මව්බිමට ද්‍රෝහී නොවී මානව හිමිකම් රැකගැනීමේ අභියෝගය

Dec 27th, 2013 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

මේ වෙනකොට මානව හිමිකම් ආරක්ෂා කරන්න කියලා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට ලොකු බලපෑමක් තියෙනවා. අනිත් පැත්තෙන් ජාතික වශයෙන් ආණ්ඩුව කියනවා මානව හිමිකම් අවශ්‍යයි; හැබැයි මව්බිමට හානියක් නොවන විදිහට. දැන් මව්බිමට හානියක් නොවෙන විදිහට මානව හිමිකම් ආරක්ෂා කරන්නෙ කොහොමද කියන එක තමයි තියන අභියෝගය. මව්බිමට හානි කරන්න දෙන්න බෑ කියන එක අපිට පිළිගන්න වෙනවා.

මව්බිම කියන්නෙ මොකක්ද? මව්බිම කියන්නෙ පොළොවද? පොළොවත් එක්ක තමයි. පොළොව විතරක් නෙමෙයි. පොළොව උඩ ඉන්න ගහකොළ සතා සිව්පාවත් අයිතියි. මිනිස්සු නැත්නම්, ගහකොළ සත්තු නැත්නම් වැඩක් තියෙනවද? මේ ඔක්කොම එක්ක තමයි මව්බිම කියන්නෙ. ඊළඟට ජනතාව කියන්නෙ කවුද? මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ගැහැනු, පිරිමි ඒ වගේම විවිධ පළාත්වල ඉන්න, විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන මේ ඔක්කොම මිනිස්සු. මේ මිනිස්සු මේ රටේ පොළවේ අයිතිය තියෙනවා කියලා පිළිගන්නේ, මේ රටේ පුරවැසියො කියලා කියන්නෙ, ඒ අයට අයිතිවාසිකම් තියෙනවා කියලා හැඟීමක් ඇතිවුණෝතින් පමණයි.

ග්‍රාම නිළධාරීන්ගේ ඉඳලා ජනාධිපති දක්වාම ඒ හැම කෙනෙක්ම හැම ආයතනයක්ම නීතිය අනුව තමයි ක්‍රියාකළ යුත්තේ. ඒ අය ළඟට ගියාම අපිට එක විදිහකුයි තවත් එක්කෙනකුට තව විදිහකුයි කියලා හැඟීමක් ඇති වෙනවා නම් එතන මානව හිමිකම් නෑ. දෙවනි කාරණේ ඒ සමානත්වයක් නැතුව වෙනස්කමක් අපිට වෙන්නෙ අපේ ජාතිය හින්දා, අපේ ආගම හින්දා, අපි කතා කරන භාෂාව නිසා, අපේ කුලය හින්දා කියලා හිතෙනවා නම් එතකොට ඒ අයට හිතෙනවා අපි මේගොල්ලන්ගෙ කට්ටිය නෙමෙයි අපි වෙන කට්ටියක්ය, ඒ හින්දා අපි වෙනම සංවිධානය වෙන්න ඕන කියලා. එතකොට මේ මව්බිමට අර්ථයක් එන්නෙ මව්බිමේ ජීවත්වන හැම මනුස්සයාගෙම අයිතිවාසිකම් ආරක්ෂා කරන යාන්ත්‍රණයක් තිබුණොත් විතරයි.

ඒ නිසා මානව අයිතිවාසිකම් ගැන වැඩකරනවා කියලා කියන්නෙ මව්බිමට ද්‍රෝහී වීමක් නෙමෙයි. ඒක මව්බිමට ආදරය කිරීමක්. මව්බිමට ඇත්ත වශයෙන්ම ආදරය කරන්න පුළුවන් වෙන්නෙ ඒ රටේ ඉන්න හැම මනුස්සයාටම මනුෂ්‍යයෙක් වශයෙන් ඉන්න වාතාවරණයක් හැදුවොත් විතරයි.

සිවිල් සමාජය වශයෙන් වැඩකරන්න තියෙන අවකාශය සීමා වෙද්දි ඒ සඳහා තියෙන යුක්තිසහගතභාවය තර්කානුකූලභාවය සමාජය තුළ නැති වෙද්දි අපිත් එක්ක වැඩ කරපු අපේ හිතවත් සහෝදරවරු අපිව දැකලා අහක බලාගනිද්දි ඒ වෙලාවෙ පණ බේරගෙන වැඩ කරන්න පුළුවන් මාර්ගය තමයි, එකතු වෙන්න පුළුවන් පළල්ම එකතුව ගොඩ නැගීම. අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා එක බලවේගයක් හදමු කියලා ‛නිදහසේ වේදිකාව’ හැදුවා. ‛නිදහසේ වේදිකාව’ ගොඩනගලා අපේ අදහස්, අපේ විශ්වාසයන්, අපේ අධිෂ්ඨානයන් වෙනුවෙන් පෙනී සිටීම තමා අපි කළේ. ඒක තමයි තවමත් කරන්නෙ. හැබැයි ඒක විතරක් කරලා හරියන්නෙ නෑ. නැවතත් මානව අයිතිවාසිකම් සම්බන්ධ න්‍යාය පත්‍රය ඉස්සරහට ගේන්න ඕනෙ. ඒක තනියම කරන්න බැහැ. ඒක කරන්න තවත් ආණ්ඩු විරෝධී බලවේගවල දායකත්වය, සහයෝගය දිනා ගන්න ඕනෙ. අපි මේ වෙනකොට ඒක ලබාගෙන තියෙනවා.

ආණ්ඩුවත් එක්ක ඉන්න, ආණ්ඩුවට ඡන්දෙ දෙන අයගේ සහයෝගයත් අපි ලබා ගන්න ඕනෙ. ඒක අමාරුයි. නමුත් මානව අයිතිවාසිකම් කියලා කියන්නෙ පළල් න්‍යාය පත්‍රයක්. මේ අවස්ථාවේදි ආණ්ඩුවත් එක්ක ඉන්න අය දිනාගන්න බැරි වෙන්නෙ මානව හිමිකම් කියන්නෙ ආණ්ඩුව පෙරළන්න හදන කුමන්ත්‍රණයක් කියලා. අධිරාජ්‍යවාදී බලවේගයක් නැත්නම් විදුලි පුටුවට රටේ නායකයා ගෙනයන්න හදන වැඩපිළිවෙළක් කියලා ආණ්ඩුව හැමදාම කියන නිසයි. මානව අයිතිවාසිකම් කියන්නෙ අපි හැමදෙනාටම අවශ්‍ය වෙන මේ රටේ අනාගතයට වැදගත් වෙන දෙයක් කියලා තහවුරු කරන්න පුළුවන් වුණොත් අපට මීට වඩා මහජන සහයෝගයක් ලබා ගන්න පුළුවන්. මේ සභාවේ සිවිල් සංවිධාන ගණනාවක නායකයො, ක්‍රියාකාරීන්, අලුතෙන් වැඩවලට සම්බන්ධ වෙච්ච අය, කාන්තා සංවිධාන ආදිය ඉන්නවා. මේ අය එක්ක ඉදිරියට යන්න අපට කිසියම් අලුත් පාරක් තියෙනවා.

මේ ආණ්ඩුවේ ජනාධිපති විසින් පත්කරපු උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව හෙවත් LLRC කොමිෂන් සභාවේ වාර්තාව නිදහසින් පස්සෙ ලංකාවේ ලියවෙච්ච ඉතාම වැදගත් ලියවිල්ල කියලා කියන්න පුළුවන්. මේ කොමිසම සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන අඩුපාඩු තිබුණත් කොමිසමේ වාර්තාවෙන් මේ රට මුහුණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මේ කොමිසම ආණ්ඩුව පත්කරගත්ත එකක් නිසා ආණ්ඩුවට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විරුද්ධ පක්ෂයේ සහයෝගය මේකට ලබා දෙන්න. අපි එකතු වෙලා මේක ක්‍රියාත්මක කරමු කියලා තියෙනවා. ආණ්ඩුව මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරලා ඒකත් ක්‍රියාත්මක කරනවා කියලා තියෙනවා.

ජාත්‍යන්තර වශයෙන් ලංකාවෙ ආණ්ඩුව කෙරෙහි හෝ මව්බිම කෙරෙහි යම් බලපෑමක් ඇතිවෙලා තියෙනවා නම් ඒ බලපෑමෙන් ගැළවිලා ඉදිරියට යන්න තියන මාර්ගය තමයි උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන එක. එය ක්‍රියාත්මක කරන්න එකතු වෙනවා නම් සියලුදෙනාටම එකතු වෙන්න පුලුවන් පොදු පදනමක් එතන තියෙනවා. එකම දේ තියෙන්නෙ මේ ගැන මහජනයා අතර සාකච්ඡාවක් ඇති කිරීමට ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමයි. මෙච්චර වටින මේ ලියවිල්ල සිංහල භාෂාවෙන් පරිවර්තනය කරලා ගන්නත් අවුරුදු එකහමාරක් විතර ගියා. ඒ පරිවර්තනය කරලත් තාම තියෙන්නෙ වෙබ් එකේ. පොතක් වශයෙන් මුද්‍රණය කරලා සාමාන්‍ය මනුස්සයෙකුට බලන්න අවස්ථාවක් දීලා නැහැ. ඒ නිසා මම හිතනවා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මොනවද කියලා සාකච්ඡා කරලා ඒකෙ ගුණාංග ගැන බලලා, ඒ වෙනුවෙන් තෝරගත්ත නිර්දේශ, හරයාත්මක යහපාලනය පැත්තෙන් මානව හිමිකම් පැත්තෙන් වෙනස්කමක් කරන්න පුළුවන් නිර්දේශ ඉස්සරහට අරගෙන ක්‍රියාත්මක කරන්න කියලා බලකිරීමක් අපි ඇති කළොත් එතනදි සිවිල් සමාජයත් ශක්තිමත් කරගෙන, ආණ්ඩු විරෝධී වෙන්නෙත් නැතුව, විපක්ෂයත් එක්කත් එකඟතාවක් ඇති කරගෙන රටේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කරගෙන මව්බිම හමුවේ තියෙන අභියෝගවලටත් මූණ දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. අපි කියමු ආණ්ඩුව විසින්ම පිළිගත්ත ආණ්ඩුවේම උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසම් සභාවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා.

ලංකාවෙ ආණ්ඩුව විසින්ම සම්මත කරපු තවත් වැදගත් ලියවිල්ලක් තමයි මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම. ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා 2012 සිට 2016 දක්වා අවුරුදු 4 ඇතුළත මේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම නම් ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගන්න කියලා බල කරන මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න අපිට පුළුවන් වුණෝතින් අපට වැඩකරන්න අවශ්‍ය අවකාශය, ඉඩ අපට හදා ගැනීමට එය වැදගත් අවස්ථාවක් වෙනවා.

කුරුණෑගල මානව හිමිකම් සංවිධාන එකතුව විසින් සංවිධාන කළ මානව හිමිකම් දින සැමරුම් උළෙලේදී සුදර්ශන ගුණවර්ධන කළ දේශනයෙන් කොටසකි.

HR

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment