දැන් කොහොමද? හොඳද?

Feb 12th, 2014 | By | Category: LEAD NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය

pdff

[සාමිනාදන් විමල් ]

යාපනයට පැමිණෙන දකුණෙහි වැසියෙකු ඔහු හෝ ඇය කුමන සමාජ කොටසක් නියෝජනය කෙරෙන අයෙකු වුවද අනිවාර්යයෙන්ම අසන පැනයක් ඇත. එය නම් “දැන් කොහොමද? හොඳද?” යන්නයි. උතුරෙහි වැසියෙකුට මෙම සරල පැනය ඇති කරන්නේ සංකීර්ණ මානසික ස්වභාවයකි. එයට හේතුව එය ඔහුට හෝ ඇයට අනුව ඔහුගේ හෝ ඇයගේ අතීතය පිළිබඳ අසන පැනයකට වඩා අනාගත අපේක්‍ෂාව පිළිබඳ අසන පැනයක් වන හෙයින්ය. “ඔව් දැන් හොඳයි” යැයි පිළිතුරු දුනහොත් සිදු වූ යුද්ධ ව්‍යසනයත් දෙමළ දේශපාලන අරගලයෙහි පරාජයත් යහපත් යැයි තමන් සිතන බවට දකුණෙහි වැසියා සිතනු ඇතැයි යන සිතිවිල්ල ඔහු හෝ ඇය තුළ ඇතිවෙයි. එයට වෙනස්ව “නැහැ” යැයි පිළිතුරු දුනහොත් තමන් කොටි සංවිධානයෙහි අදහස් තවදුරටත් දරන්නෙක් යැයි ද සිංහල දෙමළ ජාතික සමගිය නුරුස්සන්නෙක් යැයි ද යන අදහස දකුණෙහි වැසියා තුළ ඇතිවනු ඇතැයි යන බිය ජනිත වෙයි. එහෙයින් බොහෝ විට නිහඬබවම ඔහුගේ හෝ ඇයගේ පිළිතුර වෙයි.

මෙයට හේතුව අවංක හෘදයාංගම සංවාදයක් සඳහා වන පරිසරය හෝ සුදුසුකම් උතුරු දකුණු සංවාදය තුළ නොපැවැතීමයි, දේශපාලන තලයෙහිදී මෙන්ම සමාජ සංස්කෘතික තලයෙහිද අවංක වෙනවාට වඩා ජාම බේරා ගෙන තමන්ගේ පාඩුවේ සිටීම බොහෝවිට අනුමත ක්‍රියාපටිපාටිය බවට පත්ව තිබීමයි. එහෙයින් මෙම ලිපියෙහිදී එම ක්‍රියා පටිපාටියට වෙනස්ව ගොස් මෙම “දැන් කොහොමද? හොඳද?” යන පැනයට පිළිතුරක් ලබාදීමට උත්සහ කරමි.

දැන් යනුවෙන් අදහස් කෙරෙන්නේ යුද්ධය නැති තත්ත්වය නම් උතුරෙහි වැසියෙකුට අනුව එය යහපත් තත්ත්වයක්ය යන්න පිළිබඳව විවාදයක් නැත. හදවතෙහි බර ශෝකයක් සමඟින් යුද්ධය නොමැති මෙම තත්ත්වය යහපත්ය යනුවෙන් ඔහු හෝ ඇය පිළිගනියි. නමුත් මෙම යුද්ධය නොමැති තත්ත්වය වෙනුවෙන් ඔහු ගෙවා ඇති මිල තමන්ට දැරිය නොහැකි තත්ත්වයක පවතින්නේය යන්න ඔහුගේ හදවත තුළ පවතින ශෝක බරිතබවට හේතුවයි. යුද්ධය තුළ ඉපිද, යුද්ධය තුළ හැදී වැඩී, යුද්ධයට හසුව මියගියවුන්ගේ නෑ සියෝ මෙම පවතින යුද්ධ බිය නොපවතින පරිසරයෙහි ඒ මිය ගිය අයටත් ජීවත් වෙන්නට හැකි වුණා නම් යන හැඟීමෙන් මඩිනු ලැබූවන්ව සිටිති. මිය ගිය යුද්ධ සෙබළෙකුගේ මවකගෙන් “දැන් බෝම්බ පුපුරන්නේ නෑනේ. නිදහසේ පාරක බැහැලා යන්න පුළුවන් නේද?” යැයි යමෙකු ඇසූ විට පවා එම මව තුළ ඇතිවෙන්නේ එබඳුම හැඟීමකි. එහෙයින් මෙම “දැන්” යන්න තුළ යුද්ධයෙන් දිනාගත් සාමය යන අදහසත් සමඟ එක්ව එන ජයග්‍රහණයෙහි මහන්තත්ව බව අන්තර්ගතව පවතින බව අප සැලකිල්ලට ගත යුතුය. එයට වෙනස්ව යුද්ධමය ව්‍යසනයකින් තොරව අපට මේ දැන් පවතින තත්ත්වය ළඟා කර ගැනීමට නොහැකි වීම පිළිබඳ පශ්චාත්තාපය අඩුම වශයෙන් එම පැනය අසන ධ්වනිය තුළ හෝ අන්තර්ගත වීම වැදගත්ය.

