ජිනීවා ගැන UNPය කතා කරයි

Feb 13th, 2014 | By | Category: LEAD NEWS, PRESS RELEASE, පුවත්

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්, සැමට පිළිගත හැකි, අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාව වසර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකා රජයට අවධාරණය කරමින් සිටී.   එළැඹෙන මාර්තු මාසයේදී ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදීද  දැඩිව අවධානයට ලක්වීමට නියමිතයි. මේ සමබන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න.

දේශපාලනඥයන්, සුළු පිරිසකගේ අත්තනෝමතික හැසිරීම් සම්බන්ධයෙන් මේ රටේ ජනතාව වන්දි ගෙවීමේ අවශ්‍යතාවක් නොමැත.

ශ්‍රී ලංකාව මේ මොහොතේ පසු කරමින්, සිටිනුයේ, තම ඉතිහාසයේ අඳුරුතම පැයකි.  සහතිකවම, රටක් ලෙස අප සිටිනුයේ ප්‍රපාතයක් ඉදිරියේය. මේ ඛේදනීය තත්ත්වය ඇති විම විෂයෙහි සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ රාජපක්ෂ පාලනය බව සුපැහැදිලිය.

ත්‍රස්තවාදයට එරෙහිව වූ යුද්ධයේ අවසන් භාගයේ දී සිදු වූවා යයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්, සැමට පිළිගත හැකි,  අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාව වසර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකා රජයට අවධාරණය කරමින් සිටී.  නමුත්, මේ සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා රජයේ ව්‍යාජ සහගත ක්‍රියාකාරිත්වය තුළ ඉහත කාරණය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අදහසක් මේ වන විට ජාත්‍යන්තරය මතුකරමින් සිටී.  එක්සත් ජාතික පක්ෂය හා තවත් බොහෝ දෙනෙක් පෙන්වා දුන් ආකාරයට රජය මේ කාරණය සම්බන්ධයෙන් කටයුතු කළේ නම්,  ඇතිව තිබෙන මේ තත්ත්වය පහසුවෙන්ම වළක්වා ගත හැකිව තිබුණි. එක්සත් ජාතික පක්ෂය ලෙස අප පාලකයන්ට පෙන්වා දුන්නේ, පුරවැසි අයිතීන්ට ගරු කරමින්, ඔවුනගේ ජාතිය, ආගම, උපන් ස්ථානය නොසලකමින් තමනට එරෙහිව,  එල්ල වී ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන්, රටේ සියළු දෙනාට පිළිගත හැකි ආකාරයකට ඒවා ආමන්ත්‍රණය කරන ලෙසය.  ඒ ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙසය. නමුත් අවාසනාවකට මෙන් ඒ වෙනුවට පෙනෙන්නට ඇත්තේ , නීතියේ පාලනය, වගවීම, අඛණ්ඩව ඛාදනය වීම හා ශ්‍රී ලංකා රාජ්‍යයේ  විශ්වසනීයභාවය බිඳ වැටීමය.  යුද්ධයේ අවසන් භාගයේ දී සිදු වූවා යයි චෝදනා එල්ල වී ඇති සිදු වීම් සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට 2009 මැයි මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කීං මූන් මහතා මෙරටට පැමිනි අවස්ථාවේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පුද්ගලිකවම පොරොන්දුවක් ලබා දෙන ලදී.  ජාත්‍යන්තරව ප්‍රජාව සතුටු කිරීම සදහා එකල එම පොරොන්දුව රජය මන්තරයක් මෙන් නිතර ජප කරන ලදී.  කෙසේ වෙතත් මේ රටේ ජනතාව දිගු කලක් තිස්සේ දැන ගෙන සිටි සත්‍යය ජාත්‍යන්තර ප්‍රජාව ද මේ වන විට තේරුම් ගෙන ඇත.  රාජපක්ෂ පාලනයේ වචන, පොරොන්දු යනු හිස් ප්‍රලාප පමණක් බව ඔවුන් අද අත්දැකීම් ඇසුරින්ම තේරුම් ගෙන තිබේ.  රටේ අධිකරණ පද්ධතියේ සුජාතභාවය බිදවට්ටවමින්,  ප්‍රජාතන්ත්‍රීය ආයතන දුර්වල කරමින්,  17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින්,  නිදහස් මාධ්‍ය හා දේශපාලන විරුද්ධමතධාරීන් දඩයම් කරමින්,   වත්මන් පාලනය, දිගින් දිගටම ඊට අවශ්‍ය ධෛර්යය සපයමින් සිටී.  අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙනා නීතිවිරෝධි දෝෂාභියෝග යෝජනාවත් සමග පාලක රෙජීමය තම රටේ ජනතාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලිව එක දෙයක් ප්‍රදර්ශනය කළේය.  ඒ,  චෝදනා එල්ල වී,  කථා බහට ලක්ව ඇති මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විශ්වාසනීය අභ්‍යන්තර පරීක්ෂණයක් තවදුරටත් අපේක්ෂා කළ නොහැකි බවය.

පාලක රෙජීමයේ ආශිර්වාදය ලත් කණ්ඩායම් විසින් ආගමික හා වාර්ගික සුළුතරයක් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම වර්ධනය වීම තුළ සහජීවනය සදහා වන රජයේ උනන්දුව පිළිබඳ සාධාරණ සැකයක් ඕනෑම කෙනෙකු තුළ මතු වේ.  විශේෂයෙන්ම නොනවත්වා සිදු වන පැහැර ගැනීම්, හිංසනයන්, මාධ්‍යයට සිදු කරන තර්ජනයන්, සමාජ හා ආර්ථික දේහයේ සෑම අංශයක්ම හමුදාකරණය වීම,  වැරදිකරන්නන්ට නිදහසේ ඒවා කරගෙන යෑමට ඉඩ ලබා දීම, යනාදීය සමගින්, පාලක පංතිය, මානව හිමිකම් නීතිය හා ආදර්ශයන් අවඥාවෙන් යුතුව බැහැර කර තිබේ.  මේ සියල්ල වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින කණගාටුදායක තත්ත්වයට දැඩි සේ බලපා ඇත.  ශිෂ්ට ජාතීන් අතර,  ගෞරවනීය රාජ්‍යයක් ලෙස කලක් වැජඹුනු මුත්,  මේ වන විට ශ්‍රී ලංකා රජය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ දිනෙන් දින හුදෙකලා වෙමින්, සිටී.  පමණ ඉක්මවා ආඥාදායක පාලනයන් සමග සම්බන්ධතා පැවැත්වීමට කටයුතු කිරීමට යෑම තුළ ශ්‍රී ලංකාව, සෑහෙන දුරකට,  තමන් විසින්ම ඒ තත්ත්වය උදා කර ගෙන තිබේ.  සැබැවින්ම ඒ  “ඉල්ලන් කෑම” මේ ජාත්‍යන්තරව හුදෙකලා වීම, පිටුපස වැඩකරන ප්‍රධාන කාරණයකි.

pressමානව හිමිකම් සම්බන්ධව රට තුළ ඇති ජනප්‍රිය මතය සමඟ එකඟ නොවීම දේශපාලනිකව අවාසිදායක වූ මුත් පාලක පංතියේ වර්ගවාදී ප්‍රචාරණ නොසලකමින්,  ඒ පිළිබඳව ප්‍රතිපත්තිමය ස්ථාවරයක් අඛණ්ඩව එජාපයට පැවතුණි. මානව හිමිකම් යනු මෙරට ජනතාවට එරෙහි ඔවුනට හිමිකමක් නොමැති සංකල්පයක් නොවන බව අපගේ ස්ථාවරය විය.  අප සතු,  එම අන්සතු කළ නොහැකි,  අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් සාමුහික උනන්දුවක් පැවතිය යුතුය.  අධ්‍යාපනය සදහා ඇති අයිතිය,  සාධාරණත්වයේ අයිතිය, සාධාරණ නඩු විභාගයක් සදහා ඇති අයිතිය, හිංසනයෙන් මිදීමට ඇති අයිතිය, නීති විරෝධි අත්අඩංගුවෙන් වැලකීමට ඇති අයිතිය, යනාදී මේ අයිතීන් ද ජීවත් වීමට ඇති අයිතිය හා සමාන ලෙස වැදගත් වන මානව අයිතීන්ය.  මනව හිමිකම් යනු මේ සියළු අයිතීන් කෙරෙහි අවධානය යොමු කිරීමය.

බීමට සුදුසු පානීය ජලය, ඉල්ලමින්, වැලිවේරියේ ජනතාව කළ උද්ඝෝෂනයට, රජය, ප්‍රතිචාර දැක්වුයේ එය මර්දනයට යුද හමුදාව එම ප්‍රදේශයට පිටත් කර යවමිනි.  ඉන් පසු එහිදී දකුණේ ජනතාවට දැක ගත හැකි වු ඛේදජනක තත්ත්වය, අමතකවීමට තරම් හේතුවක් තවම ඇතැයි සිතා ගත නොහැකිය.  එහි සිදු වූ මනුෂ්‍ය ඝාතන හා ලේ සෙලවීම්, වාර්ගික හා ආගමික සීමා අතික්‍රමණය කරමින්, ඒවා නොතකමින් අවශ්‍ය නම් තමන් සීමාව ඉක්මවා යෑමට සූදානම් බවට රජය ජනතාවට දුන් පූර්ව පණිවුඩයක් විය.  මේ දක්වාම වැලිවේරිය සමුහ ඝාතන සම්බන්ධයෙන්, වගකිව යුතු එකඳු හෝ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට රාජපක්ෂ පාලනය අසමත්ව සිටී.

මෑතක දී,  මාතලේ සහ මන්නාරම, ප්‍රදේශවලින් සමුහ මිනිවළවල් දෙකක් සොයා ගන්නා ලදී.  මේ වන විට මාතලේ සමුහ මිනිවළෙන්, මිනිස් අස්ථි කැබිලි 154 ක් හමු වී ඇති අතර,  මන්නාරමෙන් හමු වී ඇති අස්ථි කැබිලි සංඛ්‍යාව 50 ක් පමණ වේ. එම සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් රජය හා එහි ප්‍රකාශයන් දක්වන ප්‍රතිචාර සහතිකවම විමතිය දනවන සුළුය.  මේ සමුහ මිනීවළවල්වල වලලා තිබෙන, අපගේම වූ පුරවැසියන් පිලිබද විමසීම, ඒ පිලිබද ප්‍රශ්න කිරීම රාජද්‍රෝහි ක්‍රියාවක් වන්නේ කෙසේද?  ඔවුන් මරා දමන ලද්දේ කවුරුන් විසින් ද යන්න රජයෙන් විමසා සිටිම  දේශද්‍රෝහි ක්‍රියාවක් ද?  මේ සමුහ ඝාතනවලට සම්බන්ධ වූවන්, අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද?

මානව හිමිකම් පිළිබද ඇති කතිකාව වෙනස් කිරිමට දැන් කාලය එළඹ තිබේ.  2013 අගෝස්තු දෙවැනි දින වැලිවේරියේ දී සිදු වු ඒ කූප්‍රකට සිදු වීම එම වෙනස සදහා අවශ්‍ය පදනම සපයා දී තිබේ.  පුරවැසි ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පවරා දී ඇති බලවේග විසින්,  අපේ ඇස් පනාපිට සහෝදර රටවැසියන් වෙඩි තබා මරා දමන ආකාරය යළි බලා සිටීමේ,  අවශ්‍යතාවක් තවත් නොමැත.  එබැවින්, මානව හිමිකම් යනු, ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුටම නිදහසේ හා අභිමානයෙන් යුතුව ජීවත්වීමට ඇති අයිතීන් බව වටහා ගැනීම වැදගත්ය.   මේ අතර පරිපාලනයට සම්බන්ධ රජයේ ප්‍රබලයෙක් පසුගිය දා විදේශයක දී ඉල්ලා තිබුණේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන  කොමිසම් වාර්තාව සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා තවත් වසර 05 ක කාලයක් තමනට අවශ්‍ය  බවය.  එය සැබැවින්ම හාස්‍ය ජනකය.  17 වන සංශෝධනය අහෝසි කරමින් එක රැයක් තුළ 18 වන සංශෝධනය ස්ථාපිත කළ පාලනයකට,  සති දෙකකට පමණක් සීමා වූ අධිවේගී ක්‍රියාවලියක්  තුළ අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කළ පාලනයකට,  ඩොලර් බිලියන ගණන් වටිනා මහා පරිමාණ ව්‍යාපෘති  සදහා හැරෙන තැපෑලෙන් අනුමැතිය ලබා දෙන රජයක් අප රටේ සියළු ජාතින් අතර, සාමය සහ සහජීවනය තහවුරු කරලීමට දේශීය කමිටුවක් යෝජනා කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවත් වසරක පහක කාලයක් ඉල්ලා සිටිම හාස්‍ය ජනක නොවන්නේ ද? මේ සියල්ලෙන් පෙන්නුම් කරනුයේ රට වැසියන් කෙරෙහි,  පාලක රෙජීමය තුළ ඇති අකාරුණභාවය, නොසැලකිල්ල මිස වෙන යමක් නොවේ.

වත්මන් රජයේ පටු ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපෘති, තවදුරටත් අප විශ්වාස නොකරන බව නිර්භයව පැවසීමට කාලය පැමිණ ඇත. මාතලේ සමූහ මිනීවළේ වළලා ඇත්තේ සිංහලයන් ද  මන්නාරමේ වළලා ඇත්තේ ද්‍රවිඩයන් ද යන්න මෙහිදී වැදගත් නොවේ.  වඩා වැදගත් වනුයේ ඒ සියළු දෙනා  ශ්‍රී ලාංකිකයන් ය යන්නය.  එම අස්ථි කොටස් කාගේ හෝ සහෝදරයකුගේ, සහෝදරියකගේ, පුත්‍රයෙකුගේ, හෝ දියණියකගේ විය හැකිය.  ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හට තම සමීපතමයන්ට සිදු වු දේ පිලිබඳ සත්‍යය දැනගැනීමේ අයිතියක් ඇත.  ජාතියක් ලෙස අපට ඒ පිළිබඳ සත්‍යය දැන ගැනිමේ අයිතියක් තිබේ.  මේ හා සම්බන්ධව අප අතින් සිදු වී ඇති වැරදි පිලිගැනීමට ද ඒවායින් පාඩම් ඉගෙන ගැනීමට ද එජාපය සූදානමින් සිටී.   අනාගතය ගොඩනැගීම සදහා අතීතය පාඩම් පොතක් බවට පත් කර ගැනීමට අප සූදානම් ය.

තීරණාත්මක එකොළොස් වැනි පැයේදී පවා අප රජයෙන් ඉල්ලා සිටිනුයේ, තමනට එරෙහිව එල්ල වී ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන් ඉක්මන් ආමන්ත්‍රණයක් සිදු කරන ලෙසය.  තමන්ට එරෙහිව චෝදනා හා අපවාදයන් එල්ලවෙද්දී තාවකාලික පැලැස්තර දමමින් හෝ ඒවා එක එල්ලේ බැහැර කරමින් වගකිව යුතු පරිණත රාජ්‍යයක් කටයුතු කරන්නේ නැත.  ඒවාට ඇහුම් කන්දිය යුතුය. ආත්ම පරීක්ෂාවට තමන් සූදානම් බව රජය පිටතට පෙන්විය යුතුය.  ජාත්‍යන්තරිකව මෙන්ම දේශියව ද ඒ සම්බන්ධව ඇති මත නිවැරදි කළ හැක්කේ ඒ ආකාරයටය.  එබැවින්,  තවදුරටත් නැති සතුරන් හා කුමන්ත්‍රණකරුවන් පිටුපස හඹා යෑම වෙනුවට,    ඒ පිළිබද කථා කරමින් කාලය නාස්ති කරනවා වෙනුවට,  එජාපය ලෙස, අප රජයට යෝජනා කරනුයේ ජාත්‍යන්තර ප්‍රජාවේ අප මිතුරන් මේ සම්බන්ධව පවසන දෑට තම සවන් පත් යොමු කරවන ලෙසය.  ඒ දෙසට කන් හරවන ලෙසය.  ඉතිහාසයේ කවර කවරදාකමවත් නොතිබුණු අන්දමේ දරුණු ජාත්‍යන්තර බලපෑමක් ආසන්නයේ අප සිටී.  මේ වන විට දැලිපිහියේ කෙළවර අප අසළට දිගු වී සිටී. සුළු දේට පවා කිපෙන,  තමන්ගේ අභ්‍යන්තරය පිලිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමින්, සැමදේටම අන්‍යන්ට ඇඟිල්ල දිගු කරමින් චෝදනා කරන,  ළාමක කණ්ඩායමකට  මෙම අභියෝගය භාර දී බලා සිටිය නොහැකිය. පෙරටත් වඩා වර්තමානයේ ශ්‍රී ලංකාවට පරිණත, සාධාරණ සත්‍යවාදී දේශපාලන නායකත්වයක් අවශ්‍ය වි තිබේ.

දේශපාලනඥයන්, සුළු පිරිසකගේ අත්තනෝමතික හැසිරීම් සම්බන්ධයෙන් මේ රටේ ජනතාව වන්දි ගෙවීමේ අවශ්‍යතාවක් නොමැත.

මෙහිදී වගකිව යුතු විපක්ෂයක් ලෙස යුද්ධයේ අවසන් සමයේ සිදු වූවා යැයි චෝදනා එල්ලවන සිදුවීම් පිළිබද දේශිය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සම්පුර්ණ සහාය ලබා දීමට එජාපය සූදානම්ය.  එබඳු පරීක්ෂණයක් 2009 ජනවාරි මාසයේ සිට මැයි මාසය තෙක් වන කෙටි කාල පරාසයකට සීමා නොකර තවත් ගැඹුරට, නොඑසේ නම් පසු පසට ගෙනයමින්,  එල්.ටී.ටී.ඊ ය සිදු කළ තිරශ්චින, මිලේච්ඡ ක්‍රියා පිලිබඳ ද සොයා බැලිය යුතු බව, එජාපයේ විශ්වාසයයි. එබදු පරික්ෂණයක දී හෙළිවන තොරතුරු මත වැරදිකරුවන් බවට පත්වන සෑම කෙනෙකුටම නීතිය පිළිගත් විධිවිධාන මත චෝදනා ඉදිරිපත් කළ යුතු බව, එජාපයේ ස්ථාවරයයි.  විශේෂයෙන්ම එහිදී අපරාධ සඳහා වග කිව යුතු එල්.ටී.ටී.ඊයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හදුනාගත්තේ නම් ඔවුන් සම්බන්ධව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, යළි ස්ථාපිත කරමින්, නීතියේ පාලනය හා ශිෂ්ට ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් තහවුරු කිරිමට ප්‍රමුඛතාව ලබා දෙන බවට සහතිකයක් ලබා දෙන්නේ නම්, යහපාලනය ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය ආයතන පිහිටුවීමට හා එම පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සහාය රජයට ලබා දීමට එජාපය සූදානම්ය.  ජාතියේ අඳුරුතම පැයක, ඒ පිලිබඳ සංවේදී නොවී, දේශපාලන පක්ෂ පාට අනුව බෙදී වෙන්ව කටයුතු කිරිමට, වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලෙස එජාපය සූදානම් නොමැත.  එක්සත් ප්‍රජාතන්ත්‍රීය, හා සම්පුර්ණ නිදහස සහිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනයක්  එජාපයට තිබේ. අපේ විශ්වාසය එබඳු රටකි.  කළ යුතු දේ නොකර සිටීම තුළ,  ඒ මුරණ්ඩුභාවය තුළ ජාත්‍යන්තර ප්‍රජාව, අප ආදරණීය මාතෘභූමිය, උන්මන්තක අගෞරවනීය රාජ්‍යයක මට්ටමකට ගෙන යන තෙක්,  බලා සිට ඉන් කාලකන්නි සතුටක් ලැබීමේ සිල්ලර අරමුණක් එජාපයට නොමැත.  තිස්වසරක බිහිසුණු අර්බුදයකින් පසු අනිවාර්යයෙන්ම, ඊට වන්දියක් ගෙවිය යුතුය.  සාමය ගොඩනැංවීමේ ස්වභාවය එයයි.  එය අපට ජාත්‍යන්තර ප්‍රජාව පැවසීමට අවශ්‍ය නොමැත.  එය, ශ්‍රී ලංකාව තමන් විසින්ම වටහා ගත යුතු කාරණයකි.

තිස්වසරක් පුරා පැවති මේ අර්බුදයේ කෘරත්වය හා විනාශය අවබෝධ කරගත් ජාතියක් ලෙස එම පෑරුණු තුවාල සුවපත් කිරීමට කටයුතු කිරීම උතුරේ හා දකුණේ වෙසෙන සෑම පුරවැසියෙකුගේම, වගකීමක් මෙන්ම අවශ්‍යතාවක් ද වේ.

 2014.02.13

pr

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment