මාධ්‍ය ආචාරධර්ම දුමින්ද සිල්වාගෙන් ඉගෙන ගමු

Jan 8th, 2014 | By | Category: Today Lead News, මාධ්‍ය නිදහස, සමබිම මාධ්‍ය රැකවරණය

“වර්තමානයේ මාධ්‍ය නිදහස ගැන, තොරතුරු දැන ගැනීමේ නිදහස ගැන බොහෝ දෙනා කතා කරනවා. මම අහන්න කැමතියි මාධ්‍ය නිදහස ගැන කතා කරන මාධ්‍ය ආයතන තුළ කර්තෘවරුන්ට, වර්තාකරුවන්ට නිදහසක් තියෙනවද කියලා. අද ඒ අයට වෙලා තියෙන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රවලට අනුව කටයුතු කරන්නයි. එතකොට ජනමාධ්‍යවේදියාගේ මාධ්‍ය සදාචාරයට මොකද වෙන්නෙ? මාධ්‍ය නිදහස ගැන කතා කරන්න කලින් මාධ්‍ය ආයතන තුළ මාධ්‍යකරුවාට නිදහස ලබාදිය යුතුයි.”

මේ කතාව පවසන්නේ වෙනත් කිසිවෙකු නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාය. හිරු ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මට මෙම ප්‍රකාශය නරඹන්නට ලැබුණු අතර හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන්නේ දුමින්ද සිල්වාගේ සොහොයුරු රේනෝද සිල්වා ය. දුමින්ද සිල්වා පවසන ආකාරයට මාධ්‍යකරුවාට අද සිදුව ඇත්තේ මාධ්‍ය හිමිකරුවන්ගේ න්‍යායපත්‍රවලට අනුව කටයුතු කිරීමට වන හෙයින්, දුමින්ද සිල්වා සහභාගී වන බෝධි පූජා, පොකට් රැස්වීම්, මහන මැෂින් බෙදා දීම් යනාදී සියලුම නොවැදගත් දෑ පවා තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශයේදී ඉහළින් වාර්තා කිරීමට ඔවුන්ට සිදුව ඇත. භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට වාසිදායක වන සියලුම කාරණා වැදගත් ආකාරයට වාර්තා කිරීමට ද එම මාධ්‍යවේදීන්ට සිදුවිය. නමුත් අප කළ යුත්තේ දුමින්ද සිල්වාගේ කතාව අසා බඩ අල්ලාගෙන සිනාසීම නොවේ. දුමින්ද සිල්වා පවසන්නේ මෙරට මාධ්‍යවේදීන්ට කටුක සත්‍යයකි. සමහරවිට ඔහු එසේ පවසන්නේ එම සත්‍යය ප්‍රායෝගිකවම දන්නා නිසා ද විය හැකිය.

බොහෝ මාධ්‍යවේදීන්, විශේෂයෙන්ම නවක මාධ්‍යවේදීන් සිතා සිටින්නේ තමන්ට ඕනෑම රැඩිකල් කාරණයක් මාධ්‍ය හරහා සාකච්ඡාවට බඳුන් කළ හැකි බවය. මාධ්‍ය පාඨමාලාවක් හදාරා හෝ එසේ නොමැතිව මෙම වෘත්තියට ඇතුළත් වන බොහෝ නවකයෝ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පෙරළිකාර චරිත වන්නට සිහින දකිති. ඔවුහු තමන් මාධ්‍යවේදියෙකු යැයි හඳුන්වා ගන්නේ ද ආඩම්බරයකින් යුක්තවය. තමන් පිවිතුරු මාධ්‍යවේදියෙකු බවට ඔවුහු පරිකල්පනය කරන අතර, එම කන්‍යාභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම ඔවුන්ගේ සිහිනයයි. ලංකාවේ සුදුසුකම් අවශ්‍ය නොවන රස්සා දෙකෙන් එකක් වන්නේ ජනමාධ්‍ය වෘත්තියයි, අනෙක දේශපාලනයයි. තමන්ගේ මාධ්‍යය තුළ තමන්ට අවශ්‍ය දෑ කරන්නට නොහැකි බව මාධ්‍ය වෘත්තියේ තෙම්පරාදු වූ ජනමාධ්‍යවේදීහු කාලයත් සමඟ වටහා ගනිති. ඔවුහු ඉන් අනතුරුව උදෑසන කාර්යාලයට පැමිණ එදිනෙදා ලැබෙන පුවත් වාර්තා කර හවස් වරුවේ ගෙදර යාමට පුරුදු වෙති. තමන්ගේ මාධ්‍ය ආයතනය අයිතිකරුවාගේ රුචි අරුචිකම් සමඟ ගැටෙන පුවත් ප්‍රවේසමෙන් තෝරාගෙන ඒවා ඉවත් කිරීමටද ඔවුහු උගනිති. මාධ්‍ය ආයතනයේ අයිතිකරුවාගේ අවශ්‍යතාවලට ගැලපෙන පුවත්වලට ප්‍රමුඛතාවය දීමට ද ඔවුහු උගනිති. මෙවැනි මාධ්‍යවේදීන් ‛පරිණත’ මාධ්‍යවේදීන් ලෙස හඳුන්වා දිය හැකිය. තමන්ගේ කන්‍යාභාවය බිඳී ගොස් බොහෝ කාලයක් ගතව ඇති බව ඔවුහු කාලයත් සමඟම තේරුම් ගනිති. නවක මාධ්‍යවේදියා සහ පරිණත මාධ්‍යවේදියා අතර වෙනස මෙයයි.

මෙරට එක්තරා ඉංග්‍රීසි පුවත්පතක ජනමාධ්‍යවේදියෙකු ලෙස මම කලක් සේවය කළෙමි. මගේ රාජකාරිය වූයේ අධිකරණ පුවත් වාර්තා කිරීමය. මුලදී මට ගෙවන ලද්දේ කෑලි ගණනටය, එනම් වාර්තා කරන ලද ප්‍රවෘත්ති සංඛ්‍යාවට අනුවය. එම වකවානුවේ රත්තරන් බඩු උකස් ගන්නා ආයතනයකට අයිති මාධ්‍ය ජාලයකට විරුද්ධව නඩුවක් පැවතිණි. මා විසින් ඉතා උනන්දුවෙන් යුතුව එම පුවත වාර්තා කර ප්‍රවෘත්ති කර්තෘවරයා වෙත ලබාදෙන ලදී. අප දෙදෙනාගේම හිතුවක්කාරකමට එම පුවත පුවත්පතේ පළකරන ලදී. පුවත්පත්වල සංස්කරණ කිහිපයක් ඇති බව ඔබ දන්නවා ඇතැයි සිතමි. කොළඹ නගරයට බෙදාහරින සංස්කරණය අවසන් සංස්කරණයයි. පසුදින පුවත්පත කියවන විට මගේ වාර්තාව එහි නොමැති බව මට දකින්නට ලැබිණි. මා විසින් ප්‍රවෘත්ති කර්තෘවරයාගෙන් ඒ පිළිබඳව විමසන ලද අතර ඔහුගේ උත්තරය වූයේ “මචං, ඒක පළවෙනි එඩිෂන් එකේ දැම්මා. පස්සේ ලොක්කගෙන් කෝල් එකක් ආවා, ඒ නිවුස් එක දාන්න එපාය කියලා. ඉතිං දෙවෙනි එඩිෂන් එකේදි ඒක ගැලෙව්වා” යන්නය.

දිනමිණ පුවත්පතේ එකල අයිතිකාර ඩී.ආර්. විජේවර්ධන මහතා විසින් සිය උවමනාවන් සඳහා පුවත් රචනා කිරීමට මාර්ටින් වික්‍රමසිංහ ද ඇතුළු මාධ්‍යකරුවන් යොදා ගන්නා ලද අන්දම, මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‛උපන්දා සිට’ කෘතියෙහි සඳහන් වෙයි. සමහර අවස්ථාවල එවැනි පුවත් ලියවාගෙන ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහ මහතාව නොමග යැවීමෙනි. විද්‍යුත් මාධ්‍යද ඇතුළුව පුවත් ආයතනයක සේවය කිරීමට යන ඕනෑම මාධ්‍යවේදියෙකුට කවදා හෝ මේ සත්‍යයට මුහුණ දීමට සිදුවෙයි.

මාධ්‍යවේදියාට ජීවිකාව කරගෙන යන්නට සිදුවන්නේ මාධ්‍ය හිමිකරුවා විසින් ගෙවන වැටුපෙනි. රස්සාව අහිමි වුවහොත් බඩට පහරක් වැදෙන හෙයින් මාධ්‍ය ආයතනයේ අවශ්‍යතාවයට අනුව හැඩගැසෙන්නටත් ලියන්නට හා කියන්නටත් මාධ්‍යවේදියාට සිදුවේ. මෙය සරල සත්‍යයක් වන නමුත් බොහෝ මාධ්‍යවේදීන් සමාජයට පෙන්වන්නට උත්සාහ කරන්නේ මීට සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයකි. මඩෙන් පිපුණු නෙළුමක් මෙන්, තමන් සමාජයේ අගතීන්ගෙන් මිදුණු පිරිසක් බව පෙන්වන්නට ඔවුහු තැත් කරති. මෙම තත්ත්වය වසංගතයක් සේ පැතිර ඇත්තේ අලුතෙන්ම ජනමාධ්‍යවල සේවයට බැඳෙන නවකයින් අතරය. ආණ්ඩුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන මාධ්‍ය හැඳුනුම්පත ඔවුන්ට ආභරණයකි. තමන් විසින් ලියන ලද පුවතක් පළ වූ විට එය කපාගෙන ප්‍රවේසමෙන් තබා ගැනීමට ඔවුහු උනන්දු වෙති. ඔවුන් ගමේ යන්නේ ජනමාධ්‍යවේදී ලේබලයත් සහිතවය. කිසියම් හෝ මොහොතක මාධ්‍ය ආයතනයේ අවශ්‍යතාවලට පටහැනි පුවතක් වාර්තා කිරීමට උත්සාහ කළහොත් දුමින්ද සිල්වා පවසන කටුක සත්‍යයට මුහුණ දීමට ඔවුන්ට සිදුවේ. ඒ අනුව ඔවුන් මෙතෙක් කලක් කර ඇත්තේ මාධ්‍ය ආයතනයේ අවශ්‍යතාවලට ගැලපෙන පුවත් වාර්තා කිරීමයි. සමාජයට අවශ්‍ය නමුත් මාධ්‍ය හිමිකරුවාට අනවශ්‍ය පුවත් කර්තෘවරයා අතින් කැපී යන හැටි අසරණව බලා සිටීමට ඔවුන්ට සිදුවේ. නමුත් මාධ්‍ය ආයතනයෙන් පිටතට පැමිණි පසුව තමන්ගේ සුපිරිසිදු බව, අපක්ෂපාතිත්වය සමාජයට පෙන්වීමට ඔවුහු වෙහෙස වෙති. මාධ්‍ය හිමිකරුවාගේ අවශ්‍යතා මත තමන්ගේ අපක්ෂපාතිත්වය, පිරිසිදුබව දූෂණය වන බව ඔවුහු සිතාමතාම අමතක කරති.

දුමින්ද සිල්වා වනාහී මෙරට අධිකරණ වල නඩු ගණනාවක චූදිතයෙකු වී සිටි සහ දැනටත් චූදිතයෙකු වී සිටින අයෙකි. දැන් මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආචාරධර්ම ගැන උගන්වන්නට ඉදිරිපත් වී සිටින්නේ ද ඔහු ය. ඔහු ජනමාධ්‍ය නිදහසට එරෙහිව රජය ආරක්ෂා කරන්නට නගන තර්ක අප පිළිගන්නේ නැත. නමුත් මාධ්‍යවේදීන් පිළිබදව ඔහු කර ඇති ඉහත කී ප්‍රකාශය සම්පූර්ණ ඇත්ත බව අපි දනිමු. සත්‍ය හා නිවැරදි වාර්තාකරණයක යෙදෙන්නේ යැයි කියන සෑම මාධ්‍ය ආයතනයකට ම මෙම තර්කය වලංගු වේ. එම සත්‍යය ඔවුන්ට මතක් කර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ උදව්ව අවශ්‍ය වීම කෙතරම් අභාග්‍යයක්ද?∎

ප්‍රියලාල් සිරිසේන

t5

Recent Posts

Tags: , , , , , , , , ,

One Comment to “මාධ්‍ය ආචාරධර්ම දුමින්ද සිල්වාගෙන් ඉගෙන ගමු”


  1. varadi pudgalaya katava nivaradi karanne tama sahodarayage nalikatulin.danata taramak ho net f. m. derana tiyenava.namut ade madya hugak danuma deela nove salli deela tagi deela podi evun sindu kiyanna dala tamai vada karanne aneka madya aitikaruvan vagema rajaye viyaparika aya haraha danveem magin madyavediya palanaya karanava. ravaya samabima asaranavenava.namut gamane kese ho yanava.

Leave a Comment