අනෙක් අතට උතුරෙහි මහා මාර්ග සහ පොදු පහසුකම් පද්ධතිය තුළ ඇති වී ඇති සංවර්ධනය ද පාරිභෝගික භාණ්ඩ සහ සේවවාන්ගේ බහුලත්වය ද මෙම “දැන්” යන්න තුළ අන්තර්ගතව පවතියි. යුද්ධමය වාතාවරණයක් තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පවා මහත් අරගලයක් කිරීමට සිදුවූ සමාජයක දැන් පවතින තත්ත්වය සතුටුදායක බව පිළිබඳව විවාදයක් නැත. නමුත් මෙම තත්ත්වය යුද්ධයෙන් පරිපීඩිත වූ සමාජයට ලබා දෙන වන්දියක් ලෙසින් අරුත් ගැන්වීමට දරන බවක් උතුරෙහි වැසියා තුළ සංජානනය වෙයි. උතුරෙහි වැසියන්ගේ අරගලය මේවාට නොවෙයිද යන ආකල්පය ධ්වනිත කෙරෙන අයුරින් මෙම මහා මාර්ග සහ පොදු පහසුකම් පද්ධතිය තුළ ඇති වී තිබෙන සංවර්ධනය ද පාරිභෝගික භාණ්ඩ සහ සේවාවන්ගේ බහුලත්වය අරුත් ගැන්වීමට දැරෙන බවක් ඇඟවෙයි.

ඇත්තෙන්ම “දැන් කොහොමද? හොඳද?” යනුවෙන් දකුණෙහි වැසියෙකු උතුරෙහි වැසියෙකුගෙන් අසන විට නොඅසා අසන පැනයක් වෙයි. එනම් “ආයෙ යුද්ධයක් ඇතිවෙන එකක් නෑ නේද?” යන්නයි. මෙම අදහස්ම තවදුරටත් වර්ධනය වී “උතුරේ තරුණ තරුණියෝ ආයේ ආයුධ අතට ගන්න එකක් නෑ නේද?” යනුවෙන් අසන අවස්ථා පවා පවතියි. සමහරුන් එම පැනය නගන ධ්වනිය තුළ පවතින්නේ යුද්ධමය ජයග්‍රහණයෙන් ඔද වැඩුණු මහන්තත්වයයි. නමුත් සමහරුන් එම පැනය නගන්නේ සැක සංකා සහිත ස්වරයකින්ය. යුද්ධමය ව්‍යසනයකින් තොරව අපට මේ දැන් පවතින තත්ත්වය ළඟා කර ගැනීමට නොහැකි වීම පිළිබඳ පශ්චාත්තාපය එහි යම්තාක් දුරකට අඩංගු වෙයි.

එහෙයින් “දැන් කොහොමද? හොඳද?” යනු උතුරෙහි වැසියෙකුට අනුව නම් එක එල්ලේ පිළිතුරක් දිය නොහැකි සංකීර්ණ ප්‍රශ්නයකි. උතුරේ හෝ දකුණෙහි අනාගතවාදී දැක්මකින් යුතුව සමාජය දෙස බලන්නෙකුට නම් ඇත්තෙන්ම එය සංකීර්ණ පැනයකි∎

e2

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment