි ගණන් ගත්තේවත් නැහැ. මේ රටේ ප්‍රධානම හෝටලය වන කණ්‌ඩලම ඇති කළෙත් අපියි.

එදා අපි මේවා කළේ යුද්ධයකුත් තියාගෙන. අද යුද්දෙ ඉවරවෙලාත් කර්මාන්ත ශාලා වහගෙන යනවා. එදා මොන තරම් විදේශිකයෝ ආවද? අද එන්නේ රොටි කන ඉන්දියන් අයයි. වතුර බොන චීනයේ අයයි. අද අපේ හෝටල් කර්මාන්තයත් අඩපණ වෙලා. තායිලන්තයේ හෝටල් කාමරයක්‌ සාමාන්‍යයෙන් ඩොලර් 500 ක්‌ පමණ වෙනවා. නමුත් අපේ ඩොලර් 150 යි. නොමිලේ උදේ කෑමත් දෙනවා.

අද ජීවන බර අධිකවීම නිසා ජනතාවට ජීවත්වෙන්න බැහැ. බඩු මිල විතරක්‌ නොමෙයි අද සෑම දෙයකම මිල වැඩිවෙලා. අද රුපියල් 30,000 ක්‌ ගන්න රාජ්‍ය සේවකයකු ජීවත්වෙන්නේ කොහොමද. මම දන්නා රජයේ සේවකයෙක්‌ ඉන්නවා, ඔහුගේ දරුවකු උසස්‌ පෙළ ගන්නවා. ටියුෂන් පන්තිවලට පමණක්‌ ඒ දරුවාට මාසයට රුපියල් 12000 ක්‌ ගෙවනවාලු. එයා කියනවා කරුමෙට අනෙක්‌ දරුවා සාමාන්‍ය පෙළ හදාරනවාලු එයාට විෂයන් පහකට ටියුෂන් යනවා. විෂයකට රු. 1000 ගානේ 5000 ක්‌ ගෙවනවාලු. දැන් මොහුට 17000 ක්‌ යනවා. ටියුෂන්වලට. තව රුපියල් 13000 ක්‌ ඉතිරිවෙලා තිබෙනවා. ඔහුට මුළු පවුලම ජීවත් කරන්න.

මේක එක්‌කෙනකුට විතරක්‌ තියෙන ප්‍රශ්නයක්‌ නොවෙයි. රටේ බහුතරයකට තව ප්‍රශ්න තිබෙනවා. අද නිදහස්‌ අධ්‍යාපනය එහෙම්පිටින්ම කප්පාදු කරලා. සාමාන්‍ය ජනතාවට සහන නෑ. මේ ආණ්‌ඩුව සහන දෙන්නේ එක්‌තරා පිරිසකට ලැම්බෝගිනි වාහන ගෙනත් කොළඹ ‘නයිට්‌ රේස්‌’ පවත්වන්න විතරයි. එදා කිව්වේ යුද්දෙ අවසන් වුණාම ජනතාවගේ වියදම් අඩුවෙනවා කියලා ඒත් අද වියදම් වැඩිවෙලා තියෙනවා.

අද මේ රට විශාල ණය බරකට යටවෙලා. මේ රට නිදහසින් පසුව විවිධ ජනාධිපතිවරු, අගමැතිවරු යටතේ රට පාලනය වෙලාත් අපේ ජාතික ණය ප්‍රමාණය වුණේ රුපියල් ට්‍රිලියන 1.8 යි. ඒත් 2005 සිට මේ දක්‌වා මහින්ද රාජපක්‍ෂගේ පාලනය යටතේ රටේ ජාතික ණය ටි්‍රලියන 6.6 දක්‌වා වැඩිවෙලා. ඒ කියන්නේ මහින්ද රාජපක්‍ෂ රෙජිමය ට්‍රිලියන 4.8 ක්‌ ණය අරගෙන තිබෙනවා මේ පසුගිය අවුරුදු අටට. එදාට වඩා 250% කින් මේ රටේ ණය වැඩිවෙලා. ඒත් රටේ දියුණුවත්, ජනතාවගේ ණයත් අඩුවෙලා නෑ. දැන් කොහොමද මේ ණය ගෙවන්නේ. මේ ණය ගත්තාම ඒවා ගියේ ජනතාවගේ සාක්‌කුවට නෙමෙයි. කාගේ සාක්‌කුවටද මේ ණය ගියේ කියලා මුළු රටම දන්නවා. මේ ණයවල පොලිය සහ වාරික ගෙවන්නයි ආණ්‌ඩුව බදු වැඩි කරන්නේ.

අපේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ප්‍රශ්නයක්‌ ඇසුවා පාර්ලිමේන්තුවේදී ඒකට උත්තර දුන්නේ නියෝජ්‍ය මුදල් ඇමැති සරත් අමුණුගම. ඔහු කිව්වා මේ රටේ බදුවලින් ලැබෙන ආදායම රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 13% ක්‌ නම් එය 14% ක්‌ බවට වැඩි කළා. 2015 දී 16% ක්‌ දක්‌වා ගෙන එනවා කියලා. ඒ කියන්නේ ඉදිරියටත් බදු අය කිරීම වැඩි වෙනවා. ඒ බදු ගෙවන්න වෙන්නේ අපිටම තමයි.

මෙහෙම තවදුරටත් බදු ගෙවන්න පුළුවන් නම් තවදුරටත් රාජපක්‍ෂ රජයත් එක්‌ක ඉන්න. හැබැයි මෙහෙම බදු ගෙවන්න බැරිනම් අපිත් එක්‌ක ඉන්න. රාජපක්‍ෂ රජයත් එක්‌ක හිටිය කියලා රට සංවර්ධනය වෙන්නේ නැහැ. තමාගේ අනාගතය සුබ වෙන්නෙත් නැහැ.

උපුටා ගැනීම www.tissaattanayake.lk වෙබ් අඩවියෙනි.

 

11

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment